සින්දුපා පැය කිහිපයක් තුල යතාවත් වූවාය. එහෙත් මනුජ උන්නේ ඔහුටම දරාගන්නට නොහැකි මානසික මට්ටමකය. ඔහු දියතලාවේ නිවසට ඇතුලු වූයේද පියවි සිහිය නැතිවා මෙනි. මෙය දරා ගැනීම තමාට නොහැක්කක් නොවන බවත්, එහෙත් ඒ මට්ටම දක්වා පත් වීමට තමාට යම් කාලයක් අවශ්‍ය වීමේ වරදක් නැතැයි මනුජ සිතුවේය. එලෙසින් සිතා ඔහු ප්‍රමාණය ඉක්මවා යමින් මත් වූයේය. ජංගම දුරකතනයද ක්‍රියා විරහිතව තිබූ නිසා කිසිවෙකුගෙන් බාධා වූයේද නැත.
“ හෙට නිර්ධා එක්ක හොස්පිට්ල් ගිහින්, සින්දූගේ ඉස්සරහටම ගිහින්, මේ දුකෙන් සින්දූව එලියටම ඇදලා දානවා මම…”
එහෙත්, මනුජගේ කොළඹ නිවසේ වූයේ නිදි නැති තත්වයකි. මනුජ කොළඹ පැමිනෙන බව පවසා තිබුඅන්ද, ඔහුගේ ජංගම දුරකතනය සවස පටන්ම ක්‍රියා විරහිතවය. අවසානයේ විමුක්ති මනුජගේ කඳවුරේ මිතුරෙකුගේ අංකයක් සොයා ගැනීමට සමත්ව තිබුනේය. ඔහු මනුජගේ නිවසට ගොස් සොයා බලා පණිවිඩයක් දෙන්නට පොරොන්දු වූ පසුවද, නිවසේ සියල්ලන්ම උන්නේ හිත් වල වූ කලබලය සමඟමය.
“ විම්මා …. කමාන්ඩර් මනුජ හොඳටම ඩ්‍රින්ක්ස් අරන් .. අපි ගිහින් ඇහැරෙව්වාට පස්සේ දැන් එකපාරටම කොළඹ යන්න ඕනි කියලා මතක් වෙලා කොළඹ එන්න හදනවා… අපේ ඩ්‍රයිවර් කෙනෙක් ගෙන්නගෙන එවන්න හදන්නේ මේ…ඒකට ෆුල් බාල්දි දාන ගමන් කමාන්ඩර් ඉන්නේ.. ඒත් බය වෙන්න එපා.. තනියෙන් එවන්නේ නැ…”
“ අනේ මචං .. මොකක් හරි ක්‍රමයක් ඇරේන්ජ් කරලා එවපං … එහෙම නැත්නම් මම මෙහෙන් එනකල් ඔහේ තියාගනින් …”
“ නැ නෑ . ආයේ දෙපැත්තකට යන එකේ තේරුමක් නෑනේ.. උඹ හිටහං …. අපි එවන්නම් පරෙස්සමට … පොඩ්ඩක් කතා බහ කරලා බලහං බං …. මොකක්ද ප්‍රශ්නේ කියලා… ඩිවෝස් එකෙන් පස්සේවත් මෙච්චරට පිස්සු කෙලියේ නෑ.. අද ෆෝන් එකෙත් කුඩු වෙන්න බිත්තියේ ගහලා.. එ මදිවට කාර් එක රිවර්ස් කරද්දී සයිඩ් මිරර් එක කුඩුලු …… දැනුත් මේ අමුවෙන්මද කොහෙද ගහලා තියෙන්නේ …… මෙහෙම ගියොත් බබා පවු … “
විමුක්ති ඇමතුමෙන් පසු සියලු දෙනාට ඇසෙන්නට සියල්ල පැවසුවේය.
“ අර දොස්තර ගෑණි මගේ කොල්ලාව විනාශ කරනවා…”
මනුජගේ මව එක්වරම කීවාය.
එහෙත් මනුර්‍යා එයට එකඟ වූයේ නැත. ඕ සින්දුපාව දැන උන්නාය. ඇය අයියාට කෙතරමකින් පෙම් කරනවාදැයි දැන උන්නාය.
“ නෑ අම්මේ ..සින්දූපා එහෙම කෙනෙක් නෙවෙයි… මෙතන වෙන මොකක් හරි දෙයක් වෙනවා… සින්දූපාගේ ගෙදරින් මේකට අකමැති කතාව එක්ක …”
“ මගේ කොල්ලාගේ අඩුව මොකක්ද ?…”
‘
“ අම්මේ .. එහෙම අඩුවක් හින්දා නෙවෙයිනේ .. අයියා මැරි කරලා , දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් නේ … ඒකනේ තියෙන ගැටලුව .. අනෙක සින්දූපාලා කියන්නේම කෝටිපති බිස්නස් කාරයෝනේ … එහෙම මිනිස්සු එක්ක ලේසියෙන් පෑහෙන්න බෑ අම්මේ… අම්මා හිතන්නකෝ, අයියාවයි සින්දූපාවයි සෙපරේට් කරන්න ඒගොල්ලො නිර්ධාව පවා මෙහෙට ගෙන්නගත්තානේ…”
“ ඔයා නිර්ධා එක්ක කතා කරනවා නේද ?..”
විමුක්ති ඉන් පසුව යමක් සිහි වූවාක් මෙන් විමසුවේය. මනුර්‍යා හිස වැනුවාය. වේලාව රාත්‍රී දොලහත් පසුවී නමුත් ඕ නිකමට මෙන් නිර්ධා ඇමතුවාය.
“ ඇයි නංගී ?…”
ඕ තත්පර කිහිපයක් තුල පිළිතුරු දුන්නේ, උන්නේ නින්දේ නොවන බව පෙන්වමිනි.
“ අක්කේ .. මෙවෙලේ කතා කරලා කරදරයක් කරා නම් සමාවෙන්න ….මෙවෙලේ කර කියා ගන්න දෙයක් නැතිකමට ඔයාට ගත්තෙ..”
“ කරදරයක් නෑ නංගි .. අපි දෙන්නා ඇහැරිලා හිටියෙ…. ඇයි ?.. මොකක්ද ප්‍රශ්නේ ?..”
“ අක්කේ… ඔයා අයියාව මුණ ගැහුනාද ?..”
“ මනුජද ?…”
“ ඔව් … “
“ අයියා ..අක්කට මොනවාහරි කිව්වාද ?… මං කියන්නේ … සින්දූපා ගැන…”
නිර්ධාට කිසිත් සඟවන්නට අවැසි වූයේ නැත. ඕ මනුජගේ සැලසුම් පිළිබඳව තමා දන්නා කොටස නොවලහා කීවාය. මනුර්‍යා අවසානයේ අසා උන්නේ හඬා වැටෙමිනි. තමා අයියාට කල චෝදන සහ ඔහුගේ බැඳීම් පිළිබඳව වන වගවීම ගැන කල බැණ වැදීම් ඇයට දෝංකාර දෙමින් ඇසෙන්නට විය. මනුර්‍යා වටා උන් සියලු දෙනාම වඩා ඉවසිලිමත් වෙමින් බලා උන්නෝය. එකිනෙකාගේ සිත් වල එකිනෙකට වෙනස් හේතු සිය ගණනක් මැවෙමින් තිබුණද, එක් අයෙකුවත් එකිනෙකා හා කතා කරන්නට උත්සුක වූයේ නැත.
“ මගේ අයියා පව් විමුක්ති … අනේ…”
මනුර්‍යා ඇමතුම අවසන් කරාට පසුවද, කිසිත් නොපවසාම හඬා වැටුනාය. විමුක්තිද කිසිත් නොවිමසා සිටින්නයැයි අනෙක් පිරිසට සන් කරමින් මනුර්‍යා අස්වසන්නට වූවේය.
“ අයියා … නිර්ධා එක්ක ආයේ සෙට්ල් කියලා සින්දූපාට පෙන්නලා, සින්දූපාගෙන් බලෙන්ම බ්‍රේක් අප් වෙන්නලු යන්නේ… හෙට නිර්ධා සින්දුපාගේ හොස්පිට්ල් එකට යන්න තියෙලු ට්‍රීට්මන්ට්ස් වලට … අර ජනිඳු අයියාට එන්න එපා, අයියා නිර්ධා අක්කව එක්ක යන්නම් කිව්වලූ … ඉන් පස්සේ, බැරි වෙලා හරි, සින්දූපා නිර්ධා අක්කාගෙන් අයියයි එයයි අතරේ ආයේ සම්බන්ධතාවයක් තියෙද ඇහුවොත්, ඔව් වගේ අදහසක් ඇඟවෙන්න කතා කරන්න කීවලු …..”
“ මූ හිතාගෙන ඉන්නේ, ජීවිත වල චිත්‍රපට කතා ලියන්නද මන්දා …”
මනුජගේ පියා එපමණක් පවසා පසෙකට ඇවිද ගියේ හද මත පටවාගත් මහ බරක් සමඟය.
මනුජගේ අම්මා කිසිත් නොපවසා සෙටියේ හිඳ උන්නාය.
එහෙත්, මනුජ කිනම් වේදනාවක් විඳිනවා ඇතිදැයි යන සිතුවිල්ලෙන් මිදෙන්නට ඇයට හැකි වූයේ නැත.
“ අපි මොකක්ද කරන්නේ විමුක්ති ?…”
“ ඉස්සෙල්ලම සින්දූපාට කතා කරලා බලමු …”
“ හා … “
“ මේ රෑ …කමක් නැද්ද ?..”
“
“ අපි නිදි නැති එකේ ඒ කෙල්ල නිදි වෙන්න බෑනේ …”
විමුක්ති සින්දූපාගේ ජංගම දුරකතන්යට ඇමතුමක් ගත්තා වුවද, එය ක්‍රියා විරහිත බවට අඟවන වාදනයක් විය. පසුව ඔහු නිවසේ දුරකතනයට ගත්තේය. දෙවතාවක් නාද වීමෙන් පසු පිළිතුරු ලැබුණි
“ සින්දූපා ඩොක්ටර් ඉන්නවාද?..”
“ බබා ගෙදර නෑනේ..”
ඒ නිවසේ අත් උදව්වට සිටින තැනැත්තියක බව හඳුනාගත් විමුක්ති , පැකිලීමක් නැතිවමවිස්තර ඇසුවේය.
“ දවාලේ බබා කාමරේ සිහි නැතුව වැට්ලා ඉඳලා ඉස්පිරිතාලේ ගෙනිච්චාට පස්සේ තවම ආරංචියක් නෑ මහත්තයෝ ….. ලොකු නෝනලා ගෙදර ආවෙත් නෑ .. අපි මේ නිදි නැතුව ආරංචියක් එනකල් ඉඳලා ඉඳලා බැරිම තැන ඇහැ පියාගත්තේ …”
විමුක්ති ඒ ඇසුනේ කුමක්දැයි සිතන්නට තත්පර කිහිපයක් ගනිමින්ම ජංගම දුරකතනය විසන්ධි කලේය්.
“ ඇයි ?..”
“ එහෙත් ගිණි …”
“ ඇයි පුතේ ?..”
මනුජගේ අම්මාද හදිසි වූවාය.
“ සින්දූපා ෆේන්ට් වෙලා කාමරේ වැටිලා ඉඳලා හොස්පිටලයිස් කරලා දවල් … මොක නමුත් අපේ මිනිහා දවල් ගින්නක් අවුලවන්න ඇති.. ඒකෙන් දෙන්නාම පිච්චෙන ගමන් ඇත්තේ ඔය…”
මනුර්‍යා අම්මා අසල හිඳගත්තාය. ඕ අස්වැසුවාය.
“ බය නොවී ඉන්න අම්මේ… සින්දූපා අයියාට හරි ආදරෙයි .. දෝණිටත් ..ඉතින්, අයියාගේ හිත මෙච්චර කැපකිරීමකින් සින්දූපාව ප්‍රශ්න වලින් පැත්තකට කරලා තියන්න නේ හදන්නේ.. ඒ දෙන්නාට වරදින්න කිසිම හේතුවක් නැති වෙයි අම්මේ…. පොඩ්ඩක් ඉවසමු .. අම්මා කල්පනා කරලා අසනීප වෙන්න බෑ… එහෙම වුනොත් මේ ප්‍රශ්න තව වැඩි වෙනවා… අයියාට මුකුත්ම කර කියා ගන්න බැරි වෙනවානේ…”
මනුර්‍යා වඩා වගකීම් සහගත වන්නට ඉටා ගත්තාය.












