ඉඩෝරයක මල් වැස්සක් – 38

පාරින්ද නිවසට පැමිණියේ පසු දිනය. දින කිහිපයක් යනතුරු ඔහුට දකුණු අතින් වැඩක් කර ගැනීමේ හැකියාවක් වූයේ නැත. 

“ඉසුරි ඇයි දන්නෙ නෑ ආවෙ නැත්තේ..”

කාමරයට වී සිටි පාරින්ද සිය දකුණත වත්තම් කරගනිමින් ආලින්දයට පැමිණියේ එසේ අසාගෙනය. අම්මාත් ලොකු නංගීත්  දෙදෙනාම වූයේ ආලින්දයේය. 

“ඇයි උඹට කතා කලෙත් නැද්ද?”

“එදා අම්මා අනම් මනං කියවන්න ගියානේ හිත රිදිලා වෙන්න ඇති. මං එදත් කිව්වා අනවශ්‍ය දේවල් කියවන්න එපා කියලා.”

“මං අනවශ්‍ය දෙයක් කිව්වේ නෑ. මං කිව්වේ මට හිතුණු දේ. නැකත් අරගෙන ආපුු ගමන් මෙහෙම දෙයක් උනහම බය හිතෙන්නෙ නැද්ද බං. හරියට පොරොන්දම් නොගැලපුණොත් ඒක සෙල්ලමක් නෙමෙයි. ජීවිතේම ඉවරයි.”

“ඒකට ඉතින් එයාට කරන්න දෙයක් නැහැනේ.”

“මං ඒකිට ආදරේ බං. එහෙම වෙනසක් නෑ. මට මේ කෙල්ලෝ දෙන්නත් එකයි. ඒකිත් එකයි. පොඩි එකීට තියෙන්නේ රාජිනීගේ ගතිගුණ. ඉසුරි එහෙම එකියක් නෙමෙයි බං. මං ඒක දන්නවා. ඒ උනාට එදා මං ටිකක් කලබල උනා.”

“ඇයි අයියා කෝල් කලේ නැද්ද?”

“කෝල් කලා ෆෝන් එක ඕෆ්. හවස් වෙලා ඒ පැත්තෙ ගිහිල්ලා එන්න ඕනේ.” 

ඉසුරිගේ නිවසට මදක් එහායින් සිටින අම්මාගේ මිතුරියකත් ඇගේ දියණියත් නිවසට පැමිණෙන කඩුල්ල පැන්නේ එවේලෙහිය. එදවස ඉසුරිලගේ නිවසේ කුමක් සිදු වුවත් දුරකථනයෙන් කතාකොට අම්මාගේ කනෙහි තබන්නේ ඈය. 

“ඔන්න තව බෝම්බයක් එනවා.”

“මිනිස්සුන්ගේ හිත රිදෙන්න අනං  මනං  කියන්න ලෑස්ති වෙන්න එපා.”

“අනේ පුතේ ඉස්පිරිතාලෙට එන්න බැරි උනා ගෙදරට එක් කරගෙන ආවා කියන ආරංචියට තමයි අපි මේ දුවගෙන ආවේ. මොනවා කරගත්තද මේ.”

“පොඩි කරදරයක් උනා නැන්දේ…”

“උන් කාගේ කවුද කියලවත් දන්නෙ නැද්ද. පොලිසියට ඇන්ට්‍රියක් දාන්න ඇතිනේ.”

“ඇන්ට්‍රි එකක් දාන්න වාහනේ නම්බර් එකක්වත් මතකෙ තිබුණේ නැහැ. ඒ වෙලාවේ මම ටිකක් කලබල උනා.”

“එහෙම ගහලා පාරවල්වල දාලා යන්න පුළුවන් ද. මම නං කියන්නේ ඕකුන්ව කොහොම හරි හොයාගෙන හොඳ දඬුවමක් දෙන්න ඕනෙ. මරලා දාලා ගියත් එච්චරයිනේ.”

“එච්චර අමාරුවක් නෑ නැන්දේ…”

“එච්චර අමාරුවක් නෑ කියල කියන්න එපා. කොහොම වුණත් දවස් ගාණක් ගෙදරට වෙලා ඉන්න වෙනවනෙ නිවාඩුත් දාලා. කී ගමනක් ඉස්පිරිතාලේ යන්න වෙනවද. ඒවට යන වියදම්..”

“ඒකනං එහෙම තමයි.”

“මං නං කියන්නෙ කතා කරලා හොඳ ගානක වන්දියක් ගන්න තිබුණේ.” 

“අපේ එක්කෙනත් කිව්වා. කොහෙද ඉතින් මෙයා කැමති නැහැනේ ඒවට.”

පාරින්ද හිනැහී ඉවත බලා ගත්තේ එදා සිදු වූ සිදුවීම සිහිවය. එවේලෙහි ඔහුගේ ඇඟෙහි හිරිගඩු පිපුණේ බියටය. හිතේ ආවේගයට කෑ ගැසුවාට ඔවුන් පසු පසින් එළවා ගෙනවිත්  මේ අයුරින් පහරදේයැයි ඔහු සිතුවේ නැත. ක්‍රිකට් පිත්තත් රැගෙන තරුණයන් වාහනයෙන් එළියට බසිද්දී ඔහු බියෙන් සලිතව ගියේය. එක පිට එක දෙදෙනාගෙන්ම පහර වදිද්දී පාරින්ද උන්නේ මරණ බයෙන් තැති ගෙනය. අවසන පයින් පහරකුත් ගසා තමාව මග දමා යද්දී එක් තරුණයෙකු ප්‍රබලයෙකුගේ නමක් සටහන් කරමින් තමා ඔහුගේ පුතෙකුයැයි කෑ ගැසුවා පාරින්දට මතකය. අවට වටව සිටි සියල්ලෝම බැණ වැදුනේ තමාටමය. එනිසාම ඔහු තමාට පහර දුන්නේ කවුදැයි මතකයේ නැති බවක් පැවසූයේ හිතාමතාමය. වරද තමාගේ බව පාරින්දගේ හිත දනී.  

“ඉසුරිත්  මං දැක්කා උදේම ලස්සනට ලෑස්ති වෙලා කොහෙද යනවා. දැන් රාජිණිත් ගෙදරමලු නේද?”

පාරින්ද යළිත් හිස ඔසවා බැලුවේ ආගන්තුක ගැහැණිය එසේ පවසද්දීය. ඉසුරි නිවසින්  පිටව ගිය ආරංචිය ඔහුට අළුත් එකකි. 

“කීයට විතරද නැන්දේ ඉසුරි ගියේ..”

“නවයට විතර. ලස්සන ගවුමක් එහෙම ඇදලා. මං ඒත් මේ අපේ ළමයත් එක්ක කිව්වා මොකක් හරි පාටියකටවත් යනවද දන්නේ නෑ කියලා.”

පාරින්ද යළිත් තමා අසල වූ ජංගම දුරකථනය දෙස බැලුවේ ඈ එසේ පවසද්දීය. අඩු තරමින් එහි කෙටි පණිවිඩයක්වත් වූයේ නැත.

“රාජිනීට රස්සාවල් එපා වෙලා වෙන්න ඇති දැන් ගෙදරට වෙලා ඉන්නේ.”

“අනේ මන්දා. ඔය ගෑනි ගැන මේ ගෙදර කතා කරන්නවත් මම කැමති නෑ.”

“නෑ මම මේ නිකං මතක් කලේ. ගෙදරට වෙලා ඉන්නවා දැකපු නිසා. දැන් ඉසුරින් රස්සාවට යන නිසා අඩුපාඩුවක් නැතුව ඇති.”

“අනේ මන්දා ඕවා.”

“නැන්දේ ඉසුරි පයින්ද ගියේ….”

“ඔව්…හන්දියට යනකං පයින් යනවා තමයිි දැක්කේ. එතනින් බස් එකේ නගින්න ඇති. මං හිතුවා ලොකු පුතා අසනීප වෙච්ච වෙලාවෙ මේ වෙද්දි ඉසුරිත් මෙහෙට වෙලා ඇති කියලා.”

“ඔෆිස් එකේ මොනවා හරි වැඩක් ඇති.”

“අද නිවාඩු නේ…”

එසේ  පැවසූයේ ඇගේ දියණියයි. ඔවුන් කුමක් කතා කලත් පාරින්ද වූයේ ඉසුරි ගැන කල්පනාවේය. වෙනදා ඇය තමාට නොදන්වා කිසිදු හේතුවකට නිවසින් පිටව යන්නේ නැත. එදා අම්මා පැවසූ දේ වලට ඉසුරිගේ සිත රිදී ඇතැයි පාරින්දට සිතුනේ එනිසාය. ඔහු ඊට කෝප ගත්තේ අම්මා සමගින්ය. යමක් පවසන්නට නොහැකි වූ නිසාම කාමරයට පැමිණි ඔහු අසල වූ පුටුවකට පයින් ගැසුවේ පෙරළී යන ලෙසය.

“ලොකු පුතා ඇයි…..”

“නෑ  මේ පුටුව පෙරලුණා..”

එවර ඔහු කෑගැසුවේ කාමරයේ සිටමය. 

