ඈන් ෆ්රෑන්ක් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ කවුද?
අර තමන්ගේ යොවුන් කාලේ නාසි අපායක හිරවෙලා ඉද්දී, ඒ හැම දුකක්ම දිනපොතක ලියපු පුංචි කෙල්ලව නේද?
ඒ දිනපොත කියවපු ඕනෑම කෙනෙක් දන්නවා යුද්ධය කියන්නේ මනුස්සකමට කොච්චර ලොකු බලපෑමක් එල්ල කරපු සාපයක්ද කියලා. එහෙම යුද්ධයක් මැද්දෙත් අහිංසක තරුණකම දිය කරලා හරින්න වෙච්ච ඈන් කියන්නේ ලෝකෙටම අමතක නොවන චරිතයක්.
හැබැයි මේ වගේ හැම කතාවක් පිටිපස්සෙම කවුරුත් වැඩිය දන්නේ නැති, හරිම නිහඬ, හැබැයි පුදුම ශක්තියක් තිබුණු තවත් චරිතයක් ඉන්නවා. ඈන්ගේ කතාවේදී ඒ සුවිශේෂී පුද්ගලයා තමයි එයාගේ අම්මා, ඊඩිත් ෆ්රෑන්ක්. ඇත්තම කිව්වොත්, අද ලෝකෙම ඈන්ගේ වචන ගැන කතා කරද්දී, ඒ වචන ලෝකෙට ඉතුරු කරන්න පදනම දාපු ඊඩිත්ගේ කතාව ඉතිහාසයේ කොහේ හරි සෙවනැල්ලකට වැහිලා ගිහින් තියෙනවා. එයා තමන්ගේ දුවලා වෙනුවෙන් කරපු කැපකිරීම්, විඳපු වේදනාවන් ගැන වැඩිය කවුරුත් දන්නේ නැහැ.
මේ කියන්න යන්නේ අර දිනපොත පිටිපස්සේ හිටපු අන්න ඒ “දරුවො වෙනුවෙන් මරණය ඉස්සරහට ගියපු” අම්මාගේ කතාව. මුළු ලෝකයම තමන්ව මරන්න මාන බලද්දී, මහා බයක්, බඩගින්නක් මැද වුණත් තමන්ගේ දරුවෝ දෙන්නව රැකගන්න එක එක මොහොතකටවත් නතර නොකරපු, ඒ ආදරණීය අම්මාගේ ඇත්තම කතාවයි මේ.
1938 බිඳුණු වීදුරු රාත්‍රිය
1938 නොවැම්බර් වෙනකොට මුළු යුරෝපයම යුදෙව්වන්ට අපායක් වෙන්න පටන් අරන් තිබුණේ. ඒ මාසයේ 9 වැනිදා සහ 10 වැනිදා තමයි නාසීන්ගේ ඒ දරුණු මර්දනය ජර්මනියයි ඔස්ට්රියාවයි පුරාම පැතිරුණේ. මේක ඉතිහාසයේ හැඳින්වෙන්නේ “ක්රිස්ටල්නැච්” නැත්නම් “බිඳුණු වීදුරු රාත්‍රිය” කියලා.
එදා හැමතැනම යුදෙව් පල්ලි ගිනිබත් කළා, ව්‍යාපාර විනාශ කළා, මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා දැම්මා. ඒ වෙලාවේ ඊඩිත් ඇම්ස්ටර්ඩෑම්වල හිටපු නිසා එයාට කරදරයක් වුණේ නැහැ. හැබැයි තමන්ගේ නෑදෑයෝ, පවුලේ හිතවතුන් අත්අඩංගුවට පත්වෙද්දී, සමහරුන්ව මරලා දාද්දී, තවත් අයව වධකඳවුරුවලට දක්කද්දී ඊඩිත්ට සිද්ධ වුණේ අසරණව ඒ දිහා බලාගෙන ඉන්න විතරයි.
එයාගේ වැඩිමහල් සහෝදරයා වෝල්ටර්වත් නාසීන් අරන් ගියා. මේ හැමදේම එක්ක ඊඩිත්ගේ හිතට දැනුණේ පුදුම බයකුයි, ලොකු වගකීමකුයි. 1940 වෙද්දී නාසීන්ගේ ග්‍රහණය තවත් තද වුණා. යුදෙව්වන්ට නිදහසේ හුස්ම ගන්නවත් ඉඩක් ඉතිරි වුණේ නැහැ. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඊඩිත්ගේ හිතේ තිබුණු ඒ බර සැහැල්ලු වෙන්න කිසිම බලාපොරොත්තුවක් පේන මානයකවත් තිබුණේ නැහැ.
