ගින්දර ආදරය

මගේ දෙවැනි චිත්‍රපටය හුඟක් සාර්ථක වෙච්ච හින්දා මං හිතුව වගේම මට චිත්‍රපටි ගලාගෙන ගලාගෙන ආවා. හුඟක්ම  සංතෝෂ වුනේ ප්‍රොපෙසර්  මල්දෙනිය ගේ චිත්‍රපටියකට මට ආරාධනාව හම්බුනා හමයි. ඇහිපිල්ලමක් ගහන තැන ඉඳලා විලුබ  උස්සන තැන දක්වාම කරන්න ඕනේ හැඟීම් හැම දෙයක්ම මහා පුදුමාකාර විදිහට මල්දෙනිය මට කියලා දුන්නා .

බොහොම පෝසත් කුලවත් කාන්තාවක් තමන්ගේ මහත්තයා ගේ  ලියන කියන වැඩ වලට එන තරුණ පිරිමි ළමයා ගැන ඇතිකරගන්න ආදර හැඟීමෙන් හිතේ විඳවන විදවීම තමයි මේ චිත්‍රපටිය පුරාවටම තිබුනේ .ඒ වෙනකොට නිර්මාල් ගෙයි මගෙයි සම්බන්ධය බිඳිලා තිබිච්ච හින්දා මම කොහොමත් හිටියේ ඒ වගේ මානසිකත්වයක තමයි .

එක්සලන්ට්
මදුරිකා ……මාවලස් මදූ…. කිය කියා ප්‍රොපෙසර්  මල්දෙනිය හුඟක් සීන් වලදී මාව වර්ණනා කළා.
ෂූටිං සේරම ඉවර වෙලා අන්තිමේදී ප්‍රොපෙසර්  මල්දෙනිය ට ඕනේ වුණා මාත් එක්ක එයාගෙ බදුල්ලේ තිබිච්ච පුංචි ගෙදර රාත්‍රී කෑම භෝජනයකට යන්න. ඒ ගෙදර හරිම ලස්සනයි .මුළු ගේ පුරාවටම විදුලි බුබුළු වෙනුවට තිබුණේ ඉටිපන්දම් පත්තු කරලා එයාගේ සේවක නාදන් තමයි ඒවා ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ. හැම ජනේලයක් උඩම සුවඳ හමන කානේෂන් මල් පොකුරු තියලා තිබුණා. මුළු ගෙදරම බිත්ති වල ලාකොල පාට ආර්ටිෆිශල් තනකොල කාපට් එකක් අලවලා තිබුනෙ. බිම  සම්පූර්ණයෙන්ම ලා නිල් පාටක් ගත්ත කාපට් එකක් එලලා තිබුනේ.  හරියට අමුතුම ලෝකෙකට ගිහිල්ලා වගේ දැනුනා. ඒ වෙනකොට මමයි මල්දෙනියයි හිත් වලින් ගොඩක් ලං වෙලා හිටියෙ .මට නිර්මාල්ව අමතකම වෙලා තිබුණා.  මල්දෙණිය ට හරිම ලස්සනට පියානො ගහන්න පුළුවන් .එයා එදා රෑ නිල් අහස් තලේ සින්දුව පියානෝ එකෙන් ගහන කොට මම එයා ළඟට වෙලා ඉඳගෙන අහගෙන හිටියා.එයා ආසම රතු පාට ඕසකා වයින් වලින් අපි දෙන්නම වයින් වීදුරු දෙකක් බිබී තමයි හිටියෙ. මට ආපහු ගෙදර යන්න හිතුන්නෑ. ගෙදර ගියත් කවුද මං ගැන හොයන්නෙ. මම  මල්දෙණියේ ළඟ නැවතුනා.ඒක එයාට ලොකු සතුටක් කියලා රුබි මැනික් වලින් කරපු කරාබු දෙකකුත්  මට දුන්නා.
ඊට පස්සේ එයා කරපු හුගක් චිත්‍රපටි වල ප්‍රධාන නිළිය වුණේ මම. මල් ගේ ගෙදර  ලොකු පුස්තකාලයක් තිබුණා .ඒකෙ හරි ලස්සන පොත් පත් ගොඩක් තිබුණා.ඒකෙ තිබිලා තමයි මම මුලින්ම සද්ධර්ම පුණ්ඩරික ය කියෙව්වේ .රාහුලෝවාද යෙ සිංහල පරිවර්තනය හම්බුනෙත් මට එකේ තිබිලා .මල්දෙණිය හරිම ඉවසිලිවන්තයි එක දිගටම මාවම දාලා චිත්‍රපටි කරපු හින්දා ඊළඟට එයාට ඕනේ වුණා රේවතීව  දාලා චිත්‍රපටයක් කරන්න .හැබැයි එකේ මැදි වයසේ ඉන්න ප්‍රේමවන්තයාගේ චරිතය රඟපෑවෙත් මල්දෙනිය මයි .පිටපත මමත් කියෙව්වා .
ඒත් ඒ වෙලාවෙදි මට මුකුත් හිතුනෙ නෑ… ඒක ෂූට් කරන වෙලාවෙ නම් මට යන්න බැරි වුණා ..ඔක්කොම ඉවර කරලා රේවතීගෙයි  මල්දෙනිය ගෙයි චිත්‍රපටිය නම් කරලා තිබුණේ
මම නොවන මම කියලයි .ඒක ටිකක් සම්භාව්‍ය ගණයේ එකක් .ඒ වෙනකොට මම පුදුම විදිහට මල්දෙනිය ට ආදරය කරන්න පටන් අරන් තිබුණා. අපේ ජීවිත වල නීත්‍යානුකූල කසාදයක් කියන දෙයක් කතා කෙරුනෙ නෑ .
එදා හැන්දෑවේ මල්දෙනිය ගෙදර ඇවිල්ලා එඩ් ශීරන්ගේ  perfect night සිංදුව පියානෝ එකෙන් ගහනකොට මං උන්නෙ පිටිපස්සෙන් එයාව බදාගෙන .එහෙම ඉන්නවට එයා ඉස්සර ඉඳම්ම හරි ආසයි. එතකොට ලොකු උණුහුමක් ආරක්ෂාවක් එයාට දැනෙනවලු .ඉස්සර මට ඒක විහිළුවක් වගේ දැනුනට දැන් දැන් එහෙම ඉන්නවට වැඩිපුර ආස වුනේ මම .රේවතීගෙයි මල්ගෙයි
චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න මමත් ගියා .ඒකේ එක කෑල්ලක තිබුණා රේවතිත් එක්ක මල්දෙනිය සම්භෝගයේ යෙදෙන කොටසක් .ඒත් කිසිම  වෙලාවක ඒක එහෙමයි කියලා පෙන්නන දර්ශනයක් තිබුණේ නැහැ. තදින් රේවතී ගේ මූණ තුන් හතර පාරක් මල්දෙනිය සිප ගන්න දර්ශනයක් විතරයි තිබුණේ .
ඊට  පස්සේ  මල්ට තිබුණෙ කැමරාව පැත්තට මූණ හරවන්න.
මට හරි පුදුම හිතුනා… ඒ මූණ දැකලා… මල්ගේ මූනේ පිරිලා ඉතිරිලා තිබුනේ අංගසම්පූර්ණ පරිපූර්ණ කාම සම්භෝගය කින් පසුව පිරිමියෙකුගේ මූනෙන් මතු වෙන අතිශය තෘප්තිමත් හැඟීම් ගොන්නක් ….මට විශ්වාස කරන්නත් බැරි උනා …කොහොමද එහෙම හැඟීමක් එයාගේ මූණෙන් මතු වෙන්නේ කියලා…. මගේ පපුව ඉරිතලලා ගියා…. නිර්මාල් එක්ක මගේ සම්බන්ධය බිඳිච්ච නිසා මට ඒ වෙලාවේ චිත්‍රපටි වල විරහ වේදනාවේ කොටස් නිසි ආකාරයෙන් කරන්න පුළුවන් වුණා වගේ රේවතී නිසා මල්දෙණිය ගේ හැඟීම් අලුතෙන් උද්දීපනය වෙලා කියලා මගේ හිතේ ගිනි පුපුරු පිට වෙන්න පටන් ගත්තා… ගෙදර ඇවිල්ලා සතියක් යනකම් මට මල්දෙනිය එක්ක කතා කරන්න හිතුනෙ නෑ.. මං තරහා වෙලා ඉන්නේ  කියලා මල්ට තේරුනේ නැහැ… තේරුණාද …දන්නෙත් නැහැ … ඇයි කියලා ඇහුවෙත්  නෑ …
මං තේක බීලා බිම බලාගෙනම තේ මේසෙන් අයින් වෙන්න යද්දී මල් කිව්වා ..

මදු…. මෙච්චර දවසක් මං කලේ ඩිරෙක්ටින් විතරයි . ඇක්ට් කලේ ඕකේ විතරයි . ඔයා ඔප්පු කලා මගේ ඇක්ටින් එක්සලන්ට් කියලා .තෑන්ක්ස් මදු… තෑන්ක්ස් කිව්වා ….
මම නොදැනීම පුටු පත්ත මිරිකගෙන උන්නා….

More Stories

Don't Miss


Latest Articles