ඉඩෝරයක මල් වැස්සක් – 42

බිනර බලා සිටියේ ඉසුරි කාර්යාලයෙන් පිටවනතුරුය. ඔහුට උවමනාවී  තිබුණේ ඇය හා කෙටි වේලාවක් හෝ රැඳී සිටින්නටය.  විනාඩි කිහිපයක් බලා සිටියත් ඇය ගිණුම් අංශයෙන් පිටතට පැමිණියේ නැත. බිනර ගිණුම් අංශයට ඇතුළු වූයේ එනිසාය. 

“එයා ගියේ තුනට විතර. එයාට කෝල් එකක් ආවා. ඊට පස්සේ ගෙදර මොකක් හරි හදිස්සියක් කියලා තමයි ගියේ.”

සේවිකාවක් පැවසූයේ ඒ අයුරින්ය. 

බිනර තම ජංගම දුරකථනය අතට ගෙන වරක් දෙවරක්ම එය පරීක්ෂා කළේ ඇගෙන් මගහැරී ගිය ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ඇත්දැයි සැකයෙන්ය. අනතුරුව ඉසුරිගේ  දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේ නිවසට යාම සඳහා කුලී රථයක් ඇණවුම්කර බලා සිටි වේලාවේය. දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තත් ජංගම දුරකථනය වූයේ ක්‍රියා විරහිත කරය. එනිසාම බිනර නොසන්සුන්ව උන්නේය.

කුමක් හෝ බැරෑරුම් සිද්ධියක් නොවුනේනම් ඇය තමාට නොපවසා කාර්යාලයෙන් පිට වන්නේ නැතැයි  බිනර විශ්වාස කළේය. 

කාර්යාලයෙන් පිටව යන්නට ගිය තරුණයා ප්‍රකාශන අංශය දෙසට හැරුනේ හංසිකා අසලට යන්නටය. 

“ඔයා මොකටද බිනර මේ පැත්තෙ යන්නෙ.?”

අශිකා ඔහු ඉදිරියට පැමිණියේ එසේ අසමින්ය. 

“ආ…. මේ පොඩි වැඩකට හංසිකා මිස්ව මීට් වෙන්න  යනවා.” 

“ඔයා නම් බිනර කවද හරි හොඳ පරිප්පුවක් කනවා.”

“ඇයි?”

“ඇයි කියන්නේ? හංසිකා මිස් කියන්නේ කවුද කියන එක ඔයාට අමතක උනාද. මොනවද බිනර මේ කරන වැඩ.”

“ඔයා මොකක්ද  කියන්න හදන්නේ.”

“මං මොකක්ද කියන්න හදන්නේ කියන එක මේ වෙද්දි මුළු ඔෆිස් එකම දන්නවා. ඔයාට තිබුණා ඔයාගේ වයසෙ කෙනෙක් එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න.”

“ඔයා කියන්නේ හංසිකා මිසුයි මමයි අතරේ.”

“එහෙම නොතිබුනානම් ඔයා හංසිකා මිස්ගේ වෙහිකල් එකේ ඇවිල්ලා මගින්  බහින්න ඕනේ නෑනේ. හිතේ හොරයක් තියෙන නිසා තමයි ඔයා එහෙම කරලා ඇත්තේ.”

“කවුද මේ දේවල් කිව්වේ…”

“කිව්වෙ කවුද කින්ද මන්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔයා ඒ වගේ වරදක් කරාද නැද්ද කියන එක. ඔෆිස්  එකේ හැම තැනම ඒ ගැන කතා වෙනවා.”

“මේ..මමයි හංසිකා මිසුයි ගැන.”

“ඔව්…ඔයාට කතා කරන්නම කෙනෙක් නැත්නම් මමත් එක්ක කතා කරන්න. ඇයි මේ නිකං නැති ප්‍රශ්න ඇතිකර ගන්න යන්නේ. කොහොමටත් බිනර මට ඔයත් එක්ක. දෙයක් ගැන කතා කරන්න වුවමනා වෙලා තිබුණේ. හැබැයි මට ඇත්තම කියන්න ඕනේ. තමන්⁣ගේ චරිතේ නැති කරගන්න එපා.”

“හරි.. මං රෑට ඔයාට කෝල් එකක් ගන්නම්. අපි කතා කරමු.”

බිනර එසේ පැවසූයේ ඉක්මනින්ම හංසිකා හමුවීමට වූ උවමනාව නිසාය. අශිකා හිස වනා ඔහුට එකඟ වූයේ දෙවරක් නොසිතමින්ය.

“දැන් ඔය පැත්තට යන්න එපා. මේ පැත්තට යන්න.”

“අනේ සොරි අශික  මම මේ හංසිකා මිස්ව හම්බවෙන්න යන්නේ ජයවර්ධන සර්ගේ පණිවිඩයකට. කවුරු මොන දේවල් කිව්වත් එහෙම වැරදි දෙයක් නෑ. ඔයාට මාව විශ්වාසයිනේ.”

“ඔව් මටත් වඩා..”

“එහෙනම් එච්චරයි.”

“ඒත් මං කැමති නැහැ ඔෆිස් එකේ අය ඔයාට එක එක විදිහේ කතන්දර කියනවට. දැන් පරිස්සමට ගිහිල්ලා එන්නකෝ.”

ඇය පැවසූයේ මුව මත සිනහවක් තබාගෙනය. කවුරුන් කෙසේ කීවත් බිනර ගැන අයිතිවාසිකම ඇත්තේ තමාටයැයි අශිකා සිතුවේ ආපසු තම අංශයට පැමිණෙන ගමන්ය. සහන් හංසිකාත් බිනරත් ගැන පවසද්දී තවත් කිහිප දෙනෙක්ම පැවසූයේ ඔවුන්ව ඒ අයුරින් මින් පෙරත් දුටු බවය. මං එයා එක්ක කතා කරනවා. මේකප් බඩු දමා ගත් කුඩා මල්ල අත් බෑගයට දමාගත් යුවතිය කාර්යාලයෙන් පිටවූයේත් ඒ සිතුවිල්ලෙන්මය. 

“පොඩි අක්කා ඉසුරි  ගැන බිනරගෙන්  ප්‍රශ්න කලේ උදෑසනය.”

“ඉසුරි නරක ළමයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි මල්ලි ඔයා හොඳට මතක තියා ගන්න  ඉසුරි ගැලපෙන ළමයෙක් නොවුනොත් එතන ප්‍රශ්න ගොඩක ආරම්භයක් වෙන්නන පුළුවන්. ඒ නිසා ඔයාලගේ යාළුකම යාළුකමක් මට්ටමේම තියාගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. 

අවසන ඇය පැවසූයේ මඳක් දැඩි වූ හඬකින්ය.

බිනර පැමිණෙද්දී ඇය උන්නේ පරිඝනකයේය.

“මේ පොඩි අක්කේ ඔයා ඉසුරිගෙන්  මොනවා හරි ඇහුවද?”

ඔහු ඇගේ කාර්යාලීය  මේසය ඉදිරිපස වූ පුටුවකින් අසුන් ගත්තේ එසේ අසාගෙනය.

“නෑ.. ඇයි එහෙම අහන්නේ?”

“ඉසුරි හවස පොඩි හදිසියක් කියලා කලබලෙන් ඔෆිස් එකෙන් ගිහිල්ලා. එයා එහෙම මට නොකිය යන්නේ නෑ අක්කේ. ෆෝන් එකත් ඕෆ්.”

“මම අද දවසටම ඒ  ළමයා දැක්කේ නෑ. ඒ පැත්තට යන්න උනෙත් නෑ.”

“මොකක්ද දන්නෙ නෑ අවුල නේද.?”

“අංකල්ට මොනවද කියලා ගිහින් තියෙන්නේ?”

“දන්නේ නෑ. මං ඇහුවේ නෑ. එයාගේ එහා පැත්තෙ ශීට් එකේ ඉන්න ගර්ල් කිව්වේ ගෙදර ප්‍රශ්නයක් නිසා ගියා කියලා.”

“වෙන්න ඇති. මිනිස්සුන්ට ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවනේ.  ෆෝන් එක ඔන්  කලාට පස්සේ අහල බලන්න.” 

“මගේ හිතට හරි නෑ හලෝ”

“බොරුවට කලබල වෙන්නෙ නැතුව ඉන්නවා. තව පැය භාගයක් විතර හිටියොත් මමත් එක්ක යන්න පුළුවන්.”

“අපෝ තමුසෙත් එක්ක ගිහිල්ලා මට කතන්දර හැදිලා තියෙන්නේ. මේකේ උන් හිතන් ඉන්නේ මම තමුසෙට ට්‍රයි කරනවා කියලා.”

“නෑ…”

“නෑ නෙමෙයි ඔව්..මම ඔයාගේ වෙහිකල් එකේ ඇවිල්ලා මගින් බැහැපු එක කට්ටියට ප්‍රශ්නයක් වෙලා.”

“මං කිව්වනේ මගින් බහිද්දි. තාත්තා කිව්වනේ දැන් ඔයාට ඔයාගේ කාර් එක පාවිච්චි කරන්න කියලා.”

“එපා… එපා..දැම්ම ඕනේ නෑ.”

“මේ ඔක්කොම කරන්නේ ඉසුරි වෙනුවෙන් ද”

“නෑ එහෙම එකක් නෑ. තවම එයා මගේ යාළුවෙක් විතරයි.”

“එහෙම වෙනවනම් හොඳයි”

පැයෙන් පැය ගෙවී ගියේ තරුණයා යළිත් නොසන්සුන් කරමින්ය. ඒ වද්දී  ඉසුරිගේ දුරකථනයට ඇමතුම් ලබා ගන්නට උත්සාහ කළ වාර ගණන සියයකට වැඩිය. නිවසට පැමිණි වේලේ සිට වරක සඳැල්ලටත් වරෙක කාමරයටත් යන ඔහු දැන සිටි සියලුම ක්‍රමවලින් ඉසුරිව ඇමතුම හා සම්බන්ධ කරගන්නට උත්සාහ කළේය.

අවසන ඔහු යළිත් හංසිකාව සොයා යද්දී ඈ උන්නේ ජංගම දුරකතනයේ ඇගේ පෙම්වතා හා කතාවකය.

“අක්කේ…ඔය කෝල් එක කට් කරනවකෝ. තමුසල දෙන්නට කොයි වෙලාවෙ කතා කරගන්න බැරිද. මේක අර්ජන්ට්….”

“මොනවද මල්ලි……”

හංසිකා දුරකථන ඇමතුමට සමු දුන්නේ එසේ පවසමින්ය. සොයුරාගේ නොසන්සුන්කම ඇගේ සිත කුතුහලයෙන් පුරවන්නට විය.

“ඉසුරිට මොනවා හරි කරදරයක් හලෝ..”

“කොහොමද එහෙම කියන්නේ?”

එයා මෙච්චර වෙලා ෆෝන් එක ඕෆ් කරගෙන ඉන්නේ නෑ.

“දැන් මොකක්ද කරන්නේ?”

“මාත් එක්ක ඉසුරිලගේ දිහා යන්න එනවද..”.

“පිස්සුද මල්ලි.. මෙහෙම රෑ තිස්සේ ගෙවල් වලට යන්න පුළුවන්ද?”

“ඒක  සිම්පල්. ඔයා ඉසුරිගේ ඔෆිස් එකේ යාළුවා කියලා කියන්න. මං ඔයාගේ මල්ලි. ඉසුරි හදිසියේම කරදරයක් කියලා ගෙදර ආපු නිසා ඇයි කියලා බලන්න ආවේ කියලා කියන්න. ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්න හින්දා කොහොමත් එයා ගැන හොයලා බලන්න විදිහක් නෑනේ.”

“එතකොට හැම දෙයක්ම ඉසුරි දැන ගන්නවා.”

“අනේ අක්කෙ ප්ලීස් ප්ලීස් තමුසෙ ජීවිතයටවත් බොරුවක් කියල නැති මනුස්සයෙක් නෙමෙයිනේ. ඉඳලා හිටලවත් මෙහෙම පින්කමක් කරගත්තට කමක් නෑ. ඒකට මොකක්හරි ප්ලෑන් එකක් ගහමු.”

“මේ ගමන එච්චර සුදුසු එකක් නෙමෙයි මල්ලි. ඔය කියන විදිහට හැමදාම මොනවා හරි ප්‍රශ්නයක් ඇතිවෙන්න ඉසුරිලගේ ගෙදර සිටුවේෂන් එක කොහොම එකක්ද කියන්න අපි දන්නේ නෑ.”

“ඒක කොහොම එකක් උනත් අපිට ප්‍රශ්නයක්  නෑ. අපි එහේ නවතින්න යනවා නෙමෙයිනේ..”

