පාරින්ද තම මිතුරන් දෙදෙනාට නිවසට පැමිණෙන්නයැයි පණිවිඩයක් යැවූයේ පාන්දරමය. ඉසුරි අවසානයට එවා තිබූ කෙටි පණිවිඩයක් තමා යැවූ පිළිතුරු පණිවිඩයත් ඔහු සිය වතාවකට වඩා කියවූයේය. ඒ අතරතුර වරින් වර කාමරයට එබුණු නැගණියටත් අම්මාටත් කෑ ගැසුවේ කෝපයෙන්ය.
“ඌ දැන්වත් හැදෙන්නෙ නැත්තං ඌට ඕන දෙයක් කරගන්න දීලා තමුසෙ මෙන්න මෙහාට වෙලා ඉන්නවා….”
ඒ සෑම වරකම තාත්තාත් කෝපයෙන් කෑ ගසන අයුරු පාරින්දට ඇසුණි.
“පිස්සුද බං ඕකිට කවදාවත් වෙන මිනිහෙක්ව බඳින්න හම්බවෙන්නේ නෑ. කවුද කියන්නේ උඹල අතරේ තිබුණේ එහෙම සම්බන්ධයක් නෙමෙයි කියලා. ගමේ කාගෙන් ඇහුවත් කියන්නේ උඹල අතරේ හෙන දුර දිග ගිය සම්බන්ධයක් තිබුණා කියලා. අපි හිතන් හිටියොත් එහෙමනේ බං.”
කලණ පැවසූයේ පාරිද දිගු කළ ජංගම දුරකථනයෙහි වූ කෙටි පණිවිඩය කියවූවාට පසුවය.
“ඕකිට පේන්න කරනවනම් කරන්න තියෙන එකම දේ ඒක.”
ඔහු යළිත් එසේ පවසද්දී ඉෂාර පැවසූයේ වෙනමම කතාවකි.
“මම නම් කියන්නේ මාසයක් විතර යනකල් මේ ගින්න නිවෙන්න දීලා උඹ හෙමිහිට ගිහිල්ලා ඉසුරි එක්ක කතා කරපන්. අවුරුදු ගානක්ම ඒ කෙල්ල උඹ වෙනුවෙන් ජීවත් උනා මිසක්කා වෙන කොල්ලෙක් ගැන හිතුවේ නෑනේ. ඒ මාසෙත් එයා වෙන කොල්ලෙක් ගැන හිතයි කියලා හිතන්න අමාරුයි. මචං පුළුවන්නම් තේරුම් ගනින් ගෑණු ආදරේට හරි පෙරේතයි. හරි ලෝබයි. ආදරේ හිතේ හංගගෙන ඉඳලා වැඩක් නෑ. ඒක පෙන්නන්නම ඕනේ. සමහර ගෑණු විතරක් නෙමෙයි පිරිමිත් කසාද බැඳලාත් ආදරේ හොයාගෙන පිට යන වෙලාවල් තියෙනවා. මං කියන්නේ හැමෝම නෙමෙයි. එක්තරා කොටසක්. උඹලගේ පෞද්ගලික ජීවිතේ ගැන කියන්න මම දන්නේ නෑ. හැබැයි මම ළඟ ඉන්න වෙලාවකවත් උඹ ඉසුරිට ආදරෙන් හොඳින් කතා කරල නෑ. මං උඹට මීට කලිනුත් කිහිප වතාවක්ම ඒ ගැන කතා කරලා තියෙනවා. හැබැයි උඹට ආපස්සට හැරිලා ඒ ගැන හිතන්න වුවමනාවක් තිබුණේ නෑ. මචං තරහා වෙන්න එපා. උඹ ඉසුරිට ආදරේනම් ඇත්තටම උඹේ ජීවිතේට ඒ කෙල්ල ඕනෙනම් විතරක් මං අර කියපු විදිහට මාසයක් විතර මේ ගිනි නිවෙනකල් ඉඳලා ආපහු පලයන්. එහෙම නැත්තං, ඒ කෙල්ලට ඒ කෙල්ලගේ පාඩුවේ ඉන්න දීලා උඹ වෙන අතක් බලා ගනින්. මූ කියන විදිහට ඉසුරිගෙන් පළිගන්න වෙන කෙල්ලෙක් කසාද බඳින්න ගිහිල්ලා අමාරු වැටෙන්න එපා. උඹට එහෙම තීරණයක් ගන්න ඕනනම් ඒකත් හොඳට හිතලා හොයලා බලලා ගනින්. හදිසිය එච්චර සුදුසු නෑ.”
