“යාන්තං අපේ ජීවිත පිළිවෙලක් වීගෙන ආවා විතරයි..”
රාජිනී පැවසූයේ උතුරන වතුර කේතලය තේ කොළ දමා තිබූ සිල්වර් පැහැති ජොග්ගුවට දමනා අතරේය. ඇගේ කටහඬ බිඳී ගොස් තිබිණ. උදෑසන නිවසේ සියල්ලන්ටම සැකසෙන්නේ ප්ලේන් ටී ය.
“ඈ බං ළමයෝ. දැන් මේ මංගල්ලේ කෙරෙනවද නැද්ද…”
එසේ ඇසුවේ කිරි අම්මාය. රාත්‍රිය පුරා නිදි වරමින් ඉසුරි සිතුවේත් එයමය.
යළිත් මුළුතැන්ගෙය නිහඬ වී තිබිණ. අම්මාත් කිරි අම්මාත් දෙදෙනාම බලා සිටින්නේ තමාගෙන් පිළිතුරක් ලැබෙන තුරුයැයි ඉසුරිට සිහි වූයේ මදක් පමා වීය. ඇය හිස ඔසවා බලද්දී දෙදෙනාම උන්නේ ඈ දෙස බලාගෙනය.
“ලොකු පුතා නං අඩිය ආපස්සට ගන්න පාටක් නෑ ඉසුරි. අපිට මේ ගමේ වසන්න හම්බවෙන්නේ නෑ.”
“ඒ කියන්නේ ඌට බය වෙලා අපි ජීවත් වෙන්න ඕනද. බලන් ගියහම අම්මට වඩා කොන්දක් මධාරා පුංචි අම්මට තියෙනවා. ඊයේ නාලිනි ඇන්ටිත් කියලා ගියේ මගේ කෙල්ලෙක්නම් කපලා ගඟක මුහුදක දැම්මත් පාරින්ද වගේ ඉවසීමක් නැති මිනිහෙකුට දෙන්නේ නෑ කියලා. අම්ම තවත් කියනවද අක්කට ගැලපෙන හොඳම කෙනා ඌ කියලා.”
ඉසුරු මුළුතැන් ගෙයට එබුණේ එසේ අසාගෙනය. ඔහු තවමත් කෝපයෙන්ය.
“වෙනසක් වෙන්නෙ නෑ. ඔය ඊයේ හැසිරිච්ච විදිහටම තමයි ලොකු අයියා මුළු ජීවිත කාලෙම හැසිරෙන්නේ. අපේ අක්කට වෙන්නෙ ගුටි කකා ජීවත් වෙන්න. අයියා කියන දේ හරි. අපේ අක්ක ගෙදරට නාකි වුනත් එහෙම මිනිහෙක් ළඟට යන්න ඕන නෑ. පහුගිය කාලෙ අම්මට අපි ගැන බලන්න හොයන්න වුවමනාවක් තිබුනේ නෑ. අපි මෙහෙම ජීවත් වෙන්නේ අක්ක නිසා.”
ඉසුරි පුදුමයෙන් දෑස් මහත් කර ගත්තේ එසේ පවසමින් නැගණියත් මුළුතැන් ගෙය තුළට පැමිණෙද්දීය. මේ හිස ඔසවා වදනක් කතා කරනා අයෙකු නොවේ. නිවසේ ප්‍රශ්න වලට එක හෙලා මැදිහත් වන අයෙකුද නොවේ.
“මේවට අපි හිතන තරම් ලේසියෙන් තීරණ ගන්න බෑ ළමයිනේ. අක්කයි ලොකු අයියයි අතරේ මේ සම්බන්ධකම ඇතිවුණේ කවදද කියලවත් කියන්න මම දන්නේ නෑ. හැබැයි ඒ දෙන්නා එකතු වෙනවට අපි කාගෙවත් අකමැත්තක් තිබුනෙත් නෑ. ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳලම එකට වැටිලා හැදිච්ච දරුවෝ. මම කෙසේ වෙතත් තාත්තා එයාගේ සහෝදරීට පොරොන්දුවක් දීල ඉවරයි අක්කා ගැන. ඒක නිසා මේවා වැඩිහිටියෝ කතා කරල ගන්න ඕන තීරණ. අනික මේ මුළු ගමම ලොකු පුතා මෙහෙට ආ ගිය බව දන්නවා”
“වැඩිහිටියෝ කතා කරලා මොනවා තීරණය කරන්නද අම්මේ. ඒ බූරුව ළඟදි අපේ අක්කා එක දවසක් සතුටින් ඉන්නවා අම්ම දැකලා තියෙනවද?”
“හොඳම දේ තමයි පුතා ඔයාලා චුට්ටක් මේ වෙලාවේ කට වහගෙන ඉන්න. අපිත් ඉක්මන් උනා වැඩියි කියලා මට හිතෙනවා. අක්කට වරදක් වෙනව දකින්න අපි කවුරුවත් කැමති නෑ තමයි. ඒ උනාට මේ වෙලාවේ අපි තීරණ ගන්න ඕනේ හොඳට හිතලා. අක්කට වරදක් නොවෙන විදිහට”
“කාලයක් එයාට ඕන විදිහට ජීවත් වෙලා දැන් එනවා මෙතන අනුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න. අක්කා වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් මම ඉන්නවා.”
ඉසුරු මුළුතැන් ගෙයින් එළියට ගියේ අසල වූ කුඩා බංකුවකටත් පයින් ගසමින්ය. ඒ කිරි අම්මා මුළුතැන් ගේ තුළ බිම වාඩිවී යමක් කරද්දී පාවිච්චි කරනා බංකුවය. යළිත් නිවස තුල වූ සාමකාමීබව බිඳී ගොස් තිබිණ.
“අයියා කියනදේ ඇත්ත තමයි අම්මට ඕනේ අක්කව ලොකු අයියගේ ඇඟේ ගහලා නිදහස් වෙන්න.
රාජිනී දිගුකල තේ කෝප්පය නොගෙනම නැගණිය මුළුතැන් ගෙයින් පිටවූයේත් එසේ පවසාගෙනය.
“මේ ළමයින්ට තවම අපි කියන දේවල් තේරෙන්නේ නෑ…”
රාජිනී ඉන්පසු පැවසූයේ දිගු සුසුමක් මුදා හරිමින්ය. මේ විවාහ පොරොන්දුවකි. පාරින්ද පවා දැන් සිටින්නේ කිසිවෙකු පවසන දෙයක් තම දෙසවන්වලින් අසන්නට සූදානම් නොවූ මොහොතකය. එනිසාම තීරණ ගත යුත්තේත් ඒවා ක්‍රියාත්මක කළ යුත්තේත් සිහි බුද්ධියෙන්ය. සිය දෙකොපුල් දිගේ රූරා හැලෙන කඳුළු පිස දා ගන්නට ඉක්මන් නොවූ ඉසුරි මුළුතැන් ගෙයින් පිටවූයේ අම්මා ‘ඉසුරි’ යනුවෙන් ඇයව අමතත්දීමය. මේ දෛවය වෙනස්කල නොහැකි එකක්දැයි ඈ තමාගෙන්ම අසා ගත්තේ ඒ යන අතරතුරය. අද සියල්ලන්ටම වදයක් බරක් වී ඇත්තේ තමායැයි සිතද්දී ඇයට දැනුනේ ඉවසුම් නොදෙන තරමේ දුකකි. එහෙත් කිසිවෙකුටත් දොස් කියා ඵලක් නොවේ. තම ජීවන සහකරුවා ලෙස ලොකු අයියා තෝරා ගත්තේ තමාගේම කැමැත්තට මිස කිසිවෙකුගේ බලපෑමකට නොවන බව විශ්වාසය. ඉසුරිගේත් පාරින්දගේත් පෙම් කතාව ගම පුරාම ප්‍රසිද්ධ වූ එකකි. නංගීත් මල්ලීත් කාමරවලට වැදී දොරවල් වසාගත් ගමන්ය. අම්මා කඩිමුඩියේම සූදානම් වෙමින් සිටියේ රැකියාවට යන්නටය. ඇය උදෑසන හතහමාර වද්දී සේවා ස්ථානයේ සිටිය යුතුය.
“ලොකු දුවේ උඹ අද වැඩට යන්නේ නැද්ද….”
එසේ අසමින් කාමරයට එබුණේ කිරි අම්මාය. ඉසුරි හිස වැනුවේ නැතැයි හඟවමින්ය. ඇය ඒ වද්දීත් නිවාඩු ඉල්ලා යැවූ කෙටි පණිවිඩය තම ආයතන ප්‍රධානියාටත් අංශ ප්‍රධානියාටත් යවා තිබිණ. යතුරුපැදියක් පැමිණ නිවස ඉදිරිපස නවතන හඬ ඇසුණේ එවේලෙහිය. ඉසුරිගේ හදවත යළිත් වේගයෙන් ගැහෙන්නට විය. යතුරුපැදියකින් මේ නිවසට පැමිණෙන්නේ ලොකු අයියා හෝ තාත්තාය. එහෙත් මෙවේලෙහි පැමිණියේ තාත්තා නොව ලොකු අයියා විය යුතුය. ඉසුරි ඇඳ මතින් නැගී සිටියේ ඒ ගැහෙන පපුවට අත තබාගෙනය. බලෙන් හෝ ඔහුව නිවසින් පිටතට කැඳවාගෙන ගොස් කතා කරමියැයි ඈ සිතුවේ විසිත්ත කාමරය පසුකර ආලින්දයට යන අතරේය. තවදුරටත් මේ නිවැසියන්ට වදයක් වේදනාවක් වන්නට ඉසුරිට සිතුනේ නැත. සියල්ලටම වඩා සොහොයුරා ගැන ඒ සිතෙහි වූයේ බියකි.
ඇයටත් පෙර ඉස්සරව ආලින්දයට ගොස් තිබුණේ මල්ලීය. අම්මා කාමරයේ නිසා යතුරුපැදියේ හඬ නොඇසෙන්නට ඇත. නිවස ඉදිරිපස නතර කළ යතුරු පැදියෙන් මුලින්ම බැස ගත්තේ මධාරා පුංචි අම්මාය. ඉසුරිත්, මල්ලීත්, නංගීත් එකිනෙකා දෙස බැලුවේ කලින් කතා කරගෙන සේ එකම වරකය. මේ අම්මා කලක් නිහඬ සටනක්කල ගැහැණියයි. ඇය තාත්තා සමග විවාහ වී වසර ගණනාවක් ගතව ගියත් මේ ඉසුරිගේ නිවසට පැමිණි ප්‍රථම වතාවය.
මධාරා නිවසට ඇතුළු වූයේ තාත්තා පසුපසින්ය. ඇය මේ නිවසට අමුත්තියක වුවත් ඇයට ආරාධනා කරන්නට කිසිවෙකුට සිහිපත් නොවූ තරම්ය.
“අම්මා තාම ගියේ නෑ නේද ඉසුරි….”
ඉසුරි තාත්තාට පිළිතුරු දුන්නේ හිස වනමින්ය. මධාරා පුංචි අම්මා වූයේ ඇයට හුරු පුරුදු සිනහව මුවඟෙහි තබාගෙනය. වයසින් වැඩිමහලු වුවත් ඇයට වූයේ නිතර නඩත්තු කරන අයුරේ සිහින් සිරුරකි. ඇය සැබවින්ම සුන්දර ගැහැණියකයැයි ඉසුරිට සිතුනේත් ඒ හදිසියේමය. අම්මා කැඳවාගෙන ආවේ නැගණිය විය යුතුය. ඉසුරි තවමත් උන් හිටි තැනම ගල් ගැසුණු ගමන්ය. මේ දිනවල ඔවුන්ගේ ජීවිතවලට සිදුවන්නේ හොඳක් නොවේ.
අඩියට දෙකට ආලින්දයට ඇවිද ආ අම්මා උළුවස්ස අල්ලාගෙනම නතර වූයේ දෑස් විසල් කරගෙනය. තාත්තාගේ පැමිණීම පුදුමයක් නොවූවත් මධාරාගේ පැමිණීම ඇයට පුදුමයක් වූවා නොඅනුමානය.
“මට ඊයෙ රෑම අක්ක කතා කරලා වෙච්ච සිද්ධිය කිව්වා. මම දැනගෙන හිටියේ නෑ මධාරා ලොකු පුතාට එහෙම කතාවක් කියලා කියලා. මං උදේම මෙහේ එන්න ලෑස්ති වෙද්දි මධාරටත් ඕන උනා රාජිනීව මුණගැහිලා කතා කරන්න. ඒක හොඳද නරකද කියලා මම හිතුවේ නෑ රාජිනී. මේ වෙලාවේ වැදගත් වෙන්නේ මේ ළමයි දෙන්න ගැන ගන්න තීරණ.”
මුලින්ම හේතු පැහැදිලි කළේ තාත්තාය. ඒ අතරේම ඔහු අත දිගු කරමින් ආලින්දයේ වූ පුටුවක් අම්මාට පෙන්වූවේය.
“පැය භාගයක් වගේ ඉඳගෙන අපි මේ ගැන කතා කරමු රාජිණි. ඔයාට පරක්කු වෙනවනම් අපි ආපහු හවසට එන්නම්.”
තාත්තාගේ ඒ හඬ වෙනදා කවරදාටත් වඩා නිවී තිබිණ.
“කමක් නෑ මං කොහොමත් ටිකක් වේලාසනින් යනවා. ඒ නිසා ටික වෙලාවක් පරක්කු වුනාට කමක් නෑ.”
“රාජිණී අක්කේ මට සමාවෙන්න ඊයේ මගෙ අතින් වරදක් උනානම්. මම දන්නෙ නැහැ මොන හේතුවක් නිසාද කියල එදා ඉදලම මට ඉසුරි ලොකු පුතාට ගැලපෙනවා කියලා හිතුනේ නැහැ. මෙහේ සිද්ද වෙන දේවල් අක්කලාගේ ගෙදර සිද්ධ වෙන දේවල් සුරංග මට සැරින් සැරේ කියනවා. ඒ හැම වතාවකම මට තිබුනේ හැමෝම එකතුවෙලා වැරදි තීරණයක් ගත්ත වගේ හැඟීමක්. ඒත් ඔයාලගේ ජීවිතවල වලට මට අත දාන්න පුළුවන් සීමාවක් තියෙනවා කියලා හැමතිස්සෙම මගේ හිත කිව්වා. මං සමාව ඉල්ලුවේ රාජිණී අක්කේ මගේ අතින් ඔයාට වෙච්ච මේ දරුවන්ට වෙච්ච ලොකුම වරදට නෙමෙයි. ඒක සමාව දෙන්න බැරි වරදක් කියලා අද මට තේරෙනවා. ඒත් ආපස්සට හැරෙන්න අපි කාටවත් බෑ. අක්කේ මම සමාව ඉල්ලුවේ ඊයේ ලොකු පුතාට මම වැරදි කතාවක් කිව්වනම්.”
“ඔයා කාගෙන්වත් සමාව ඉල්ලන්න ඕනෙ නෑ මධාරා. ඉසුරි ඔයාම තාත්තට කියන්න ඊයේ වෙච්ච දේ”
අම්මා එසේ පැවසුවත් ඒ මධාරාගේ මුහුණ දෙස බලාගෙන නොවේ. ඒ සිතෙහි මෙවේලෙහි ඇත්තේ දුකක්ද, වේදනාවක්ද එසේ නොවේ නම් ඉරිසියා සහගත හැඟීමක්ද යන්න වටහා ගන්නට තරම් ඒ මුවෙහි වන හැඟීම් ප්‍රමාණවත් වූයේ නැත. ඒ දෑස් වල කඳුලක් ඉපදී තිබෙනු ඉසුරි හොඳටම දුටුවාය. කෑ කෝ නොගසමින් රණ්ඩු නොකරමින් ඈ තාත්තාත් මධාරාත් පිළිගත් එකම පුදුමයකි.
“ඉසුරි මොකක්ද උනේ…..”
යුවතිය සිය හඬ අවදි කළේ සුරංග දෙවන වරටත් මදක් උස් හඬින් අසද්දීය.
“තාත්තයි අම්මයි තවදුරටත් අක්කගේ ජීවිතේ ගැන තීරණ ගන්න එපා. ඔය දෙන්නට එකතු වෙලා ඔය දෙන්නගේ ජීවිතේ ගැන තීරණ ගන්න බැරි වෙච්ච එකේ කොහොමද අක්කගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ. මධාරා පුංචි අම්මට මං කවදාවත් කැමති වුණේ නෑ. හැබැයි අද මම එකෙන්ම රෙක්ස්පෙට් කරනවා ඒවගේ දෙයක් කියාගන්න මධාරා පුංචි අම්මගේ කොන්ද පණ තිබ්බ එක ගැන. ඊයේ මෙහෙට ආපු කෙනෙකුත් මෙයාට කියලා ගියේ ගඟේ මුහුදේ දැම්මත් එයාගේ දුවෙක්නම් ලොකු අයියට දෙන්නෙ නෑ කියලා.”
මල්ලී පැවසූයේ පෙර වූ කෝපයෙන්මය. ඉසුරිත් කිරි අම්මාත් ඔහු දෙස බැලුවේ නිවස තුළට යන්නයැයි පවසනවාවන් බැල්මකින්ය.
“මං නං කියන්නේ ඔය දෙන්න තවදුරටත් අක්කගෙ ජීවිතේ ගැන තීරණ ගන්න එපා.”
“මල්ලි ඇතුලට යන්න.”
හැඬුම්මුසු හඬින්ම ඉසුරි එසේ පැවසූයේ සොහොයුරා දෙස බලමින්ය. ඒ හඬට කෝපයද මුසු වී තිබිණ. තවදුරටත් අම්මාවත් තාත්තාවත් සිත රිදවා ගත යුතු නොවේ.
“එපා ඉසුරි. මල්ලිටයි නංගිටයි එයාලගේ අදහස් කතා කරන්න දෙන්න. ඔයාලා ලෝකෙ නොදැන ගේ ඇතුලට වෙලා හැදුනු දරුවො නෙමෙයි. රාජණී අක්කේ මට විනාඩි පහක් කතා කරන්න දෙන්න. ඔයා ඊට පස්සේ මට කිව්වොත් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න එපා කියලා මම ආයෙ කවදාවත් මේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නෑ. හැබැයි සුරංගට එයාගේ දරුවෝ ගැන තියෙන අයිතිය මං නැති කරන්නෙත් නෑ. අක්කේ ඔයයි මමයි සුරංගයි තුන්දෙනාම මේ ජීවිත කාලය ඇතුලෙම හෙව්වෙ සැනසීම. ඔයාල දෙන්න දෙපැත්තකට වුණේ ඔයාලගේ ජීවිතේ ඇතුලෙ සැනසීම සතුට නැති වෙච්ච නිසා. මේ ලෝකයේ උපදින හැම මනුස්සයෙක්ම ආදරය කරුණාව කියන දේ බලාපොරොත්තු වෙන්නේ උපතින්මයි. සුරංගට ළං වෙන්න මට තිබුණු එකම හේතුවත් ඒක විතරයි. වෙච්ච දේවල් වෙලා ඉවරයි. මේ දරුවන්ගේ ජීවිතවලට අපි තුන්දෙනාම තුන් විදිහකට වග කියන්න ඕනෙ අක්කේ. අක්ක චුට්ටක් හිතන්න අපිට වෙච්ච මේ දේම අපේ දරුවන්ට වෙන්න ඕනද….තමන්ට තියෙන ප්‍රශ්නයක් ගැන එක විනාඩියක් වාඩිවෙලා කතා කරන්න බැරි ලොකු පුතා වගේ කෙනෙක් කොහොමද අක්කේ මේ දරුවා සතුටින් තියන්නේ. ‘උඹ මගේ ළඟට එනවනං අම්මා, නංගි, මල්ලි, කිරිඅම්මා අමතක කරපන්’ කියන ලොකු පුතා වගේ කෙනෙක් කොහොමද අපේ මේ දරුවා ගැන හිතන්නේ. තමන්ගේ මිනිස්සු අමතක කළාට පස්සේ මේ දරුවට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක කවුද අක්කේ කතා කරන්න ඉන්නේ. මේ දරුව තනිවෙයි. මානසිකව වැටෙයි. එදාට කවුද අක්කේ එයා ළඟ ඉන්නේ. ඔයයි සුරංගයි අතර ප්‍රශ්න ඇතිවෙද්දි ඒ ප්‍රශ්න වලට පෝර දාලා ඒ ප්‍රශ්න වැඩි කරලා ඒකෙන් ලාභ ප්‍රයෝජන ගතපු සුරංගගේ අක්ක ළඟට තමයි ඔයා මේ දරුවා යවන්නේ. එයා වැඩිහිටියෙක් විදිහටද වැඩ කරන්නේ. අනුන්ගේ ජීවිත ගැන තීරණ ගන්නේ. කටපුරා දෑවැද්දට මහ ගේ ඉල්ලන, අනිත් දරුවෝ දෙන්නට මොනවා වෙයිද කියල නොහිතන ඒ අම්මගෙන් කවදාවත් මේ දරුවාට සාධාරණයක් වෙයිද අක්කේ…’බැන්දට පස්සේ උඹ ජොබ් එකට යන්න ඕනේ නෑ..’ කියලා ගේ ඇතුලෙ හිර කරන්න හදන මනුස්සයෙක්ගෙන් මේ දරුවට රැකවරණයක් ලැබෙයිද..’උඹ ඔතනින් වාඩි වෙයං, මේක කාපන්, මේ විදිහට ඉඳපන්, මේක ඇඳපන්’ කියලා ලොකු පුතා කියද්දි මේ දරුවාට මොනවා හිතෙයිද අක්කේ. මේ දරුව ජීවිත කාලයක් පුරා දුක් විඳිද්දී ඔයාට මොන සතුටක්ද? අපිට මොන සතුටක්ද? මේ නංගිටයි මල්ලිටයි මොන සතුටක්ද?. අද කෑ ගහලා බැනලා ඉසුරුව නවත්තන්න පුළුවන් උනාට අක්කට වෙන අසාධාරණකම් ළඟදි ඉසුරුව නවත්තන්න ඔයාටවත් සුරංගටවත් පුළුවන් වෙයිද අක්කේ. දැන දැන අතින් අල්ලගෙන ගිහිල්ලා මේ අහිංසක දරුවව ගිනි ගොඩකට තල්ලු කරල දාන්න ඔයාලට පුළුවන්ද? ඒක කරන්න එපා අක්කේ. මම අවුරුදු විසි හතරක් වෙනකල්ම කාත් කවුරුවත් නැතුව ළමා නිවාසෙක හැදුනු ගෑනියෙක්. බැඳීම්වල වටිනාකම මම තරම් හොඳට වෙන කවුරුවත් අඳුනන්නේ නෑ. සුරංග මගේ ළඟට ආවේ අක්කගෙන් නීතියෙන්ම වෙන් වෙලා මගේ වරදක් නෑ කියලා හිත කිව්වත් මේ දරුවෝ තුන්දෙනා දිහා බලාගෙන හැමදාම පසුතැවිච්ච ගෑනියෙක් මම. අක්කෙ මම කිව්වේ හදවතින්මයි. ලොකු පුතා කියන්නේ කිසිම ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න හොඳ මනුස්සයෙක් නෙමෙයි. මං අත් දෙක එකතු කරලා වැඳලා කියන්නම් සුරංග, ඔයයි රාජිනී අක්කයි ගන්න තියෙන හොඳම තීරණය ගන්න. නරකම තීරණය නෙමෙයි. පුතේ ඉසුරි…අම්මයි තාත්තයි ගත්තේ හොඳම තීරණය නෙමෙයි නං ඒකට විරුද්ධ වෙන්න ඔයාට අයිතිය තියෙනවා පුතේ. ඔයා දැන් ලොකු දරුවෙක්”
මධාරා නැගී සිටියේ එසේ පවසමින්ය. ඇගේ දෑස් වල කඳුළු පිරී තිබිණ.
“ඔයාල දෙන්න කතා කරලා තීරණයක් ගන්න. සුරංග මම හන්දියට ගිහිල්ලා ත්‍රීවිලර් එකක් නතර කරගෙන ඔෆිස් එකට යන්නම්.”
අනතුරුව ඈ ගොස් කිරිඅම්මාගේ පමණක් නොව අම්මාගේත් දෙපා වැන්දාය. අම්මාගේ දෙකොපුල් හරහා කඳුළු බේරී යමින් තිබිණ. පුටුවේ වාඩිවී උන් ඈ තම දෙපා අසල පහත් වූ මධාරාගේ හිස අත ගෑවේ වෙව්ලන ඇඟිලි තුඩු වලින්ය. තත්පරයක්වත් හැරී නොබැලූ මධාරා ඉක්මනින්ම ඇවිද ගොස් නොපෙනී ගියේ සියල්ලෝම පාෂාණභූත වූවා සේ බලා සිටියදීය.
“සුරංග මගේ කෙල්ල මම ලොකු පුතාට දෙන්නෙ නෑ…”
හදිසියේ යමක් සිහිවූවා රාජිණි උස් හඬින් පැවසූයේ සියල්ලෝම තිගස්සවමින්ය.
(යළිත් හමුවෙමු ආදරයෙන්)












