ඉඩෝරයක මල් වැස්සක් – 19

බිනර සමග යමක් පැවසීමට තමා ගත් තීරණය පිළිබඳව පසුතැවීමෙන් උන් යුවතියගේ පසුතැවීම අතුරුදන් වූයේ ඒ දෑස් දුටුවාට පසුවය. මේ පිටස්තරයෙකු තමාගේ ජීවිත කතාව ගැන මේ අයුරින් සංවේදී වූවාමය. පාසල් කාලයේදී ඉසුරි යහළුවන් ඇසුරු කළේ තෝරා බේරා ගෙනයය. වටේ පිටේ සිටින සියල්ලෝම තමාගේ නිවසේ ප්‍රශ්න දෙස බලා හිනැහෙනවායැයි ඇයට සිතුණේ අද ඊයේක නොවේ. එනිසාම ඉසුරි වඩා උත්සාහ කළේ තනිවම සිටින්නටය. 

“ඊට පස්සේ ඔයාලා ජීවත් වුණේ…”

බිනර ඇසුවේ විනාඩි ගණනාවක් නිහඩව සිටියාට පසුවය. 

“ඊට පස්සේ ජීවිතේ හරි අමාරු උනා බිනර. තාත්තට නඩත්තු විදිහට උසාවියෙන් අපිට දෙන්න නියම වුණේ හරි පොඩි ගානක්. රුපියල් පහළොස් දාහක් වගේ.”

“වට්ස් ෆිප්ටීන් තවුසන්ඩ්…”

“ඔව් උසාවිය නඩත්තු මුදල් තීරණය කරන්නේ ඒ කෙනාගේ ආදායමත් එක්ක. ගවර්මන්ට් ජොබ් එකක් කරපු තාත්තට ඒ හැටි ලොකු සැලරි එකක් ලැබුනේ නැහැ. ඊට පස්සේ අම්මා ජොබ් කිහිපයකටම ගියා. මුල් කාලෙ අපිව දාලා ජොබ් එකක් කරන්න යන්න පුළුවන්කමක් අම්මට තිබුණෙ නැහැ. ඒ නිසා අම්මා කිරි අම්මව අපේ ගෙදරට ගෙන්න ගත්තා. මං හිතන්නෙ නෑ ඒ කිසිම තැනක අම්මා සතුටින් වැඩ කළා කියලා.”

“මොනවද එයා  කළේ…”

“එක එක තැන්වල එක එක විදිහෙ ජොබ්. පුංචි ගාමන්ට් එකක මැහුවා. ඊට පස්සේ බෝනික්කෝ හදන තැනක වැඩට ගියා. ටවුන් එකේ ග්‍රොසරි එකක බිල් ලියන්න ගියා. දැන් නං වැඩ කරන්නේ බඩු පිටරට යවන තැනක. කිසිම නිදහසක් නෑ. ඔයා දන්නවද බිනර දික්කසාද වෙච්ච ගෑනියෙක් කියන්නේ මේ සමාජයේ අවලංගු කාසියක්.”

“අවලංගු කාසියක්…මට ඒක තේරුනේ නෑ.”

“ඒ කියන්නේ එයා දිහා මිනිස්සු බලන්නේ වැරදි විදිහට. හරි ඉක්මනට තමන්ට යටත් කරගන්න පුළුවන් ගෑනියෙක් විදිහට. ඔයාට මං කියන දේ තේරෙනව නේද….එහෙම කෙනෙක් පිරිමියෙක් එක්ක කතා කළත් ඇති මිනිස්සුන්ට කතාවක් මවන්න.”

“ඔව් මම මේ සමාජය ගැන දන්නවා. මේ විදිහට අපි දෙන්නව දැක්කොත් මිනිස්සු එළියෙදි කතා වෙන්නේ අපි දෙන්න අතර එෆෙයා එකක් තියෙනවා කියලා.”