“මචං මට එහෙම කෙල්ලන්ව හුරතල් කරන්න තේරෙන්නෙ නෑ. අනිත් එක ගෑණු සීමාවේ තියා ගත්තේ නැත්තං ගෝනි නැතුව කරේ නගින්නේ. එහෙමයි කියලා මමත් වෙන කෙල්ලන්ගේ පස්සෙ ගිහිල්ලා ගෑනුන්ගේ පස්සෙ ගිහිල්ලා ඉසුරිට වරදක් කරලා නෑනේ බං. ඉදලා හිටලා පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මට දවස ගානේ බීලා චාටර් වෙලා නාස්ති වෙලා නෑනෙ බං. ඉසුරුලගේ ගෙවල්වල තියෙන ප්‍රශ්නවල හැටියට අපේ ගෙවල්වල ප්‍රශ්න නෑ.”
“ඔව් ඒ පැත්තෙන් උඹ අනිවාර්‍යයෙන්ම හොඳ කොල්ලෙක්. ඒක මං පිළිගන්නවා. හැබැයි ඉතින් සමහර වෙලාවල් වලට ගෑනියෙක්ට ඔය කිසිම දෙයක් අදාල නෑ ආදරේ, රැකවරණය, ගෞරවය තරම්. අනිත් එක ගෑණු හිත් කැඩුම හදන්න ලේසිත් නෑ.”
“ඒ මේ බලහන් මූ කාන්තා කටයුතු ඇමති වගේනේ උඹට උපදෙස් දෙන්නේ”
“එහෙම කියන්න ගෑනු ගැන දැනගන්නම ඕනේ නෑ බං. අපි අකමැති අපිට දුක හිතෙන කිසිම දෙයක් තව කෙනෙකුට නොවේවා කියලා හිතුවානම් හරි. මූ අද ඉන්නේ අවුලෙන්. ඒක උඹට නොපෙනුනාට මට හොඳට තේරෙනවා.”
“මට අවුල් තමයි බං. නැත්තේ නෑ. හැබැයි ඉතින් උඹ ඔය කියන විදිහට අනේ මන්දා… ඒකි මගෙන් අහලා නෙමෙයි ඔය කිසි දෙයක් කලේ.”
“එහෙම අවශ්‍යත් නෑනේ බං. මං දන්නෑ බං… මට ඊයේ අපේ ගෙදර අම්මයි තාත්තයි ඔය ගැන කතා කරනවා ඇහුනා. ඒ දෙන්නම කිව්වේ ඒ මිනිස්සු ජීවිතෙන් බැට කාලා බැට කාලා පාඩම් ඉගෙන ගෙන මේකන් පිටවෙන්න ගතපු තීරණය හරියටම හරි කියලා. උඹ තරහ වෙන්න එපා මං මෙහෙම කිව්වට. රාජිණී නැන්දට හදපු තරමක් කතන්දර හැදුවේ උඹලයි අම්මා කියලා තමයි අපේ අම්මා කියන්නේ. රාජිණී නැද්දට උඹලයි අම්මා හදල දීපු කතන්දරවලට මිනිස්සු තටු දුන්නලු. අපේ තාත්තා කියන්නේ මිනිස්සු එක එක්කෙනා දිහා බලන්නේ එක එක පාට කන්නාඩි දාගෙනලු.. අපේ අම්මනම් එකෙන්ම කියනවා බං ඉසුරිට කවදහරි, හරි යනවා කියලා. ඒ කෙල්ල මල්ලිවයි නංගිවයි බලාගෙන තමන්වත් ආරක්ෂා කරගෙන හිටියනෙ බං. රාජණී නැද්දා උනත් ඒ ළමයිව අතෑරලා ගියේ නෑනේ. එයාටත් තිබුණා ඕනනම් ඒක කරන්න.”
“උඹ ඉතින් කොහොමත් එදා ඉදලා ඉසුරිගේ ගුණ වයාගත්ත ගමන්නේ…”
කලණ පැවසූයේ අවඥාවෙන් හිනැහෙමින්ය.
“උඹල තවදුරටත් එහෙම හිතනවනම් උඹලත් එක්ක කතා කරන එකේ තේරුමක් නෑ. මම යනවා. මචං උඹ හැබැයි මෙයා මේ කියන විදිහේ මෝඩ වැඩනම් කරන්න එපා.”
පාරින්ද මිතුරාගේ අතින් ඇද ඔහුව නවතා ගත්තේ පුටුවෙන් නැගී සිටියදීය. වෙනදා සේ ඔහුට විරුද්ධව යමක් පවසන්නට ඔහුට සිතුනේ නැත.
“ඉදහං බං කොහේ යන්නද….?”
