*තාරානාත් දහම් වංශනායක*
ඇත්තම කියනවා නම්, ලෝයර් දිහා බලන් ඉද්දි මගේ හිතට දැනුනේ පුදුම පීඩනයක්.
මේ කාමරේ කොච්චර ලොකු වුණත්, මට දැනුනේ හුස්ම ගන්නවත් ඉඩක් නෑ වගේ. වහලෙ එල්ලලා තියෙන කැරකෙන ෆෑන් එකේ සද්දෙත් මට ඇහුණේ හරිම හෙමින්, කම්මැලි විදිහට. හරියට මගේ ජීවිතේ වගේම හැමදෙයක්ම ස්ලෝව් ඩව්න් වෙලා වගේ.
මම පුටුවේ කෙළවරට වෙලා, අත්දෙකම එකට තද කරගෙන හිටියේ මහම මහ කල්පනාවක් අස්සෙ හිරවෙලා.
ලෝයර් මහත්තයා උන්නෙ තමන් ඉඳගෙන උන්න පුටුවෙ පිටිපස්සට හේත්තු වෙලා, මට මොනවහරි කියන්න ඕන කරන වචන හොයන්න වගේ තමන්ගෙ ඇඟිලි වලින් තමන්ගෙ තොල් අල්ල අල්ල.
එහෙම ගෙවිච්ච විනාඩි කීපෙකට පස්සේ ඒ මනුස්සයා දාගෙන උන්න කණ්නාඩි ගලවලා, ෆයිල් එකක් උඩින් තියලා මගේ දිහා බැලුවා. ඒ බැල්ම අස්සෙ තිබ්බෙ මං බලාපොරොත්තු නොවිච්ච විදියෙ මහ අමුතු කතාවක් කියන එක තේරුණත් මං කරේ එක එල්ලේම ලෝයර් දිහා බලාගෙන උන්න එක.
“තාරානාත්,” එයා කිව්වා. “මම ඇත්තම කියන්නම්. හැඟීම්වලින් අපි කොච්චර දේවල් අපේ කරගත්තත් නීතියට අනුව ගත්තම නම් ඒ දරුවගෙ පියා තාරානාත් නෙවෙයි.”
මගේ ඇඟ සීතල වුනේ, උරහිස් තද වුණේ, දත් තද උනේ අන්න ඒ වචන වලට. ඒක මම මෙච්චර කල් දැනගෙන උන්න ඇත්තක් කියන එක ඇත්තක් උනත් සමහර ඇත්තවල් තියෙනවා අපිට ඇහෙන කම්ම ඒ ඇත්ත පිළිගන්න අපි කැමති වෙන්නෙ නැති. අහස් කියන්නෙ මගෙ ලේ වලින් ඉපදිච්ච දරුවෙක් නෙවෙයි කියන ඇත්ත මං භාරගත්තෙත් අන්න ඒ විදියටමයි. මම උත්තර දුන්නේ නෑ. තර්ක කළේ නෑ. මොකද එහෙම කරන්න කිසිම කාරණාවක්, පදනමක් මට තිබ්බෙත් නෑ.
මම කරේ මේසෙ උඩ වැටිච්ච මගේ වෙව්ලන අත් දෙක දිහා බලාගෙන උන්න එක විතරයි.
“හැබැයි,”
අන්න ඒ වචනෙට තමයි පුළුවන් උනේ ඒ වෙව්ලිල්ල නතර කරන්න. ඔය හැබැයි එහෙම නැත්තම් but කියන වචනෙ මිනිස්සු නිකන් නෙගටිව් ලෙවල් එකකින් භාරගත්තට, සෑහෙන නෙගටිව් ලයින් එකකට පස්සෙ එන හැබැයි කියන වචනෙ කියන්නෙ අන්ධකාර වලාකුලක් අස්සෙ තියෙන රිදී පාට රේඛාවක් වගේ පොසිටිව් දෙයක්. ඒ පුංචි අකුරු තුනට පුලුවන් උනා මෙච්චර වෙලා වෙව්ල වෙව්ල තිබිච්ච මගේ හිතේ වෙව්ලිල්ල තාවකාලිකව හරි නැති කරලා දාන්න.
“ඔයාලා හිත්වලින් කොච්චර බැඳිලා උන්නත්, මොන වගේ ඩීප් ෆීලින්ග්ස් ඔයාලට තිබ්බත් උසාවිය බලන්නේ දරුවෙක්ගෙ ලේ බැඳීමම විතරක්ම නෙවෙයි. ස්පෙශලි මේ වගේ පොඩි දරුවො ඉන්වෝල්ව් වෙච්ච කේසස් වලදි එයාලා කොහොමත් හරියට දේවල් බලනවා. විශේෂයෙන්ම බලනවා රැකවරණය දුන්නේ කවුද කියලා, ආරක්ෂාව දුන්නේ කවුද කියලා. මේ ළමයට ඇත්තටම තමන්ගෙ කියලා පෙන්නන්න ඉන්නෙ කවුද කියලා. ඔයාට දරුවා එක්ක තියෙන රිලේශන්ශිප් එක සහ අර ඇත්ත තාත්තා මුලින් දරුවව එපා කිව්ව එක – ඔප්පු කරන්න පුළුවන් නම්, මට මේ නඩුව හොඳට බය නැතුව ෆයිට් කරන්න පුලුවන්කම තියෙනවා” කියලා ලෝයර් කියද්දි මම හෙමීට ඔළුව ඉස්සුවා.
“ මම මොකද කරන්න ඕනේ?” මම ඇහුවේ බොහොම හෙමින්. ඒත් ඒ හරිම හෙමින් පිටවෙච්ච වචන අස්සෙත් තිබ්බා පුදුමාකාර වේදනාවක්. පුපුරන්න බලාගෙන ඉන්න දුක් ගින්දර පිරිච්ච ගිනි කන්දක්.
“හැමදේම හොයන්නෝන. ෆොටෝ වීඩියෝ ප්රූෆ්, ක්ලිනික් කාඩ්ස්, බිල්ස්, ළමයා හදන හැටි දැකපු කට්ටිය වගේ ඔයාලගෙ පැත්තෙන් මේ දරුවට එයාගෙ ඇත්ත තාත්තටත් වඩා දේවල් කරේ ඔයා කියන එක ඔප්පු කරන්න පුළුවන් හැමදේම. අපිට ඔය මිනිහා ඇවිල්ලා කරා කියන ත්රෙට්ස් ගැන පැමිණිල්ලක් දාන්නත් පුලුවන්. ඒකෙන් පෙන්නනවානෙ මෙතන මේ දරුවට සහ අම්මට අනතුරක් තියෙනවා කියන එක. උසාවිය ඒ වගේ දේවල් බරපතළ විදිහට සලකනවා.”
“ඕල් රෙඩි ඒ මනුස්සයා එක්ක ඇතිවෙච්ච ප්රශ්නෙකට පොලිසියට යන්න වුණා” කියලා මම කිව්වෙ ලෝයර් දිහා ඇස් කොණකින් වගේ බලන ගමන්.
“ප්රශ්නයක් උනේ කිව්වේ තාරානාත් එක්කද?”
“ඔව්”
“මොන වගේ ප්රශ්නයක්ද?”
“ගෙදරට ඇවිල්ලා පොඩ්ඩක් සද්ද බද්ද දැම්මා, මටත් මාව කන්ට්රෝල් කරගන්න පුලුවන් උනේ නෑ” කියලා මම නිකන් සැර බාල කරලා කිව්වට මං ඌට දුන්න ශොට් එකේ තරම මතක තිබ්බෙ මටනෙ.
මට ඇත්තටම කේන්ති ගියේ එදා ඌ ඇවිල්ල කිව්ව තුට්ටු දෙකෙ කතාවට.
“මෙන්න මේක හොඳට හිතාගන්නවා තමුසෙ ඔය රහ බලන්න හදන්නෙ මං කළින් බිව්ව තැඹිලි වල කෝම්බ කියන එක” කියලා මොන මිනිහද කැමති තමන්ගෙ ගෑනි ගැන වෙන මිනිහෙක්ගෙ කටෙන් අහන්න. දත් සෙට් එක බඩට යවන්න හිතාගෙන තමයි මම මිනිහගෙ හොම්බට දෙකක් ඇන්නෙ. සද්ද වහගෙන මිනිහා යාවි කියලා හිතුවට මොකෝ අනිත් පැත්තට ඌ මට ගහන්න උස්සපු අත මට ඇත්තටම නතර කරගන්න පුලුවන් උනේ නෑ. ඒ ශොට් එක කාගෙනම තමයි මම ප& බ&*ලට ආයෙ වතාවක් මූණ හරහා පාරක් දුන්නෙ. අමරසූරිය ඇවිල්ලා සිද්දිය බේරුමක් නොකරන්න තව පොඩ්ඩෙන් උගෙ හරි මගෙ හරි මිනිය තමයි අපෙ ගෙදරින් එළියට දක්කන්න වෙන්නෙ. එදා ඒ කේස් එකේදි පොලිසියට යන්න උනා කියන කතාව ලෝයර්ට කිව්වයින් පස්සෙ ඒ මනුස්සයට කියන්න තිබ්බෙ නම් එක දෙයයි.
“දැන් වෙච්ච දේ උනානෙ තාරානාත්. අපිට ඒක වෙනස් කරන්න බෑ. හැබැයි” කියලා මිනිහා ආයෙ වතාවක් අර වචනෙ ගෙනෙද්දි මෙතනදි නම් මේ මනුස්සයා ඊළඟට කියන්න යන්නෙ ඉස්සේල්ලා වගේ මගෙ හිතේ වෙව්ලිල්ල නතර වෙන දෙයක් නෙවෙයි හිතට වෙව්ලන්න හේතුවෙන දෙයක් කියන එක මම දැනගෙන උන්නා.
“හැබැයි තාරානාත් ආයෙ මේ වගේ දේවල් උනොත් දරුවාව ඒ තාත්තට වගේම මේ තාත්තටත් නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එක අමතක කරන්න එපා.
ඒ හන්දා දරුවව ඕන නම් හොඳට මතක තියාගන්න තමන් ජීවත්වෙන විදිය, තමන්ගෙ හැසිරිම් රටාවල් එහෙමත් වෙනස් කරගන්න සිද්ද වෙනවා කියන එක”
පුටුවෙ ඇන්දෙ හයිය මගේ උරහිස් තලවලට දැනෙද්දී, මම පුටුවේ පිටිපස්සට හේත්තු වුණා. ලෝයර්ගෙ වචන මගේ හිත අස්සෙ කැරකි කැරකි තිබ්බෙ හරි හයියෙන්. මේ හැමදේම මට දැනුනේ ඇත්තක් නෙවෙයි වගේ, හරියට හීනයක් අස්සෙ හිරවෙලා ඉන්නවා වගේ. මාස කීපෙකට කලින් මගේ ලෝකේ පිරිලා තිබුණේ සන්තෝසෙන්, ආදරෙන්, බලාපොරොත්තු වලින්. දැන් ඒ හැමදේම වෙනුවට තනිකමෙන් පිරිච්ච රැයවල්, කනෙක්ට් වෙන්නෙ නැති කෝල්, කවදවත් සම්පූර්ණ වෙන්නෙ නැති බලාපොරොත්තු වගේ මාව නිතර දෙවේලේ හපා කන නිශ්ශබ්දතාවයක් විතරක් ඉතිරි වෙලා තිබ්බා.
“උසාවිය ළමයින්ව භාර දෙන්නේ මේ ළමයා මගේ කියලා මහ හයියෙන් ඇවිත් කෑගහන මනුස්සයට නෙවෙයි තාරානාත්. එයාලා බලන්නේ ළඟින් හිටිය කෙනා කවුද කියන එක. ආරක්ෂා කළ කෙනා කවුද කියන එක. කොන්දේසි නැතුව ආදරේ කළ කෙනා කවුද කියන එක වගේම දරුවට සේෆ් ස්පේස් එක තියෙන්නෙ කාගෙ ලඟද කියන එක. ඔයාගෙ කැරැක්ටර් එකේ මේ වගේ අවුල් දකින්න ලැබුණොත් ඒකම සමහර විට හේතුවෙන්න පුලුවන් ඔයා කියන්නෙ දරුවට සේෆ් ස්පේස් එකක් නෙවෙයි කියලා ඩිසයිඩ් කරන්න”
“තාරානාත්ට මේ දරුවව ඕන නේද?” කියලා ලෝයර් අහද්දි මං කරේ ඔලුව උස්සලා ඒ මනුස්සයා දිහා බලපු එක.
ඊට පස්සේ මම හෙමීට මුමුණලා කිව්වා
“මට දරුවව ඕනම නෑ”