“අම්මටත් ඒ වගේ කතා ගොඩක් අහන්න සිද්ධ වුණා. සමහර අය අපේ ගෙදරට ඇවිල්ලා වැරදි විදිහට අම්මට බැනලා ගියා. මගේ තාත්තාගේ නංගි හිටියේ අපේ ගෙදරට ගෙවල් හතක් අටක් එහා. හැබැයි එයාගේ හිතේ අපේ අම්මා ගැන පොඩිමවත් අනුකම්පාවක් ආදරයක් තිබුණෙ නැහැ. මට දැන් හිතෙනවා අම්මයි තාත්තයි අතර ඇතිවුණු ගොඩක් ප්‍රශ්න මේ තරං දුර දිග ගියේ නැන්දගේ අනවශ්‍ය මැදිහත්වීම නිසා කියලා. ඒ නැන්දගේ ලොකු පුතා තමයි පාරින්ද..”

“ඔයාගේ ලොකු අයියා..”

“ඔව්…මම දන්නෙ නැහැ අදටත් අපි අතරේ තියෙන සම්බන්ධෙට දෙන්න පුළුවන් නම මොකක්ද කියලා. හැබැයි අපි දෙන්නා කවද හරි මැරි කරන්න ඕනේ.”

“ප්‍රපොසල් එකක්..”

“නෑ..අපිට ඇතිවෙච්ච ගොඩක් ප්‍රශ්නවලදී ලොකු අයියා අපිත් එක්ක හිටියා. නංගී මල්ලි එක්ක කතා කරනවට වඩා වැඩි දෙයක් මට ලොකු අයියා එක්ක කතා කරන්න පුළුවන් උනා. සමහර තැන්වලදී සමහර  ප්‍රශ්න වලදී ලොකු අයියා මාව බේර ගත්තා. නැන්දා අපේ ගේ දිහාවත් බලන්නෙ නැතුව ගේ ඉස්සරහින් අහක බලාගෙන යද්දී ලොකු අයියා හොරෙන් හොරෙන් අපේ ගෙදර ආවා. ගෙදර මොන දේ හැදුවත් මගේ කොටස හංගගෙන අරගෙන ආවා. ජීවිතේ ඕනෙම කාලෙකදි එයා මමත් එක්ක හිටියා. එයා මගෙන් ආදරේද කියලවත් මං එයාගෙන් ආදරේද කියලවත් අහලා නෑ බිනර. මට එයාගේ ළඟදි දැනෙන්නෙ රැකවරණයක් විතරයි. හැබැයි හැමෝම කියන්න පටන් ගත්තා ලොකු අයියා අපේ ගෙදර යන්නේ එන්නේ මං ගැන බලාපොරොත්තුවෙන් කියලා. අපි දෙන්නා අතරේ නොතිබුණු සම්බන්ධයක් මිනිස්සු මැව්වා. ගොඩක් තැන්වලදී අපි දෙන්න ගැන කතා වෙන්න පටන් ගත්තා. යාලුවෝ ලොකු අයියට මගේ නම කියලත් මට ලොකු අයියගේ නම කියලත් විහිළු කරන්න ගත්. අන්තිමට දන්නෙම නැතුව අපි දෙන්නා කවද හරි කසාද බඳිනවා කියන තීරණයකට ආවා.”

“ඒක හරි අමුතු කතාවක්..”

“ඔව් මගේ හිතටත් ඒ අමුත්ත දැන් ගොඩක් තදින් දැනෙනවා.

දන්නෙම නැතුව ලොකු අයියා මාව පාලනය කරන්න පටන් ගෙන තිබුණා. පාලනය කරන්නමත් නෙමෙයි. ලොකු අයියගෙන් අහන්නේ නැතුව මම කිසිම දෙයක් කරන්නේ නැති තත්වයට පත්වුණා. හන්දිය කඩේට යන්නත් මං ලොකු අයියට කතා කරලා එයාගෙන් අවසර ගත්තා. මේ කිසිම දෙයක් හිතා මතා සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි බිනර. අන්තිමට මම යන්න ඕන ගමන තීරණය කලේ මම අඳින්න ඕන ඇඳුම තීරණය කළේ මම පාවිච්චි කරන්න ඕන ෆර්ෆියුම් එක තීරණය කළේ ලොකු අයියා. මේ අතේ ඇඟිලි ගානටවත් මට යාළුවො හිටියේ නෑ. එහෙම ඉඳපු කීපදෙනත් මට ලොකු අයිය නිසා ආශ්‍රය කරන්න බැරුව ගියා. මං දන්නෑ බිනර ලොකු අයියා කියන ඒ හැමදේකටම එකඟ වෙලා හිටියත්  එයා හැමතිස්සෙම මාව හරි පහත් තැනකට ඇදලා දාලා කතා කලේ. මට දැන් බයක් තියෙනවා කවදකහරි ලොකු අයියා ලඟට ගියාම මට අම්මාවත්, නංගිවත්, මල්ලිත් කිරි අම්මවත් සදහටම අමතක කරන්න වෙයි කියලා” 

