විශ්ව පසුදා මනුජ සොයා පැමිණියේ සින්දූපා ගේ ඉල්ලීමටය. මැදියමේ ඔහුගෙන් ආ ඇමතුම පැය දෙකක් පමණ විසන්ධි නොවූ බවත්, මනුජ තේරුමක් නොවූ කතන්දර බොහෝමයක් කියවමින් උන් බවත්, අනිවාර්යෙන්ම අධික බීමතින් උන් බවත් සින්දූපා කීවාය.
එපමණක් නොව විශ්ව විසින් පවසන ලද සියල්ලම ඒ අතරේ කියැවුම බවද සින්දූපා ඇනුම්පද ලෙසින් කීවාය. පසුව බැණ වැදුනේ තම ජීවිතය පිළිබඳ්ව එවන් බලපෑම් කිරඅ නොකල යුතු බව කියමින් ය.
” අනේ මන්දා බං.. උඹව මේ දියතලාවකට ගෙන්නගෙන මම ගෙවන පවක් …. “
විශ්ව පෙරලා ඇයටද බැණ වැදුනේය.
“මනුජ් මහත්තයා නිදිද ?.”
පාන්දර හයපසුවී විනාඩි කිහිපයක් තුළ විශ්වගේ පැමිණීම ගැන සාරතී ස්තූතිවන්ත වූවාය.
” හනේ.. මහත්තයා හොඳ වෙලාවට ආවේ… ඊයේ මට බබා ලඟ නිදාගන්න කියලා අපේ මහත්තයා උඩට ගියා… මට එකට දෙකට විතර මහ සද්දෙන් කතා කරනවා ඇහිලා මම උඩට යන්න බලද්දී එහෙන් දොර වහගෙන … මං එවෙලේ ඉඳන් උඩට යනවයි එනවයි.. මේ දැනුත් උඩට ගිහින් දොර ලඟ කෑ ගහලා ආවේ..ෆෝන් එකත් නිවිලාද කොහෙද..? .”
“පිස්ස්සෙක්…”
විශ්ව කෝපයෙන් පඩිපෙල නැග්ගේය.
” මනුජ … මනුජ ….මනුජ…. මනු… ජ…ම.. නුජ….. ඇරපං මේ දොර… නැත්නම් … කඩනවා මම…. ඇරපං යකෝ… උඹ නම් පුදුම කරුමයක් …”
එහෙත් කිසිඳු ප්‍රතිචාරයක් වූයේ නැත.
” පොරවක් හරි මොකක් හරි තියේනම් ගේන්න ආන්ටි.. මේ ලොක් එක කඩන්න..”
අවසානයේ විශ්ව දොර කඩා දැම්මේය. දියනිය ඒ හඬට බියවී නින්දෙන් ඇහැරී හඬන්නට වූ නිආ සාරතී වහ වහා පහලට බැස්සාය. විශ්ව සාලය පසුකරමින් කාමර දෙකට එබුනේය. ඉන් පසුව බැල්කනියට එබුණේය.
“අඩෝ… රත්තරනේ…”
විශ්වට සිහි වූයේ නිර්ධා ගේ හැර යෑම දැනගත් දින මනුජ කිසිවක් නොපවසා තම නිවසේ කාමරයක යහනක් මත වැටී උන් දිනයය. ඔහු කිසිවකු මුණ ගැසෙන්නට හෝ උත්සාහ නොකරම උන්නේය. සිගැරට්ටුවක් , බියරයක් බෙදාගන්නට දැරූ උත්සාහයන් අසාර්ථක විය. වතුර උගුරක් හෝ බීවේ නැත. අවසානයේ තමා බලෙන්ම සේලයින් දුන් වග සිහිවිය. දින දෙක හමාරකට පසු ඔහු එක්වරම නැගිට, තම නිවසින්ම ගත දොවාගෙන , තම ඇඳුමක්ම ඇඳගෙන නිවසින් පිටවූ අයුරු සිහි විය. මනුජ ඉන් පසු කිසිදිනෙක නිර්ධා හැර යෑමේ වේදනාවක් කිසිවෙකුට පෙන්වූයේ නැත
එසේනම් මේ සින්දූපා හැර යන්නට සිදු වීමේ වේදනාව ඔහු තුළම සඟ්වාගැනීමේ විදිය විය යුතුය. අද දිනයෙන් නැගී සිටින මනුජ හදවත මරා දමා, පෙර උන් අර්ධ යක්ශ ස්වරූපෙයෙන් පවතිනු ඇත.
විශ්ව සියල්ල පටිගත කලේය. කියනවාට වඩා පෙන්වීම පහසුය.
වමනය තැවරී තිබූ ඇඳුම් එහෙමම ඉවත් කර දැමූ විශ්ව මනුජව නාන කාමරය තුළට දැම්මේය. තමාගේ ඇඳුම්ද ගලවා දමා මිතුරා පිරිසිදු කලේය.මනුජ නින්දෙන් පියවි සිහියට වැටෙමින් උන්නේ සීතල වතුරටය.
” එපා යකෝ..සිතලයි.. යකෝ…වහපං මේක.. ..”
එහෙත් විශ්වගෙන් ඉඩක් වූයේ නැත. ඔහු උස් හඬින්ඬින් බැණ වදිමින් මනුජව පිරිසිදු කලේය. හිසේ පටන්ම තෙමා යන්නට සැලස්වූවේය.
සාරතී ලවා කෝපි කෝප දෙකක් සකසාගෙන විශ්ව උඩුමහලට පැමිණෙන විට මනුජ උන්න්නෙ බැල්කනිය අසලට එබීගෙනය.
” බල බල ඉන්න නෙවෙයි.. ඔව්වා අස් කරන්න මෙහෙ කට්ටියනෑ.. දරුවා දකින්න කලින් අස් කරපං බූරුවා…”
“උඹ මොන එකකටද උදේ පාන්දර මෙහෙ කඩාගෙන පහත් උනේ… ? මං තොට එන්න කිව්වේ නෑනේ..?”
“අනේ හිපාටුවා.. කට වහගෙන මේක බීපං මගේ යකා අවුස්සන්නේ නැතුව.. උඹලා වගේ උන් බං සාංසාරික කරුම බං… සාංසාරික.. යකෝ වෙන උන්ට තියෙන්නේ සාංසාරික ප්‍රේම .. අපිට…හ්හ්..”
“මං ඉන්නේ සිහියෙන් නෙවෙයි විශ්ව.. උඹ ආතල් දෙන්න ගිහින් මගෙන් වැරදි වචන පැන්නොත්, ආයේ හිත් රිද්දගන්න වෙන්නේ නිරපරාදේ…”
“කමක් නෑ.. අනේ කමක් නෑ.. එහෙම රිදිලා හරි මේවා ඉවර වෙනවා නම් එකක්..”
“කරුම කරුම කිය කියා රෙද්දකටද බං මගේ ගේ අස්සේ රිංගන්නේ ? උඹ මගේ ගෑණිද?”
” ගෑණිද ? … වරෙං මෙහෙට මෙන්න මේක බීපං ඉස්සෙලා උඹේ ඔය මත යන්න .. ඊට පස්සේ උඹට මං පෙන්න්නම් ගෑණිව…”
මනුජ නිහඬවම හිඳගත්තේය. කෝපි කෝපය තොල ගාන්නට පට ගත්තේය. විශ්ව මනුජට වඩා වේගයෙන් කෝපි කෝප්පය හිස් කලේය. ඉන් පසුව බැල්කනිය වෙත ඇවිද ගොස් නාසය හකුලුවාගෙන යලි මනුජ දෙස බැලුවේය.
” උඹ පලයං.. මං හෙමින් අස් කරගන්නම් ඔව්වා…”
“මට කොහොමත් වෙලාවක් නෑ… උඹ අස් කරගනින් … හැබැයි.. මීට පස්සේ කෝල් අරගෙන අසනීප ඇඳවල් වල ඉන්න මිනිස්සුන්ගේ නින්ද නැති කරන වැඩ නොකර හිටහං… “
විශ්ව යලි හිඳහත්තේය. මනුජ වහා නැගිට ගොස් ජංගම දුරකතනය සොයාගත්තේය.
” පැය දෙක තුනක් ලයින් එකේ ඉඳලානේ..ඕක ඕෆ් වෙලා ඇති.. නිවිහැනහිල්ලේ බලපං… උදේට කාලා හිටහං..”
විශ්ව නැගිට්ටේය. මනුජ ඉස්සර විය.
” සින්දූට අරගෙනද බං මම ?”
” අරගෙන ? අරගෙන විතරක් නම් කමක් නෑ යකෝ… තෝ මං තොට කීව ඔක්කොම ඒකිට වමාරලා.. ඒකි මාත් එක්ක ගේම… මගේ ලව් එකට ඒකි කාපු කටු ගැන එකින් එක කියනවා.. එකින් එක… තෝ මාව මරං කාපං මනුජ…යකෝ මේ කොහෙවත් යන මඟුලක් නිසා , මට වෙලා තියෙන්නේ කොහෙ ගියත් මම නැහෙන සීන් එකක්.. එහෙන් සින්දූපා .. මෙහෙන් උඹ.. අරහෙන් මාමලා… අපේ අම්මලාත් …යකෝ.. මාරම මඟුලක් මේක.
යකෝ… මෙච්චර හීතලේ මට වෙලා තියෙන්නේ පිච්චෙන්නනේ… මගේ ගෑණි ගේ වැඩ පැත්තකට දාලා මට උඹේ පස්සෙන් එන්න වෙලානේ බං… .”
විශ්ව නොවූ කෝපයක් මවාගෙන කීවේය. සැබැවින්ම ඔහුට මනුජ සහ සින්දූපා වෙනුවෙන් කල යුත්තේ කුමක්දැයි වැටහුනේ නැත. ඔවුන්ට වෙන්වී සිටින්නයැයි වන අනතුරු ඇඟ්වීම සිදු කර හමාරය. එහෙත්, ඔවුන් ඒ සඳහා සූදානම් නොවන බවට වන ඉඟි දෙදෙනා පසින්ම අඩු නැතිවම නැඟේ. සින්දූපා කොහොමටත් හිතුවක්කාර නිසාම, මනුජගේ උද්දච්ච හැසිරීම් ඇය ලෙහෙසියෙන් ඉවසන්නේ නැත. එහෙත්, ඇය ඔහු කෙරෙහි දක්වන මෘදුවන් හැඟීමට ඉන් බාධාවක්ද වී ඇති බවක්ද නොපෙනේ. මනුජ සිටින්නේ දෙලොවක් අතර බව විශ්ව දනී . ඔහු මත ඇති වගකීම් වල ප්රාමාණිකභාවය වැඩිය. ඔහුට අනාගතය ගැන යම් අවිනිශ්චිතතාවයන්ද ඇති බව පෙනේ. එහෙත්, සින්දූපා කෙරෙහි ඔහුද යම් මෘදු වූ සංවේදනයන් දරන බවට විශ්වට සැක නැත
“මට.. එහෙම .. මතක..නැ .නෑ.. බං…අඩො….කෝල් කරලා.. එච්චරට දේවල් කියලාද…….”
“අනේ නිකන් හිටපං කමාන්ඩර් .. මං නොදන්ම උඹ…ප්ලෑන් කරලා බෝතල් තුනක් තනියෙන් වට කරගෙන උඹ ඕකට තමා ලෑස්ති වෙලා උන්නේ.. වෙන මොකකටද ? ..සිහියෙ කියාගන්න බැරි ටික උඹ අසිහියෙන් කියලා… අන්තිමේදි මම නරක මිනිහා උනා…….”
මනුජ එය එසේ නොවන බව හඟවමින් හිඳගත්තේ හිස රිදුම් දෙමින් තිබූ නිසාය
” ඔලුව පොඩ්ඩක් මසාජ් කරපංකෝ..”
“අනේ මේ.. ආතල් ගන්න තියාගන්න එපා..”
විශ්ව කෝපයම පෙන්වූයේය.