සින්දූපා ඇමතුම විසන්ධි කලේ නැත. ඕ ඇමතුමේ සිටියදීම නින්දට ගියාය. ඉන් පසුව මනුජ ඇමතුම විසන්ධි කලේය.
මනුජ ඔරලෝසුව දෙස බැලුවේ, ජංගම දුරකතනයෙන් වේලාව බැලීම අමතකව ඇතිවාක් මෙනි.
” දොලහ හමාරයි….”
සින්දූපා සමඟ ඇමතුම මඟදී ආ විශ්වගේ ඇමතුම , සින්දූපා ගේ ඇමතුමටම සම්බන්ධ කර පසුව ගන්නා බව පවසා විසන්ධද යන්නට හැරි බව මනුජට සිහියේ වූයේය. දවසේ ප්‍රධාන නලුවා ඔහුය. වේලාව අමතක කර මනුජ ඔහු ඇමතුවේය.
” තෝ මඟුලක්ද බං කරන්නේ ??”
විශ්වගේ හඬ කෝපය සමඟින් ඇසුනේය. මනුජ යලි සෙටියේ වැතිරුනේය.
” සින්දූ ලයින් එකේ උන්නා බං.. කෙල්ල අඬනවයි, හූල්ලනවයි බං…”
“මනුජ … මං කියන එක අහපං… ඔය මිනිහා හොඳ තාත්තා කෙනෙක්… හොඳ බිස්නස් කාරයෙක්…. පට්ට හොඳ යාලුවෙක්… සෙට් වෙන මිනිහෙක්….හැබැයි කොයි වෙලාවකවත් සාධාරණ මිනිහෙක් නෙවෙයි…. කොයිම වෙලාවකවත් සාධාරණ මිනිහෙක් නෙවෙයි … උඹ දිහාවේවත්, සින්දූපා දිහාවේවත් යහපත් සිතුවිල්ලකින් බලන්නේ නෑ.. මගේ මාමා තමයි බං… ඒත්, ඌ උගේ අවශ්‍යතාවය විතරයි වටින්නේ කියලා හිතන මිනිහෙක්…”
“මට තේරෙන්නේ නෑ බං… ටිකෙන් ටික ඇවිල්ලා මේ ඉන්නෙ, මට සින්දූපා ව අතෑරගන්නම ඕනි නෑ හිතෙන තැනක බං…”
“අතාරින්නත් එපා… අතෑරගන්න එපා… ඇත්ත .. මං තෝ සින්දූපා එක්ක සෙට් වෙනවට කැමැත්තක් තිබුනේ නෑ…. මං හිතුවේ උඹ ටෛක් පාස් පීස් එකක් ටෝක් කරනවා කියලා… ඒත් මම දන්නවා බං උඹේ නිවීම නංගී ලඟ තියෙනවා…. මට ආයේ උඹව ආපස්සට හැරෙනවා බලන්න ඕනි නෑ…. “
“විශ්ව…අහප…ං..කො…”
“උඹ අහපං… සින්දූපා කසාද බඳිනවා කියන එක ජීවිතේ පහලින්ම තියලා උන්න කෙල්ලෙක්… සින්දූපා කොයිවෙලෙත් හිතුවේ, ඒකිව බඳින්න එන මිනිස්සු , ඒකිගේ සල්ලිවලට ඇටෑච්වෙන උන් කියලා…. සින්දූපා මගෙන් අහනවා, කොහොමද එහෙම නෙවෙයි කියලා විස්වාස කරන්නේ කියලා… මොකෝ, සින්දූපා යාලුවෙලා උන්න කොල්ලො දෙන්නෙක්ම මහා පරිමාණෙන් ඒකිගෙන් දත ගැලෙව්වා… එක කොල්ලෙක් ලක්ෂ විසි ගානක් උස්සලා තිබ්බා.. මාමා එතනදී සින්දූපා ගේ මෙන්ටැලිටි හිතලා ඌ පස්සේ යන එක් නැවැත්තුවා.. මොකෝ ඔක්කොම ට්‍රාන්සැක්ශන් වෙලා තිබ්බේ සින්දූපා ගෙ අකවුන්ට් එකෙන්.. ආයේ රවට්ටලා ගත්තා කියන්නයැ.. එහෙව් කෙල්ල තමා ඔය, උඹ මත්තේ නැහෙන්නේ මනුජ… ඒකි ට දැන් උඹව ඕනි… උඹ එක්ක ඉන්න ඕනි… “
මනුජ විශ්වගේ පැහැදිළි කිරීම අසා සිටින අතරවාරයේම , යමක් සිදු කිරීම වෙනුවෙන් යම් සැලැස්මක් සිතන්නට පටන් ගත්තේය. සින්දූපා ගේ ජීවිතයට තමා නිසාවෙන් වරදක්, අයහපතක් නොවන බව ඒ සැලසුම අතරේ සිතන්නට උත්සාහ කලේය. තමන් දෙදෙනාට සහ තම ප්‍රාණය වන් දියණියට එක මාවතක, එක අරමුණක යන්නට හැකි නොවේදැයි ඒ සැලසුම් අස්සේ ඉඩ සෙව්වේය.
” උඹ අහගෙනද ඉන්නේ ?”
“අහගෙන ඉන්නේ බං…”
“එහෙනම් මේක කන් දෙක හොඳට ඇරලා අහගනින්…. උඹ නංගිව පන්නගෙන පලයං…බැඳපං…”
විශ්වගේ කෝපය පිරුණු හඬ මනුජව උස්සා පොළවේ ගසන තරමේ විය. මනුජ කිසිවක් විමසුවේ නැත. ඒ වෙනුවට විශ්ව සැබැවින්ම පැවසුයේ කුමක්දැයි සිතා බැලුවේය. විශ්ව එවැන්නක් පැවසූයේ කෙලෙසදැයි මනුජ ඉන් පසුව සිතුවේය. මේ සින්දූපා හා තමා එක් මඟක යෑම විය නොයුතු බව කලකට පෙර එකහෙලාම පැවසූ මිනිසාය. මිතුරාය.
” උඹ බීලද ඉන්නේ මනුජ.. කතා කරහං…”
“මං මොනවද බං කතා කරන්නේ ? මට මේ එලොව මෙලොව තේරෙන්නේ නැතුව ඉන්නේ .. “
“පටලගන්න එපා මනුජ… මේ උඹේ ජීවිතේ දෙවෙනි අවස්ථාව නෙවෙයි … මේ අවසාන අවස්ථාව.. උඹලා දෙන්නට දෙන්නා එහෙන් මෙහෙන් රිදෙද්දී රිදෙද්දී අනෙකාගේ රිදෙන එක ගැන වැඩියෙන් හිත හිත ඔය පුරන්නේ, උඹලාගේ ජීවිතවල මෙතෙක් කල් පුරපු නැති පාරමිතාවක්……..”
විශ්වගේ බිරිඳගේ හඬද මනුජට ඇසුනත්, ඇය පවසන්නේ කුමක්දැයි පැහැදිලි වූයේ නැත. එහෙත් ඇය තමාට බැණ වදිනවා වියයුතුයැයි ඔහු සිතුවේය.
” මං කොළඹ එන්නම් බං..”
මනුජ කීවේය.
” වරෙං… පුලුවන් නම් ඩ්‍රයිවර් කෙනෙක් දාගෙන දැන්ම පිටත් වෙයං… සින්දූපා ට කතා කරගනින්..කෙල්ලට මං කතා කරලා පහදන්නම්… මේක ඒකිගේ ජීවිතේ ගැන ඒකි ගන්න ඕනි තීරනයක් කියලා මම කියන්නම්……”
“මට සින්දූපා ගේ තාත්තාගෙන් එයාව උදුරගන්න බෑ බං… ඒ තව අවුරුදු විස්සකින් විසි පහකින්, මායි දෝණියි… මං ආයේ වතාවක්, ගිහින් සින්දූපා ව මගේ ජීවිතේට කොච්චරක් වටින්නවාද කියලා කියන්නම් බං… බැන්නත් අපහාස කලත්, අහගෙන ඉන්නම්.. ආයේ ආයෙම සින්දූවම ඉල්ලන්නම්…”
මනුජගේ හඬෙහිවූ අප්පච්චී කම විශ්වගේ කෝපය ක්ෂය කර දැම්මේය. විශ්ව මද වේලාවකින් ඇමතුම විසන්ධි කර දැම්මේ කිසිවක් නොපවසාමය.
මනුජ කඳවුරේ මිතුරෙකු අමතා රියැදුරෙකු වෙන් කරවාගත්තේ පෞද්ගලික කැබ් සේවයකිනි. මනුජ සියල්ල තීරණය කර අවසන් කලේය. පාන්දර පහ වන විට මනුජ උන්නේ සින්දූපා ගේ නිවස සීමාවේය. උදෑසන හතවන විට ඔහු සින්දූපා ගේ නිවසට ඇතුළු වූයේය. එවිට සින්දුපා උන්නේ නින්දේය. සින්දූපා ගේ මව සහ පියා මිදුලේ පසෙක සකසා තිබූ ඔංචිල්ලා පුටුවේ හිඳ උන් හ.
මනුජ ඔවුන් දෙදෙනාද, ඔවුන් දෙදෙනා මනුනවද දුටුවේ එකම මොහොතේය
” අනේ උදේ පාන්දර රන්ඩු කරගන්නේ නැතිව කතා කරමූ මහත්තයා.. මේ දැනුම් තේරුම් නැති මිනිහෙක් නෙවෙයි නේ…. කියන එක තේරුම් ගනීවි…”
සින්දූපා ගේ මව තම සැමියාගේ අතක එල්ලුණාය.
” ගනියි ගනියි.. නල්ලමලේ යාලුවාට ඊයේ මම අච්චර පැහැදිළි කරලත්, මූ නැගිට්ට පැඳුරෙන් ආයේ ආවනේ ගෑණු ඉල්ලගෙන…”
සින්දූපා ගේ පියා තේ කෝප්පය තණකොළ බිස්ස මතට අතැර නැගිට්ටේය. සින්දූපා ගේ මවඩ ඒ අනුවම නැගිට්ටාය.
මනුජ අඩියට දෙකට ඔවුන් වෙත ඇවිද ආවේය.
” උඹට කියනඑක තේරෙන්නේ නැද්ද ?.”
සින්දූපා ගේ පියා මනුජගේ කමිස කොලරය අල්ලා ගත්තේය. මනුජ එය මුදවාගත්තේ සීරුවෙනි.
” බොහොම හොඳට තේරුනා.. ඒ හින්දා තමයි මෙහෙම ආවේ….”
” මොකක්ද මිනිහෝ මේ නාඩගම …”
“සින්දූපා…?”
“තොගේ කටින් ආයේ මගේ කෙල්ලගේ නම කිව්වොත් උඹේ තරු ගැලවෙන්න මම ….ශිට්…”
සින්දූපා ගේ පියා තමාවම පාලනය කරගන්නට උත්සාහ කලේය.
” මනුජ කියන මිනිහාට , තමන් ආදරේ කරන කෙල්ලව අතාරින එක ලේසි නෑ අංකල්… ඒත් මනුජ කියන තාත්තට, සින්දූපා කියන දුවව එයාගේ තාත්තගෙන් අතෑරවගන්න බෑ…. සින්දූපා ට අඩුවෙන්ම රිදෙන්න මේක ඉවරයක් කරමු…. මං කොළඹ ඉන්නේ.. මාව හම්බෙන්න.. උදේ එලියේ ඉඳන් කෝල් කරා කිහිපවතාවක්ම… ආන්සර් නොකර නිසයි ආවේ…..”
සින්දූපා ගේ මව ගත් හුස්ම පහලට දාගන්නට නොහැකිව මෙන් අසා උන්නාය.