 “රිලේෂන්ෂිප් එකක් ඇතුලේ තියෙන්න ඕනේ නිදහස ඉසුරි. ඇයි අපි අනිත් කෙනාගේ නිදහස පාලනය කරන්නේ. එහෙම කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඔයා මට ආදරේ නං ඔයා මගේ ලඟ රැඳේවි. ඔයා එහෙම ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ, මං ඔයාට දෙන ආදරය මත. ආදරේ කියන්නේ බලෙන් අපේ ළඟ කෙනෙක් රඳවා ගන්න එක නෙමෙයි. ඒක හරි මානසික පීඩනයක්…”

බිනර කියවාගෙන  ගියේ කටපාඩම් කරගෙන සේය. එවේලෙහි ඔහුට ඒ පීඩනය දැනිමින් තිබිණ. තරුණයා ජීවත් වූයේ ඉසුරිගේ ප්‍රශ්නයේය. ඔහුගේ හඬ ඒ සා ආවේගශීලී වූයේත් එනිසාය. පසුපස මේසයෙහි  උන් යුවතියක හැරී බැලුවේ ඒ හඬටය. 

“සෝ සොරි ඉසුරි….මං ඔයාගේ බොයි ප්‍රෙන්ඩ්ට බැන්න නෙමෙයි. ඒත් එහෙම හොඳ නෑ. මට මැරි කරන්න හිතාගෙන ආශ්‍රය කරන කිසිම ගර්ල් කෙනෙක් නැහැ. හැබැයි මට ගර්ස්ලා යාළුවො ගොඩක් ඉන්නවා. ඔයා වගේ නෙමෙයි. එයාලා හරි නිදහස් ලෝකෙක ලස්සනට නිදහස විඳිනවා. ඒ අය මැරි කරන්න බලාපොරොත්තුවෙන් ආශ්‍රය කරන බෝයිස්ලා ඉන්නවා. හැබැයි මේ වගේ බලෙන් එයාලව පාලනය කරන්නේ නෑ. මට අක්කිලා දෙන්නෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් මැරි කරලා ඔස්ට්‍රේලියාවල ඉන්නේ. එයා හරි නිදහසේ ජීවත් වෙනවා. ඒ දෙන්නාගේ මැරේජ් ලයිෆ් එක සක්සස්..මගේ තව අක්කා කෙනෙක්  ඉන්නවා එයා මැරි කරන්න ඉන්නේ. එයාගේ එයාලා හරි ලස්සනට එයාලගේ ෆියුචර් එක ප්ලෑන් කරනවා…මට ඔයා ගැන හරි පුදුමයි. සොරි මං මෙහෙම කියනවට. ඒක ලවුස්ටෝරි එකක් නෙමෙයි.”

“ඔව් ඒක ලවුස්ටෝරි  එකක් නෙමෙයි බිනර. පොරොන්දුවක්, යුතුකමක්, වගකීමක් වගේ දෙයක්..”

“නෑ ඉසුරි….ඒවා පටලව ගන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න. ඔයාගේ තාත්තා වෙන මැරේජ් එකක් කරගත්තා කියලා ඔයා අසරණ වෙච්ච එක ඇත්ත. ඔයාලා බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච එකත් ඇත්ත. හැබැයි ඔයා ඒක තැනකදි කිව්වා දැන් ඔයාගේ තාත්තා හරි සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ නිසාම අපිට ඔයාගේ තාත්තට කොතැනකදිවත් වරදක් කියන්න බැහැ. මේ ජීවිතය ඇතුළෙ අපි බලාපොරොත්තු වෙන්නේ සතුට, නිදහස,  සැනසීම..මට ඔයාට කියන්න බැහැ ඔයාගේ ලොකු අයියව මැරි කරන්න එපා කියලා. හැබැයි ඉසුරී ඔයාගේ ජීවිතේ හැම දවසක්ම කඳුළක් වෙයි. ඔයා යන එන හැම තැනකම මේ වගේ ඇස්වල කඳුළු පුරවගෙන ඉදියි. ඔයාගේ තාත්තට අම්මට වගේ ඔයාට දවසක ආපස්සට හැරෙන්න හිතෙයි.” 

