*තාරානාත් දහම් වංශනායක*
“දැනුනා… රෑ දීවා
හිතම පාර පාර මේ වේදනා
කොහෙදෝ… ඒ සිනා
දුරක ඈත ඈත රෑ පාවුනා”
මම දැනගෙන උන්නෙ නෑ ඇයි මට එහෙම මහ මූසල දේවල් හිතුනෙ කියලා. ලංකාවෙ ඉඳලා එංගලන්තෙට ෆ්ලයිට් එක යන අතරවාරෙත් මම උන්නෙ ඇස් දෙක පියාගෙන කල්පනා කර කර. කොච්චර නිදාගන්න උත්සහ කරත් ඇස් පියාගන්න හැම වෙලාවක මගේ ඇස් ඉස්සරහට එන නාද්යාගේ රූපෙ එක්ක මට නිදාගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.
ආදරය සම්බන්ධයෙන් පිරිමියෙක්ගෙ හිත පවා කැඩිලා බිඳලා යන්න, ඉරි තැලෙන්න, බයක් දැනෙන්න පුලුවන් කියන එක ගෑනු විශ්වාස කරන්නෙ නෑ. උන් ඒක පිළිගන්න කැමති උනේ නෑ. මොකෝ ගොඩක් වෙලාවට ගෑනු හිතාගෙන ඉන්නෙ පිරිමි කියන්නෙ කිසිම දේකින් කඩල බිඳලා දාන්න බැරි අය කියලනෙ. විශේෂෙන්ම ඔය ආදරේ වගේ හරිම ඉමෝශනල් කාරණා වලදි පිරිමින්ට ඒවා තේරෙන්නෙ නෑ මොකද උන්ට තියෙන්නෙ ගල් හිත් කියලා ගෑනු හිතනවා.
අපි අඬන්නෙ නෑ, අපිට රිදෙන්නෙ නෑ, අපිට ඕන දෙයක් කන්ට්රෝල් කරන්න පුලුවන් කියලා හිතනවා. ඒත් ගෑනු නොදන්න ඇත්ත කතාව තමයි සමහර ආදර කතන්දර වලදි ගෑනු තරමටම පිරිමිත් දුක්වෙනවා, බය වෙනවා, ඉරි තලනවා කියන එක. නොගැලපෙන එක, නොලැබීම කියන දේ අපි භාරගන්නෙ මනුස්සයෙක් කියන සිතුවිල්ලෙන් මිසක්කා ගෑනු පිරිමි කියන බේදෙකින් නෙවෙයි. ගෑනු පිරිමි හැඟීම් වල කොච්චර වෙනස්කම් තිබ්බත් මනුස්ස හැඟීම එකම වගේ නේද?
අන්න ඒ නිසාම වෙන්නැති පොඩි කාලෙකට හරි නාද්යාව දාලා එන්න වෙච්ච එක ගැන, අහස්ව දකින්න වෙන්නෙ නැති එක ගැන මගෙ හිත තිබ්බෙ හරියට බය වෙලා. ඒ උනාට මට ඕන උනා අපේ තාත්තා, ලොකු නැන්දල ඉස්සරහදි එහෙම ඒක හංගගෙන ඉන්න. මට හිතුනෙ නිකන් ඒ ෆීලින්ග්ස් එලියට දෙන එක මගෙ පිරිමිකමට මදිකමක් කියලා.
ආදරේ ලංවෙද්දි ඒක හරියට අපිට දැනෙන්නෙ ගින්නක් ලඟ හිටගෙන ඉන්නවා වගේනේ. අපිට ගින්නෙ උණුහුම දැනෙන්න දැනෙන්න ඕන කරන්නෙ තව තව ඒ ගින්නට ලංවෙන්න. ඒ උනාට අපිට බයක් තියෙනවා උණුහුම බලාගෙන ඕනවට වඩා ලංවෙන එකෙන් වෙන්නෙ අන්තිමට අපි පිච්චිලා යන එක නේද කියලා. කොල්ලෙක් ආස නෑ ගෑනියෙක් හින්දා තමන් අඬනවා කියන එක පිළිගන්න. ඒ උනාට මට පුලුවන් කමක් තිබ්බෙ නෑ මගෙ ඇස්වලින් මේ වෙලාවෙ වැක්කෙරෙන්නෙ කඳුළු නෙවෙයි කියලා පිළිගන්න.
අපි ඉන්ග්ලන්ඩ් වලට ගිහිල්ලා ජෙට් ලැග් එක යනකම් නිදාගෙන එහෙම නැගිට්ටයින් පස්සෙ තමා මට ඇත්තටම නාද්යාට කෝල් එකක් ගන්න පූලුවන් උනේ. මං උන්නෙ ඒ කෝල් එක කනෙක්ට් වෙන කම් පුදුමාකාරා නොඉවසිල්ලක.
“හෙලෝ, අනේ මං බලන් උන්නෙ ඔයා කීයට හරි ගනීවි කියලා” නාද්යාගේ ආදරේ පිරිච්ච කටහඬ එහා පැත්තෙන් ඇහෙද්දි තමයි මගේ හිත ඇත්තටම නිවුනෙ. සැනහුනේ. සැරසුණේ.
“නින්ද ගියා කෙල්ලෙ. සොරි. ඇත්තටම මහන්සි දැනුනා වෙනදට වඩා”
“වයසයිනෙ දැන් ඒකයි” කියලා නාද්යා හිනාවෙද්දි මං කරේ ඒ හිනාව අහගෙන ඉන්න එක. මට දැනුනෙ ඇස් පියාගෙන ඉද්දි නාද්යා මං ලඟ ඉඳගෙන හිනාවෙනවා කියලා.
“වයසයි? ආහ් ඇත්තද? එදා බාතෲම් එකේ නාද්දි මගේ බෙල්ල බදන් අනේ දහම් කියද්දි නම් කෙල්ලට මගේ වයස මතක් උනේ නෑ නේද?” කියලා මං අහද්දි නාද්යා මුකුත් කිව්වෙ නැති බව ඇත්ත. ඒ උනාට මගෙ වචන වලටම මුණ, කම්මුල් වලට ලේ පිරිලා රතු පාට වෙලා ඇති කියලා මම දැනගෙන උන්නා.
“ඊට පස්සෙ නාද්දි මාව මතක් වුනාද?” කියලා මම ආයෙම ඇහුවෙ නාද්යා ලැජ්ජාව හන්දම මුකුත් නොකිය ඉද්දි.
“ම්හ්හ්” කියලා එයා කියද්දි මං කරෙත් “ම්ම්ම්ම්” කියලා ඒ බාසාවෙන්ම උත්තර දුන්න එක. එදා මම එන්න කලින් අන්තිම වතාවට ලංකාවෙදි මගෙ කාමරේදි එයාව කිස් කරපු එක නතර වුනේ මගේ වොශ් රූම් එකෙන්. මට කවදාවත් නාද්යාව කසාද බඳින්න කලින් මගේ කරගන්න උවමනාවක් තිබ්බෙ නැති එක ඇත්ත. ඒ උනාට ඒකෙන් කියන්නෙ නෑනෙ මට එයාව ඉඹින්න තහනම් කියලා. මං කොහේ ඉම්බත් ඉතින් එච්චර තමයි,
ශවර් එකෙන් වතුර වැටෙද්දි ඒ වතුර වැස්ස යට නාද්යා ඇස් දෙක පියාගෙන මූණ උඩට හරවගෙන ඉද්දි මට තවදුරටත් බොරු සිල් රකින්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. අනික එහෙම බොරුවට සිල් රකින්න ගිහිල්ලා ආයෙ මාසයක් යනකම් මගෙ ගෑනිව මට ඉඹින්නෙ නැතුව ඉන්න බැරි විත්තියත් මම දැනගෙන උන්නා. ඒ හන්දම ඕනවට එහා සීමාවෙන් පිට පනින්න යන්නෙ නැතුව මට ඕන උනා ඒ මාසෙ පුරාවටම ආයෙ ආයෙ මට වගේම නාද්යාටත් මතක් කර කර ඉන්න මෝමන්ට්ස් ක්රියේට් කරගන්න. පුතා උන්නෙ හරිම සනීප නින්දක. කාමරේ දොර වහලා ඒසී එක ෆික්ස් කරලා බාතෘම් එකට ආව මම අර වතුර වැස්ස යට උන්න මගෙ කෙල්ලව අල්ලලා තුරුලු කරගත්තෙ ආයෙ පැය ගානකට අත අරින්නෙ නෑ කියලා හිතාගෙන.
ගෑනියෙක් කියන්නේ දාහක් මල් පෙති වලින් හැදිච්ච මලක් කියන එක මම දැනගත්තෙ අන්න ඒ වතුර වැස්ස යට. හිමින් සීරුවේ නාද්යාව කිසිම කලබලයක් නැතුව කිස් කරද්දි.
ඒ උනාට මම වැඩිපුරම සන්තෝස උනේ එයාව මට ඉඹින්න හම්බෙච්ච එකට නෙවෙයි. මම එයාව ඉඹින වාරයක් පාසා, එයාට කිතිකැවෙන වාරයක් පාසා එයා මගෙ බෙල්ල බදාගෙන “අනේ දහම්” කියලා කොඳුරද්දි. ගෑනියෙක්ගෙ එක බැල්මකට, එක ස්පර්ශෙකට, එක වචනෙකට පුලුවන් පිරිමියෙක්ව සෑහෙන්න පිස්සු වට්ටන්න.
“මට පාලුයි ඔයා නැතුව මෙහෙ” කියලා නාද්යාගෙ කටහඬ ආයෙ ෆෝන් එකෙන් එලියට එද්දි මම කරේ මහ හයියෙන් හුස්මක් අතෑරපු එක. ඒ හුස්මෙ තිබ්බා නාද්යාට දැනිච්ච පාලුව වගේ දෙගුනෙක පාලුවක්.
“ඔයාට නම් පාලු මං නැතුව විතරනෙ”
“ඇයි එහෙම කිව්වෙ?”
“මට ඔයායි පුතයි දෙන්නම නැතුව පාලුයි. එක්කෙනෙක් නැතුව දැනෙන පාලුව වගේද දෙන්නෙක් නැතුව දැනෙන පාලුව” කියලා මම කිව්වම නාද්යා ආයෙ කරේ සද්ද නැතුව ඉන්න එක.
මගේ දවස් ඉන්පස්සෙ ගෙවුනෙ උදේ වරුවල තාත්තව හොස්පිටල් වලට එක්කරගෙන යන ගමන්, ඩොක්ටර්ස්ලව හම්බෙන ගමන්, හවස් වරුවල ඉඩ හම්බෙන වෙලාවල් වල නාද්යාට කතා කරන ගමන්.
නාද්යා ඉන්නෙ හිතේ මොකක් හරි දෙයක් හිර කරගෙන කියන එක තේරුණත් තිබුණ වැඩ දාහක් අස්සෙ ඇත්තටම මට වෙනදා තරම් එයා ගැන හොයන්න, එයාගෙන් ඒ ගැන අහන්න වෙලාවක් ඉඩක් කඩක් හම්බුනේ නෑ. මං උන්නෙ සම්පූර්ණයෙන්ම තාත්තාගෙ තත්ත්වෙ ගැන හිතන ගමන් සහ මහන්සි වෙන ගමන්. අනික නාද්යාව අවිශ්වාස කරන්න හේතුවක් මට තිබ්බෙ නෑ. තමන් ආදරේ කරන ගෑනි නැතිවෙයි කියන බයක් ඕනම පිරිමියෙක්ගෙ හිතේ තියෙන්න පුලුවන් උනත් නාද්යාට මාව දාලා යන්න කිසිමාකාරෙක හේතුවක් ඇති කියලා මම කවදාවත් හිතුවෙ නෑ.
ඒ උනාට මං එහෙම හිතුව එක වැරදි කියන එක මම දැනගත්තෙ නාද්යාගෙ ෆෝන් නම්බර් එක ආයෙ කවදාවත් කනෙක්ට් වෙන්නෙ නැති විදියට ඩිස්කනෙක්ට් වෙච්ච දවසෙ.
මම කොච්චර ට්රයි කරත් එයාගෙවත්, කාන්ති අක්කගෙවත් ෆෝන් නම්බර්ස් වැඩ කරේ නෑ. පිස්සුවෙන් වගේ ඒ නම්බර්ස් වලට කෝල් අරගෙන අරගෙන “මම ෆේල්” කියලා තේරුනාට පස්සෙ මට කරන්න තිබිච්ච එකම දේ උනේ අමරසූරියට ගිහින් නාද්යාගෙ ගෙදර බලන්න කියන එක විතරයි.
“ඒ ගෑනු දෙන්නා ළමයත් අරගෙන වත්තෙන් ගිහින් මහත්තයා. මං අර ත්රීවිල් එලවන ළමයගෙනුත් ඇහුවා. උන් දන්නෙත් නෑලු” කියල අමරසූරිය කියද්දි කොහේ හරි ලොකු වැරැද්දක් වෙලා තියෙනවා කියන එක මට තේරුණා.
ඒත් මට කරන්න පුලුවන් වෙච්ච එකම දේ දෙයියන්ගෙන් අහන එක විතරයි.
“නාද්යා ඔයා කොහෙද ගියේ? ඇයි මට නොකිය ගියේ? ඇයි මාව දාලා ගියේ?”
“හමුවුනු අය වෙන්වෙනවා
රිදුවුනු සිත් විඳවෙනවා
දුක ගලා… පෑරී නුරා
රුව මැවි මැවි සිහිවෙනවා
මතකය යලි මතුවෙනවා
දිවි පුරා… ගගුලේ තෙමා”












