(මෙතනින් පස්සෙ මේ කතාව යන්නේ දෙන්නෙක්ගෙ පැත්තෙන්. එක්කෙනෙක් තමයි මෙච්චර දවසක් කතාව කිව්ව මම, එහෙම නැත්තම් නාද්‍යා සොනාලි සල්වතුර සහ අනික් කෙනා තමයි තාරානාත් දහම් වංශනායක)
*තාරානාත් දහම් වංශනායක*
“ඒ මිනිස්සු මේ වත්තක් අස්සෙ ඉඳන් තමයි ඔය කෑම බිස්නස් එක කරන්නෙ. මිනිස්සු කොහොමත් දැනගත්තම ඕකුන් කෑම හදන්නෙ එහෙම තැනක ඉඳගෙන කියලා මිනිස්සු කෑම ගන්නෙ නෑ” කියලා ගුඩ් ෆුඩ්ස් එකේ මාකටින් මැනේජර් වෙච්ච කුසල් කියද්දිත් මම උන්නේ තාත්තව සනීප කරගන්නෙ කොහොමද කියන එක ගැන කල්පනා කරන ගමන්. සිංගප්පූරුවෙදි තාත්තව බලපු ඩොක්ටර්ස්ලා කිව්වෙ තවදුරටත් තාත්තා වෙනුවෙන් වියදම් කරන එකත් අපරාදෙ. මොකද තාත්තගෙ කකුල්වල නර්ව්ස් ඩැමේජ් වෙලා තියෙන විදියට ආයෙම තාත්තව නැගිටල වැඩක් පලක් කරගන්න පුළුවන් ලෙවල් එකකට අරගෙන එන එක හීනයක් තමයි කියලා.
ඒත් මට උන්නේ තාත්තා විතරයි. අම්මා අපිව දාලා ගියයින් පස්සෙ බිස්නස් වගේම මාවත් උස් මහත් කරගෙන, නෑයො හැමදේම කඩාවඩා ගන්න හදන තැනක තාත්ත කවදාවත් මගේ අත අතෑරියේ නෑ. එහෙම එකේ, මට පුංචි කාලෙ ඉඳලා නැගිටින්න උදව් කරපු, තාත්තා මෙහෙම වැටිලා ඉන්නවා දකිද්දි මට ඒක ඇත්තටම දරාගන්න පුළුවන් උනේ නෑ. ඒ නිසාමද මන්දා මං උන්නේ කුසල් කියන කිසිම වචනයක් අහගෙන නෙවෙයි.මොකද ඒ වෙලාවෙ මං උන්නේ “බිස්නස් වලට කෙල උනත් කමක් නෑ තාත්තව සනීප කරගන්නෝන විදියක් තමයි හිතන්නෝන” කියන මයින්ඩ් සෙට් එකක. ඒ හන්දා කුසල් මොනවද කරන්නෙ, එයා කොයි විදියටද මේ ප්‍රශ්න විසඳගන්න යන්නෙ කියන එක ගැන මම ඇත්තටම පොඩ්ඩක්වත් ෆෝකස් කරේ නෑ. ඒත් මං එහෙම නොකරපු එකේ වරද, මට එහෙම මගේ කම්පනි එකේ සම්පූර්ණ බලය මං යටතේ වැඩ කරපු මාකටින් එකේ මනුස්සයෙක්ට දුන්න එක මං කරගත්ත පුදුම වරදක්, ලොකු මෝඩකමක් කියලා තේරෙද්දිත් මං පරක්කු වෙලා වැඩි බව මම දැනගෙන උන්නා.
“බිස්නස් කියන්නෙ තරගයක් තමයි සනා. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ තව කෙනෙක්ට වට්ටලා, රිද්දලා, විනාස කරලා ඒ තරගෙ දිනන්නෝන කියන එක. තරගයක් උනත් දිනන්නෝන සාධාරණව. අසාධාරණව දිනන තරග ඒ මොහොතෙදි තාවකාලික සන්තෝසයක් අපිට අරගෙන දුන්නට කවදහරි දවසක් එනවා අපි ඒ ගැන පසුතැවෙනවා. ඒ පසුතැවිල්ල එන දවසට අපි ඉන්නේ ආය ආපස්සට ගිහිල්ලා ඒ වරද හදාගන්න පුළුවන් තැනක නොවෙන්න පුළුවන්. ඒ හන්දා එහෙම දේවල් නොවෙන්නයි අපි වැඩ කරන්නෝන.
සමහර මිනිස්සු හිතනවා දිනනවා කියන්නෙ අනිත් අයව පාගගෙන, එයාලගෙ දුර්වලකම් වලින් ප්‍රයෝජන අරගෙන, නැත්තම් එයාලට මුකුත්ම නැතිවෙනකම් කඩලා බිඳලා නැති බංගස්තාන කරන දෙයක් කියලා. ටික කාලෙකට ඒක මාර වින් එකක් කියලා හිතෙන්න පුලුවන් උනාට කාලයක් යද්දි තේරෙනවා ඒක මාරම මාර හිස්, එහෙම නැත්තම් බොල් සන්තෝසයක් කියන දේ. ඔයාට ටික දවසක් ආඩම්බර වෙන්න පුළුවන්. හයියක් තියෙනවා වගේ දැනෙන්නත් පුළුවන්. අපි කරන හැමදෙයක්ම පොඩි හරි මාක් එකක් සලකුණක් ඉතුරු කරනවනෙ. දවසක අසාධාරණ විදියට කෙනෙකුට කරපු හානිය ගැන පසුතැවීම ඔයාව හොයාගෙන එනවා එනවාමයි.
ඒක නිසයි සනා, මම හැමදාම විශ්වාස කළේ බිස්නස් කරන්න ඕන හරි විදියට කියලා. ඒක අමාරු වුණත්, ලේසි පාර ලං කරගන්න හිත ගියත් අවංකව වැඩ කරන්න. අනිත් අයට ගෞරවයෙන් සලකන්න. ඔයාගෙ සාර්ථකත්වය ගොඩනගන්න ඕන සාධාරණෙන්. මොකද ඔයා එහෙම කරනකොට, ඔයා හදන්නෙ ඇත්ත දෙයක්. ඔයාට විතරක් නෙවෙයි, ඔයා වටේ ඉන්න හැමෝටම වටින දෙයක්. මිනිස්සු ඔයාට ගරු කරයි. එයාලා ඔයාව විශ්වාස කරයි. ඒ වගේම ඒ විශ්වාසය… ඒක සල්ලිවලට වඩා වගේම මොනම තාවකාලික වින් එකකටත් වඩා ස්ට්‍රෝන්ග් කියන දේ ඔයාටම තේරේවි
සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් ඔයාට මාර ලොකු අසාධාරණයක් වෙනවා නේද කියලා. අනිත් අය කෙටි පාරවල් වලින්, වැරදි විදියට දියුණු වෙනවා පෙනෙද්දි.ඔයාටත් ඒ දේම කරන්න හිත යන්න පුළුවන්. ඒත් මම කියන දේ හොඳට අහගන්න සනා, බිස්නස්වල, ස්පෙශලි මං මේ බිල්ඩ් කරපු බිස්නස් වල බේස් එක වෙලා තියෙන්නෙ එහෙම නොකරපු එක. ඒ හන්දා මගෙ සන් විදියට සනා මේ බිස්නස් මේන්ටේන් කරන දවසක උනත් එහෙම කරන්න එපා. ඒ දිනුම්, ඒ මොහොතේ කොච්චර හොඳයි වගේ දැනුණත්, ගෙවන්න වෙන මිලක් ඒවාට තියෙනවා. ඒක සමහරවිට ඔයා මුළු ජීවිත කාලෙම අර්න් කරත් ඔයාට ඒක පියවන්න බැරිවෙන්න පුළුවන්. පසුතැවීම විතරක් ඉතිරි වෙන තැනක ඔයා ඉන්නවා දකින්න මට කිසිසේත්ම ඕන නෑ.
අසාධාරණ විදියට දිනනවට වඩා සාධාරණව පරදින එක වටිනවා. බොරු කියලා යන කෙටි පාරට වඩා ඇත්ත කතා කරලා යන දිග පාර හොඳයි. හරි පාර හැම වෙලාවෙම ලේසිම එක නෙවෙයි, ඒත් ඔයාට හිත නිදහසේ ජීවත් වෙන්න පුළුවන් එකම විදිය ඒකයි.
ඇත්ත දිනුම කියන්නෙ සල්ලි විතරක් නෙවෙයි, බලය විතරක් නෙවෙයි, සාර්ථකත්වය විතරක් නෙවෙයි. ඇත්ත දිනුම කියන්නෙ ඔයා ගත්ත තීරණ ගැන තියෙන ආඩම්බරය, අනිත් අයට සලකපු විදිය ගැන තියෙන ආඩම්බරය, සහ ඔයා හදපු ගොඩනගපු හැමදේම ඔයා තමන්ගෙම අත්වලින්, තමන්ගෙම හදවතින්, අවංකකමෙන් හැදුවා කියලා දැනෙන එක” කියලා තාත්තා ඉස්සර කියද්දි මං ඒවා අහන් උන්නා. හැබැයි ඒ කතන්දර කොච්චර ඇත්තද කියලා තේරෙද්දි වෙන මනුස්සයෙක් හන්දා මම ඒ ආඩම්බරේ, හිත නිදහස, අවංක කම උගස් කරගෙන ඉවරයි.
“උන් මේ වත්තක උයන ගෑනු තාරා. තාරා හිතන්නේ උන්ට හයියක් තියේවි කියලද අනිත් පැත්තට අපේ නෙගටිව් කැම්පේන් එකට විරුද්ධව ෆයිට් කරන්න?” කියලා කුසල් තමන් කරපු දේ ගැන මාරම ආඩම්බරෙන් වගෙ කතාකරද්දිත් මං හිත අස්සෙන් ඉවසගෙන උන්නෙ බොහොම අමාරුවෙන්. පොල් බූරුවගෙ හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න ශොට් එක දෙන්න හිතුනට තාත්තා ගෙ ගේ අස්සෙ ඉඳගෙන තාත්තා හයර් කරපු මිනිහෙක්ට, මොන වරදකට උනත් එහෙම සලකන එක වැරදියි කියලා මට මතක තිබ්බ හන්දා හොඳයට ගියා.
“කුසල්ව හයර්කරේ අපේ තාත්තා හන්දා කුසල් හිතනවද දන්නෙ නෑ කුසල් කැමති දේවල් කරන්න වගේම, කුසල් කරන ඕන දෙයක් කට වහගෙන අහගෙන ඉන්න මම ලෑස්තියි කියලා” මං මිනිහට කිව්වේ අන්න ඒ ශොට් එක අතෙන් පයෙන් දීගන්න බැරි වෙච්ච එකේ වචනෙන් හරි දෙනවා කියලා හිතාගෙන. ඇත්තටම මට ඕන උනේ මිනිහට කියන්න “කට වහගෙන” කියල නෙවි “කටයි පු&*$යි දෙකම වහගෙන” කියලා කියන්න උනාට අපි යටතෙ වැඩ කරන සේවකයෙක්ට එහෙම කරන එක හොඳ නෑ කියලා මතක් වෙච්ච හන්දා තමයි මං එහෙම නොකිව්වේ.
කුසල්ට ගෙදර යන්න උනේ අන්න ඒ හන්දා. මං ඉපදුණෙ කොළඹ හතේ උනාට, ගියේ රෝයල් එකට උනාට අපි මේ සූකිරි බබාලා වගේ හැදිච්ච කොල්ලො කියලා කවුරුහරි හිතන් ඉන්නවනම් ඒවා වානා. මං එහෙම මේ කාටවත් ඕන විදියට සරෙන්ඩර් වෙන සූකිරි බටිල්ලෙක් නම් නෙවෙයි.
මං ඔන්න ඔහොම තමයි මං ගැන හිතාගෙන ඉඳියෙ. ඒ උනාට මං කිසිසේත්ම දකින්න නොහිතුව විදියට, මගේම ගෙදර, එන්ට්‍රන්ස් එකේදි දකින්න ලැබිච්ච ඒ මාර හයියක් ගෑවිච්ච, මං දිහා කිසි බයක් නැතුව කෙළින් බලපු ඒ ඇස් දෙක ඉස්සර මගේ පිරිමිකම සරෙන්ඩර් උනා. මගේ ආත්මෙ වෙව්ලලා ගියා.
ඒ අතරෙම තමයි හිත අස්සෙන් “ටිං” ගාලා පොඩි නොටිෆිකේශන් එකක් ආවෙ.
“උඹ මේකිව මීට කළින් කොහෙදි හරි දැකලා තියෙනවා නේද තාරා?”