“ආපස්සට හැරෙන්න හිතෙයි නෙමෙයි. මට ජීවත් වෙන්න බැරි වෙයි.”

“ප්ලීස් ඉසුරි  ඔයා ඔයාගේ ජීවිතේ ගැන තීරණයක් ගන්න. ඔයා විතරක් නෙමෙයිමේ ලෝකේ ඉන්න කිසිම ගෑණු ළමයෙක්, පිරිමි ළමයෙක් තමන්  අකමැති තැනක ගිහිල්ලා බලෙන් රැඳෙන්න ඕනේ නැහැ. අපේ ජීවිතවල සතුට හරි දුක හරි තීරණය කරන්න ඕනේ අපි. එහෙම නැතුව අපේ වටේ පිටේ ඉන්න අය නෙමෙයි. ඉසුරි ඔයා හොඳට හිතන්න. ඊට පස්සේ ඔයාගේ ලොකු අයියා එක්ක ඔයාගේ ජීවිතේ ගැන කතා කරන්න. ඔයා ආස දේවල්, ඔයාගේ බලාපොරොත්තු, ඔයා ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න දේවල්. ඔයාගේ ජීවිතේ ඔයා ජීවත් වෙන්න කැමති පිළිවල. අන්න ඒ දේවල් ගැන ඔය දෙන්නා ඩිස්කස් කරන්න. එහෙම කරල තියෙනවද කවදාවත්?”

“ලොකු අයියා කියන්නේ මේ විදිහට එක තැනක වාඩිවෙලා නිදහසේ කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා තව කෙනෙකුට ඇහුම්කන් දෙන කෙනෙක්වත් තව කෙනෙක් විශ්වාස කරන කෙනෙක්වත් තවත් කෙනෙක් කියන දෙයක් පිළිපදින  කෙනෙක්වත් නෙමෙයි. ලොකු අයියා හැම තිස්සෙම හිතන්නේ එයා හරි කියලා.”

“ඕ..මයි ගෝඩ්..මේ ප්‍රශ්නෙට උත්තර තියෙන්නේ ඔයා ළඟම තමයි ඉසුරි..ඇයි එහෙම දුරස්ථ බැඳීමක් තියාගෙන ඔයා මැරි කරන්න එකඟ වුණේ. මංනං  දකින්නේ ඒක මේ වෙලාවේ ඔයා ගතපු මෝඩම තීරණයක් විදිහට. ජීවත් වෙන්න කෙනෙක් මැරි කරන්නම ඕනෙ නෑ ඉසුරි. ජීවත්වෙන හැම දවසක්ම කඳුලක් එක්ක ගත කරනවද හිනාවක් එක්ක ගත කරනවද කියලා ඔයා තීරණය කරන්න. මම කියන්නේ අදම ඔයා ඒ තීරණය ගන්න. ඔයාට ඕනෙ නං මං ඔයාට කවුන්සලර් කෙනෙක්ට එපොයිමන්ට් එකක් දාල දෙන්නම්. එයා ඔයාට ජීවිතේ ගැන තීරණයක් ගන්න හෙල්ප් කරාවි. හිතන්න මම ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියල. ඕනම දේකට මම ඔයාත් එක්ක ඉන්නවා ඉසුරි. ඔයා ජීවිතේ පටන්ගෙන තියෙන්නේ වැරදි තැනකින්. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න අපේ ජීවිතය ගැන අයිතිය තියෙන්නෙ අපිට. කවදාවත් වෙන කෙනෙක්ට ඒ ජීවිතය පාලනය කරන්න දෙන්න එපා.”

බිනර පැවසූයේ දැනමුත්තෙකු සේය. කිසිවෙකු යමක් පවසද්දී අසා සිටියාට ඔහුට අවවාද ලබාදී පුරුද්දක් වූයේ නැත. එහෙත් මේ කතා කරන්නේ තමාම දැයි සිතනා තරමටම ඔහු ඉසුරිගේ ප්‍රශ්නයට ගැඹුරින් පිළිතුරු සොයමින් සිටියේය. සැබවින්ම ඔහු නතරව සිටියේ ඇගේ ප්‍රශ්නයේය.

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles