ළතෙත් ආදර හැඟුම් ගංගා – 73

*නාද්‍යා සොනාලි සල්වතුර*

“අනේ දැන් අඬන්න එපා නංගියෙ. වෙච්ච දේවල් උනා. අපි මොනා කරන්නද? මොකෝ එතන දරුවෙක් උස්සගෙන ඉන්න වෙලාවෙ නංගියෙ අර මිනිහා එක්ක රණ්ඩු කරන්න යන්න කියලද? දැන් නාඬ ඉන්න නංගියෙ. මේ පොඩි දරුවත් අඬනවානෙ නංගියෙ ඔයා අඬද්දි මේ දරුවවත් පරක් කරගන්නෙ කොහොමද අපි” කියලා කාන්ති අක්කා කොච්චර කිව්වත් මං උන්නෙ ඒ ඇඬිල්ල නතර කරගන්න කිසිමාකාරයක හේතුවක් හොයාගන්න බැරුව.

“අනේ අක්කේ…. අනේ අක්කේ එයාට එහෙම උනේ මං හන්දා අක්කෙ. මං වගේ පව් කාරියෙක් ඒ රත්තරන් වටින මනුස්සයගෙ ජිවීතේට ආවෙ නැත්තම් ඒ මනුස්සයට කොච්චර ලස්සනට ජීවත් වෙන්න තිබ්බද අක්කෙ? මං එන්න කලින් ඒ මනුස්සයගෙ ජීවිතේ කිසිමාකාර කරදරයක් තිබ්බෙ නෑනෙ අක්කෙ. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. මම ආවට පස්සේ… මම ආවට පස්සේ තමයි මේ හැම කරදරයක්ම ආවේ ඒ මනුස්සයගෙ ජීවිතේට.”

“එහෙම කියන්න එපා නංගි. මහත්තයා නංගිටයි දරුවාටයි කොච්චර ආදරේද නංගියෙ. කවුරුත් කාගේවත් ජීවිතේට නිකම්ම එන්නේ නෑ නංගියෙ. අනික මේ මොන දේ උනත් මං හිතන්නෙ නෑ තාරානාත් මහත්තයා කවදාවත්  වෙච්ච කිසිම දේකට නංගිට වරදක් කියනවා ඇතිය කියලා. වෙච්ච හැමදේම උනේ නංගියෙ වෙන්න තිබ්බ පිළිවෙලට මිසක් නංගිගෙ පවක් හන්දාවත් තාරානාත් මහත්තයගෙ අවාසනාවක් හන්දාවත් නෙවෙයි. නංගි දැන් මේ බොරු දේවල් හිතලා හිත රිද්දගන්න එපා නංගියෙ. ඉස්සරහට කොච්චර වැඩ තියෙනවද අපිට”

“නැත්තෙ මොකද අක්කෙ, මගේ අවාසනාවට තමයි ඒ මනුස්සයට එහෙම උනේ. මං වගේ මනුස්සයෙක්ව ජිවීතේට ඈඳගත්ත මෝඩකම හන්දා තමයි ඒ මනුස්සයට මෙහෙම වන්දි ගෙවන්න සිද්ද උනේ. මගේ ඇස් ඉස්සරහා අක්කෙ මහත්තයා පපුවෙන් ලේ විදගෙන බිමට වැටුණෙ. ගයාන් වෛර කළේ මට අක්කෙ මට. ඇයි අක්කෙ ඌ මට ඒ පිහියෙන් ඇන්නෙ නැත්තෙ? ඇයි ඒ පිහියෙන් අනිද්දි මට ඉස්සරහට පනින්න බැරි උනේ”

“ පිස්සු කතා කියන්න එපා නංගියෙ. මොනාද මේ කියන්නෙ? ඒ මහත්තයට වැදිච්ච පිහිපාර නංගිට වැද්දා නම් අද ඒ මනුස්සයා නේද මෙතන අඬා වැලපෙන්නෙ? අඩුම නංගිගෙ කඳුලක් කාරිය පිහදාන්න මං හරි ඉන්නවා. මහත්තයට අඬන්න උනා නම් කවුද නංගියේ ඒ මනුස්සයව සනසන්නවත් ඉන්නෙ ඈ?අනික ඒ වෙලාවෙ අර පොඩි දරුවා තමන් අතේ උන්නා නේද. අර පිස්සු යකා නංගිට පිහියෙන් ඇන්නා නම් මේ දරුවාට මොකද වෙන්නේ කියලා නංගි හිතුවද? දරුවට මක්කා හරි අනතුරක් උනා නම් මොකද වෙන්නෙ උහුලගන්න පුලුවන් වෙයි කියල නංගි හිතුවද? තාරානාත් මහත්තයා වුණත් ඒක දැනගෙන උන්නා. ඒකයි නංගියෙ ඒ මනුස්සයා අර පිස්සු යකා ඉස්සරහට පැන්නෙ. ඔයාටයි දරුවටයි මුකුත් කරදරයක් නොවෙන්න. මහත්තයට මොනා උනත් නංගිට හිතේ හයිය තියෙනවා දරුවා බලාගෙන ජීවිතේට මූන දෙන්න කියන එක මහත්තයා දැනං ඉන්න ඇති.  මහත්තයා එහෙම කරේ ඒ විශ්වාසය හින්දා නංගියෙ”

කාන්ති අක්කා ඒ හැම වචනයක්ම කිව්වෙ මගේ උරහිස තදින් අල්ලාගෙන හරියට මාව හොල්ලන ගමන් වගෙ. ඒ වචන මට දැනුනෙ නිකන් කම්මුල් පාරක් වගේ. තාරානාත් ඒ හැමදේම කරේ මං වෙනුවෙන් අපි වෙනුවෙන් කියන එක රියැලිටි එක ගෑනියෙක් විදියට මාව හිත අස්සෙන් කීතු කීතුවලට ඉරල දැම්මා. එයාට ඕන වුණේ මම ජීවත් වෙලා, අහස්ව පරිස්සම් කරලා, මේ සටන දිනනවා දකින්න. මම ඇඬුවොත් ඒක එයාට කරන ලොකුම අසාධාරණයක් කියලා දැනගෙන උන්නත් මට හයියක් තිබ්බෙ නෑ අඬන්නෙ නැතුව ඉන්න.

“මං කොහොමද අක්කෙ නාඩ ඉන්නෙ? මං කොහොමද නාඩ ඉන්නෙ? ඒ මගෙ මනුස්සයා අක්කෙ? ලේ ගංගාවක් මැද්දෙ ඒ වැටිලා උන්නෙ මගෙ මනුස්සයා. මගෙ දරුවගෙ තාත්තා. මං කොහොමද අක්කේ ඒ පවුලෙ මිනිස්සුන්ට මූණ දෙන්නෙ? මං කොහොමද ගිහින් ඒ මිනිස්සුන්ට කියන්නෙ මං කරපු එකම එක වරදක් තමයි මේ කැරකි කැරකි අපිට ආය ආය පටිසන් දෙන්නෙ කියලා?” මං වැලහින්නක් වගෙ ඇඬුවෙ කාන්ති අක්කගෙ පපුව අස්සෙ ඔලුව ගහගෙන. 

මං ඉස්පිරිතාලෙට ගියේ කොහොමද කියන එක ඇත්තටම මට මතක තිබ්බෙ නෑ.

මට මතක තිබ්බෙ කාන්ති අක්කා මගේ අත තදට අල්ලාගෙන හිටපු හැටි විතරයි, මම උන්නෙ ඒ අත මිරිකෙන්න තරම් තදින් අල්ලාගෙන. කවුද ඇම්බියුලන්ස් එකට කතා කළේ කියලා මට මතක නෑ. සමහරවිට ඔෆිස් එකේ කෙනෙක් වෙන්න ඇති, නැත්නම් පොලිසිය වෙන්න ඇති. මගේ ඔළුවේ තිබුණේ එකම එක දෙයක් විතරයි

“ අනේ දෙවියනේ, එයාව අපෙන් උදුරගන්න එපා”

ඉස්පිරිතාලෙට ආවට පස්සේත් තාරානාත් සිහිය නැතුව හාන්සි වෙලා උන්න ඇඳ ICU එක ඇතුළට තල්ලු කරගෙන ගියේ මට හරියට බලන්නවත් බැරි වෙන්න වේගෙන්. එයා උන්නෙ ඇස් පියාගෙන, නිසල වෙලා. මම දුවගෙන දුවගෙන මගෙන් ඈතට අරගෙන යන්න හදන තාරානාත් ගෙ ඇඳ පස්සෙ දුවන්න හැදුවට නර්ස් කෙනෙක් මාව නැවැත්තුවා.

“මැඩම්, කරුණාකරලා මෙතනින් එහාට එන්න එපා. අපිට මේ වැඩේ කරන්න දෙන්න.”

මම කොළ පාට ප්ලාස්ටික් පුටුවකට කඩාගෙන වැටුණෙ ඇත්තටම වෙන කරන්න දෙයක් නැතිම තැන. හැමතැනම තිබ්බෙ ඩිසින්ෆෙක්ටන්ට්, බය, අඬා වැලපෙන මිනිස්සුන්ගෙ කඳුලු එක්කහු වෙලා ගොඩ නැගිච්ච මහ මූසල ගතියක්. කාන්ති අක්කා මගේ අත අල්ලාගෙන හිටියා, ඒත් මට ඒක දැනුණේ නෑ. මගේ ඇඟ සීතල වෙලා, පණ නැති වෙලා වගේ එවෙලෙ තිබ්බෙ. මං කාන්ති අක්කව අහස් එක්ක ගෙදර යැව්වෙ ඇත්තටම ඒ වෙලාවෙ එයාලා දෙන්නා පවා මගෙ ළඟ ඉන්න එක මට මහ වදයක් වගේ දැනිච්ච හන්දා. මට ඕන උනෙ තනියම ඉන්න. තනියම මේ දුක උහුලගන්න. තනියෙම හැමදේම විඳ දරාගන්න.

“බය කියන දේට ආයෙ කවදාවත් ලං වෙන්න බැරි ජීවිතයක් ඔයාට හිමි වෙන්න ඕන.” කියලා අපේ හනිමූන් එක දවසෙ මාව පපුවට තුරුල් කරගෙන කිව්ව තාරානාත්ම මට මගේ ජීවිතේ නැතිවෙන්න පුලුවන් ලොකුම දේ ගැන මහමේරුව තරම් බයක් හිත අස්සෙ පොදි ගහමින් ඉන්නවා කියන එක මට ඇත්තටම අමතක කරන්න බැරි උනා.

බය වෙන හීන දැකලා රෑ මැද ඇහැරිච්ච මාව තුරුලු කරගෙන “ බයවෙන්න එපාමම මෙතන ඉන්නවා.” කිව්ව තාරානාත්ම අද මගෙ ලඟ නෑ කියන එක මට අමතක කරන්න බැරි උනා.

තාරානාත්ට ආයෙත් කවදාවත් මං එයාට කොච්චර ආදරේ කරාද කියලා කියන්න පුළුවන් වෙයිද කියලා හිත කිව්ව කියන එක බොරුවක් නෙවෙයි. මට ඇත්තටම එවෙලෙ හිතුනා එයා මැරුණොත් කියලා. එක තප්පරේකට “නෑ නෑ එහෙම වෙන්නෙ නෑ” කියලා හිතලා හිතලම ඒ හිතුවිල්ල ඔලුවෙන් අයින් කරගන්න මට පුලුවන් උනත් ඒ බය තිබ්බෙ හිතෙ එක කෙලවරක හැංගිලා හීන් සැරේ ඒ හිත කොනිත්තන ගමන්.

“තාරානාත් මහත්තා හැමදේම කරේ ඔයා වෙනුවෙන්. දරුවා වෙනුවෙන්. ඒ වගේ මිනිහෙක් ලේසියෙන් ඔයාව දාලා යන්නේ නෑ.” කියලා කාන්ති අක්කා යන්න කලින් කිව්ව වචන ආයෙ ආයෙ මතක් උනත් මගෙ හිත බය කරේ වෙන හිතුවිල්ලක්.

“යනවා ඇරෙන්න එයාට වෙන තේරීමක් නැත්නම්? දෛවය ඒ තීරණය අරගෙන ඉවර නම්?”

මාව වැරදීමෙන් වැරදීමට ඇදගෙන ගිය ඒ දරුණු දෛවයම, මම කැමැත්තෙන් තෝරගත්තු එකම හොඳ දේත් මගෙන් උදුරගන්න ලෑස්ති වෙලා නම්?” කියන ප්‍රශ්නෙට දෙන්න ඇත්තටම මට උත්තර තිබුණේ නෑ.

විනාඩි ගණන් ගෙවුනෙ පැය ගනන් වගේ. මම ICU එක ළඟ වාඩිවෙලා ඉද්දි ආව පොලිසියෙ මිනිස්සු මගෙන් එක එක ප්‍රශ්න ඇහුවා.

“ගැහුව මනුස්සයා ගැන පෞද්ගලිකව දන්නවද?”

“තවත් කරදර කරන්න මිනිහට එන්න විදියක් නෑ. අපි ඇරෙස්ට් කරලා තියෙන්නෙ”

“තව ඒ වගේ ත්‍රෙට් කරන්න පුලුවන් අය ඉන්නවද?” වගේ ප්‍රශ්නවලට උත්තර දීල අන්තිමේ මං උන්නෙ හරිම මහන්සියෙන්. මං වාඩිවෙලා උන්න බංකුවෙම ඉඳගෙන ඔලුව පිටිපස්සට කරලා බිත්තියට හේත්තු කරගත්තෙ මට ඇත්තටම දරාගන්න බැරි තරම් බරක් ඒ ඔලුව අස්සෙ පිරිලා තිබිච්ච හන්දා.

හරියටම එතකොට… ICU දොරවල් එක පාරටම ඇරුණා.

අවුරුදු හතළිස් ගණන්වල මැද වගේ උන්න ඩොක්ටර් කෙනෙක් එළියට ආවා. ඇස් කණ්නාඩි ගලව ගලව උන්න ඒ මනුස්සයට තිබ්බෙ හරි මහන්සි මුණක්. හතර වටේට ගිය ඒ ඇස් මුළු ඉස්පිරිතාලෙම පරික්ෂා කරලා අන්තිමේ ඇඉත් මගේ ළඟ නතර වුණා.

අන්තිමේ හෙමිහිට මගේ ළඟට ආවා. මගේ පපුව ගැහෙන සද්දේ මුළු වාට්ටුවටම ඇහෙන්න ඇති.

මම හුස්ම හිරවීගෙන එද්දි වගේ ඉඳන් උන්න තැනින් නැගිට්ටා.

ඩොක්ටර් ආවේ හෙමිහිට, ඉබ්බෙක් වගෙ හෙමිහිට කියලා ඇත්තටම මට හිතුනා ඒ වෙලාවෙ. මට දැනුනෙ මම නිකන් ඈතට ඈතට පාවෙවී යනවා වගේ.

ඒ මනුස්සයා මගේ දිහා බැලුවේ මහන්සියක් එක්ක. ලොකුම ලොකු මහන්සියක් එක්ක

“මිසිස් වංශනායක?” 

මම වෙව්ලන ගමන් ඔළුව වැනුවා.

“අපි කරන්න පුළුවන් හැමදේම කළා” 

මගේ ලෝකය තිබ්බෙ එක තැන නතර වෙලා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles