දෑත දරා – 56

විශ්වගේ අසනීපය දැනගත් වහාම   සින්දූපා ගේ පියා ඔහුව කොළඹ ගෙන්වාගැනීම සඳහා සියලු කටයුතු සූදානම් කලද, විශ්ව එයට එකඟ නොවීම නිසා, සතියකට පමණ පසු විශ්ව මනුජගේ නිවසට රැගෙන ගියේ මනුජගේ තනි කැමැත්තටය. විශ්වගේ බිරිඳට එවෙලෙහි මනුජගෙන් ලැබෙන සහය වෙනුවෙන් ස්තූතිවන්ත වීම් හැරෙන්නට , විරුද්ධ වීමක් කරන්නට තරම් සවියක් වූයේ නැත. . විශ්වගේ බිරිඳට එවෙලෙහි මනුජගෙන් ලැබෙන සහය වෙනුවෙන් ස්තූතිවන්ත වීම් හැරෙන්නට , විරුද්ධද් වීමක් කරන්නට තරම් සවියක් වූයේ නැත.

” ඌගේ මහ කම …”

සින්දූපාගේ පියා විශ්වට බැණ වැදුනේය. එහෙත් හිත යටින් ඔහුව පෙලා දමන හැඟීමක්ද විය.

” කොල්ලාට ඇටෑක් එක ආවේ මම නිසාද හිතෙනවා…”

ඔහු අවසානයේ සින්දූපා ගේ මව සමඟ කීවේය. ඇය කලේ කිසිත් නොපවසා සිටීමය. සින්දූපා  නිවෙසට කැටුව ආවේ භෞත චිකිත්සක  ප්‍රතිකාර නිවසේ සිට කල හැකි බව සින්දූපා ම පවසන්නට ගත් නිසාය.

” පුතේ.. ඔයා විශ්ව අය්යට කතා කලාද ?”

සින්දූපා ගේ පියා කාමරයට එබුණේය.

” නෑ තාත්තේ … මං කතා කලා .. අය්යා ගන්නේ නෑ… අක්කා කතා කරා…”

“දැන් මොකක්ද තත්වේ ?…”

“ගෙදරලු තාත්තේ… දැන් ස්ටේබල් ලූ.. ඒත් අය්යට මාස දෙකක් ලීව් ඇපෘව් වෙලා….. මාසයක් විතර ඉඳලා යාවි …”

“කතා කරලා බලන්න…”

සින්දූපා පියාගේ පසුතැවීම හැඳින්නාය. මනුජගේ පසුතැවීම සහ වේදනාවම පියා කෙරෙන්ද පෙනෙද්දී, සින්දූපා තමා නිසාවෙන් ඇවිලී ඇති ගිනි දැල් මැද අතරමං වූවාය. එහෙත්, මේ ගිණි ද  ඇවිලිය යුතුය සිතුවාය. ඒවා  නිවෙන යම් පිළිවෙලක් දෛවයේම ලියවී ඇතැයි සිතුවාය.

” තාත්තේ… ඔයා ඒක හිතන්න එපා…. විශ්ව අය්යා කොහොමටත් ස්ට්‍රෙස් එකේ හිටියේ.. එයාගේ වර්ක් ලෝඩ් එකයි, අක්කගේ අවුලයි ඔක්කොම ඔලුවේ තිබුණනේ… ටික ටික එව්වා විසඳගන්න ගමන් නේ හිටියේ…..”

සින්දූපා ගේ පියා හිස සැලුවේය.

” ඔයාගේ ඩොකියුමන්ට් සබ්මිට් කරගන්න වැඩ වලට ගිහින් එන්න වෙයි… අර ළමයා  ආයේ කතා කලේ නැද්ද?. “

” මොන ළමයාද ?”

“රාජ් අංකල්ගේ පුතා ..”

“කතා කරනවා තාත්තේ… “

“ඒ ළමයා කිව්වා අනිද්දාට  දියතලාවේ යනවා කට්ටිය කියලා…. ඔයාවත් එක්ක  යන්නද   ඇහුවා…. “

” මගෙන් ඇහුවා… “

” ගිහින් එන්න… යාලුවෝ නේ යනවා කිව්වේ ඒ ළමයාගේ ….කකුල ප්‍රශ්නයක් නෑ කිව්වනේ  ඩොක්ටර්  දැන්..විශ්ව වත් බලලම එන්න … මම ඒ ළමයට කිව්වා…වෙන්න ඕනි දෙයක් තියේනම් අහලා බලලා එන්න ආයේ…….”

සින්දූපා හිස  සැලුවාය. දෛවය තුළ ලියවී ඇති ඇතැම් දෑ, උත්සාහයෙන් වත් වෙනස් කල දේ නොවේයැයි ඕ සිතුවාය. ඇතැම් මිනිසුන් විශ්වාස කල නොහැකි තරමේ ආශ්චර්‍යයන් රැගෙන ජීවිතයට එන්නේය.  සින්දූපා මනුජට ඇමතුමක් ගෙන විශ්වගේ තත්වය විමසුවාය.

මනුජ සින්දූපා සමඟ ඇමතුම අවසන් කරේ සාරතී ගේ හඬටය. කිසිවෙකු පැමිණ ඇති බව පවසමින් සාරතී මනුජ අමතනා අතරේ, දියණියද සන්තෝස හඬකින් කෑ ගසනු ඇසුණි. මනුජ අඩියට දෙකට සාලයට දිව ගියේය.

” අප්පච්චී .. නැන්දා ආවා… අප්පච්චී …නැන්දා ආවා….”

දියණියගේ සන්තෝස හඬ මනුජ පැහැදිළි ව හැඳින්නේත්, නැගණිය මනුර්‍යාගේ රුව දුටුවේත් එකම මොහොතේය. නැගණිය මෙහි එන බවට වන තර්ජනාත්මක කෙටි පණිවිඩයේ වූ අවදානම පරයා යන උද්දාමයකින් මනුජ වහා ඇයව සහ දියණියව වැලඳගත්තේය.  මනුර්‍යා හැඬුවාය. අය්යා කෙතරම් මඟ හැරී ඇතිදැයි දැනෙන්නට ගත්තේ ඔහුගේ උණුසුම හරිහැටි දැනෙද්දීය. අය්යා තනි කර තම සිහින පසුපස හඹා යෑමේ පසුතැවීම ඇයට වඩ වඩා දැනෙන්නට ගත්තේය.

” අය්යා…”

“කා එක්කද ආවේ ඕයි.? මේ මහ රෑ ???….”

“තනියෙන්  ආවෙ ඉතින්…”

ඇය දියණියව ඉම්බාය. අය්යාගේ ගෙල වටා තිබූ අත ලෙහා ඔහුවද ඇදගෙනම අසුනකට වැටුනේය. විශ්ව සහ බිරිඳද සාලයට පැමිණ උන්නේ හඬටය.

” මේං… මේගොල්ලෝ ඔක්කොම මෙහෙ සාද ?

මනුර්‍යා දියණියව යලි යලි ඉඹින අතරේ කීවාය.දියණිය වැඩී ඇත. ඕ අවසන දුටුවේ වසර දෙකකටත් එපිටය.

” අවසාන සාදය තව පොඩ්ඩෙන්…”
.
විශ්වට කුමක් සිදුවීදැයි දැනගත්, මනුර්‍යා ඔහු වෙනුවට මනුජට බැණ වැදුනේය.

” තමන් ගැන කිසි පරෙස්සමක් නෑ.. සිගරට් එකයි , බෝතලෙයි .. මාරුවෙන් මාරුවට…. පේනවානේ ඉතින්….”

ඕ  බැණ වැදුනාය. මනුජ සහ විශ්ව දෙදෙනා එකිනෙකාට ඉඟි කරගනිමින් සිනාසෙද්දී, විශ්වගේ බිරිඳද මනුර්‍යාට එක් වූවාය. සාරතී නැන්දාද විටින් විට මනුජට එරෙහිව සාක්කි සැපයුවාය.

“හරි හරි.. ඕක පස්සේ… මට කියනවා…. කෝ  තමුසේගේ මිනිහා…”

“එයා එහෙ අය්යේ…  ඊළඟ සතියේ එන්න වෙන්නේ …”

“දැන් අම්මලා දන්නවාද තමුසේ ආව බව ?…”

“ම්හ්හ්..  මම මේ එමින් ගමන් ඉතින් …..”

“එයාර්පෝර්ට් ඉඳන්ම ?”

“ඔව්.. එහෙම අවුලක් නෑ ඉතින්.. මම ඌබර් එකක් දාගත්තා..”

මනුජ එවර නැගනියට බැණ වැදීම ඇරඹුවේය. එංගලන්තය සහ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ වෙනස්කම් ගැන , සිදුවීම් ගැන නොදන්නා සේ හැසිරෙන්නේ ඇයිදැයි විමසුවේය. මනුර්‍යාට සිදුවූයේ අසා සිටින්නටය. එහෙත් සැබවින්ම සිදු වූයේ එය බව නොකියා , නියමිත මොහොත තෙක් සිටින්නට ඉටා ගත්තාය.

රාත්‍රී ආහාර වේල සතුටු සාගරයක් සමඟ විය

” අම්මට කියන්නෙපා අය්යේ … අපි එකටම යමු එහෙ.. ඔයා නිවාඩු දාන්න …”

මනුජ හිස සැලුවේය.

” මේ හදිසියේ දෙන්නාම මෙහෙ ආවේ ඇයි ?…”

” ඇයි කියලා ඔයා දන්නවානේ…?”

” මනුර්‍යා මේ … කුණුහරුප කියන්න තියාගන්නෙපා… දරුවා ඉන්නේ මගේ ළඟ…එච්චරයි…. මං කොහොම මොක කලත්, තවදුරටත් මට දරුවාව මඟ ඇරෙන්නේ නෑ…. එච්චරයි… “

“අපි දෙන්නා ආවේ තීරණයක් අරන් අය්යා … මම අම්මලා එක්කත් කතා කරලා , ඒ ආව වැඩේ ඉවරයක් කරගෙනමයු යන්නේ…”

“අනේ මේ… ගිහින් නිදාගන්නවා ඕයි… තමුසේ මතක තියාගන්නවා…. තමුසේ නංගී…. මම අය්යා… ඒක වෙනස් වෙන්නේ නෑ… තමුසේ රට ගිහික්ලා එහේ තාලෙට ජීවත් උනා කියලා… අනෙක…, මගේ දරුවා… අප්පච්චී කියන්නේ මට … පිට මිනිහෙක් ළඟ හැදෙන්න දෙන්නේ නෑ මගේ දරුවට…”

“ඔයා පිට මිනිහා කීවේ කාටද අය්යේ ?? “

මනුර්‍යා සිත රිදුණු ස්වරයට කෝපයද එක්කලාය.

” අනේ නංගී මේ….  තමුසේට ඌ හොඳ ඇති… ඒත්, මටවත්, මගේ දරුවාටවත් නෙවෙයි ….ඒ හින්දා අවුරුදු ගානකින් ආව වෙලේ, හිත් රිදවගන්නේ නැතුව ඉමූ….”

” ආහ් .. එහෙමද අය්යේ … මට විතරද හොඳ…? එතකොට ඔයාට එයාව හොඳ නෑද ? කොන්දේසි  නැතුව, නරකක් , නපුරක් නොවෙන්න… ඔයාගේ නංගිව බලා කියාගන්න  මිනිහා ඔයාට පිට එකෙක්ද අය්යෙ ?? ඔයාව හරිහැටි දකින්නේ නැතුව, ඔයා මගේ අය්යා නිසා එයගේ අය්යා කරගෙන…, ඔයාගේ දරුවට හොඳම මාමා වෙලා ඉන්න එයා… ඔයාට නරකද ..? චික්  අය්යේ… චික්…..”

මනුර්‍යා හඬාගෙන කාමරය තුළට දිව්වාය. මනුජ ඇය නවතන්නට උත්සාහ කලේ නැත. නැගණිය කෙලෙසින් පැවසූවද , ඔහු සැබැවින්ම කවුරුන්දැයි මනුජට විශ්වාසයක් නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles