ඉඩෝරයක  මල් වැස්සක් – 20

“අම්මේ….ඉසුරිලාගේ නැන්දා මේ ගේ ඉල්ලනවලු….”

මෑතක සිට අම්මා ළඟදී මදක් උස් හඬින් කතා කළ යුතුය. ඇගේ දෙසවන් නෑසෙන්නේ වයසටය.  එනිසාම රාජිණියේ මුළුතැන් ගෙයට ගොස් එසේ පැවසූයේ තම හඬ උස් කරමින්ය. 

ශ්‍රියාලතා ඈ දෙස හැරුනේ දෑස් විසල් කරගෙනය. 

“ඉතින් බං, මේ ගේ උඹේ නමට ලිව්වයි කියලා ඒ දවස්වලම කිව්වේ.” 

“නෑ….නෑ අම්මේ…ඉසුරි ලොකු පුතා කසාද බඳිද්දි එයාගේ  දෑවැද්ද විදිහට ඒ ගොල්ලෝ මේ ගේ බලාපොරොත්තු වෙනවලු. ඊයෙ මට සුරංග කතා කළා.”

“එහෙම උනොත් අනිත් මිනිස්සු පාරට බහින්නද බං..”

“ඒක එහෙමනම් අම්මේ  ඊට පස්සේ  ගන්න තියෙන විසඳුම ගන්න එක තමයි හොඳම දේ. ඒ ගොල්ලන්ට මේ  ගේ දීලා අපි කුලී ගෙදරකටකට යමු.”

“කන බොන එකත් කරගන්නේ අමාරුවෙන් වෙච්ච කොට කොහොමද බං ගේකට කුලී ගෙවන්නේ.”

“මං අම්මට කාරණයක් කියන්න හිටියේ.”

“ඒ මොකක්ද?”

“මං අවුරුදු තුනකට පිට රටකට යන්න තීරණය කළා අම්මේ.”

“ඒ පාර මොකක්ද නටන්න හදන නාඩගම.”

“අම්මලගේ  තැන ඉඳලා බලද්දි ඒක නාඩගමක් වෙන්න ඇති. අදටත් දහ අතේ ණය වෙලා උන්ට කඹුරලා කීයක් හරි හොයාගෙන අපිට මොනවද අම්මේ කරගන්න පුළුවන් වුනේ. සුරංගගෙන්  උනත් ඉසුරි කීයක් හරි ඉල්ලුවහම දහසක් අඩුපාඩුකං කියල සල්ලි දෙන්නේ. ඒකෙ ඇති වැරැද්දකුත් නැහැ. ඒක දැන් වෙනම දරු පවුලක්නේ.”

ශ්‍රියාලතා තම දියණිය දෙස බැලුවේ දෑස් මහත් කරගෙනය. ඇය පිටරටකට යනවායැයි පැවසීමට වඩා ඕ පුදුමව සිටියේ ඇගේ මේ නිවුණු කතා විලාශයටය. 

“පේනව නේද අම්මේ සුරංගගේ අක්කා වුණත් අපේ දරුවට දීල තියෙන තැන. එහෙම නොවුනනං අපි වගේ මිනිස්සුන්ගෙන් කීයටවත් දෑවැදී ඉල්ලනවද. වචනයක් නාහා මට මේ කෙල්ල ගෙදරින් පිට කරන්න ඕනේ අම්මේ. ඒ විතරක් නෙමෙයි පොඩි එකීට ඉහළට ඉගෙන ගන්න ඕනි කියල කිව්වොත් නෑ බෑ නොකියා ඒවට වියදම් කරන්න ඕනි. ඉසුරු ඉගෙන ගන්න එක අතර මග නවත්තල දැම්මොත් කඩ කාමර කෑල්ලක් හරි හදලා දීලා මගේ යුතුකම කරන්න ඕනේ. එක එකා ළඟ බාල්දු වෙවී එක එකාට පාච්චල් වෙවී රෑ දවල් නිදි මරාගෙන සොච්චම් පඩියක් අතට අරගෙන මට ඒ ටික කරන්න බෑ අම්මේ. අවුරුදු තුනයි…ඒ අවුරුදු තුනට මගේ අම්මා මේ වගේම නිරෝගීව මගේ දරුවෝ තුන්දෙනා බලාගන්න. ගෙවිලා ගියපු ජීවිතේ ආපස්සට ඇදලා ගන්න මට බෑ. මට යුතුකමක් වගකීමක් තියෙනවා අම්මේ ඒක ඉෂ්ඨ කරලා මැරිලා ගියත් කමක් නෑ.”

ශ්‍රියාලතා මේසයයට යට වූ කුඩා බංකුවක් ඇද ඒ මත අසුන් ගත්තේ වෙහෙසකර අයුරින්ය. ගෙයක් දොරක් අතුපතු ගා ගන්නවා, ඉසුරිට උයන්නට උදව් කරනවා හැරෙන්නට මහ මෙරක් තරම් වැඩ මේ නිවසේ නොතිබූ බව සැබෑය. එහෙත් දරුවන් තිදෙනෙකුගේ වගකීම එක හෙලාම කරපිට පටවා ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය මානසික පීඩාවකි. මෙ නහින දෙහින කාලයේ එතරම් වගකීමක් දරන්නට ඈ මැළි වූවාය. මඳක් හෝ තම වචන වලට මේච්චල් වන්නේ ඉසුරි පමණකි. 

දියණියගේ දෑස් වලින් කඩා වැටෙනු  ඒ වියපත් දෑස් වලට හසු වූයේ යළි හිස ඔසවද්දීය. ඒ සා වගකීමක් තමාට දරන්නට බැරියැයි පැවසීමට සිතා උන් ශ්‍රියාලතාගේ සිතුවිලි වෙනස් වූයේ ඒ කඳුළු බිඳුව දුටුවාට පසුවය.

“ගිහිල්ලා වරෙන් දෙයියන්ගේ පිහිටෙන්. මේ ගෙවුන වගේ ඔය අවුරුදු තුනක් ඉක්මනට ගෙවිලා යයි.”

“අම්මේ මං හිතන් ඉන්නේ ඉසුරිගෙයි ලොකු පුතාගෙයි කසාඳේ රෙජිස්ටර් කරවන්න කියලා. පහු පහු වෙනකොට කොයිදේත් අගේ නැතුව යනවනේ.”

“ඒකනං හොඳයි. මාත් ඒ ගැන උඹට කතා කරන්න හිටියේ.

සුරංගට කිව්වොත් ඉසුරි ගැන නොබලා ඉන්න එකක් නෑ. 

දරුවන්ටත් තේරෙන්න ඕනේ බං උඹල ජීවත් වෙන්න දුක් විඳිනවා කියලා. ඒක තේරුම් අරගන්නෙ නැතුව උන් වැරදි පාරක යනවානම් කරන්න දේකුත් නෑ.”

ශ්‍රියාලතා අවසන් වදන් කිහිපය පවසද්දී රාජිනී මුළුතැන් ගෙයින් නික්ම ගොස් අවසන්ය. සිය දියණියගේ මේ පරිවර්තනීය වෙනස අදහා ගත නොහැකි කමකින් සේ ඈ තවදුරටත් බලා සිටියාය. ස්වභාවයෙන්ම කෝප ගන්නා, නිරතුරුවම කිපෙන ගැහැණියක වූ ඇයට තම සැමියා අහිමිවූයේ ඇගේම වරදින් යැයි ශ්‍රියාලතාට පවා සිතුණේ ඒ හැසිරීම දෙස බලා සිටියදීය. තම සොහොයුරා සමගවත් ඇගේ හිත හොඳ කමක් නොවේ. පොඩ්ඩ වැරදෙන තැන්වලදී තමාට පවා කඩා පනින්නේ පව පින ගැනවත් නොසිතමින්ය. එදත් අදත් ශ්‍රියාලතාගේ සිත තුළ වූයේ මේ දරුවන් තිදෙනා ගැන බියකි.  දුකකි. 

පසුගිය කාලයේ රාජණී ගැන මිනිසුන් කතා බහ කළේ එතරම් හොඳ දේවල් නොවේ.  ගම්වැසියෙක් උවමනාවකට හැර මෙම නිවසට පැමිණෙන්නේ කලාතුරකින්ය. එහෙත් ඉඳහිට ගේට්ටුව ළඟදී හෝ මහ පාරේදී හමුවන ගැහැණියක රාජිනීට ගම තුළ හැදී ඇති කතා ගැන ශ්‍රියාලතා හා පවසා තිබේ. ඒවා සමහරක් බොරු නොවේයැයි ඇයට පවා සිතුනේ සිය දියණියගේ හැසිරීම දෙස බලා සිටියදීය. ඉසුරි ගැන ශ්‍රියාලතාගේ සිතෙහි වන්නේ ලෙන්ගතුකමකි. ඊටත් වඩා වූ වේදනාවකි. තමාට තේරෙන යමක් ඇයටත් ඒ ආකාරයෙන්ම තේරෙන බව ශ්‍රියාලතාට විශ්වාසය. එහෙත් ඈ සියල්ල දරා ගනී. 

ගැහැණියකට ජීවිතය දිනන්නට අවැසි වන්නේ ඒ දරා ගැනීමය.

                                    *************

ඉසුරි හා කතාකොට නිවසට ගිය වේලේ පටන් බිනර උන්නේ සිත් හොඳකින් නොවේ. තමා බොහෝ ආශාවෙන් ලං කරගෙන උන් දෙයක් අහිමි වී ගියාක් බඳු වේදනාවක් ඔහුට දැනෙමින් තිබිණ. එහෙත් එවේලෙහි ඒ වේදනාව පරයා නැගී  සිටියේ ඈ ගැන සිතෙහි වූ අනුකම්පාවකි. දෙහෝරාවක් පමණ සිය කාමරයේ දොර වසා ගෙන ඇඳට වී උන් තරුණයා අවසන තීරණය කළේ ඉසුරිව තමාට නොලැබුණත් ඇය සතුටින් සිටිය යුතුය යනුවෙන්ය. 

අවසන ඔහු හංසිකා සොයා ගියේ තම සිතුවිලි නිරවුල් කර ගැනීමට තරම් උපදෙසක් ඇගෙන් ලැබේවියැයි සිතමින්ය.

“මේක මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක්…”

එසේ පැවසූ තරුණයා ඇගේ උකුල මත තිබූ ලැප්ටොප් පරිගණකය ⁣පසෙක  තබමින් ඈ අසළින්ම අසුන් ගත්තේ දිගු සුසුමක්ද මුදා හරිමින්ය. යහළුවෙකුගේ ප්‍රශ්නයක් වුවත් එය තම සොහොයුරා ඕනෑවටත් වඩා හිතට වදයක් කරගෙන ඇති බව හංසිකා තේරුම් ගත්තේ ඒ සුසුමෙන්ය.

ඉන්පසු ඔහු ඉසුරි ගැන හංසිකා හා පැවසූයේ කෙටියෙන්ය.

“ඒක සම්පූර්ණයෙන්ම ඒ ගෑණු ළමයා ගන්න ඕන තීරණයක් මල්ලි. අපිට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් එයාලගේ සල්ලි ප්‍රශ්නෙකදී එහෙම නැත්නම් ලෙඩකදී,  දුකකදී,  කරදරයකදී හැබැයි මේ වගේ ප්‍රශ්නෙකදි මේ තීරණය ගන්න කියලා එක හෙලා අපිට එයාලට කියන්න බෑ.”

“එතන ඔයා හිටියනම්.”

“දෙපාරක් හිතන්නෙ නෑ. පාරින්ද කියන කෙනා ජීවිතෙන් අයින් කරලා. මොකද මානසික සතුටක් නැති තැනක කොහෙද ආදරයක්. කොහෙද ජීවිතයක්. බෝයි ෆ්‍රෙන්ඩ්  කෙනෙකුට අයිතියක් තියෙනවා මල්ලි, අපි වැරැද්දක් කරන තැනකදි අපිව නවත්තන්න. හැබැයි හිර කූඩුවක දාලා හදන කිරිල්ලියක් වගේ ගර්ල් කෙනෙක්ව හිර කරන්න බෝයි ෆ්‍රෙන්ඩ්  කෙනෙකුට අවසරයක් නෑ. මොනව උනත් මට ඔයාට කියන්න තියෙන්නේ එයාට කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න. හැබැයි ඒ ගර්ල්ගේ තීරණවලට මොනම වෙලාවකවත් ඔයා බලපෑම් කරන්න යන්න එපා. අනිත් එක තමයි යාළුවගේ ප්‍රශ්න යාළුවා ගාව තිබුණාවේ. ඔයාට ඒ ප්‍රශ්න වලට ඉන්වෝල් වෙන්න පුළුවන් සීමාව හොඳට අවබෝධ කරගන්න.”

සොයුරිය පැවසූයේත් මින් අඩ හෝරාවකට පමණ පෙර කතා කළ මිතුරා පැවසූයේත් එකම දේය. එහෙත් මෙවේලෙහි  ඉසුරිව තනි කරන්නට තරම් සිතක් ඔහුට වූයේ නැත. 

“අනිත් එක ඕනෙම ගෑණු ළමයෙකුට හෝ වේවා, පිරිමි ළමයෙකුට හෝ වේවා  තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්න කොන්ද පණ තියෙන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය තමයි අපේ තාත්තා. මට මතකයි සීයා සමහර වෙලාවට කියනවා තාත්තා අම්මව මැරි කරන්න ගත්ත තීරණයේදී තාත්තව දරුකමින් පවා අයින් කළා කියලා. හැබැයි තාත්තා අම්මා වෙනුවෙන් එක තීරණයක හිටියා. මොකද තාත්තා විශ්වාස කරාලු අම්ම තරං වෙන කෙනෙක් තමන්ගේ ජීවිතයට ගැලපෙන්නෙ නෑ කියලා. ඒ වගේම ඔය කියන ගෑණු ළමයටත් තමන් ගැන තීරණයක් ගන්න අයිතිය තියෙනවා. ඒක ආත්මාර්ථකාමී තීරණයක් නෙමෙයි. තමන් ගැන හිතලා ගන්න තීරණයක්. මොකද වරදක් සිද්දවුණු වෙලාවක අපිව බලාගන්න අපේ දුක බෙදා ගන්න ඔය කතන්දර කියන මිනිස්සු කවුරුවත් නෑ මල්ලි.”

“මට තේරෙනවා….”

“ඔයා උනත් ඔය ප්‍රශ්නෙට ඕනවට වඩා ඉල්වෝල් වෙන්න එපා කිව්වේ මෙන්න මේ හේතුව නිසා.  එච්චර ලස්සනට අහිංසක කමට ජීවත් වෙන ගෑණු ළමයෙක් තේරුම් ගන්න බැරි ඒ කොල්ලා ඔයා ගැන වැරදියට හිතෙන එක නවත්තන්න බෑ. එතන ඒ ගෑණු ළමයට තියෙන ප්‍රශ්න වැඩි වෙන්න තවත් හේතුවක් වෙන්න පුළුවන්. මොනව කලත් පරිස්සමෙන්..මේ මං පුංචි වැඩක හිටියේ දැන් ඇති නේද.?”

හංසිකා යළිත් ලැප්ටොප් පරිගණකය තම උකුල මත තබා ගත්තේ සොහොයුරාගේ හිස කේ ද අවුල් කර දමමින්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles