හසරැලි වැස්සේ -4

“කෙනෙක්ට ආදරේ කරනවා නම් ඇයි මම්මේ එයා කියන විදියට ඉන්න කෙල්ලන්ට බැරි?”

මා එදින රාත්‍රියේ මම්මාගෙන් ඇසුවේ පෝටිකෝවට වී අහස දෙස බලා හිඳිනා අතර ය.මම්මා සිහින් සිනාවක් නැඟූ බව මට ලා අඳුර මැද ඇසිණ.

“කෙනෙක් කියන විදියට ඉන්න එකද ආදරේ?”

ඇය අසන්නී ය.එක අතකට තමන්ගේම කියා සැමියෙකු හෝ දරුවන් නොමැති ඈ අත ආදරයට හරි නිර්වචනයක් තිබිය හැකිදැයි මම සිතීමි.නමුත් ඈ ආදරය නොකරන්නට ඇත්දැයි මට සහතික විය හැකිදැයි අනතුරුව මම කල්පනා කළෙමි.

“තව මනුස්සයෙක්ට යටත් වෙලා ආදරේ කරන්නත් බෑ කසාදයක් ගෙනියන්නත් බෑ..තේරුණා ද?”

මම්මාගේ කටහඬ අසා පියවි ලෝකයට ආ මම මට ඇති ඕපාදූපය ඇය හා හෙළි කළෙමි.කොහොමටත් මගේ හොඳම ඕපාදුප සගයා වන්නේ මම්මා ය.

“දෙනෙත් අයියගෙ ගෑනු ළමය එයා එක්ක තරහ වෙලා..”

මම්මාගේ සිනාව එවර නම් උස් හඬින් ඇසිණ.

“හිනා වෙන්නේ?තරහ වෙලා කියන්නෙ මම්මේ ඒ අක්කි එයාව දාලා ගිහින්.”

මම්මා මගේ කෙහෙ රැලි අතරින් ඇඟිලි තුඩු යවමින් මඳ වෙලාවක් ගෙවා දැම්මා ය.අනතුරුව මහත් ආදරය සහ බැරැරූම් බව පිරි කටහඬකින් මා ඇමතුවා ය.

“දැන් ඉතින් ඔයාටත් ඔය මාතෘකා අලුත් වෙන් නෑනෙ සූකිරි.ඒකමයි මං මේ කියන්නේ.තමන්ට කොල්ලෙක්ව ගැළපෙන් නැත්නම් මිනිහා වෙන්න කලින් ඒ කොල්ලව අතාරින්න ඕන.ජීවිතේ අපිට රතු කොඩි කියලා ජාති පේනවා පුතේ..ඒවා නොදැක්කා වගේ හැසිරෙන්න ගියාම එතැනින් එහා ජීවිතේ අමාරුයි..”

දෙනෙත් අයියාගේ ගැහැනු ළමයා දුටු රතු කොඩියක් නොවේ.ඈ වරලසෙහි පාට තවරා ගැනීම ගැන ඔහු කිපී තිබේ.නමුත් එවැනි විලාසිතාවක් කරන්නට පෙර ඇය ඔහුගෙන් විමසිය යුතු නොවේදැයි මම තර්ක කළෙමි.

“මොකටද? ඒ කොණ්ඩෙ ඒ ළමයගෙනෙ.කලර් කරන්න ඇත්තේ ඒ ළමයගෙ සල්ලිවලින්නෙ.ඔන්න ඔය පාට කැතයි වෙන පාටක් ගාන්න තිබ්බෙ වගේ එකක් නම් ළඟින්ම ඉන්න මනුස්සයගෙන් කියවුණාට කමක් නෑ..ඒ නැතුව ඔව්වට වැට බඳින්න ඕනයැ..”

මම්මා එසේ කීව ද ඒ ගැහැනු ළමයා එසේ කිරීම වරදක් බව දිගින් දිගටම මම සිතන්නට ගතිමි.ආදරය කරන යෞවනයාව අවැසි ලෙස ජීවත් වීම මහ කජ්ජකැයි මට නොසිතේ.

“ඔහොම මෝඩ විදියට හිතුවටනම් කමක් නෑමයි කියමුකො…ඒ වුණාට මට බය මෙයා දෙනෙත්ගෙ දුක අහන්න යයිද කියලා..”

අපි තිදෙනාට කතාබහ කරන්නට තැනූ “වට්ස්ඇප් ගෘප් චැට්”එකට මා ඕපාදූපය ලියා යැවූ පසු යෙත්මි එසේ ලියා එවා තිබුණා ය.

“හසරැලිට කඳුලැලි වෙන්න පුලුවන් ඉතින්..ඒ නිසා ගොන්කම් නොකර ඉන්නවනම් මරු..”

උවනිගේ පිළිතුර එයාකාර විණ.මේ සියළු දෙනා දෙනෙත් ගැන සිතන අන්දමට ඇති සාධාරණ හේතුව මට සිතන්නට අපහසු නොවේ.ඔහු හොඳ පවුල් පසුබිමක් නැති ඈත දුෂ්කර ගමක තරුණයෙකි.ශිෂ්‍යත්වය සහ නිදහස් අධ්‍යාපනය ඔහුට දිනා දුන් උසස් මට්ටමේ පාසල ද විශ්ව විද්‍යාලය ද ඔහුගේ තත්ත්වය ඉහළ නංවන්නට හේතු වී නැතැයි මට අනතුරුව සිතිණ.වේදනාව ද එයම ය.ඔහු සියල්ලන්ටම පෑගෙන්නට උවමනා එනිසා වන්නට ඇත.

“හසී,මං මේ ඇත්තටම කියන්නෙ..ඔය මනුස්සයට එහෙම අහු වෙනව නෙවෙයි..” උවනිගේ හඬ තර්ජනයක් සේ ගලා ආ අතර මා නොරිස්සුම් සහගතව මුහුණ අකුලා ගතිමි.

“හා..”

මා එසේ ලියා යවා ඇඳේ වැතිර ගත්තේ එනිසා ය.ඒකපාර්ශවික ප්‍රේමය කියන්නේ මිහිරියාවකට නොව ඉතා තදබල වේදනාවකට බව මා නොදන්නවා නොවේ.නමුත් මේ කුඩා දැරියක කාලයේ පටන් හදෙහි ජනිත වූ සිතුවිල්ලකි.දෙනෙත්ගේ අහිංසක දෑස මා බොහෝ දුර රැගෙන ගොස් ඇති බව මා හොඳින්ම දැන හුන් කාරණාවකි.

“මේක දෙනෙත් අයියට..”

දස වියටවත් නොඑළඹුණු කුඩා කෙල්ලක ගෙවත්තේ හැදෙන පළතුරුවල හොඳම කොටස අයියාගේ පාසල් බෑගයට දැමූ අන්දම මට අමතක නොවේ.”ආ සූකිරියෝ..”යැයි අපේ නිවසට එන සචිර අයියා මගේ කොණ්ඩා කරල්වලින් අදිමින් කෑගැසුව ද දෙනෙත් මට එතරම් සමීප වූ කෙනෙකු නොවේ.ඔහු සෑම විටම ජීවත් වූයේ මගෙන් තරමක් ඈතිනි.නමුත් සචිර අයියා මගේ අයියාට ඉරිසියා හිතෙන තරමට මා අයත් කරගන්නට තැත් කළ කෙනෙකි.

“තමුසෙගෙ අයියා ගාවට යනව.මං හොඳ නැති උනාට ඒ තමුසෙගෙ අයියනෙ..”

අයියා මා සමඟ ගැටුම් ඇති කර ගන්නා මොහොතක පවා එසේ කියමින් මා සචිර අයියා වෙත පිටත් කර හරින්නේ ඔහු මට එතරම්ම මගේ අයියා කෙනෙකු වන නිසා ය.උවනිටත් යෙත්මිටත් මා ඔහු කෙරෙහි නොබැඳීම ගැටළුවක් වූව ද මම හොඳින්ම හේතුව දැන සිටිමි.

සචිර අයියාට අමුතුවෙන් බැඳෙන්නට හේතු නොවේ.ලේ බැම්මක් නොවූවාට ඔහු මගේ සහෝදරයා ය.නමුත් දෙනෙත් මගේ අප්‍රකාශිත ප්‍රේමය ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles