ඒ සිකුරාදා දවසෙ උදේ පන්සලේ ඝාණ්ඨාරෙ සද්දෙ හිමින් මීදුම අස්සෙන් දෝංකාර දුන්නා.
අරවින්ද එයාගෙ කැමරා පටිය හදාගත්තා. ලෙන්ස් එකේ බර කෙට්ටු, රෝම පිරිච්ච පපුවට දැනුණාට ඒ බර අරවින්දට නුපුරුදු බරක් නෙවෙයි අවුරුදු ගාණක් තිස්සෙ පුරුදු බරක්. පපුව ආසාවෙන් දරාගන්න බරක්. වෙඩින් එකක් කියන්නෙ අරවින්දව සන්තෝසෙන් තියෙන කාරණාවක්.
“වෙඩින් එකකදි හිනාවෙන්න ඒක මගේ වෙඩිමම වෙන්නෝන නෑනෙ මචං. මට තියෙන්නෙ අනුන්ගෙ වෙඩිමකදි උනත් සන්තෝසෙන් ඉන්න පුළුවන් විදියෙ හිතක්” කියලා අරවින්ද කට්ටියට කිව්වෙ අන්න ඒ හන්දා තමයි. වෙඩින් ෆොටෝ ගත්තට අරවින්ද තනිකඩයි. “මේ වයසෙදි මොන කසාදද?” කියලා අරවින්ද ඒ තනිකඩකම භාර අරගෙන උන්නෙ සන්තෝසෙන්. ල්හැබැයි ජීවිතේ පලවෙනි වතාවට මේ වෙඩින් එකේදි ලෙන්ස් එකේ බරට වඩා වැඩි බරක් අරවින්දගෙ පපුවට දැනෙන ගමන් තමයි තිබුණෙ.
ඒත් ඒ බර මොකද්ද කියලා කියන්න අරවින්දට තේරුණෙත් නෑ.
ඒ මනමාලි උන්නෙ එයාගෙ සාරියෙ බ්‍රොකේඩ් කරපු සාරි පොටට ඔහේ බිම වැටෙන්න දීලා පරණ බෝ ගහ යට තියලා තිබිච්ච පුංචි බංකුවක ඉඳගෙන. ඒ මූණ නිස්කලංකයි, ඇස් වල තිබ්බෙ කාලාන්තරයක් තිස්සෙ හිත පතුලෙ හංගගෙන උන්න දුකක් මුහුවෙච්ච අමුතුම වේදනාකාරී නිස්කලංක බවක්. එයා අනිත් මනමාලියෝ වගේ බයෙන් හිටියෙ නෑ. අරවින්දට පෙණුනෙ එයා නිකන් මහන්සියෙන් ඉන්නවා වගේ. ඒක හරියට ගොඩක් මතක හිත අස්සෙ පුරවගෙන තියාගෙන හිටිය හින්දා ආව මහන්සියක් වගේ දෙයක් කියලා අරවින්දට කිව්වා. මනමාලයා පේන්න හිටියෙ නෑ. ඒ නිසා තමයි අරවින්ද හිතුවෙ මුලින් මනමාලිගෙ ෆොටෝ කීපයක් ගන්නවා කියන එක.
අරවින්ද හිනා උනා. ලෙන්ස් එක ඒම් කරලා මනමාලිට කිව්වා,
“චුට්ටක් මේ පැත්ත බලලා, ඔලුව පොඩ්ඩක් ඇල කරලා දත් පෙන්නන්නෙ නැතුව හිනාවෙමුද?”
අන්න ඒ වෙලාවෙ තමයි ඒ මනමාලි අරවින්ද දිහාව බැලුවෙ.
“හැම වතාවෙම ඔයා කතාව පටන් ගන්නෙ ඔය විදියටමද?” කියලා එයා අහද්දි අරවින්ද උන්නෙ ඇත්තටම එයා මොනවා ගැනද මේ කියන්නෙ කියලා හිතාගන්න බැරුව.
“හැමවතාවෙම කිව්වෙ?” කියලා අරවින්ද එයාගෙන් ඇහුවෙ අන්න ඒ හන්දා.
“හැමවතාවෙම කිව්වෙ හැමවතාවෙම” කියලා මනමාලි ආයෙ අහද්දිත් අරවින්ද උන්නෙ උභතෝකෝටියක් අස්සෙ හිරවෙලා. කසාද බඳින්න ලංවෙද්දි මනමාලියන්ගෙ මොලේ නරක් වෙනවද කියලා කල්පනා උනත් ඒ ලස්සන මූණ දිහා බලාගෙන එහෙම කතාවක් අහන්න අරවින්දගෙ පිරිමි හිත ඉඩ දුන්නෙ නෑ.
“හැම වෙඩින් එකක්ම ටික දවසකින් දැනෙන්නෙ එක වගේ. එකම ජාතියෙ සුදු රෝස මල්. එකම විදියෙ පොරොන්දු. එකම විදියෙ සාරි. එකම විදියෙ හෙයා ස්ටයිල්. වෙනස් වෙන්නෙ මිනිස්සුන්ගෙ නම් විතරයි.” කියලා ඒ මනමාලි කියාගෙන කියාගෙන යද්දිත් අරවින්දගෙ පිරිමි හිත තිබ්බේ ගොලුවෙලා.
අරවින්දට ඕන උනා මනමාලිගෙන් අහන්න මොනවා ගැනද මේ කියන්නෙ කියලා. ඒත් ඒ සිතුවිල්ල වචන කරන්න කලින් තමයි මනමාලයා පන්සල් භූමියට ආවෙ. ඒ එන ගමන්ම මනමාලයා මනමාලිට කතා කරා.
“දේවතා” කියලා මනමාලයා කතා කරද්දිත් මනමාලි බලාගෙන උන්නෙ අරවින්ද දිහාව. ඒ ඇස් අස්සෙන් එයා මොනාහරි කතාවක් කියන්න හදනවා කියලා තේරුණාට ඒ කතාව මොකද්ද කියල අඳුරගන්න පුලුවන්කමක් අරවින්දට තිබ්බෙ නෑ.
දේවතා තමන් ඉඳගෙන උන්න තැනින් නැගිටලා සාරිය හදාගත්තා. මල් බොකේ එක අතට අරගත්තා. හැරිලා මනමාලයා දිහාව බලලා හිනා උනා. හරියට අවුරුදු ගාණක පලපුරුද්දෙන් කරනවා වගේ කිසිම ආධුනිකත්වයක් නැතුව දේවතා ඒ හැමදේම කරන්නෝන පිළිවෙලට කරලා දැම්මා. එයාගෙ ලඟින් විසිරිලා ආව සමන්පිච්ච මල් සුවඳක් අරවින්දගෙ නාහෙ අස්සෙන් එයාගෙ පපුව පුරා පිරිලා ගියේ හරිම පුරුදු විදියට.
අරවින්ද තමන් කරන්න ආව රස්සාවට ලෑස්ති උනේ ඒ සමන්පිච්ච මල් සුවඳ එක්ක පපුව බර කරපු අර මොකද්ද කියලා තේරෙන්නෙ නැති බරත් එක්ක. අරවින්ද ලෙන්ස් එක උස්සල ෆොටෝස් කීපයක් ගත්තා. ඒත් එයාට දැනුනා තමන් උන්නේ මේ ලෝකෙ නෙවෙයි කියලා. ඒක නිකන් හරිම unstable moment එකක් විදියට තමයි එයාට දැනුනෙ. හරියට නිකන් කුණාටුවක් එන්න කළින් අවට වාතයේ වෙන පුංචි පුංචි වෙනස්කම් උනත්, ඒ වෙනස අඳුරගන්න පුළුවන් කෙනෙක්ට බරට දැනෙනවා වගේ.
එදා රෑ අරවින්ද තමන්ගෙ ස්ටුඩියෝ එකේදි ඒ ෆොටෝස් එඩිට් කරන්න ගත්තා. සාමාන්‍යයෙන් එයා එච්චර ඉක්මනට කිසිම වෙඩින් එකක ෆොටෝස් එහෙම එදාම එඩිට් කරන්නෙ ගත්තෙ නැති උනාට මේ වෙඩින් එක තමන් කවර් කරපු අනිත් හැම වෙඩින් එකකටම වඩා වෙනස් කියලා පපුව කියන එක අමතක කරලා දාලා ඉන්න පුළුවන්කමක් අරවින්දට තිබ්බෙ නෑ.
එක එක ෆොටෝ ක්ලික් කර කර ගියපු අරවින්දගෙ කර්සර් එක එක තැනක නතර වුණා.
“එහෙම කොහොමද වුණේ?” කියලා අරවින්ද ඇහුවා නෙවෙයි එයාට එයාගෙන්ම ඇහුණා.
ඒ ෆොටෝ එකේ දේවතා උන්නෙ හිනා වෙලා. සයිඩ් එකට ගත්ත ෆොටෝ එකක්. කණ්ණාඩියෙන් පේන දේවතාගෙ රූපෙයි දේවතාගෙ ඇත්ත රූපෙයි දෙකම පේන විදියෙ ෆොටෝ එකක්. ඒත් අරවින්ද පුදුම උනේ ඇත්ත රූපෙ දේවතා හිනා වෙලා උන්නට කණ්ණාඩියෙන් පෙනිච්ච රූපෙ දේවතා උන්නෙ හිනාවෙලා නෙවෙයි කියන එක දැක්කට පස්සෙ. කණ්ණාඩියෙන් පෙනිච්ච දේවතා උන්නෙ අරවින්ද දිහාවම බලාගෙන.ඒ ඇස් අස්සෙ තිබ්බෙ නිකන් කණ්ණලව්වක් වගේ දෙයක්. ආයාචනයක්. ඉල්ලීමක්. බැගෑබර බවක්. මනමාලියෙක් වෙන දවස කියන්නෙ කෙල්ලෙක්ගෙ ලොකුම හීනයක් හැබෑ වෙන දවස කියලා කිව්වට දේවතාගෙ කණ්ණාඩියෙන් පෙනිච්ච ඒ රූපෙ නම් කිව්වෙ ඒක එහෙම නෑ කියලා.
එයා උන්නේ නිහඬවම මොකක් හරි උදව්වක් ඉල්ලන ගමන් වගේ.අරවින්ද හිතුවෙ තමන්ගෙ ඇස් තමන්ට බොරු කියනවා කියලා. එයා ඇස් වහලා ආයෙ ඇරලා දැම්මා. කම්පියුටර් එක ළඟට නැමිලා Pixels බ්ලර් වෙනකම් Zoom කළා. ඒත් කිසිම වෙනසක් උනේ නෑ. “එහෙම දෙයක් වෙන්නෙ කොහොමද?”කියන ප්‍රශ්නෙ චුට්ට චුට්ට හිතෙන් fade වෙලා ගිහින් අරවින්දගෙ හිතට ආවෙ වෙනම ප්‍රශ්නයක්. “ඇයි දේවතා අඬන්න වගේ ඉන්නෙ?” කියන එක.
අරවින්දට දැනුනෙ නිකන් තමන් හරියට දැනගෙන ඉන්න ඕන දෙයක් මොකක් හරි වරදක් නිසා දන්නෙ නෑ වගේ හැඟීමක්. අරවින්ද නිදාගන්න ගියේ හිත බර වැඩි හන්ද උනාට එදා එයාට නිස්කලංකෙ නිදාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. අරවින්ද ආයෙ ෆොටෝ ඇල්බම්ස් වල වැඩ කරන්න පටන් ගත්තෙ දවස් ගාණකට පස්සෙ.
එහෙම කරද්දි තමයි එයාට හම්බුනේ 2015 අවුරුද්දෙ එයා කරපු වෙඩින් එකක ඇල්බම් එක. කොහේ තිබිලා කොයි විදියට open වුණාද කියලා කියාගන්න අරවින්දටත් හිතාගන්න බැරි උනත් ඒ ඇල්බම් එක කම්පියුටර් ස්ක්‍රීන් එකේ ඕපන් වෙද්දි තමයි අරවින්දටත් මතක් උනේ තමන් එහෙම වෙඩින් එකක් කවර් කරා නේද කියන එක. අරවින්ද නිකමට වගේ තමයි ඒ ඇල්බම් එකේ ෆොටෝස් ක්ලික් කර කර බැලුවෙ. ඒ මනමාලිගෙ නම පාරින්දා කියලා එයා දැනගත්තෙ ඇල්බම් එක සේව් කරලා තිබ්බෙ පාරින්දා – මිතුන් කියන නමෙන් හන්දා.
අන්න ඒ වෙලාවෙ තමයි සතියකට පස්සෙ අරවින්ද ආයෙ වතාවක් ලොකුවටම ශොක් උනේ. ඒ ඇල්බම් එකේ හිටපු මනමාලිත් දේවතා වගේමයි කියන එක තේරෙද්දි “එහෙම වෙන්නෙ කොහොමද?” කියන ප්‍රශ්නෙ අරවින්දගෙ හිත අස්සට ආවෙ හරිම ඉක්මනට. ඒ දේවතාමයි. ඇස් එකයි. ඒ ලස්සන මූණමයි. නිකටේ තිබ්බ උපන්ලපේ පවා එකයි.
අරවින්ද එයාටම කියා ගත්තා “මේක නම් coincident එකක්” කියලා. “ගොඩක් වෙලාවට ඔය මනමාලියො එකම වගේනෙ වෙඩින් එක දවසෙ” කියලා අරවින්ද කිව්වට එයාගෙ හිතටම තේරුණා මේ වගේම කෙනෙක්ව තමන් ඊටත් කලින් දැකලා තියෙනවා නේද කියන එක.
අරවින්ද දිගටම ඒ ෆොටෝ ඇල්බම්ස් බල බල බල බල ගියා. ඒ හැම එකකම දේවතාගෙ මූණෙ තිබිච්ච වේදනාවම මේ මනමාලිගෙ ඇස් වලත් ලියවිලා තියෙනවා නේද කියලා හිතෙද්දි අරවින්ද උන්නෙ “මේ මොකද්ද මේ වෙන්නෙ?” කියලා හිතාගන්න බැරුව.
තමන්ගෙ අත් වෙව්ලනවා වගේම ස්ටුඩියෝ එක කලින්ට වඩා සීතලයි කියලා වගේත් අරවින්දට දැනුණා.
“මොකද්ද මේ වෙන්නෙ? කොහොමද එහෙම උනේ?” කියන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බලාපොරොත්තුවෙන් තමයි අරවින්ද 2035 කරපු අලුත්ම ශූට් එකේ උන්න දේවතාගෙ කන්ටැක්ට් ඩීටේල්ස් හොයාගෙන එයාගෙ ගෙදර ගියේ.
ඒක පොඩි වලව්වක් ටයිප් ගෙයක්. කන්දක් පාමුල තිබ්බ ගෙයක්. උණ ගස්වලින් වට වෙච්ච ලොකු වත්තක් මැද්දෙ තිබිච්ච සුදු පාට තින්ත ගාපු ගෙයක්. පාට හේදිච්ච ගේට්ටුවකින් තමයි ඒ වත්ත වට වෙලා තිබ්බේ.
අවුරුදු ගාණකින් ඒ ගෙවල් දොරවල් maintain කරලා නෑ කියන්න වගේ තමයි ගේට්ටුවෙ එක පැත්තන පාසි එහෙමත් බැඳිලා තිබ්බේ. අරවින්ද ගෙදර දොරට තට්ටු කරා. ඒ තට්ටු කිරිල්ලට දොර ඇරියෙ හරිම වයසට ගියපු මනුස්සයෙක්.
“දේවතා ඉන්නවද?” කියලා අරවින්ද අහද්දි ඒ මනුස්සයගෙ ඇස් නිකන් හීනි උනේ “කවුරු ගැනද මේ අහන්නේ?” කියලා වගේ.
“දේවතා කිව්වේ?”
“අර මේ වෙඩින් එක ගත්තෙ ගිය සතියෙ. දේවතා. එයාගෙ ගෙදර නේද මේ?” කියලා අරවින්ද අහද්දි ඒ මනුස්සයා දොර සම්පූර්ණයෙන් ඇරගෙන එලියට ඇවිත් අරවින්ද දිහාව හොඳට බැලුවා. ඒ ඇරිච්ච දොරෙන් එපිට තිබ්බ බිත්තියෙ එල්ලලා තිබිච්ච දේවතාගෙ ෆොටෝ එක දැක්කම අරවින්දට තේරුණා තමන් ඇවිත් තියෙන්නෙ හරි තැනට කියන එක. ඒ උනාට ගිය සතියෙ මගුලක් ගත්ත ගෙදරක තියෙන පෙනුම නෙවෙයි නේද මේ ගෙදර තියෙන්නෙ කියන එක අරවින්දට ඒත් හිතුනා.
“ගිය සතියෙ වෙඩින් එක ගත්තෙ? දේවතා? එහෙම කෙනෙක් මෙහෙ නෑනෙ මහත්තයා” කියලා ඒ ආච්චි කිව්වා.
“අර බිත්තියෙ ෆොටෝ එක තියෙන්නෙ. අන්න එයා ගැන මං කියන්නෙ” කියලා අරවින්ද කියද්දි ඔලුව හරවලා දේවතාගෙ ෆොටෝ එක බලපු ඒ ආච්චි ආයෙ අරවින්ද දිහාව බැලුවෙ ඇස් දෙක ලොකු කරගෙන.
“අපේ පාරින්දව කොහොමද ඔය මහත්තයා දන්නේ?” කියලා ඒ ආච්චි අහද්දි තමයි අරවින්දට මතක් උනේ අර 2015 ෆොටෝ ඇල්බම් එකේ මනමාලිගෙ නම නේද ඒක කියන එක.
“පාරින්දා නෙවෙයි දේවතා. ගිය සතියෙ වෙඩින් එක ගත්තෙ. මට එයා එක්ක චුට්ටක් කතා කරන්නෝන. අනික කවුද ඔය පාරින්දා කියන්නෙ? ඒ දෙන්නා ට්විස්න්ලද?”
“ඒක වෙන්න බෑ මහත්තයි. පාරින්දා කියන්නෙ මගෙ දුව.දේවතා කියලා කෙනෙක්ව මං දන්නෙ නෑ මගේ දුව මැරිලත් දැන් අවුරුදු විස්සකට වැඩියි. එයාගෙ මගුල දවසෙමනෙ අපරාදෙ කරගත්තෙ. අවුරුදු විස්සයි මහත්තයො මැරෙද්දි. මැරුණා නෙවෙයි මරාගත්තා”
අරවින්ද උන්නේ නිකන් කරකැවිල්ලක වගේ. ඒ ආච්චි කියන වචන මොන මොනවද කියලා හිතාගන්න බැරුව.
“මං දන්නෙ නෑ මහත්තයො මොන හිතකින් ඒ දරුවා ගඟට පැන්නද කියලා. මිනිස්සු කිව්වෙ වැරදීමක් කියලා උනාට. පාලමෙන් පැනලා ගඟට පනිනවා කියන්නෙ වැරැද්දක් වෙන්න බෑනෙ මහත්තයො.
මගුල් දවසට කලින් සති ගණන් ඇඬුවා. කසාද බඳින්න බෑමය කිව්වා. අපිමයි කිව්වෙ ඒ මනුස්සයා හොඳයි බඳින්න කියලා. මගෙයි එයාගෙ අප්පච්චිගෙ වචනෙටමයි ඒ ළමයා කසාදෙට කැමති උනේ. කැමති උනා නෙවෙයි අපි කැමති කරගත්තා. අන්තිමේ අපිට අපේ දරුවත් නැතිවෙච්ච එකයි උනේ.
අපි දැනන් උන්නෙ නෑ වෙන කවුරුහරි ගැන හිතාන ඉන්නවය කියලා. එයා නැතුව වෙන කවුරුවත් බඳින්නෙ නැතෙයි කිව්වට ඒ කවුරු ගැනද කියන්නෙ කියන එක අපි දැනගෙන උන්නෙ නෑ මහත්තයො. අපේ පැලැන්තියට ගැලපෙන කෙනෙක් උනානම් කීයටවත් අපි ඒ කටයුත්තට අකමැති වෙන්නෙ නෑ කියල ඔය ළමයා හොඳාකාරවම දැන උන්නා. එහෙම එකේ කිව්වෙ නැත්තෙ අපේ පැලැන්තියට නොගැලපෙන හන්දද මන්දා. ඒත් දෙයියනේ මෙහෙම අපරාදයක් කරගන්න හිතන් ඉන්නවා කියලා දන්නවනම් හිඟන්නෙක්ව හරි බඳින්න අපි ඉඩ දෙනවනෙ මහත්තයා” කියලා ඒ ආච්චි කියද්දි අරවින්ද උන්නෙ එතනින් පිටවෙන්න බලාගෙන.
අරවින්ද තව වචනයක්වත් කියන්නෙ නැතුව ගෙදරින් පිට වුණා, තමන්ට පිටිපස්සෙන් ගෙදර දොර වැහෙන සද්දෙ අරවින්දට ඇහුනා.එදා රෑ එයා තමන්ගෙ ස්ටුඩියෝ එකේ වාඩිවෙලා මොනිටරේ දිහා බලන් හිටියා. එළියෙ තිබ්බෙ මහ වැස්සක්. ඒ වැස්සෙ සද්දෙටම අරවින්දගෙ පපුව තිබ්බේ බීට් වෙන ගමන්.
කරන්ට් එක ගියේත් ආයෙ ආවේත් මහ අමුතුම තාලෙකට. කම්පියුටර් ස්ක්‍රීන් එක තිබ්බේ අමුතුම විදියකට දිළිසෙන ගමන්. ඒ ස්ක්‍රීන් එක මැද්දෙ හිනාවෙවී උන්නෙ දේවතා. නෑ ඒ පාරින්දා. නෑ දේවතා. නෑ ඒ දෙන්නම. ඒ දෙන්නම එක්කෙනෙක්.
එයා උන්නෙ අරවින්ද දිහා බලාගෙන හිනාවෙලා.
හැබැයි ෆොටෝ එකක් විදියට නෙවෙයි.
හරිම realistic විදියට.
“ඔයා අන්තිමේදි මාව හොයාගත්තා එහෙනම්” කියලා එයා කියද්දි අරවින්ද කරේ තව හොඳට එයා දිහා බලාගෙන ඉන්න එක.
“ඔයා කවුද?”
“මට ආදරේ කරන්නෙ නැති කෙනෙක්ට පණ ඇරලා ආදරේ කරන කෙනෙක්”
“මට තේරෙන්නෙ නෑ ඔයා මොනවද කියන්නෙ කියලා”
“හැමවතාවකම මම මං ආදරේ කරන කෙනාව හොයනවා. හැම වෙඩින් එකකදිම මම බලන්නෙ මාව අයිතිකරගන්නෙ මට ඇත්තටම ආදරේ කරන කෙනාද කියන එක. ඒ උනාට ඒ හැමවතාවකම මම රැවටෙනවා. ආයෙ ආයෙ ආයෙ මම රැවටෙනවා. ආයෙ ආයෙ බැඳෙනවා. ආය ආය ලිහෙනවා. හැමවතාවකම ඒක තමයි වෙන්නෙ. ඒත් මට කවදාවත් මට ඇත්තටම ආදරේ කරන කෙනාව හොයාගන්න පුළුවන් උනේ නෑ.හරියට සාපයක් වගේ. ආයෙ ආයෙ ආයෙ මම විඳවන එක තමයි වෙන්නෙ.
හැම පාරම, මට මතකයි. හැම පාරම, එයාලට අමතක වෙනවා. ඔයාට මතකද අපේ පළවෙනි වෙඩින් එක. අවුරුදු සියයකට කලින් විතර අපි හම්බුනේ. ඒ වතාවෙත් ඔයා කරේ මට හිනාවෙන්න කියලා ෆොටෝ ගන්න හදපු එක. මං උන්නෙ ඇත්තටමවත් හිනාවෙන්න බැරුව. එහෙම එකේ කොහොමද ෆොටෝ එකකට හිනාවෙන්නෙ කියන එක මම ඔයාගෙන් ඇහුවට ඔයා එදා ඒකට උත්තරයක් දුන්නෙ නෑ. ඒ උනාට මතකද ඔයා පොරොන්දු වුනා හැම ජීවිතේකදීම ඔයා මාව ආයෙ හොයාගන්නවා කියලා.
ඒත් මට හැමදාම ඔයාව හම්බ වෙන්නෙ පරක්කු වෙලා. සමහරවිට මේ පාර ඒ සාපෙ කඩන්න පුළුවන් ඔයාට වෙන්න ඇති.”
ආයෙ මහ අකුණක් එක්ක කරන්ට් ගියා. ආයෙ කරන්ට් එද්දි දේවතා එහෙම නැත්තම් පාරින්දා ස්ක්‍රීන් එකේ පේන්න උන්නේ නෑ. අරවින්ද පිස්සුවෙන් වගේ ආයෙ ආයෙ කම්පියුටර් එක ඔන් කර කර බැලුවා. ඒත් එයා ආවෙ නෑ.
අරවින්ද ෆොටෝ ගන්න එක නැවැත්තුවෙ අන්න එදා. අහන හැමෝටම එයා කිව්වේ “මම පොඩි බ්‍රේක් එකක් ගන්නවා” කියලා. කැමරා එක කැඩිලා කියලත් කිව්වට ඇත්තටම කැඩිලා තිබුනෙ එයාගෙ හදවත. ෆොටෝ ගන්න කොච්චර උත්සහ කරත් ඒ හැම වතාවකම ලෙන්ස් එකෙන් අරවින්ද දැක්කෙ දේවතාගෙ ඇඬුම්බර ඇස් දෙක.
දේවතාව හොයලා හොයලා පිස්සු හැදිලා වගේ ජීවිතේ කලකිරිලා වගේ උන්න දවසක අරවින්ද බේරේ වැව ළඟ ඉර බැහැන් යනවා බලන් උන්නා. ඒ වෙලාවෙ තමයි එයාට ඇහුනෙ කාගෙහරි පා සළඹක සද්දෙ.
“අනේ මගෙ බෑග් එක චුට්ටක් අල්ලගන්නවද? මගෙ සෙරෙප්පුව කැඩුනනෙ” කියලා කියද්දි අරවින්ද හැරිලා බැලුවෙ ඒ කටහඬේ තිබිච්ච හුරුපුරුදු ගතියට.
අරවින්ද උන්නෙ ගල්වෙලා.
ඒ දේවතා. එහෙම නැත්තම් පාරින්දා.උපරිම ඕන නම් අවුරුදු දහ නමයක වගේ පෙනුමක් තිබ්බේ. එයාගෙ මූණ, ඇස්, හිනාව ඔක්කොම හැම වතාවකම වගේ තමයි අරවින්ද එදත් දැක්කේ. අරවින්ද තමන් දිහාව අමුතු විදියට බලාගෙන ඉද්දි තමයි ඒ ළමයා අරවින්දගෙන් ඇහුවෙ “මම ඔයාව දන්නවද?” කියලා.
අරවින්ද කරේ හිනාවෙන එක. ඒ හිනාව එක්කම අරවින්ද එයාගෙ අතේ තිබිච්ච බෑග් එක තමන්ගෙ අතට ගත්තා. තමන්ට වඩා අවුරුදු බර ගාණක් පොඩි කෙල්ලෙක් තමයි මේ තමන්ගෙ ඇස් ඉස්සරහා කියන එක හිත කිව්වට අනිත් අතට අරවින්ද හිතට කිව්වා “Age is just a number” කියලා.
“තාම නෑ, ඒත් සමහරවිට ඔයාට මතක් වෙයි.” කියලා.
තමන්ගෙ නම මදහසී කියලත්, තමන් තාම ඉගෙන ගන්නවා කියලත් කිව්ව ඒ ළමයා එතනින් ගියේ අරවින්දට බායි කියලා.
කාලාන්තරේකට පස්සෙ එදා ගෙදර ආව අරවින්ද ආපහු වතාවක් ස්ටුඩියො එක ඇතුලට ගිහින් මකුලු දැල් බැඳිච්ච කම්පියුටර් එක ඔන් කරා.
එදත් මහ වැස්ස. කලින් වතාවෙ වගේම. මහා අකුණකට පස්සෙ කරන්ට් ගියා. ආයෙ කරන්ට් ආව. කම්පියුටර් එක ඔන් උනා. ස්ක්‍රීන් එකෙ උන්නේ දේවතා. පාරින්දා එහෙමත් නැත්තම් මදහසී. හැබැයි එයා අද හිනා උනේ ඇත්තටම. එයාගෙ ඇස් වල තිබ්බෙත් ලොකු සන්තෝසයක්.
“මම ඔයාව ආයෙ හොයාගත්තා.” කියලා අරවින්ද කිව්වෙ හරි ආදරෙන්.
පාවෙලා වගේ ඈතකින් ආව කටහඬක් අරවින්දගෙ කනට කෙඳිරුවා
“මේ පාර මාව මගෑරගන්න එපා.”