“තරහ වෙන්න එපා මචං. යාළුවෙක් විදිහටවත් උඹට වැරදි දේ කරන්න කියලා උපදෙස් දෙන්න මට බෑ. උඹේ ජීවිතවලට ඉසුරිව ඕනෙද නැද්ද කියලා තීරණය කරන්න ඕනෙ උඹ. උපන් දා ඉඳලා ඒ කෙල්ල ගැන දන්නේ උඹ බං. මං හිතන්නේ උඹලගේ එෆෙයාර් එකටත් දැන් අවුරුදු පහක් විතර වෙනවා. එතකොට ඉසුරි කවුද කියල හරියටම දන්නෙත් අපි නෙමෙයි උඹ….”
“ඒකි නරක නෑ බං ඒක මං දන්නවා. ඒ උනාට ඉතින් ඕනවට වඩා කෙල්ලෙක් ළඟ නැවෙන්නත් මට බෑ. උඹල දන්නවනේ මං ජීවත් වෙච්ච විදිහ. මට ඕනේ ආපහු ඒකිට මගේ කකුල් දෙක ළඟට එන්න ඕනේ වෙන විදියට ගේමක් ගහන්න. මං උඹලා දෙන්නට උදේ එන්න කිව්වෙත් ඒකට. මචං මං ආයේ ඉසුරිව නැති කරගන්නේ නෑ. හැබැයි මට ඒකිව නලවල හුරතල් කරන්න බැරි උනාට උඹ කියපු විදියට මං හොඳින් කතා කරන්නම්…”
“උඹට එහෙම හිතෙනවනං ඔය ගින්න ටිකක් නිවෙන්න දීපන් බං.”
අවසන මිතුරන් තිදෙනා යම් එකඟතාවයකට පත්ව සිටියේය. ඉන්පසුව පාරින්ද සිටියේ මදක් සැනසී ගිය සිත් ඇතුවය. කිසිවක් කර කියා ගන්නට නොහැකි යැයි සිතූ ඉසුරි මේ අයුරින් ජීවිතය පටන් ගනිද්දී පාරින්දට වූයේ තරහවකට වඩා පරාජිත හැඟීමකි. ඒ නිවස තුළ කුමක් සිදුවනවාදැයි ඔහු දැන සිටියේ නැත. මෙවේලෙහි ඔහුගේ සිතෙහි වූයේ ඒ නොසන්සුන්කමය.
“මට අරුන්ගෙ ගෙවල්වල මොනවද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න විදිහක් නෑනේ….”
නාලනී ඒ නොසන්සුන් හැඟීම දරාගෙන ආලින්දයේ එහෙටත් මෙහෙටත් ඇවිද යන අතරේ පැවසූයේ තම සැමියාටය.
“මූ මේ වැඩක් නැති ප්‍රශ්න දාගත්තේ නැත්නම් මේ වෙලාවේ යාප්පුවෙන් ඕකිගේ ගෙට රිංගලා බලන්න තිබුණා.”
අවසන ඇගේ කෝපය පිටව ගියේද පාරින්ද පිටින්ය.
***************
බිනරගේ උපදෙස් පරිදි ඔහු රැගෙන දුන් බුදු පිළිමය දෑත්මත තබාගෙන මුලින්ම නිවසට ඇතුළු වූයේ ඉසුරිය. කිරි උතුරවා සෙත් පිරිත් සඡ්ජායනයෙන් පසුව පැමිණ සිටි අමුත්තන් වූ හංසිකාටත් සුලක්ෂාටත් තේ මේසයට මේසයට ආරාධනා කළේ රාජණීය.
“අපි හිතුවා ඔයාගේ යාළුවත් එයි කියලා….”
හංසිකාත් සුලක්ෂාත් ඔවුනොවුන් දෙස බලා ඇසක් ඉඟි මරා එසේ පැවසූයේ උණුසුම් කෝපි කෝප්ප දෙකක් රැගෙන ආ ඉසුරිටය.
“බිනරද…..”
“ඔව් ඉතින් ඔයා ඔය විසි හතර පැයේම වර්ණනා කරන යාළුවා. මේ වගේ වෙලාක නැත්නම් මොකටද?”
“අනේ අද බිනරට එන්න විදිහක් නෑ. එයාගේ තාත්තා එක්ක හදිසි ගමනක් යන්න වෙලා. ඒ උනාට සැරින් සැරේ කෝල් කරල බලනවා”
“එහෙම තමයි හොඳ යාළුවෝ.”
“මං වගේ අසරණ වෙච්ච හැම ගෑණු ළමයෙක්ටම ඒ වගේ හොඳ යාළුවෙක් හම්බවෙන්න ඕන තමයි මැඩම්.”
