*නාද්‍යා සොනාලි සල්වතුර*
“අන්තිමේ ඒ මිනිහටත් අපි හන්දා ගොඩ යන්න පුලුවන් උනා නේද?” කියලා මංජු කියද්දි කාන්ති අක්කා උන්නෙ අහස්ව ඔඩොක්කුවෙ තියාගෙන නලවන ගමන්. මම කොහොමත් තාරානාත්ලගෙ ක්ලවුඩ් කිචන් එකට වෙලා බිස්නස් එක බලන්නෝන හන්දා ගෙදරට වෙලා අහස්ව බලාගන්න රාජකාරිය පැවරුණේ කාන්ති අක්කට. ඒක ඇත්තටම පැවරුණා කිව්වට කාන්ති අක්කා තමන්ගෙ ස්වකැමැත්තෙන් පවරගත්ත රාජකාරියක් උනා. ඒ නිසාම කිසිම හිතේ බරක් නැතුව මට වැඩ කරන්න යන්න පුලුවන්කමක් තිබ්බා.
“ඒ මනුස්සයා විතරක් නෙවෙයි ඉතින් අපිටත් ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් නෙ අනේ. මොකෝ නිකන්ය අපි උයලා දෙන්න යන්නේ” කියලා මංජුගෙ කතාවට අඩු වැඩිය දැම්මෙ කාන්ති අක්කා.
“ඒ උනාට මෙතන ඉතින් ලොකුවටම එෆර්ට් එක දාන්නෙ අපි හන්දා හරි නම් ඔය බිස්නස් එකෙන් සීයට හැටක් හැත්තෑවක් වත් අපිට ලාබෙ එන්නෝන. නැද්ද නංගි මං අහන්නේ උන් කරන්නෙ මේ බඩු මුට්ටු ටික දෙන එක විතරනෙ. බඩු මුට්ටු නම් අපිට උනත් ගන්න ඇහැකිනෙ”
“මෙහෙමනෙ, අපිට බඩු මුට්ටු ගන්න පුලුවන් විත්තිය ඇත්ත. හැබැයි අපි එහෙම මේ කරගෙන ආව විදියට දවසකට පැකට් පහලව විස්ස වගේ දෙන්න ගියානම් බඩු ටික ගන්න අවුරුදු ගාණක් යන්න තිබ්බා. දැන් ඇත්තටම අපිට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්නෙ නැතුවම ඒ චාන්ස් එක ඇවිත් තියෙන එකේ මං හිතන්නෙ මේ වැඩේ අපිට වාසියි. දවසක අපිට තේරුනොත් අපිට වෙනම බිස්නස් එක ලොකුවට කරගෙන යන්න පුලුවන් කියලා වෙන් වෙන්න උනත් පුළුවන් නේ.”
“ඔව් අන්න ඒක නම් හරි මං කියන්නෙ අපි ඕකුන්ට ලොකුවට කත් අදින්න උවමනාවක් නෑ” කියලා මංජු එහෙම කියද්දි මං වගේම, නින්ද ගියපු අහස්ව ඇඳෙන් තියලා ආව කාන්ති අක්කත් මංජු දිහා බැලුවෙ ඇස් දෙක පුංචි කරගෙන.
“ඇයි එහෙම කිව්වෙ?”
“මට ඌව එච්චර දිරවන්නෙ නෑ”
“දිරවන්න මොකෝ උඹ ඌව ගිල්ලද? නෑනෙ”
“කාන්ති අක්කා දන්නෙ නෑනෙ ඌව. ඌ නිකන් අපේ නාද්‍යා නංගි දිහාවට ඕන්නැති ලුක්ස් දානවා”
“ලුක්ස් දානවා? ඉතින් පිරිමියෙක් යකෝ ලස්සන කෙල්ලෙක් දිහාවට ලුක්ස් නොදා උඹ දිහා බලන්නද?”
“එහෙම මේ ඔය කොළඹ හතේ පොරවල් එන්නෝන නෑනෙ මේ අපේ වත්තෙ ඉන්න අපේ කෙල්ලන්ට ලයින් දාන්න”
“යකෝ නාද්‍යා නංගි මේ තමන්ට වෙච්ච ප්‍රශ්නයක් හන්දා අපි එක්ක මේ වත්තෙ ලැගං උන්නට ඒ ළමයා මේ මැරෙන තුරා මේ වත්තෙ පැලවෙන්නෝනය කියලා කතාවක් නෑනෙ. කවදහරි මොකක් හරි විදියකට ඒ ළමයා ගිහින් තමන්ට සුදුසු තැනක පැළවෙන්නෝන. උඹට දිරවන්නෙ නැතුවට කමක් නෑ. දැන් උන්ට එහේ කෑම අදින වැඩවලට වාහනයක් එහෙම තියෙන හන්ද උඹ නිතර නිතර ඒ පැත්තෙ යන්න උවමනාවක් නෑ. නංගි මෝඩ කෙල්ලෙක් නෙවෙයිනෙ. එයා බලාගනීවි ලුක්ස්ද හුක්ස් ද ඕන එකක්. තමුන් මෙන්න මෙහෙට වෙලා ඉන්නවා” කියලා කාන්ති අක්කා කතාව එතනින් නතර කරාට මොකෝ මගෙ හිත නම් තිබ්බෙ මංජු කිව්ව ඒ “ඌ නිකන් අපේ නාද්‍යා නංගි දිහාවට ඕන්නැති ලුක්ස් දානවා” කියන වචන ආයෙ ආයෙ හිත අස්සෙන් රිපීට් කර කර.
මං කොච්චර තාරානාත්ගෙන් ඈත්වෙන්න හැදුවත් එයා මං ළඟට ඇවිල්ලා එක එක දේවල් කියද්දි මගේ හිත දන්නෙම නැතුව එයා දිහාට ඇදෙන්න අරගෙනයි තිබ්බේ. එයාගෙ ලස්සන කඩවසම් පෙනුම ලඟදි, කතාකරන මනුස්ස බව ලඟදි මගේ හිත දියවෙන්න බලාගෙන ඉන්න බව තේරෙද්දි “මෙහෙම ගියොත් නම් මේ කඩෙත් වහන්න තමයි වෙන්නෙ” කියලා මතක් වෙච්ච හැමවෙලාවකම මම මගේ වර්ස්ට්ම වර්ශන් එක තාරානාත් ඉස්සරහා දිග ඇරියා.
අන්තිමේ දන්නෙම නැතුව බිස්නස් පාට්නර්ස්ලා වෙච්ච අපි අතරෙ සීතල යුද්ධයක් පටන් අරගෙන තිබ්බා.
“ඔයා වැඩ කරනවා දකිද්දි මට හිතාගන්න බෑ ඔයා කොහොමද ඔච්චර පොඩි මනුස්සයෙක් වෙලා මෙච්චර වැඩ තොගයක් කරන්නෙ කියලා”
“ඇඟේ සයිස් එක අදාල නෑ ඉතින් වැඩ කරන්න. හිතේ සයිස් එක තමා ලොකුවටම වැදගත් වෙන්නෙ”
“ඒ කියන්නෙ ඔයාට එච්චර ලොකු හදවතක්ද තියෙන්නෙ?”
“ඔව් ඒක හන්දනෙ මම මේ වහන්න ගිය බිස්නස් එකක් ආය ගොඩ දාන්න බලාගෙන මෙච්චර නැහෙන්නෙ නේද?” කියලා මං කිව්වම තාරානාත් ඒ වචනවලින් ශොක් උනා කියන එක මට තේරුණේ එයාගෙ මූණ මස්පිඬු මූණකට උනත් උහුලන්නෙ නැති වේගෙකින් වැඩ කරන්න ගත්තම. මමත් උන්නෙ එහෙම දෙයක් කිව්ව එක ගැන ඒ වෙලාවෙ පසුතැවෙන ගමන් උනත් කිව්ව වචන ආය ඇතුලට දාගන්න විදියක් මම දැනන් උන්නෙ නෑ. මොකෝ ආය අතෙන් අරන් කටේ දාගන්න කියලද?’
“නාද්‍යා මෙන්න මේක හොඳට මතක තියාගන්න. මම මේ බිස්නස් එක වහලා දාන්න යන වෙලාවෙ ඔයාම ඇවිල්ලා කතා කරලා මේක ගොඩ දාන ලෙවල් එකකට අරගෙන ආව එක මට අමතක නෑ. ඒ වගේම බොහොම ස්තුති මට ඒ කරපු උදව්වට. හැබැයි ඩෝන්ට් ටේක් ඉට් ෆොර් ග්‍රාන්ටඩ්. මොකද මේ බිස්නස් එක ගොඩ දාන්න කියලා මම ඔයා ලඟට වැඳ වැටෙන්න ආවෙ නෑ. අනික් අතට අපි ඔයාගෙන් නිකන්ම වැඩ අරගන්නෙත් නෑ. ඔව් මට මේ බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න ඔයාගෙ උදව්ව ලොකුවටම සපෝට් කරා කියන එක වගේම අමතක කරන්න එපා අපි මේ ෆැසිලිටීස් ඔයාට සෙට් කරලා දුන්නෙ නැත්තම් ඔයාටත් දිගටම වත්තෙ ඉඳන් පොඩියට තමයි මේ වැඩේ කරන්න වෙන්නෙ කියන එක.
මේක අපි දෙන්නටම දෙපැත්තකින් වාසි වෙන විදියෙ වැඩක් මිසක් මම විතරක් ලාබ ලබන බිස්නස් එකක් ලෙවල් එකට දාලා මට ඔහොම කතාකරන්න එපා. අනික මම අවස්තා කීපෙකදිම නෝට් කරා ඔයාට මොකක් හරි මාත් එක්ක පර්සනල් තරහක් තියෙනවා කියන එක. මම දන්නෙ නෑ නාද්‍යා ඔයාට මොකද්ද මාත් එක්ක තියෙන පර්සනල් තරහා කියලා. හැබැයි එහෙම දෙයක් තියෙනම් අපි ඒක කතාකරලා විසඳගමු එහෙම නැතුව මේ අනිත් මිනිස්සුත් ඉන්න තැනදි මාව අන්ඩර් එස්ටිමේට් කරලා කතා කරන්න එපා. මොකද ඒක බිස්නස් පාට්නර්ස්ලා වෙච්ච අපි දෙන්නටම හොඳ නෑ වගේම ඔෆිස් එකක් ඇතුලෙ බිස්නස් පාට්නර්ස්ලගෙ අතරෙ මේ වගේ කෝල්ඩ් වෝර්ස් තියෙනවා කියලා එම්ප්ලොයිස්ලා දැනගන්න එක අපේ බිස්නස් එකට ලොකුවටම ප්‍රශ්න වෙන්න රීසන් එකක් වෙන්න පුලුවන්. අයි ස්පීක් වෙරි ඩිරෙක්ට්ලි. සෝ රෙස්ට්පෙක්ට් දැට්” කියලා තාරානත් දහම් වංශනායක ඇත්තටම තමන්ගෙ අඩි හයකට වඩා උස ශරීරෙ මං දිහාවට හරවගෙන හරිම සීරියස් විදියට කියද්දි මම ඇත්තටම උන්නෙ මම එයාට දෙන්නෝන උත්තරේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. මම කිව්ව දේ වැරදි බව දන්නවා උනත් මට පුලුවන්කමක් තිබ්බෙ නෑ “සොරි” කියලා කියන්න. මොකද අම්මා කෙනෙක් විදියට කොච්චර වෙනස් වෙලා උන්නත්, තාරානාත් ඉස්සරහදි ඒ අම්මා කම පොඩ්ඩක් යට ගිහින් උඩට එන නාද්‍යා සොනාලි සල්වතුර කියන ලොකුම ලොකු ඊගෝ එකක් තියෙන කෙල්ල තමන්ව එච්චර පල්ලෙහට දාගෙන මේ පිරිමියෙක් ඉස්සරහා සෙකන්ඩ් වෙන්න අකමැති වෙච්ච එක.
මං ඇත්තටම හිතන් හිටියෙ එහෙම. මම තාරානාත්ට මෙහෙම සලකන්නෙ මං එයා ඉස්සරහ සෙකන්ඩ් වෙන්න තියෙන අකමැත්තට එහෙම නැත්තම් ගයාන් හන්දා මුලු පිරිමි සංහතිය දිහාවම නෙගටිව් මයින්ඩ් සෙට් එකකින් බලපු එක කියලා.
ඒත් මම වැරදි බවත්, තාරානත් කිව්ව විදියට මට එයා එක්ක තිබිච්ච පර්සනල් ඇරියර්ස් එක වෙන මුකුත් නෙවෙයි එයා ඉස්සරහදි මගේ හිත ඉර එළිය දැක්ක, හිමෙන් වැහිච්ච රෝස මලක් වගේ ඒ හිම දියකරලා පිපෙන්න හදනවා වගේ කියන එක මට තේරුම් ගියෙත් හිමින්.
මං ඒ හැඟීමට බය උනා. මගේ හිත තාරානාත් ළඟදි වෙනස් වෙන්න පටන් ගන්න එකට බය උනා. එයාට ඒක තේරේවි කියන එකට මම බය වුනා.
ඒත් මං ඔක්කොටම වඩා බය උනේ ඒකට නෙවෙයි. තාරානාත් ඊලඟට කිව්ව වචන පේළියට.
ඒ කියන්නෙ එයා මෙච්චර දවසක් මාව දැනගෙන ඉඳලද තියෙන්නෙ?