“ මං ඔයාගෙන් අහන්නේ නෑ ඇයි ඒ දේවල් කලේ කියලා …? ඒත්, මං මෙච්චර දේවල් අහද්දී, කියවද්දී ඔයා මාව ඉඹලා පාඩුවේ ඉන්නේ ඇයි කියලා මම ඇහුවට කමක් නෑනේ…?”
අවසානයේ සින්දූපා අවි අමෝරා ගත්තාය. මනුජ උන්නේ සියල්ල මෙතරම් යහපත් ලෙසින් විසඳෙන්නේ කෙලෙසදැයි සිතා ගැනීමට නොහැකිවය. සැබැවින්ම ඔහුගේ යටි සිත කීවේම, සින්දූපාගේ දෙමාපියන් කුමක්ම හෝ යටි උගුලක් අටවමින් මෙලෙස ව්‍යාජ මුහූණු පෙන්වමින් සිටිනවායැයි කියාය. එහෙත්, ඒ දැනෙන හැඟීම කිසි ලෙසකින්වත් සින්දූපාට පවසා ගන්නට නොහැකි වීමේ පීඩනය මනුජව දැඩි පීඩාවකට හෙලා තිබුණි.
“ අපි එලියට යමු සින්දූ .. මෙහෙම හරි නෑ …”
ඔහු අවසානයේ එලෙසින් පැවසූවේය. සින්දූපා කෝපයට ඇති තරම් නැඟෙන්නට දුන්නාය.
“ මං ඔයාගේ කාමරේ ඇතුලට එනවා, මේ ගෙදර ඉන්න වැඩිහිටි කියන හැමෝම දැක්කා.. ආයේ ඒකේ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ …
හරි හිතුවාමයි කියමු … ඒකේ ප්‍රශ්නේ මට මිසක්, ඔයාට නෙවෙයිනේ…”
“ සින්දූ .. ඇයි මේ ?…”
“ හරි .. එහෙනම් මට මේක කියන්න මනුජ … ඇත්තටම ඔයා මාව ආශ්‍රය කරේ අරමුණක් නැතුවද ?… හැමදේම හරියාගෙන එද්දීත් ඔයා මෙහෙම ගලක් වගෙ ඉන්නේ ඒ නිසාද ?.. මට මේ ඕනි දේවල් මුකුත්ම ඔයාට එපාද ?,. ආහ් … එපාද ?…. ඔයා .. ඔයා ට ඕනි … මගෙන් ඈතටම වෙන්නද ?…”
මනුජ සින්දූපා දෙස බලා උන්නාය. ඇගේ කෝපය තුල ඇති ප්‍රේමය නොපෙනෙනවා නොවේ. ඇය කෙතරමින් නම් සෙනෙහසක් දරා ඉන්නවාදැයි නොදැනෙනවා නොවේ. එහෙත් …ම්,
“ හරි …. මං යන්නම් …”
සින්දූපා නැගිටින්නට උත්සාහ කලාය. මනුජ ඇය හා සමඟම නැගිට්ටේය.
“ එලියෙන් ඉන්න …. මම ලෑස්ති වෙලා එන්නම් ….”
මනුජ කලිසමක් සහ සැහැල්ලු කමිසයක් දමා ගත්තේය. ප්‍රශ්න වලින් පැන යෑම ඇතැම් වේලාවල, ඇතැම් ප්‍රශ්න විසඳීමට වඩා පහසු බව මනුජ දනී. එහෙත්, මෙවෙලෙහි එලෙසින් කල නොහැක. මේ ප්රශ්නය වටා ජීවිත රැසක් කරකැවේ. සියල්ලටම වඩා දියණිය සහ සින්දූපා ප්රශ්නයේ ප්‍රධානම වින්දිතයන් බවට පත්වනු බව පෙනේ.
මනුජ සූදානම් වන්නේ නිවසින් පිටතට යෑමට බව පෙනෙද්දී, සින්දූපා මෙන්ම මනුර්‍යාද එයට විරුද්ධ වූහ. දෙදෙනාගේම සිත් හී වූයේ මනුජ තවමත් සිටින්නේ පියවි සිහියෙන් එපිට බවය. එහෙත්, මනුජව නවතාගන්නට තරම් හැකි වූයේ නැත.
“ මං එනකල් ඉන්න මෙහෙම … කොහේවත් යන්න එපා සින්දූ …”
ඔහු ආපසු හැරී සින්දූපාට කීවේය.
මනුජගේ ගමනාන්තය වූයේ සින්දූපාගේ නිවසය. ඇගේ දෙමාපියන් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිය සේ විය.
“ මං කෙලින්ම කාරණාවට බහින්නම් අංකල් …. ආයේ මට වටේ යන්න දෙයක් නැ … සින්දූපා අපේ ගෙදර ඉන්නේ මෙවෙලේ… ඕගොල්ලෝ ඔක්කොම ඊයේ අපෙ ගෙදර ඉංදලා තියෙන්නේ … ඇයි මේ..? මොකක්ද හේතුව ?… මට මොකක්ද මේ මවලා පෙන්නන්න යන්නේ?,… මේ රවටන්න හදන්නේ කාවද ?….”
සින්දූපාගේ පියා තරුණයාගේ ඍජු විමසීම දෙස පසන් සිතින් බලා උන්නේය. ඔහු රට තුළ වන තවත් එක් සාමාන්‍ය තරුණයකු නොවන බව සින්දූපාගේ පියා දැන උන්නේය. එහෙත්, ඔහු අවධානම් කලමණාකරණය කිරීමෙහි ලා මෙතරම් සැලකිලිමත් වන අයෙකු බව ඔහු සිහිනෙකින්වත් සිතා තිබුණේ නැත. සින්දූපාගේ දෙමාපියන්ගේ තත්පර ගණ්නාවක නිහැඬියාව තුල, මනුජ යලි කතා කලේය.
“ මට මේ ඕනි ඩ්‍රාමා එකක් ඔට්ටුයි ආන්ටි.. ඒත් මේ මොහොතේ මේ ඩ්‍රාමා වල බලපෑම මගේ දරුවාට වගේම …. සින්දූටත් තියෙනවා… සින්දු මෙවෙලේ ඉන්නේ එයාටම දරාගන්න බැරි සතුටක් එක්ක … ඒ සතුටේ අග සතුටම වගේම දරාගන්න බැරි තරමේ දුකකුත් තියෙන්න පුලුවන් කියලා අත්දැකීම් වලින්ම දන්න මිනිහෙක් මම … සින්දූපා මේ කතන්දරේ පැවතීම තහවුරු වුනේ මම හින්දා .. මමයි එයාට ආදරේ කලේ…. මමයි එයාට ඉන්න ඉඩ හදලා දුන්නේ…. ඔය ජීවත් වෙච්ච අවුරුදු ගානටම වඩා මානසික පීඩාවක් මේ මාස තුන හතරට සින්දූපා විඳින්න ඇති … ඒක තවදුරටත් එහෙම නොවෙන්න ඕනි නිසයි, මම මට කරන්න පුලුවන් උපරිම දේ කලේ ….. ඒත් දැන්?…”
මනුජ එලෙසින් පවසා , තමාටම යමක් අවධාරණය කරගන්නා බව අඟවමින් හිස සැලුවේය. ඒ අතර වාරයේ සින්දූපාගේ පියා දෙස ඍජු බැල්මක් හෙලුවේය.
“ සින්දූපා ගැන පුතාට ඔය තරමට රිදීමක් , වගකීමක් තියෙනවා නම්, එයාගේ අම්මා තාත්තා වුන අපි දෙන්නාට කොයි තරමේ රිදීමක් වගකීමක් තියෙනවා වෙන්න ඕනිද පුතා ?…”
සින්දූපාගේ අම්මා ඉදිරිපත් වූවාය. පියාගේ මුව මතද වූයේ මන්දස්මිතයක් බව යන්තමින් පෙනෙද්දී, මනුජ ඇ් පැවසූයේ කුමක්දැයි අවධාරණය කරගන්නට යලි යටි හිත හා පොර බැන්දේය. ඇය “පුතා” ලෙසින් වන ආමන්ත්‍රණය යෙදූවේ ඇයිදැයි සිතාගන්නට ඒ ස්වර හා හැප්පුණේය.
අවසානයේ කාන්තාරයේ මල් පිපීම සඳහා වන සාධක එකට ගැලපුණි. මල් පිපෙන සලකුණු පහල විය.
.
.
දියණිය මනුජ සමඟින් දියතලාවේ පැමිණීම එක හෙලාම ප්‍රතික්ශේප කරද්දි, මනුජ යම් බිඳ වැටීමකට ඇද වැටුනේය. එහෙත් සියල්ලෝම ඔහු අස්වසන්නට ඉදිරිපත් වූහ.
“ දරුවා මෙහෙ ඔහොම හිටිය දෙන් අයියේ .. අපිත් ඉන්නවානේ… මම එක්ක එන්නම් සාරතී නැන්දාත් එක්කම දරුවාව…”
මනුර්‍යා එලෙසින් පැවසුවාය. අවසානයේ මනුජ, හදවතෙහි වඩා ප්‍රේමණීය කොටස් සියල්ලම කොළඹ දමා තනිව දියතලාව බලා පිටත් වූයේ කඳවුරෙන් කැඳවා තිබූ විනය පරීක්ෂණය වෙනුවෙන් සහභාගී වීමේ අරමුණිනි. ඒ දිනය පුරාම කමිටු තුනක් සඳහා පිළිතුරු බඳින්නට මනුජට සිදු විය. මින් පෙර ඔහු අතින් කඳවුර තුල විනය කඩ වීම් අවස්තා වාර්තා නොවී තිබීම ඔහුගේ පසට වූ යහපත් කාරණාව විය. එහෙත් ඔහුගේ කෝපයට ලක්වූ සෙබළා තවමත් රෝහල් ගත වී සිටිම නිසා, මනුජගේ සේවය තවදුරටත් අත් හිටුවීමට දවස අවසානයේ තීරණය ලැබුණි.
සවස මනුජ ඔහුගේ හිතවත්ම නිළධාරියෙකු සමඟ රෝහල් ගත වු සෙබලාගේ සුව දුක් විචාරීමට ගියේ, එය සිදු නොවිය යුතු දෙයක් බවද දැනගෙනය,
“මේ මඟුලෙන් ඊළඟට ඉන්ටර්ඩික් වෙන්නේ මම ….”
මිතුරා එක දිගටම බැණ වැදුනේය.
“ ඒ කොල්ලාගේ කන ඇහෙන්නේ නැතුවම යාවිද බං …”
“ ඒක මම දන්නවා නම් මම මෙතන ඉන්නවාද බං ?…”
මිතුරා මනුජට බැණ වැදුනේය. සෙබලා මනුජ සහ මිතුරා වෙත හෙලුවේ ඉතා පීඩකාරී බැල්මකි. මනුජ සෙබලාගේ දෑතින්ම අල්ලා සමාව ඉල්ලා සිටියේය. ඔහුගේ සුවපත් භාවය වෙනුවෙන් කිරීමට ඇති කිනම් දෙයක් වුවද කරන බවට පොරොන්දු වූයේය.
එහෙත් සෙබළා කිසිවක්ම නොපවසා බලා උන්නා පමණි. මිතුරා අවසන මනුජට පිටත්ව යෑම සඳහා සිහිපත් කරන තුරුම මනුජ කලේ තමා අතින් වූ වරද වෙනුවෙන් සමාව ඉල්ලීමය.
“ සර් …”
මනුජලා පිටත්ව යෑම සඳහා ආපසු හැරෙද්දී, සෙබළාගේ හඬින් යලි හැරුනෝය.
“ සර් … මට දැන් කිසිම ප්‍රශ්නයක් නෑ .. හොඳට ඇහෙනවා… ඇවිදිනකොටත් කිසිම ප්‍රශ්නයක් නෑ … මට හිතෙන්නේ, සර්ට ප්‍රශ්නයක් ඇති කරන්න මාවඩිස්චාර්ජ් නොකර ඉන්නවා… මට .. මට .. අර .. වික්‍රම කමාන්ඩර් කිව්වේ… මොන දේ වුනත්, එයා කියනකල් සනීප අඩු බවම පෙන්නගෙන ඉන්න කියලා… එහෙම නැති වෙලා, ලොකුකම් කරන්න ආවොත්, කෑම්ප් ජීවිතේ අපායක් වේවි කියලා… ඒ නිසයි මම හිටියේ සර් …”
මනුජ මිතුරා දෙස බැලුවේය. එලෙස නම්, තමා අතින් වූ වරද දිග් ගස්වමින් මෙලෙසින් පළී දරන්නේ තම උසස් වීම් අහුරා ඒ ඉඩට පලි ගැනීමේ අරමුණිනි.
“ එහෙමම, ඒ කිව්ව විදියෙන්ම ඉඳපං කොල්ලෝ .. මං මේක බලාගන්නම් …”
මිතුරා මනුජට පෙර ඉස්සර වී කීවේය. සෙබළා හිස සලා, මනුජ දෙස සමාව ඉල්ලන ආයාචනාත්මක බැල්මක් ද හෙලුවේය.