“ඔන්න ඉසුරි මම අහන්න කැමතිම නැති වැරදි වචනයක් කිව්වා.”
“ඒ මොකක්ද ඩොක්ටර්…”
“අසරණයි කියන්නේ. එහෙම වචනයක් අපේ ශබ්දකෝෂයට ඕනේ නෑ. එහෙම අසරණ වෙනවනම් අසරණ වෙන්නෙ සතා සිවුපාවෝ. මොකද එයාලට දැනෙන දේ හැඟෙන දේ කියාගන්න බෑ. නමුත් මිනිස්සු වෙන අපි කොතනකදීවත් අසරණ වෙන්න ඕන නෑ. ඒ වචනෙත් එක්ක ඔයා දන්නවද මිනිස්සු අඩි ගානක් තමන් ඉන්න තැනින් පල්ලෙහාට වැටෙනවා. මං මේ ලෝකෙ අහන්න අකමැතිම නරකම වචනේ තමයි ඔය. කවුරුවත් අසරණ වෙන්න ඕන නෑ.”
“අනේ… සොරි ඩොක්ටර් මං එහෙම හිතලා කිව්වා නෙමෙයි. බිනර හරියට මාව අඳුරු ලෝකෙක හිරවෙලා ඉදිද්දී පාට පාට ලයිට් පත්තුවෙන වර්ණවත් ලෝකෙකට ඇදලා ගත්තා වගේ මට දැනෙන්නේ. මගේ හිතේ තියෙන සතුට වචන වලට පෙරලන්න මම දන්නෙ නෑ ඩොක්ටර්.”
“අද ඒක ඔයාගේ මූණ බැලුවහම අපිට පේනවා නේද හංසි. අපි දෙන්නා ඒ ගැන කතා වුණත් එක්ක.”
“කොහොමත් එයා ඉටපු ගමන් අපිටත් පාට පාට ලයිට් පෙන්නනවා.”
හංසිකා එසේ පැවසූයේ උස් හඬින් හිනහෙමින්ය. හංසිකා මැඩම්, ඩොක්ටර් සුලක්ෂා, බිනර මිතුරන් වූයේ කවදාදැයි අසන්නට සිතුනත් ඒ සිතුවිල්ල ඉසුරිට අමතක වූයේ විසිත්ත කාමරයෙහි වූ පුටුසැටිය නියමිත තැනක ස්ථානගත කරන්නට වෙහෙසවන අම්මාත් මධාරා පුංචි අම්මාත් දෙස බලා සිටියදීය. ඒ පුටු සැටිය වසර ගණනාවක් පරණ එකකි. පාට සේදී තිබිණ. ඉරී, කැඩී තිබූ කුෂන් කොට්ටා ඉවත් කරමින් අලුත් කොට්ටා ගෙන ආවේ මධාරා පුංචි අම්මාය.
විනාඩි කිහිපයකට පසුව තාත්තා, දුරකථනයත් කන තබාගෙන එහේ මෙහේ දිව යන අයුරු ඉසුරි බලා සිටියේ දෑස් විසංගා ගෙනය. පැය දෙක තුනකින් යන්නට ආ හංසිකාත් සුලක්ෂාත් බලෙන්ම දහවල් ආහාරය සඳහා නවතා ගත්තේ මධාරා පුංචි අම්මාය.
“තාත්තා දවල් කෑම ඕඩර් කළා. තව තාත්තාගේ යාළුවො දෙතුන් දෙනෙකුත් එනවා කියලා කිව්වා. ඒ අයටත් එක්කම.”
මධාරා බියත් සැකයත් දරාගෙන බලා උන් ඉසුරිට පැවසූයේ අමුත්තන්ව මගහරිමින්ය.
“ඒක තමයි මං බයත් උනා ගෙදර උයන්න කියල දෙයක් තවම නැහැනේ. අපි තවම මොකුත් බඩු ගෙනාවෙ නෑනේ පුංචි.”
“ඔයා බය නොවී ඉන්න. මේ වගේ දවසකට අමුත්තන්ට කන්න ටිකක් නොදී යවන්නේ කොහොමද?”
“මමත් නොදන්න කවුරු හරිද මධාරා එන්නේ..”
එසේ ඇසුවේ රාජිණීය.
“දන්නෙ නෑ අක්කේ…යාළුවො තුන්දෙනෙක් කියලා තමයි කිව්වේ. එයාලටයි අපිටයි ඔක්කොටම කෑම ගෙන්නුවේ. ඉසුරි මං ඔයාට ලස්සන ගවුමක් ගෙනල්ලා ඇති. මං ආසයි අද වගේ දවසක ඔයා ඒක ඇඳගෙන ඉන්නවා බලන්න. හොඳ ළමයා වගේ ඒක ඇඳගන්නකො. ඒ බෑග් එකේම නංගිටයි මල්ලිටයිත් තියෙනවා. රජිණී අක්කටත් තියෙනවා ඒක ඇඳගෙන එන්න.”
නංගිත් මල්ලිත් උන්නේ ඔවුන්ට තනිවම හිමි වූ කාමර සරසමින්ය. මධාරාගේ ඉල්ලීමට අවනත වූ ඩොක්ටර් සුලක්ෂාක් හංසිකාත් ආලින්දයේ වූ පුටු දෙකක අසුන්ගෙන බැරෑරුම් කතාවකය.
“සතුටින් ඉන්න. මම තාත්තයි අම්මයි එක්ක පොඩි ගමනක් යනවා. මෙයාලා මාව ලස්සනට අන්දගෙන එක්කගෙන යන්නේ මනමාළියක් බලන්නද දන් නෑ…ආපු ගමන් කතා කරන්නම්. සතුටින්ම… සතුටින්ම ඉන්න…….”
ඉසුරි බිනර විසින් එවා තිබූ කෙටි පණිවිඩය කියවූයේ උඩුමහලේ තමාට වෙන් වූ කාමරයට ගිය පසුවය.
කන්නාඩියට එබී උන් ඇගේ මුව මත සටහන් වූයේ සිනහවකි. ඕ යළිත් ඒ කෙටි පණිවිඩය කියවූවාය. තමාගේ පපුව හරහා කුමක්දෝ වේදනාවක සලකුණක් ඇඳී යනු ඇයට දැනෙන්නට විය. ඒ කුමක්දැයි වටහාගන්නට උත්සාහ නොදැරූ යුවතිය දගු සුසුමක් පමණක් මුදා හැරියාය.
“මං ගොඩක් සතුටින්. ලෝකෙ ලස්සනයි කියලා මට පෙන්නුවට ඔයාට ගොඩක් ස්තුතියි. අම්මයි තාත්තයි ඔයාව මනමාළියක් බලන්න එක්කරගෙන යනවානම් මං කැමතියි. දැන් ඔයා ලඟ කවුරු හරි ඉන්න ඕනේ. මං ප්‍රාර්ථනා කරනවා එයා ගොඩක් ලස්සන ඔයාට ගොඩාක් ආදරේ කරන ඔයාගේ ජීවිතේ හැම දවසක්ම සතුටින් තියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ කියලා. මොකද ඔයා ඒ තරම්ම උතුම් මනුස්සයෙක්..”
ඉසුරි පිළිතුරු පණිවිඩයක් යැවූයේත් ඒ වේදනාත්මක සලකුණ පපුව මැද්දේම තබාගෙනය.
“පිස්සි…..එහෙම එකකට නෙමෙයි යන්නේ. මට ඔයාට ඉක්මනින්ම දිග කතාවක් කියන්න තියෙනවා. අපේ අම්මා ගෙදරින් එළියට බැහැලා මෙහෙම ගමනක් යන්නේ අවුරුදු එකහමාරකට විතර පස්සේ. සමහර විට ඒ නිසයි මමත් එක්කරගෙන යන්න තාත්තාට ඕන වෙන්න ඇත්තේ..මං හවසට එනවා. මාලිංගයත් ආපහු තව ටිකකින් ඔහේ එන කතාවක් කිව්වා. ඔයාගේ තාත්තා කිව්වලු දවල්ට එන්න කියලා.”
“ඔව් තාත්තා ලන්ච් එක ලෑස්ති කරනවා. හංසිකා මැඩමුයි ඩොක්ටර් සුලක්ෂායිත් නතර වුණා. මම පහළට යන්න ඕනේ. ඔයා හවසට එනකල් බලාගෙන ඉන්නවා….පරිස්සමෙන් ගිහින් එන්න.”
කෙටි පණිවිඩ හුවමාරුව නතර වූයේ ඒ අයුරින්ය. මධාරා පුංචි අම්මා ගෙනැවිත් තිබූ ගවුම වටිනා එකකි. ඒ ගවුම ඇඟලාගත් යුවතිය කන්ණාඩිය ඉදිරිපිට වටයක් දෙකක් කරකැවුනේ අන් කවරදාකවත් නොදුටු සිනහවක් හිමි යුවතියකගේ රුවක් කන්නාඩිය මත්තේ ඇඳී යද්දීය..
( හමුවෙමු ආදරයෙන් අවසන් කොටස් දෙක සමග)