අවසන හංසිකා තුවායත් රැගෙන නාන කාමරයට වැදුනේ සොහොයුරා දිගින් දිගටම පෙරැත්ත කරද්දීය. ඔහුගේ වදන් වලට  අවනත වූවා මිස මෙවන් ගමනක් යන්නට තරම් සිතක් හංසිකාට වූයේ නැත. එය සුදුස්සක්යැයි  ඇය විශ්වාස කළේත් නැත. එහෙත්  තමා නොගියහොත් සොහොයුරා මෙවේලෙහි තනිවම හෝ ඒ හිතුවක්කාරී ගමන යන බව විශ්වාසය.

හංසිකා නාන කාමරයෙන් පිටතට පැමි⁣ණෙද්දී බිනර උන්නේ දුරකතන ඇමතුමකය. 

“එක්කෝ ඔයා එන්න එපා. ඔයාව දැක්කොත් ඉසුරි අවුල් වෙයි. මං අරූ එක්ක යන්නම් පවන් මේ වෙලාවේ ඉන්න් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක. දෙන්නවම එක්කන් ගියොත් අවුලක් නෑනේ..”

හංසිකා හිස වැනුවේ ඔහුව අනුමත කරමින්ය. කුමන ආකාරයක බොරුවක් පැවසුවත් ඉසුරි තමා දුටුවාට පසුව කලබලවනු නියතය.

                                       **************

ඉසුරේ තම සොහොයුරාට දුරකථන ඇමතුමක් ලබා ගත්තේ ඔහුගෙන් මගහැරී ගිය ඇමතුම් කිහිපයක්ම වූ  නිසාය. මල්ලි සාමාන්‍යයෙන් අවේලාවෙහි මේ අයුරින් ඇයව අමතන්නේ නැත. 

සොහොයුරා පැවසූ සියල්ල අසා සිටි ඉසුරි තැති ගත්තාය. තවදුරටත් කාර්යාලයේ සිටිය හැකි කමක් ඇයට වූයේ නැත. නිවසේ හදිසි තත්ත්වයක්යැයි අංශ ප්‍රධානියාට පැවසූ ඈ කාර්යාලයෙන් පිටවූයේ කිසිවෙකුටවත් නොකියමින්ය. අවසන ඇය නැග තිබුණේත් වැරදි පැත්තකට යන බස් රථයකය. 

අම්මා එවන් අවධානම් වැඩක් කලේ ඇයි දැයි ඇයට තවමත් නොතේරේ. කාගෙන් කුමන අයුරේ ප්‍රශ්නයක් පැමිණියත් වැටී සිටින්නට ඇත්තේ මේ නිවහන පමණි. 

“බැංකුවට සල්ලි ගෙවල නෑ කියන්නේ හෙට අනිද්ද ඇවිල්ලා මේකේ බැංකුවට සින්න කරගනීවි. කොහොමද අක්කේ අපි තවත් ගමේ ජීවත් වෙන්නේ මීට වැඩිය හොඳයි එයා එයාගේ බඩෙන්ම උපද්දවපු අපි තුන්දෙනාව මරලා දැම්මනං. මේ කළේ කිසිම අම්ම කෙනෙක් නොකරන වැඩක්. මටනං දැන් මේ  හැම හැමදේම දමල ගහලා යන්න හිතෙනවා. මට මං ගැන බයක් නෑ මට බය ඔයාලා දෙන්න ගැන අක්කේ. ඔය දෙන්න එළියට බැහැල කොහේ යන්නද. අපිට හැමදේම නැතිකරපු එයා  අන්තිමට ඉන්න හිටින්න තියෙන තැනක් නැති කළා. ඒක තමයි පහුගිය කාලේ සිල් අරන් වගේ මෙතනට වෙලා හිටියේ.”

මල්ලි දිගින් දිගටම තම කෝපය පිට කලේ උස් හඬින්ය. ඒ කෝපයේ තරමටම ඉසුරි නිහඬව බලා සිටියාය. අම්මා කාමරය තුලය.  යුවතිය නිවසට පැමිණෙද්දී  නිවසින් පිටව ගොස් සිටි රාජිණී යලි නිවසට පැමිණියේ පැයකට පමණ පෙරය.. කිරිඅම්මාත්, නංගීත් සිටියේ හැඬූ කඳුළින්ය. 

(යළිත් හමුවෙමු ආදරයෙන්)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles