ළතෙත් ආදර හැඟුම් ගංගා – 72

*තාරානාත් දහම් වංශනායක*

“උඹලා ඔක්කොමලා බොරුකාරයෝ! මගේ දරුවව මගෙන් පන්නගන්න හදන බල්ලො! මහ ලොකු වංසක්කාරයා, අනුන්ගෙ ගෑනුයි ළමයිනුයි හොරෙන් පන්න ගන්න හදන වල් බල්ලා. එළියට වරෙන් මහ ලොකු චණ්ඩියා” කියාගෙන ආව ඒ සද්දෙ අයිති ගයාන්ට කියන එක වගේම උඩ තට්ටුවට නගින යකඩ පඩිපෙල දඩ දඩ ගාගෙන සද්ද කරගෙන උඩට එන්නෙ ගයාන් කියන එක තේරෙද්දි මට මාව අමතක උනා. 

 ඒ කටහඬේ තිබුණේ පිස්සු හැදිච්ච වෛරයක්.ඒක මනුස්ස කටහඬක් නෙවෙයි. ඒක වෛරයෙන් පිස්සු වැටුණු සතෙක්ගේ ගොරවන සද්දයක් වගේ. මුළු ඔෆිස් එකේම නිස්කලංක බව තිබ්බෙ එක පාරටම කුඩු පට්ටම් වෙලා ගිහින් වගේ. හැමෝම උන්නේ ගැස්සිලා බලාගෙන ඉන්න ගමන් “මේ මොන නාඩගමක්ද?” කියන්න වගේ..

 මෙහෙම දේකදි, තමන්ගෙ දරු පවුලට කරදරයක් වෙන්න යද්දි පිරිමියෙක් වල් සතෙක් වෙනවා කියන්නෙ අමුත්තක් නෙවෙයි. මං උන්නෙ ඇත්තටම මගෙ පිරිමිකම වල් සතෙක් විදියට මාරුකරගන්න ගමන්. අනික ගයාන්වගේ මිනිහෙක් එක්ක හැප්පෙන්න නම් මට මගේ පිරිමිකම පරිස්සම් කරගන්න බෑ කියන එක මං ඒ වෙලාවෙ තේරුම් අරගෙන උන්නා.

අපි කොච්චර ඔෆිස්වල වැඩ කළත්, ටයි කෝට් ඇඳගෙන, පොත් පත්තර කියෙව්වත්, අපි තාමත් ස්වභාවධර්මයේ කොටසක්. අපේ දරු පවුලට, අපිට ආදරේ කරන අයට කරදරයක් වෙනවා දකිනකොට, ඒ සිවිල් ජීවිතේ මායිම් ඔක්කොම එක පාරටම කැඩිලා යනවා. ඒක තමයි මනුස්ස ස්වභාවෙ.මගේ ඔළුවේ තිබුණේ එකම දෙයයි. ඒ මට මාව නැති වුණත් කමක් නෑ, මගෙ ගෑනියි දරුවයි ආරක්ශා වෙන්න ඕන කියන කාරණාව.

ගයාන් කඩාගෙන ඔෆිස් එක ඇතුළට පැන්නෙ මම නාද්‍යාවයි අහස්වයි තුරුල් කරගෙන පරිස්සම් කරන්න හදද්දි. ඌගේ ඇස්වලින් මං දිහාවට පැන්නෙ ගින්දර. මගේ ඇස් ඇදිලා ගියේ ඌගේ අත දිහාට. මිනිහා උන්නේ අතේ දිලිසෙන පිහියක් තියාගෙන. හරියට “හොඳින් බැරිනම් නරකෙන් හරි මම අද මුන්ව මගෙ ළඟට ගන්නවා” කියන්න වගේ. මගේ හදවත පසාරු කරගෙන යන්න තරම් බයක් දැනුණා කියන එක බොරුවක් නෙවෙයි. ඒත් මම දැනගෙන උන්නා ගයාන්ට මොන සෙල්ලම උනත් දාන්න පුලුවන් “ඕවර් මයි ඩෙඩ් බොඩි” කියන එක.

“උඹ හිතාගෙන ඉන්නේ මගේ දරුවාව අරන් පැනලා යන්නද? ඈ බල්ලො උඹලා දෙන්නම එකතු වෙලා මාව රවට්ටනවා නේද. බැල්ලි උඹ මෙච්චර කල් මිනිහගෙ රෙද්ද අස්සෙ හැංගිලා ඉඳන් මගෙන් බේරිලා යන්න හිතුවද?” කියලා ගයාන් ඇහුවෙ පිහිය අපි දිහාවට උරුක් කරගෙන. ඒ මූණෙ, ඒ ඇස් අස්සෙ කිසිම මනුස්සකමක් තිබුණේ නෑ. තිබ්බෙ හොඳින් හරි නරකින් හරි තමන්ට ඕන කරන දේ ලබාගන්න පරමාර්ථෙ විතරයි.

මේක රණ්ඩුවක් නෙවෙයි. මේක අයිතිය ගැන කරන සටනක්. මම නාද්‍යායි දරුවායි මගේ පිටිපස්සට කරගත්තෙ මේ මූසල මිනිහා හදිසියේ හරි ඉස්සරහට පැනලා පිහිය දික්කරොත් ඒ පාරකින් මගෙ ගෑනිට හරි දරුවට හරි කරදරයක් වෙන්න පුලුවන් කියන ඇලර්ට් එකක් මගෙ හිත මට දුන්න හන්දා. මම පලිහක් වගේ හිටගෙන ඒ දෙන්නව මගෙ පිටිපස්සෙ හංග ගත්තෙ ඒ ඇරෙන්න නාදාවයි දරුවවයි මෙතනින් පරිස්සමෙන් පිට කරන්න විදියක් මට තිබ්බෙ නැති හන්දා.

“ගයාන් පිස්සු නටන්න හදන්න එපා. ප්‍රශ්නයක් තියෙනම් අපි මිනිස්සු විදියට කතා කරමු. ඒ ඇරෙන්න මේ තමුන් මෙතන ඇවිල්ලා පිස්සු නටන්න හිතන්න එපා” කියලා මම කියද්දි මගේ හඬ ගැස්සුණත්, ඒකේ තිබුණේ පුදුම හයියක්. මං දැනගෙන උන්නා ගයාන්ට ඕන උනේ අහස්ට මිනිහගෙ තිබ්බ ජීව විද්‍යාත්මක අයිතිය තමන්ගෙ කරගන්න එක විතරයි කියලා. ඌට මේ දරුවා අවශ්‍ය වුණේ ආදරයක් හන්දා නෙවෙයි, තමන් “දරුවෙක් හදන්න පුලුවන් පිරිමියෙක්” කියන එක ඔප්පු කරන්න. ඌට ඕන වුණේ මාව පරාද කරන්න. 

“උඹ කවුද මාව නවත්තන්න? මේ මගේ ලේ! උඹ මේ කොහෙද ඉඳලා ඇවිත් මං බීලා විසික් කරපු තැඹිලි කෝම්බ වල ලොඳ කන්න ආව බල්ලෙක්නෙ යකෝ. උඹ එනවද මට කියලා දෙන්න මගෙ දරුවා ගැන. හොඳ හිතින් උඹ ඔතනින් අයින් වෙයන් තාරානාත්. නාද්‍යා උඹ හිතන්න එපා උඹට හැමදාම මුගෙ පිටිපස්සෙ හැංගිලා මගෙන් බේරෙන්න පුලුවන් වෙයි කියලා” 

ගයාන් උන්නේ මිනිහම මීට කලින් එපා කියපු දරුවා වෙනුවෙන් දැන් මැරෙන්න වුණත් ලෑස්ති වෙලා වගේ. ඒකත් ආදරයට නෙවෙයි, අයිතිකරගන්න හිතේ තිබිච්ච පිස්සුවක් හන්දා.

ගයාන් මාව පැත්තට කරන්න හැදුවා. ඌට ඕන වුණේ මාව සම්පූර්ණයෙන්ම නොසලකා හරින්න. “තමුසේ කවුද මාව නවත්තන්න? එළියට යනවා!” කියලා කෑගහද්දිත් ඌගේ ඇස්වල තිබ්බෙ හරියට මං කියලා කෙනෙක් එතෙන් නෑ කියන වගේ අදහසක්. බැල්මක්. 

හැබැයි මම ඌට යන්න දුන්නේ නෑ. මම මගේ මුළු ශක්තියම, මේ දරුවා වෙනුවෙන් මගේ හිතේ තිබුණු හැම කැපවීමක හයියම අරගෙන, පිහිය උරුක් කරගෙන ඉස්සරහට පැන්න ගයාන්ව බිම පෙරළ ගත්තා. මට ඕන උනේ උගේ අතේ තිබ්බ ඒ පිහිය එක්කො උගෙ අතෙන් විසික් කරලා දාන්න එහෙම නැත්තම් මගෙ අතට ගන්න. බිම වැටුණත් ඌ උන්නෙ හරියට පිස්සුවෙන් වගේ දඟල දඟල. ඒ ඇස්වල තිබුණේ මරාගෙන මැරෙන විදියෙ පිස්සුවක්. පිහිය තිබුණු අතේ හයිය ලිහිල් කරන්න මම මගේ දත් තද කරගෙන, හයියෙන් හුස්ම ගත්තා. දත්මිටි කාගෙන මම උගෙ අතෙන් ඒ පිහිය අතට අරගන්න හැදුවා. ඒ අතර වාරෙම මගේ කකුල් දෙක උගෙ කකුල් දෙක වටේ දාගෙන මිනිහව තද කරගත්ත ගමන් මම නාද්‍යාට හයියෙන් කෑගැහුවා

“නාද්‍යා! දරුවව අරන් දුවන්න පල්ලෙහට යන්න” කියලා මම කෑගැහුවට නාද්‍යා උන්නේ හරියට ඒ වචන මුකුත් ඇහිච්ච නැති ගාණට මං දිහා බලාගෙන කඳුලු වක්කරන ගමන්.

බොරු කියන්න ඕන නෑනෙ මට අන්න ඒකටනම් මල පැන්නා. මේ ගෑනු අම්මපා හැමතිස්සෙම හොටු පෙරාගෙන අඬන්නෙ ඒ ඇඬිල්ලෙන් මොකක් හරි හොඳක් වෙයි කියලා හිතාගෙනද දන්නෙ නෑ. මං අච්චර මුන් දෙන්නව බේරගන්න හදද්දිත් නාද්‍යා කරේ වැලහින්නක් වගේ එතනට වෙලා අඬ අඬ ඉන්න එක.

“අනේ ගයාන්” කියලා නාද්‍යා අඬන ඇඬිල්ලට අහස් උන්නෙත් අඬන ගමන්. 

“මාව අත ඇරපං යකෝ. මට යන්න දීපන්. උඹව මරාගෙන මැරෙනවා මං හොඳට මතක තියාගනිං ඒක” කියලා ගයාන් මගෙන් මිදිලා යන්න හැදුවට මං උන්නෙ පොඩ්ඩක්වත් ඒකට ඉඩක් දෙන්නෙ නැතුව හයියෙන් ගයාන්ව අල්ලගෙන බිම පෙරළෙන ගමන්.

මගෙ පපුවට දරාගන්න බැරි විදියෙ වේදනාවක් එක පාරටම මතුවෙද්දිත් මගෙ ඇස් තිබ්බෙ නාද්‍යා දරුවව අරගෙන යනවද කියල බලන එක උඩ.

ඒක මහ තියුණු, දරාගන්න බැරි වේදනාවක්. හරියට උල් දේකින් මගේ හම ඉරාගෙන මම නාද්‍යාවයි අහස්වයි පරිස්සම් කරලා තිබ්බ බලකොටුව වෙච්ච හිත හොයාගෙන යනවා වගේ වේදනාවක්. 

මම එක තප්පරේකට නාද්‍යා දිහයින් ඇස් අයින් කරලා මගේ පපුව දිහා බැලුවෙ ඇයි මට එච්චර රිදෙන්නෙ කියලා හිතාගන්න බැරි හන්දා.

මම ගයාන්ව බිම දාගෙන මගෙ අතට ගන්න හිතපු මිනිහගෙ අතේ තිබිච්ච උල් පිහිය අන්තිමේ මගේ පපුව අස්සට කිඳාබැහැලා තිබ්බා, ඒ මම එක තප්පරේකට නාද්‍යා දිහාව බලන්න ගත්ත වෙලාව අතරතුරේදි. වේදනාව එක්ක මගේ අත්වලින් ගයාන්ව අල්ලගෙන උන්න ග්‍රහණය ලිහිල් වුණා. මට දැනුනෙ ඇඟට නිකන් පණ නෑ වගේ. ගයාන් මාව තල්ලු කරලා දාලා නැගිටින්න හදනවා කියලා කොච්චර තේරුණත් වේදනාව මැද්දෙම මම මගේ කකුල් දෙකෙන් මිනිහට යන්න බැරිවෙන්න අල්ලගෙන උන්නා. නාද්‍යා මහ හයියෙන් “අමරසූරියඅඅඅඅඅඅඅ.” කියලා කෑගහන සද්දෙත් කවුරුහරි පඩිපෙල දිගෙ උඩට නැගගෙන එන සද්දෙත් ඇහෙද්දි මට තේරුණා මට තවදුරටත් ගයාන්ව අල්ලගෙන ඉන්න බෑ කියන එක. ඌගේ ඇස්වල තිබ්බෙ දින්නා වගේ හැඟීමක්. මගේ හිතේ තිබ්බෙ මහ දරාගන්න අමාරු වේදනාවක්. ඒක එලියෙන් හිත අස්සට කාන්දු වෙච්ච එකක් නෙවෙයි හිත ඇතුලෙන් මතුවෙච්ච හිත අස්සෙම කැලති කැලති තිබ්බ වේදනාවක්.

යකඩ පඩිපෙල දිගේ දුවන් ආව අමරසූරිය පස්සෙ තව කාණ්ඩයක් දුවන් ආව විත්තියත් ඒ මිනිස්සු ඇඳන් උන්නෙ කාකි පාට ඇඳුම් කියන එකත් මම දැක්කෙ බොඳ වෙලා යන ඇස් අස්සෙන්.

“කාකි ඇඳුම් අඳින්නෙ පොලිසිය” කියන සිග්නල් එක මොලේ හිතට කිව්ව හන්දමද මන්දා මට දැනුනෙ අර පපුවෙ වේදනාව අඩු වීගෙන යනවා වගේ.

නාද්‍යා අඬාගෙන අඬන අහස්වත් පපුවට තුරුල් කරගෙන මං ළඟ දණගහද්දි පපුවෙ වේදනාව අඩු වෙලා යද්දි මං යාන්තමට ඒ ලස්සන මූණු දෙක දිහා බලලා හිනා උනා. අහස්ගෙ කඳුලු, නාද්‍යාගෙ කඳුලු එක්ක මගෙ මූණට වැටිලා අපි තුන්දෙනාගෙ කඳුලු එකට එක්කහු උනා.

මට ඇහුණා ඔෆිස් එකේ අය කෑ ගහන සද්දේ.  

ඇස් හීන් සැරේ කලුවර වීගෙන යද්දි මම නාද්‍යා දිහා බලලා හිනා උනා. මට හිනාවෙන්න පුලුවන් වුනා.

“මගෙ ගෑනියි දරුවයි දැන් පරිස්සම්” කියන සනීප හැඟීම මට ඒ වෙලාවෙ පුදුම සැනසීමක් උනා.

සමහරවිට නිවන කියන්නෙ ඒ හැඟීම වෙන්නැති.

ආදරේ කරන මිනිස්සු පරිස්සමෙන් ඉන්නවා කියන හැඟීම වෙන්නැති.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles