*තාරානාත් දහම් වංශනායක*
“මං හිතුවෙ ඔයා ආවේ නැත්තෙ මං ඊයෙ කිව්ව දේට හන්දා කියලා. අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි නාද්‍යා. මං එහෙම කතා කරපු එක වැරදි. මං හොඳටම බය වුණා ඔයා ෆෝන් එකට ආන්ස්වර් කරන්නෙත් නැති උනාම. මං ඇත්තටම හිතුවෙ ඔයා මොකක් හරි මෝඩ වැඩක් කරගෙන කියලා. මං ඒකමයි මෙහෙම ආවේ” කියලා මං කියද්දි නාද්‍යා හිනා උනේ හරියට “මං මෝඩයි තමයි හැබැයි තමුන් වගේ කෙනෙක් වෙනුවෙන් මෝඩ වැඩ කරන්න තරම් නම් මං මෝඩ නෑ” කියන්න වගේ.
මං හිටියෙ ඇත්තටම ශොක් වෙලා. හේතු කීපයක් උඩ. කිස් බාර් එකේදි දැකපු දිළිසෙන කෙල්ල ජීවත්වෙන්න මේ වගේ වත්තක කියන එක මට ඇත්තටම හිතාගන්න බැරිඋනා. අන්න ඒ වෙලා තමයි මං තේරුම්ගත්තෙ සමහර වෙලාවට ඒ ළමයට එහෙම තැනක ඒ වගේ රස්සාවකට එන්න හේතුවෙන්න ඇත්තෙ මේ දුප්පත්කම වෙන්නැති කියලා. එයාගේ අම්මා කියලා මං හිතපු ලේඩිත් එච්චර වයස පාටක් තිබ්බ ගෑනු කෙනෙක් නොවිච්ච හන්දත්, ඒ ගෙදර වෙන පිරිමියෙක් ඉන්නවාය කියන කිසිම මාක් එකක් පෙනුණෙ නැති හන්දත් “නාද්‍යා කියන්නෙ බාගදා තාත්තා නැති දරුවෙක් වෙන්නැති. අම්මා තරුණ කාලෙ වෙන්නැති නාද්‍යාව හම්බෙන්න ඇත්තෙ. සල්ලි ප්‍රශ්න නිසා වෙන්නැති අම්මා නාද්‍යාව එහෙම තැනකට රස්සාවට එව්වෙ. පස්සෙ ඒ මෝඩකම තේරිලා වෙන්නැති දැන් මේ උයන බිස්නස් එක කරන්නෙ” කියලා.
ඒ උනාට මං වැරදි බව මට තේරුණේ ඉන්පස්සෙ.
“නාද්‍යා සොනාලි සල්වතුර ඉන්නෙ මෙහෙද?” කියලා මම ඇහුවම ගේ ඉස්සරහ පඩිය උඩ වාඩිවෙලා හාල් වගයක් ගර ගර උන්න ඒ ලේඩි මං දිහා ඇස් චූටි කරලා බැලුවා.
“මේ තාරානත් මහත්තයද?” කියලා එයා අහද්දි නාද්‍යා අම්මට මං ගැන කියලා තියෙන විත්තිය මට තේරුණා. මොනවද දන්නෙ නෑ එයා අම්මට මං ගැන කිව්වෙ කියලා හිතන ගමන්මයි මං ඔව් කියන්න ඔලුව වැනුවෙ.
“පොඩ්ඩක් ඉන්න මහත්තයා” කියලා ගේ අස්සට ගියපු ඒ මනුස්සයා නාද්‍යාට කතාකරනවා මට ඇහුණා.
“නංගියෙ අර මහත්තයා ඇවිත්” කියලා එයා නාද්‍යාට කතාකරද්දි මේ මං අම්මා කියලා වරදවා වටහාගත්තට නාද්‍යාගෙ අක්කා වෙන්න පුළුවන් විත්තිය තේරුණේ ඒ වෙලාවෙ. අම්ම කීයටවත් තමන්ගෙ දරුවට නංගි කියන්නෙ නෑනෙ ඉතින්. මං ඔන්න ඕවා හිත හිත ඉද්දි තමයි නාද්‍යා ගේ ඇතුලෙ ඉඳලා එළියට ආවේ. එයා ඉන්නෙ මේ ගෙදර කියලා තේරුණත් මෙතනට එයාගෙ ලොකු නොගැලපීමක් තියෙනවා කියන එක, එයා නිකන් හරිම වටින මල් පැලයක් ගෙනත් නොවටිනා තැනක පැළ කරලා තියෙනවා වගේ කියන එක මට ලාවට වගේ හිතුනට මම ඒව වචන කරන්න ගියේ නෑ.
“නෑ මට තරහා ගියේ නෑ. වෙනස් මිනිස්සු එක්කහු වෙලා වැඩ කරද්දි මුලින් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍යයිනෙ ඉතින්. කාලෙ එක්ක ඒක හරි යාවි. අනික ඉතින් එහෙම දේකට මෝඩ වැඩක් කරගන්න මට බෑනෙ. මං එහෙම දෙයක් කරගත්තොත් මගෙ දරුවට මොකද වෙන්නේ?” කියලා නාද්‍යා කිව්ව ඒ වචන ඇවිත් මගෙ ඔලුව ඇතුලෙ හැප්පුනේ හරියට අකුණක් ගැහුවා වගේ.
“දරුවා?” කියලා මං අහද්දි නාද්‍යා එක එල්ලේම මං දිහා බලාගෙන උන්නා. මට දැනුනෙ මං වැරදි වෙලාවක වැරදි ප්‍රශ්නයක් වැරදි කෙනෙක්ගෙන් ඇහුවා කියලා. නාද්‍යා මං දිහාව බලාගෙන හිටියෙත් අන්න ඒ වගේ.
“ඔව් බබා අසනීප උනා ඊයේ රෑ කිරි හිරවෙලා. ඒකයි වැඩට එන්න බැරිඋනේ මම. කලබලේට බබාව ඩොක්ටර් ලඟට උස්සගෙන යද්දි මට ෆෝන් එක අරගෙන යන්න අමතක වෙලා ඒකයි කෝල් කරාම මට ආන්ස්වර් කරන්න උනේ නැත්තෙ. දැන් තමයි පුතා චුට්ටක් නිදාගත්තෙ” කියලා නාද්‍යා කියද්දිත් මං උන්නෙ හොඳටම ශොක් වෙලා. නාද්‍යාට පුතෙක් ඉන්නවා? එයා අම්මා කෙනෙක්? කියන කතාව මගෙ හිත හීනියට රිද්දුවා. ඒ ඇයි කියන ප්‍රශ්නෙට වඩා මට උත්තර හොයාගන්න ඕන උනේ නාද්‍යා මෙච්චර පොඩි වයසකදි අම්මා කෙනෙක් වෙන්න තීරණය කරේ ඇයි කියන එක.
“මම දැනගෙන ඉඳියෙ නෑ නාද්‍යා මැරීඩ් කියලා. ඊටත් වඩා මට හිතාගන්න බැරි උනා ඔයාට බබෙක් ඉන්නවා කිව්වම. ඔයා සෑහෙන යන්ග් නෙ. ඒකයි”
“නෑ ඒකට කමක් නෑ ගොඩක් අය විශ්වාස කරන්නෙ නෑ තමයි මට බබෙක් ඉන්නවා කිව්වම. හරිනම් ඉතින් මේ වයසෙදි මට බබෙක් ඉන්නෝන නෑ තමා. ඒ උනාට ඉතින් අපිට ඕන විදියට නෙවෙයිනෙ දේවල් සිද්ද වෙන්නෙ”
“ඔයා මැරි කරන්න ඇත්තෙ ගොඩක් තරුණ වයසෙදි වෙන්නැති නේද?”
“ඇයි එහෙම දෙයක් ඇහුවෙ?”
“නෑ ඉතින් මෙච්චර පොඩි වයසෙදි බබෙක් ඉන්න නිසා මං හිතුවෙ එහෙම”
“බබෙක් ඉන්න මැරි කරන්නම ඕන නෑනෙ නේද?” කියලා නාද්‍යා ඇහුවෙ හරිම සැහැල්ලුවෙන් උනාට ඒ කතාව පිටිපස්සෙ හැංගිලා තිබ්බෙ මහ අමුතු කතාවක් කියන එක, ඒ වචන පිටිපස්සෙ හැංගිලා තිබ්බ තමන් ගැනම ඇතිවෙච්ච ආත්මානුකම්පාව මට ඇත්තටම තේරුණා. ඒත් කොහොමද මං එයාගෙන් ඒක අහන්නෙ? අන්න ඒ හන්දා තමයි මම සද්ද නැතුව උන්නේ.
නාද්‍යා කියන විදියට එයාට මෙහෙම බබෙක් හම්බුනේ මැරි කරන්නෙ නැතුව නම් එහෙම දෙයක් උනේ එයාව කවුරුහරි රේප් කරපු හන්දද? එහෙම නැත්තම් එයා විශ්වාස කරපු කවුරුහරි හන්දද? එහෙම නැත්තම් ක්ලබ් එකේදි එයා කරපු රස්සාව අනුව එයාට වෙච්ච මොකක් හරි මිස්ටේක් එකක්ද? දැන් කෝ ඒ දරුවගෙ තාත්තා? එයා ක්ලබ් එකේ රස්සාවෙන් අස් උනේ බබාව බලාගන්න ඕන හන්දද වගේ ප්‍රශ්න ගානක් ඔලුව අස්සෙ තිබ්බත් මට ඒ එකක්වත් නාද්‍යාගෙන් අහන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. ඒ වෙලාවෙම වගේ තමයි නාද්‍යාගෙ අක්කා මට තේකක් අරගෙන ආවේ.
“දරුවට කිරි හිරවෙච්ච එකෙන් තමා මහත්තය නංගිට වැඩට එන්න පූළුවන් උනේ නැත්තෙ. ඒත් මං ඉස්පිරිතාලෙදිත් කිව්වා මහත්තයට කෝල් එකක් දීලා කියන්න කියලා පස්සෙන්දා එන්න වෙන එකක් නෑ කියලා. කෝ නංගි කලබලේට පෝන් එක ගෙදර දාලා ගිහින්නේ” කියලා දොරට හේත්තුවෙලා ඒ මනුස්සයා කියද්දි මං කරේ ආපිට හැරිලා හිනාවෙලා තේක බීපු එක.
“ඔව් මට නාද්‍යා කිව්වා. අක්කලා මේ ගෙදරද ඉස්සර ඉඳලම පදිංචිය?”
“ඔව් මහත්තයා. අපේ අම්මලගෙ මහගෙවල්නෙ මේවා. මල්ලි බැඳලා රට ගියයින් පස්සෙ මං තමා ඉතින් මෙහෙ ඉන්නෙ”
“අක්කා බැඳලා නැද්ද එතකොට?”
“අනේ නෑ මහත්තයා. මගෙ එහෙම උනන්දුවක් තිබ්බෙ නෑ ඕවට” කියලා හිනාවෙලා කිව්වයින් පස්සෙ මට ඇත්තටම තව අහන්න දෙයක් තිබ්බේ නෑ. දැන් මම මෙතනින් යන්නෝන කියන එක දැනගෙන උන්නට යන්න බැරි මොකක් හරි හේතුවක් එතනටම කරලා මාව ඇඳලා බැඳලා තියාගන්නවය කියන එක මට තේරුණේ.
ඒ වෙලාවෙම තමයි නාද්‍යාගෙ බබා ඇහැරිලා අඬන්න ගත්තෙ. මං නතර වුනේ අන්න ඒ සද්දෙට.
නාද්‍යා ගේ ඇතුළට දුවගෙන ගියේත්, මම හිස් තේ කෝප්පේ නාද්‍යගෙ අක්කගෙ අතෙන් තිබ්බෙත්, බබාව වඩාගත්ත නාද්‍යා ගේ ඇතුළෙ ඉඳලා එළියට ආවෙත් එකම වගේ වෙලාවක. ඕන් නම් පොඩි තප්පර කීපෙක වෙනසක් තියෙන්න ඇති.
අඬලා අඬලා කඳුලු වක්කරලා රතු පාට වෙච්ච කම්මුල් වගේම ඉදිමිච්ච ඇස් එක්ක, නිදිමත පෙරාගෙන උන්න ඒ පොඩි එකාව මට මතක් කරලා දුන්නේ මගෙ පොඩි කාලේ. අම්මා කෙනෙක් නැතුව තනියෙන් සෙල්ලම් කරන්න වෙච්ච, බෙදලා දීපු කෑම එක කැමතිනම් කන්න වෙච්ච, එහෙමත් නැත්තම් බිස්නස් වැඩ වලට යන්න ලෑස්තිවෙන ගමන් එහෙට මෙහෙට දුව දුව තාත්තා බත් කවන්න මහන්සි වෙච්ච මගේම පොඩි කාලේ මට ආයෙ මතක් උනා.
එකට යා වෙච්ච ඇහි බැම තිබිච්ච ඒ පොඩි කොල්ලා ලොකු වෙද්දි නපුරෙක් වෙයිද කියලා හිතෙනවත් එක්කම මට ලාවට හිනා ගියා. ඒ හිනාවට නාද්‍යා මං දිහා බලද්දි මං දික්කරපු අත් දෙකට පැනපු කොල්ලාගෙ මොළකැටි අත් මගේ රැවුල් ගස් පිරිච්ච කම්මුලේ සිනිදුවට තැවරෙද්දි මගෙ ඇස් කඳුළු වලින් පෙඟුනා.
“මට අම්මෙක් උන්නේ නෑ. ඔයාට තාත්තෙක් නෑ. අපි දෙන්නම එක වගේ නේද?” කියලා මං හිතෙන් කිව්ව වචන ඇහුනා වගේ මෙච්චර වෙලා අඬපු ඒ පොඩ්ඩා අඬන එක නතර කරා.
අපි බැඳුණෙ අන්න ඒ විදියට.
කොටින්ම නාද්‍යාටවත් කඩලා බිඳලා දාන්න බැරි විදියට.