                        *******************

මුලදී බිනර අසලටම වී මුළුගැන්වී සිටියත් ඉසුරි ළමා නිවාසයේ දරුවන් සමගත් බිනරගේ මිතුරාත්, ඔහුගේ පවුලේ අයත්, පෙම්වතියත් සමග හිතවත් වූයේ ඉක්මනටය. දැන් ඈ සිටින්නේ බිනර අමතකව ගිය ගණනටය. සැහැල්ලුවෙන් එහෙ මෙහේ දිව යමින් දරුවන් සමඟ සෙල්ලම් කරමින් දානයේ වැඩ කටයුතු වලට හවුල් වෙමින් ඇය ඒ දවස තමාගේ කරගනිමින් උන්නාය. මේ බිනර මින් පෙර ඇගේ නුදුටු තරම් සැහැල්ලුවකි. 

“ඒ කෙල්ල පව් තමයි බං. උඹ  එහෙම ඇවිල්ල විස්තර කිව්වට මෙච්චර අහිංසක කෙල්ලෙක් කියලා මම හිතුවේ නෑ.”

අවසන මිතුරා පැවසූයේ දෙඅත් බැඳගෙන ඉසුරි දෙස බලා උන් බිනර අසලට ළං වෙමින්ය.

“එයා හැමදාම මේ වගේ හිනා වෙලා ඉන්න ඕනේ බං.”

“මැරේජ් එක කෙරුණත් ඒක වෙන්නෙ නෑනේ බං. උඹ  ඇත්තටම මෙයාට ආදරේ කරනවද?”

“ඔව්….මම දන්න විදිහට මෙන්න මෙතනට දැනෙන තැන තමයි ආදරේ කියලා කියන්නේ.”

“ඔහු පැවසූයේ තම පපුවේ හරි මැදට ඇඟිල්ලක් තබා ගෙනය.”

“මට ඒක දැනෙනවා.”

“එහෙනම් උඹ ඒක කියන්න ඕනේ.” 

“මේ ඒකට වෙලාව නෙමෙයි. ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම එක වගේ කියලා හිතන්න එයාට ඉඩ දෙන්න බෑ.”

“උඹ මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ.”

“මුලින්ම එයා රිලැක්ස් වෙන්න ඕනෙ බං. නිදහසේ තමන් ගැන තීරණයක් ගන්න පුළුවන් විදිහට. එහෙම නැති වුනොත් මමත් එයාට බලපෑම් කරන කෙනෙක් වෙනවා. එයා මාව විශ්වාස කරලා ඉවරයි. ඒ නිසා තමයි අද මෙහෙම ගමනක් ආවෙ. එයා දන්නවා එයා හොයන සතුට මම ළඟ තියෙනවා කියලා. මගේ ළඟ එයාට නිදහස තියෙනවා කියලා. ඉතින් ඩිෂිශන් එකක් ගන්න ඕනේ එයාම තමයි බං.”

“ඔව් බං…”

“නිදහස, විශ්වාසය, සතුට, රැකවරණය තියෙන තැන තමයි ආදරේ තියෙන්නේ කියලා එයාට දැනෙන්න ඕනේ.”

මිතුරා හිස වැනුවේ  බිනරට එකඟවය. වෙනදා සැහැල්ලුවෙන් දකින ඔහුගේ වදන් පුදුමය උපදවන තරම්ය. ඔහුගේ සිතෙහි ඇයට වන ආදරය වටහා ගන්නට මින් එහා ගිය යමක් වුවමනා වූයේ නැත.

“මං කවදාවත් මෙහෙම තැනකට ඇවිත් නෑ. මේ ළමයි පව්. ඒත් එයාලා ඉන්නෙ සතුටින්. එයාලට ලැබිච්ච ජීවිතේ ගැන සතුටින්.” 

දරුවන් සමඟ සෙල්ලම් කරමින් සිට හති අරිමින් දිව ආ ඉසුරි පැවසූයේ බිනරගේ දකුණතින් අල්ලාගෙනය. 

“ගෙදර යන්න පරක්කු වෙන්නෙ නැද්ද?”

“දැන්මම බෑ….රෑ වෙනකං හරි මෙතන ඉන්න පුළුවන්නම් ඉන්නවා. ඒත් බෑනේ. ප්ලීස් මාව අදත් පන්සල් එක්කරගෙන යනවද?”

“හා.”

“ඇත්තමයි. මම සතුට හොයන්න මොනවද කලේ නේද. ඔයා හරියට නිකං ඇලඩින්ගෙ පහනේ භූතයා වගේ. මම හොයන්නත් කලින් ගොඩක් දේවල් ඔයා මට දීලා ඉවරයි.”

“මොකක්ද භූත කතාවක් ඇහුනේ.?” 

“බිනරගේ මිතුරා ඔවුන් අසලට පැමිණියේ එසේ අසමින්ය. 

“මෙයා කියන්නේ මම භූතයෙක් වගේ කියලා.”

“අන්න එච්චරයි මට ඇහුනේ. නංගිට හොඳට ඇස් පේනවා.”

“ආ….උඹට දැන් හරි සතුටු ඇති නේ…”

“මම මේ කියන්න ආවේ නංගිට ගෙදරට යන්න හදිසි නැත්නම් අපිත් එක්ක හවස් වෙනකල් ඉඳලා ඩිනර් වලට එළියට ගිහිල්ලා යමු කියලා. මූ නං ඉතින් නිශාචරයානේ. ඔයාට තමයි ප්‍රශ්නේ. දෙන්නත් එක්ක කතා කරලා කියන්නකො.”

බිනර යුවතිය දෙස බැලුවේ මිතුරාත් පෙම්වතියත් පිටව ගිය පසුවය. ඇය උන්නේ කල්පනාවකය. 

“ඔයාට ප්‍රශ්නයක්නම් අපි ඒ ඉන්විටේෂන් එක බාර නොගෙන ඉමු. අම්මා කලබල වෙයි.”

“අම්ම නෙමෙයි අයියේ ප්‍රශ්නේ. අම්මට කෝල් එකක් දුන්නහම ඇති. අම්මා එහෙම කලබල වෙන්නේ නෑ.” 

“ලොකු අයිය නේද ප්‍රශ්නය?”

“ඔව්….මං එච්චර රෑ වෙනකල් හිටියොත් එයා අපේ ගෙදරට ඇවිල්ලා මොන කලබලයක් කරයිද දන්නේ නෑ. මම මේ දැනුත් ඉන්නේ ෆෝන් එක ඕෆ් කරගෙන.”

යුවතිය එසේ පැවසූයේ තම ජංගම දුරකථනය ඔහු වෙත දිගු කරමින්ය. 

“යාළුවොත් එක්ක පාටියකට ගියා කියලවත්…..”

“මගේ ජීවිතේ  කවදාවත් එහෙම දේවල් තිබුණේ නෑ. හත වසරෙදි යාළුවෙක්ගේ බිග් ගර්ල් පාටි එකකට ගියාට පස්සේ මම කවදාවත් පාටි එකකට ගිහිල්ලා නෑ. මඟුල් ගෙදරකට කියලා මට යන්න අවසර ලැබුණෙත් එහා පැත්තෙ ගෙදර අක්කගේ වෙඩින් එකට විතරයි. මට කවදාවත් යාළුවො එක්ක නිදහසේ එළියට යන්න ලැබිලා නෑ. එහෙම ගෑනු හෝ වේවා පිරිමි හෝ වේවා යාළුවෙක් එක්ක මම එළියට ආවනම් ඒ ඔයා එක්ක විතරයි. අනේ සොරි බිනර ඒ අයියට කියන්න මට එන්න වෙන්නෙ නෑ කියලා.”

“ඉ⁣ට්ස් ඕකේ..ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. අපි දෙන්නම දන්නවා ඔයාට එහෙම එළියට යන්න බෑ කියලා. ඉසුරි….කාර් එකේ ඩිකිය  ඇරලා ඒකෙ තෑගි වගයක් තියෙනවා. ඒ ටික බබාලට ගෙනත් දෙන්න. තව පැයක් විතර වගේ තමයි අපිට මෙතන ඉන්න පුළුවන්. ඔයා සතුටින් ඉන්න.”

බිනර පැවසූයේ සිය වාහනයේ යතුර ඈ වෙත දිගු කරමින්ය. එන ගමනේදී ඔහු පැවසූයේ වාහනය මිතුරාගෙන් ඉල්ලාගෙන ආ එකක් බවය. විනාඩි කිහිපයකට පසුව මිතුරාගේ පෙම්වතිය සමඟ ගොස් ඈ වාහනයේ ඩිකියෙහි වූ සෙල්ලම් බඩුත් පාසල් උපකරණත් පිටතට ගන්නා අයුරු බිනර බලා සිටියේ මඳක් එහාට වන්නට වූ සිමෙන්ති බංකුවකින් අසුන් ගෙනය. 

“අයියේ…මං අම්මට කිව්වා. තාත්තටත් කෝල් කරලා කිව්වා. ඒ ඇති. වෙන කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ. අපි ඔයාගේ යාළුවත් එක්ක ඩිනර්  එකකට යමු.  අද එයාට ස්පෙෂල්  දවසක් නේ. තාත්තා එන්නම් කිව්වා මාව ගන්න”

සියල්ල අවසානයේ යුවතිය එසේ පැවසූයේ බිනරගේ දකුණතෙහි එල්ලී ගෙනය. ඇය උස් වූයේ ඔහුගේ උරහිස තරමටය. මදක් පහතට නැවී ඇගේ නළලත සිප ගන්නට සිතුනත් ඔහු උන්නේ අසීරුවෙන් ඒ හැඟීම දරාගෙනය.

(යළිත් හමුවෙමු ආදරයෙන්……)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles