*තාරානාත් දහම් වංශනායක*
හවස් වරුවට කිරි වෙහෙරෙ තිබ්බෙ පුදුමාකාර ලස්සනක්. හිත නිවන ලස්සනක්. ඉඳ හිටලා ගලාගෙන යන හීතල හුලං පාරක් එක්ක ඒ නිස්කාංසුව වැඩි උනේ කිරි වෙහෙරෙ මිනිස්සු කොච්චර උන්නත් ඒක ඒ නිස්කාංසුවට බාධාවක් කරගන්නෙ නැතුව.
ඒත් හිත තිබ්බෙ එහෙම නිස්කාංසුවක නෙවෙයි. හිත තිබ්බෙ ඒ නිස්කාංසුව පන්නගෙන ගිහිල්ලා නොඉවසිල්ලක් අස්සෙ ගුලිවෙන්න බලාගෙන. තාත්තාත්, අමරසූරියත් එක්කහු කරගෙන කිරි වෙහෙරට ගිහින් තාත්තව අයිනෙ තිබ්බ බංකුවක වාඩි කරලා මල් පහන් පූජ කරලා මට ප්‍රාර්ථනා කරන්න තිබ්බෙ එකම එක දෙයක් විතරයි.
ඒ “මගෙ පුතාව ආයෙ මට ගෙනත් දෙන්න” කියන එක.
පූජා භූමියේ හැමතැනම තෙල් දාපු පහන්වලින් ආව දුමාරෙ හීන් සැරේ අහස දිහාවට ගලං යනවා. ඒ පහන්වල එළිය බිමට වැටිලා තිබ්බේ හරිම ලා, රත්තරන් පාටක්. ඒ තිබ්බ සංසුන්කම මගේ හිත තව රිද්දුවා කිව්වොත් හරි. මගේ ඇස්වලට ඒ පූජා භූමියේ හැම ලස්සනක්ම දැණුනේ හරිම කෲර විදියට. මෙච්චර සාමකාමී තැනක උනත් මගෙ හිත කොච්චර කෝලහාලයකද ඉන්නෙ කියන එක හිතෙද්දිත් මං කල්පනා කරේ ප්‍රශ්න තියෙද්දි ඇත්තටම ලස්සන දෙයක් උනත් ලස්සනට භාරගන්න අපිට බෑ නේද කියන එක.
මම දණින් වාඩි වෙලා, අත් දෙක වැඳගෙන මල් පහන් පූජා කළා. ඒත් මට දැනුණේ මම බුදු හාමුදුරුවන්ගෙන් පිහිටක් ඉල්ලනවා වගේ නෙවෙයි. මට හිතුනෙ මම හරියට මේ මුළු ලෝකෙටම මගේ දුක ගැන කිය කිය අඬ අඬ කෑ ගහනවා වගේ.
තාත්තා අමරසූරිය එක්ක කිරි වෙහෙර අයිනෙ තැනක වාඩිගෙන කල්පනා කර කර හිටියා.
කිරි වෙහෙරේ හුළඟට පුළුවන් උනා හෙමීට ඇවිත් මගේ කඳුළු පිහ දාන්න. හැබැයි මගේ හිතේ තිබ්බ නොඉවසිල්ලයි දුකයි අරන් යන්න ඒ හුළඟට පුලුවන් කමක් තිබ්බෙ නෑ. මම මගේ පූජාව ඉවර කළේ, මගේ ප්‍රාර්ථනාව ඉටු වෙයිද නැද්ද කියලා නොදැන වුණත්, අත් අරින්න බැරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ බලාපොරොත්තුව තමයි මාව තවත් ඉස්සරහට ඇදගෙන යන්නේ කියන එක දැනගෙන උන්නා වගේම මට එයාව ආපහු හම්බවෙයි කියන විශ්වාසෙත් පුංචියට හරි එවෙලෙ මගෙ හිතේ තිබ්බා.
“කවදහරි ඔයා මාව දාලා ගියොත් මං එදාට මේ දුක දරාගන්නෙ කොහොමද?” කියලා නාද්‍යා මීට සෑහෙන කාලෙකට කලින් අපි යාලුවෙච්ච අලුත මූද අයිනෙ වාහනේ පිටිපස්සෙ වාඩිවෙලා කතා කර කර ඉද්දි ඇහුව විත්තිය මට ඒ එක්කම මතක් උනා. එදත් මේ අද වගේම හුළඟ තිබ්බෙ ශටර්ස්වලින් ඇවිත් මගෙ කොණ්ඩ රැවුල අස්සෙන් එහෙට මෙහෙට යන ගමන්.
ඒත් එදා හැබැයි හිත තිබ්බෙ සැනසිලා. වාහනේ පිටිපස්සෙ සීට් එකේ දිගෑදිලා මගෙ පපුවට බරවෙලා මූදයි අහසයි දිහා බලාගෙන උන්න නාද්‍යා නිසා එදා අද නැති සැනසීමක් මට තිබ්බා.
“ඔයා කවදහරි මාව දාලා ගියොත් මිසක ඔයා හිතන්නෙ මං ඔයාව දාලා යාවි කියලද?” කියලා මම ඇහුවෙ මගෙ නිකටට පොඩ්ඩක් පල්ලෙහයින් නතර වෙලා තිබ්බ නාද්‍යාගෙ නළලට මගේ දෙතොල් තද කරගෙන.
“මං මොකටද අනේ ඔයාව දාලා යන්නෙ?”
“ඇයි ඔයාට හේතුවක් එන එකක් නැද්ද කවදාවත් මාව දාලා යන්න. කවදහරි හිතුනොත් ඒ මොකෙද්ද මේ නාකි මයිනා කියලා එදාට හොඳ කොල්ලෙක් හොයන් මාව දාලා යාවි” කියලා මං කිව්වෙ විහිලුවට උනාට නාද්‍යා එදා ඒක සීරියස් ගත්තා කියලා මට තේරුණේ එයා එකපාරටම මගෙ පැත්ත හැරිච්ච හන්දා.
“කසාද බඳින්නෙ නැතුව වෙන මනුස්සයෙක්ගෙන් ළමේක්ව හදාගත්ත, මෙලෝ වත්කමක් නැති මාව කසාද බඳින්න, මටයි මගෙ දරුවටයි ආදරේ කරන්න කැමති වෙච්ච තරම් මනුස්සකමක් තිබිච්ච ඔයාව අත ඇරලා ගිහින් මට හොයාගන්න පුලුවන් වෙන හොඳ කෙනෙක් ඉඳිවිද කියලා මට හිතාගන්න බෑ”
“එතකොට ඔයා මාත් එක්ක ඉන්නෙ ඔයාගෙ ඒ හේතු නිසා මං ඔයාට ආදරේ කරන එකට දක්වපු සැලකීමක් විදියට මිසක් ආදරේ හන්දා නෙවිද?” කියලා මං අහද්දි නාද්‍යා හයියෙන් මගේ ඇඟ වටේ අත් දෙක දාගෙන මගෙ පපුවට තුරුල් උනා. මම උන්නෙත් මගෙ ඇඟ උඩ දිගාවෙලා උන්න නාද්‍යාගෙ උකුළ, ඉණ වටේට අත් දෙක දාගෙන හීන් සැරේ එයාව අතගාන ගමන්.
“ඔයා ඒ ප්‍රශ්නෙට උත්තරේ හොඳටම දන්නවනෙ නේද?” කියලා නාද්‍යා කිව්වට මට ඇත්තටම ඕන උනේ එයා හරිම කලාතුරකින් අවස්තාවක විතරක් එළියට දාන ඒ “ආදරෙයි” කියන වචන ටික ආයෙ වතාවක් අහන්න.
“දන්නෙ නෑ කියලා තමයි හිතෙන්නෙ ඔයා මේ එකපාරටම කියන දේවල් එක්ක” කියලා මං බොරු තරහකින් දුකකින් වගේ කිව්වෙ ඒකයි.
“ඔයා වගේ මනුස්සයෙක් වෙනුවෙන් ගෑනියෙක්ට කරන්න බැරි දෙයක් නෑ කියලයි මං හිතන්නෙ දහම්. මං ඇත්තටම හිතුවෙ දරුවෙක් එක්ක තනිවෙච්ච අම්මා කෙනෙක්ට ආදරේ කරන්න, එයාව ගෑනියෙක් විදියට භාරගන්න කැමති පිරිමි ඉන්නෙ නවකතා පොත්වල විතරයි කියලා. ඇත්ත ජීවිතේ එහෙම කෙනෙක් හම්බෙන එක විශ්වාස කරන්න බැරි හන්දා තමයි ඇත්තටම මම මුලින්ම ඔයාට කිසිම දේකට අනුබල දුන්නෙත් නැත්තෙ.
එහෙම එකේ ආය ආය මං ඔයාට ආදරේ බං කියන්නෝන නෑ දහම්. මං ආදරෙයි. මේ ජීවිතේ කවදහරි අවසන් වෙන දවස එනතුරුම වගේම ඊළඟ ආත්මෙකත් මට මේ ආත්මෙ මතක තියෙනම් මම ඔයාට එදාටත් ආදරේ කරනවා. මේ මූදටත් වඩා මම ඔයාට ආදරේ කරනවා. මේ අහසටත් වඩා මම ඔයාට ආදරේ කරනවා.
ඒ ආදරේ වෙනුවෙන්, ඔයා මට දුන්න ආදරේ වෙනුවෙන්, ඔයා මං වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන් මට ඔයාට දෙන්න බැරි දෙයක්, ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ දහම්” කියලා නාද්‍යා කියද්දි එයාට එතනින් එහාට වෙන වචනයක්වත් කියන්න කිසිම ඉඩක් දෙන්නෙ නැතුව මම එයාගෙ තොල් මගෙ තොල් වලින් අල්ලගත්තා. ඒ විනාඩි ගාන ගෙවුනෙ එහෙම. අපි දෙන්නටම අපි දෙන්නගෙ පපුවෙ බීට් එක දැනුණා. ඇහුණා. එදා ඒ හැම වචනයක්ම නාද්‍යා ගැන, නාද්‍යාගෙ ආදරේ ගැන මගෙ හිතේ තිබ්බ හැම ප්‍රශ්නයක්ම ක්ලියර් කරන්න උදව්වක් උනත් එදා එයා කිව්ව ඒ “ඒ ආදරේ වෙනුවෙන්, ඔයා මට දුන්න ආදරේ වෙනුවෙන්, ඔයා මං වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන් මට ඔයාට දෙන්න බැරි දෙයක්, ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ දහම්” කියන වචන එක්ක මට අලුත් ප්‍රශ්නයක් එයාගෙන් අහන්න තිබ්බා.
“ඔයා මාව එහෙනම් දාලා ගියෙත් ඒ නිසාමද? වෙන කරන්න දෙයක් ඔයාට තිබ්බෙ නැති නිසාමද?” කියලා.
නාද්‍යා මාව දාලා ගියේ ගයාන්ගෙ ප්‍රශ්නෙ ආපහු පැමිණීම එක්ක මම එයාව රිජෙක්ට් කරාවි කියලා හිතුව හන්දද කියන එකම මට මාරම දුකක් හිතට එක්කහු කරේ ඒකෙන්ම තේරෙනවනෙ නාද්‍යා මගේ ආදරේ දාලා තිබ්බ තැන කියලා හිත කියද්දි. කිරි වෙහෙර වටේට එක්කාසු වෙලා තිබිච්ච මිනිස්සු ගාථ කියන, දෙයියන්ගෙන් බුදුන්ගෙන් එක එක ඒවා ඉල්ලන කපුවන්ගෙ හඬ මැද්දෙ මගෙ හිත උන්නෙ ඊට වඩා හයියෙන් අඬන ගමන්. ඇත්තටම අඬනවටත් වඩා වේදනාවෙන් කෙඳිරි ගාන ගමන්.
ඇඟට පණ තිබ්බත් හිත තිබ්බෙ මැරෙන්න වැටිලා.
අන්න ඒ පණ නැති ඇඟයි හිතයි දෙකම හිරි වට්ටගෙන, පණ ගස්සවගෙන තමයි කිරි වෙහෙර උන්න මිනිස්සු හැමෝවම තිගස්සගෙන ඒ ඇඬුම් සද්දෙ මහ හයියෙන් ඇදිලා ආවේ.
මං ඔලුව ගස්සලා බැලුවෙ අන්න ඒ සද්දෙට. ඒ හුරුපුරුදු සද්දෙට. ඇඬුම් හඬට.
අඬලා අඬලා කඳුලු වක්කරලා රතු පාට වෙච්ච කම්මුල් වගේම ඉදිමිච්ච ඇස් එක්ක, මං දික්කරපු අත් දෙකට පැනපු කොල්ලාගෙ මොළකැටි අත් මගේ රැවුල් ගස් පිරිච්ච කම්මුලේ සිනිදුවට තැවරෙද්දි මගෙ ඇස් කඳුළු වලින් පෙඟුනා.
“කතරගම දෙයියන්ට පින් සිද්ද වෙන්න මට මගෙ පුතාව ලැබුණා”












