*නාද්‍යා සොනාලි සල්වතුර*
“ඔයා ඇයි ආවේ?”
“මං ඔයාව දන්න හන්දා ආවේ”
“දන්න හන්දා?” කියලා කියද්දිත් තාර පැටියගෙ ඇස්වල මූණෙ තිබ්බෙ මහ අමුතුම ලුක් එකක්. ඒක හරියට මම එයාගෙ හොරයක් අල්ල ගත්තා වගේ ලුක් එකක්.
“ඔව්”
“මොකක් දන්න හන්දද?”
“ඔයා කියන්නෙ ප්‍රශ්නයක් ආවම පැනලා යන කෙනෙක් කියලා දන්න හන්දා” කියලා මං කිව්වම තාරානාත් ගැස්සුණා. එයා ගැස්සුනා කියලා මට කිව්වෙ එයාගෙ ඇස්.
“එදා ඔයා කිව්වට මේ බිස්නස් එක සම්පූර්ණයෙන්ම වහලා දානවා කරගන්න විදියක් නෑ කියලා මං ආවෙ ඒක එහෙම කරන්නෝන නෑ කියලා කියන්න. මට අයිඩියා එකක් තියෙනවා ඔයාගෙ බිස්නස් එක වහලා දාන්නෙ නැතුව ඉස්සරහට කරගෙන යන්න පුලුවන් විදියක් ගැන”
“මොකද්ද?”
“අපි වාඩිවෙලා කතා කරමුද?” කියලා කියද්දිත් මගෙ වචනවල වගේම එයාගෙ වචනවල තිබ්බෙ සම්පූර්න ප්‍රොෆෙශනල් ගතියක් උනාට අපේ ඇස් තිබ්බෙ හරිම අන් ප්‍රොෆෙශනල් විදියට එකිනෙකාගෙ ඇස් අස්සෙ පැටළි පැටළි. ඒක ප්‍රොෆෙශනල් නෑ වගේම මං වගේ කෙනෙක් එහෙම නොකළ යුතුයි කියලා දැනගෙන උන්නත් මේ ප්‍රොෆෙශනල් කන්වර්සේශන් එක අස්සෙ තිබිච්ච ඒ අන් ප්‍රොෆෙශනල් ෆීලින් එක මාව කාලාන්තරයකට පස්සෙ හිත අස්සෙන් සැනසුවා කියන කතාව අමතක කරන්න මට පුළුවන් උනේ නෑ.
තාර පැටියා අත දික්කරලා පුටුවක් පෙන්නුවෙත්, මම ඒකෙ වාඩි උනෙත්, “තේ දෙකක් ගේනවද?” කියලා ගේ ඇතුලෙ ඉන්න කාටහරි කිව්වෙත් එකම වෙලාවක වගේ. ඒ තප්පර ගානෙදි මම කලේ කලින් වතාවෙ හොඳට බලාගන්න බැරිවෙච්ච ඒ ගෙදර වට පිටාව බලන එක. මං වාඩිවෙලා උන්න දිග සෙටියට පිටිපස්සෙ බිත්තිය පුරා තිබ්බෙ වංශනායක පවුලෙ එක එක පින්තූර. මේ පවුලෙ එකම ළමයා තාරා පැටියා කියලා මට තේරුනේ ඒ පින්තූරවල එක එක වයස්වල උන්න තාර පැටියා ඇරෙන්න වෙන ළමයෙක් උන්නෙ නැති හන්දා. අනික් එක ඒ පින්තූරවල මම තව වෙනසක් දැක්කා. ඒ තමයි ඒ පින්තූරවල තාරා පැටියගෙ අම්මව දකින්න ලැබුණෙ නැති එක.
“අම්මා කෙනෙක් නෑ කියන්නෙ මේ යකාව අරන් හදාගෙනද?” කියන එකත් හිතුණට මොකෝ මම උන්නෙ ඒක අහන්න විදියක් නැතුව.
“ඔය ෆොටෝ වල ඉන්නෙ මම” කියන ගමන් තමයි තාරා පැටියා මට එහා පැත්තෙ තිබුණ තනි පුටුවෙ වාඩි උනේ. ඒක ඉතින් තමුං කියන්නෝන නෑ, මගෙ ඇස් පේනවා කියලා කියන්න හිතුනට මං කරේසද්ද නැතුව ඉන්න එක.
“ඔය ෆොටෝ දැක්කම ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනව. ඔයාට ඒ ප්‍රශ්නෙ ආවෙ නැද්ද?” කියලා එයා කියද්දි තාරානාත් මේ අහන්න හදන්නෙ මට ඇත්තටම හිතිච්ච දේද කියලා කිව්වෙ මගෙ හිත.
“මොකද්ද?”
“ඇයි ඔයාගෙ අම්මගෙ ෆොටෝ එකක් මෙතන නැත්තෙ කියන ප්‍රශ්නෙ” කියද්දි මිනිහා හිනා උනාට ඒ ඇස් අස්සෙ තිබ්බෙ මහ වේදනාවක්, දරුවෙක්ගෙ හිත අස්සේ කාලන්තරයක් තිස්සෙ පැලපදියම් වෙච්ච වේදනාවක් කියන එක ඒ වෙද්දි පුතෙක්ට අම්මෙක් වෙලා උන්න මට තේරුම්ගන්න එච්චර අමාරු උනේ නෑ. මං ජීවත්වෙන විදිය තේරුම්ගත්තා වගේ අහස් වැඩිය අඬන කරන දරුවෙක් නොඋනට රෑට කිරි බීලා මගෙ ලඟට තුරුල් වෙලා නිදාගනිද්දි “අනේ තාත්තත් නැති මේ දරුවට මමත් නැති උනොත් මොකද වෙන්නෙ?” කියලා මට අනන්ත හිතිලා තියෙනවා. තාරානත්ගෙ ඒ හිනාව අවුරුදු ගානක් පුරාවට මිනිහට රිදෙව්ව හැඟීමක් හංගන්න දරපු අසාර්ථක උත්සහයක් විදියටයි මම දැක්කෙ. ඒ පිටිපස්සෙ, එයාගෙ ඇස්වල, මගේ ඇස්වලට අල්ලගන්න බැරි වේදනාවක් තියෙන තියෙන විත්තිය මම දැක්කා. ඒක ළමා කාලෙම මුල් ඇදපු කවදාවත් ගැලවීමක් ලැබුණෙ නැතිව ජීවත් වෙන්න ඉගෙන ගත්තු තනිකමක්. සමහර මතක අපිට කවදාවත් අමතක කරන්න බැරි වෙන්නෙ අපි නිතර නිතර ඒ මතක ආය ආය මතක් කරගන්න හන්දා. හරියට කොච්චර නරක වැරදි තැනක පැළවුනත් ඕන කරන පෝර ටික ලැබෙද්දි ගහක් දළු දාලා පැලවෙනවා වගේ. නිතර නිතර මතක් වෙනවා කියන එකත් අපිට අමතක කරලා දාන්නෝන මතක වලට පෝර වගේ. දරුවෝ, එයාලා කොච්චර හයිය වුණත්, අපිට කවදාවත් නොඇහෙන සයිලන්ට් වේදනාවල් තමන්ගෙ හිත් අස්සෙ උස්සගෙන ඉන්නවා කියලා මට තේරුණේ ඒ වෙලාවෙ. කවදහරි දවසක අහස් උනත් “අනේ මම තාත්තා කෙනෙක් නැති දරුවෙක්නෙ” වේදනාව කිසිම සද්දයක් නැතුව දරාගෙන ඉන්න දරුවෙක් වෙයි කියන කතාව මතක් වෙද්දි මේ හැමදේම දමලා ගහලා ගෙදර ගිහින් අහස්ව තුරුලු කරගන්න මට හිතුනා.
“මගේ අම්මා නෑ නාද්‍යා. මම ඉපදිලා මාස ගානකින් තමා එයා මාව දාලා ගිහින් වෙන කෙනෙක්ව මැරි කරලා තියෙන්නෙ”
තාරානාත් මෙච්චර වෙලා අපි දෙන්නා අතරෙ තිබ්බ සයිලන්ස් එක බ්රේක් කරන්න වගේ එහෙම කිව්වට මගෙ හිත අස්සෙන් මං උන්නෙ හෝ හෝ හෝ ගගා මහ හයියෙන් ඇහෙන සද්දයක් අහගෙන.
“අම්මා දාලා ගිහින්?” කියලා තාරානාත් දිහා බලද්දි තාරානාත්ගෙ මූණ අස්සෙ මට මැවිලා පෙනුණෙ අහස්ගෙ මූණ. මමත් කවදහරි අහස්ව දාලා ගියා නම් එයාටත් මේ වගේ සිටුවේශන් එකකට ෆේස් කරන්න වෙයි නේද කියලා. මං උන්නේ ඒ හැඟීම දරාගන්න බැරුව.
“ඔව් නාද්‍යා. මට මාස පහේදි විතර”
“ඊටපස්සෙ තාත්තද ඔයාව බලාගත්තෙ?”
“ඔව්, මාව පොඩිකාලෙ ඉඳලම බලාගත්තෙ එයා. මට ඇත්තටම අම්මා කියන කෙනා මොන වගේ කෙනෙක්ද කියන එකවත් මතක තිබ්බෙ නෑ. මම උස් මහත් වෙද්දි යමක් කමක් තේරෙන තැනකට එද්දිවත් අපේ ගෙදර මගේ අම්මා කියන කෙනාගෙ පින්තූරයක්වත් අපෙ ගෙදර තිබ්බෙ නෑ. ඒ හන්දා මම මගේ අම්මා මොන වගේ ද කියන්න දන්නෙ නෑ වගේම මට කවදාවත් අම්මා කවුද කියලා දැනගන්න උවමනා උනෙත් නෑ. අනික තාත්තා කවදාවත් මට අම්මා කෙනෙක් නෑ කියන අඩුව දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මං දැන් තාත්තව සනිප කරගන්න මෙච්චර මහන්සි වෙන්නෙ ඒ මනුස්සයා මං වෙනුවෙන් එච්චර කැපකිරීම් කරපු හන්දා.”
“සිංගල් පේරන්ට්ස්ලා කියලා කිව්වම අපිට අම්මලව මතක් වෙනවා ඇත්තෙත් ඒ හන්දා නේද? තාත්තලව මතක් වෙන්නෙ හරිම අඩුවෙන් නෙ”
“ඇත්ත. ගෑනු කොහොමත් උප්පත්තියෙන්ම වගේ පුරුදුවෙලා ඉන්නවනෙ ලොකු කැපකිරීම් කරන්න නේද? පිරිමින්ට එහෙම බෑ කියලා මාත් හිතනව. මට වෙලාවකට අපේ තාත්තා ආය මැරි කරන්නෙ නැතුව මාව බලාගෙන ඉඳියෙ කොහොමද කියන එකත් හිතෙනවා. මොකද මම එතන ඉඳියනම් සමහරවිට මට එහෙම කරන්න බැරිවෙන්න තිබ්බා. මං පිරිමියෙක් උනත් ඇත්ත කියන්න එපාය. පිරිමින්ට එයාලගෙ වගකීම් වලින් අයින් වෙලා යන්න එක හරිම ලේසියි. මට හිතෙන්නෙ ඒක එයාලගෙ නේචර් එකේම කොටසක් වගේ. ජීවිතේ අමාරු වෙනකොට, ගොඩක් පිරිමි ඒකට මුහුණ දෙනවට වඩා දාලා යන්න තෝරගන්නවා. අනිත් අය වෙනුවෙන් තමන්ව හයිය කරගන්න පුළුවන් අය හරි අඩූයි.මොකද එයාලා තේරුම් ගන්නෙ නෑ ආදරේ කියන්නෙ වගකීමක් කියන එක”
“හැබැයි ඉතින් ගෑනුන්ට එහෙම නෑ. ගෑනුන්ට ඒක වෙනස් නෙ.අපිට දාලා යන්න අවස්ථාවක් නෑ. අපි මහන්සි වෙලා හිටියත්, දුකින් හිටියත්, අපි හැමදේම බලාගෙන, නැවතිලා ඉන්නෝන. අපි හයියට ඉන්නෙ අපිට ඕන නිසා නෙවෙයි, අපිට එහෙම කරන්න සිද්ධ වෙන නිසයි.
සමහර පිරිමින්ට අපේ මිනිස්සු නෝංජල් කරන්න වගේ කිව්වට “ඌ නම් ගෑනියෙක් වගේ” කියලා සමහර පිරිමින්ට ජීවිතේ සමහර තැන්වලදි ගෑනු වගේ හයිය වෙන්න වෙනවා. වගකීම් ගන්න වෙනවා. එහෙම බැලුවම ඔයා දැන් තාත්තා වෙනුවෙන් කරන දේවල් කර යුතු දේවල් තමයි”
“මං ඒ දේවල් කරන්නෙ ඒ හන්දා විතරක්ම නෙවෙයි නාද්‍යා”
“එහෙනම්?”
“මම තාත්තා කියන්නෙ මගේ ඇත්ත තාත්තට නෙවෙයි හන්දා”