හැංගිලා ජීවත් වෙන්න වුණු ඒ අවාසනාවන්ත දවස: 1942 ජූලි
1942 ජූලි 5 වැනිදා. එදා තමයි ෆ්රෑන්ක් පවුලට තමන්ගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කරන ඒ මරණ වරෙන්තුව ලැබුණේ. නාසි නිලධාරීන්ගෙන් ලියුමක් ආවා ඊඩිත්ගේ ලොකු දුව, ඒ කියන්නේ මාගෝට “වැඩ කඳවුරකට” වාර්තා කරන්න කියලා. ඒ ලියුම දැක්ක ගමන් ඊඩිත්ටයි පවුලේ අයටයි තේරුණා තමන්ගෙ මරණය අත ලඟටම ඇවිත් කියලා. තමන්ගේ දරුවාව නාසීන්ගේ අපායට යවන්න ඊඩිත්ට කොහොමටවත් බැරි වුණා.
තවත් පමා නොවී, ඒ කියන්නේ පහුවදාම – 1942 ජූලි 6 වැනි සඳුදා – ඒ අය තමන් හිටපු ගෙදර අතෑරලා හොර රහසෙම පැනලා ගියා. ඒ අය හැංගුණේ ඇම්ස්ටර්ඩෑම්වල තිබුණු ඔටෝ ෆ්රෑන්ක්ගේ ඔෆිස් එක උඩ තට්ටුවේ තිබුණු රහස් කුටියක. පොත් රාක්කයකින් වහලා තිබුණු ඒ පුංචි කාමරේ ඔවුන්ට එක අතකින් රැකවරණයක් වුණා වගේම තවත් පැත්තකින් ඒක හරියට හිරගෙයක් වුණා.
ඊඩිත්, ඈන්, මාගෝ සහ ඔටෝ එක්ක සති කිහිපයකට පස්සේ වැන් පෙල්ස් පවුලේ අයත් මේ රහස් කුටියටම එකතු වුණා. එදා ඉඳන් ඔවුන්ට සිද්ධ වුණේ කාටවත්ම ඇහෙන්නේ නැති වෙන්න, පේන්නේ නැති වෙන්න, හුස්ම ගන්න සද්දේ පවා පාලනය කරගෙන, මුළු ලෝකයටම අමතක වුණු පිරිසක් වගේ හරිම පීඩනයකින් ජීවත් වෙන්නයි.
රහස් කුටිය ඇතුළේ ජීවිතය හරියට අතුරක ඇවිදිනවා වගේ වැඩක්. හැම තත්පරේකම මහා බයකින් ඉන්න වුණ ඒ කාලේ, අම්මා කෙනෙක් විදිහට ඊඩිත්ට තිබුණේ පුදුම වගකීමක්. ඈන් සහ මාගෝ කියන්නේ සම්පූර්ණයෙන්ම අහසයි පොළොවයි වගේ වෙනස් ගතිගුණ තිබුණු දෙන්නෙක්. ඈන් හැමදේම ප්‍රශ්න කරන, දඟකාර, එක තැන ඉන්න බැරි කෙල්ලෙක් වෙද්දී, මාගෝ හරිම නිහඬ, හැමදේම පිළිවෙළකට කරන, හරිම පරෙස්සම් දරුවෙක්.
ඊඩිත්ට සිද්ධ වුණා මේ දෙන්නාගේම අවශ්‍යතා බලාගෙන, තමන්ගේ හිතේ තියෙන බය පිටතට නොපෙන්නා, නාසීන්ගෙන් බේරිලා ඉන්න ඕන කරන ඒ මහා පීඩනය දරාගන්න. ඈන් තමන්ගේ දිනපොතේ අම්මා එක්ක තිබුණු අමනාපකම් ගැන ඕනෑවටත් වඩා ලියලා තිබුණා. හැබැයි ඈන් ලියපු ඒ හැම තද වචනයක් පිටුපසම තිබුණේ තමන්ගේ දුවලාට කන්න ටිකක් හරි දෙන්න, ඒ අයව ආරක්ෂා කරන්න ඊඩිත් කරපු නිහඬ සටනයි.
1944 ජනවාරි 2 වැනිදා ඈන් තමන්ගේ දිනපොතේ මෙහෙම ලිව්වා:
“සාමාන්‍යයෙන් මට තරහ ගියාම මම සද්ද නැතුව ඉන්නවා, අම්මත් එහෙමයි. ඒ නිසා තමයි අපිට රණ්ඩු නොවී සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.”
කන්න කෑම නැතිව, ඉන්න ඉඩක් නැතිව, හැමවෙලේම මරණ බයෙන් හිටියත් ඊඩිත් කවදාවත් තමන්ගේ යුතුකම් අතෑරියේ නැහැ. එයා තමන්ට ලැබෙන පුංචි කෑම පංගුව පවා දුවලාට බෙදලා දුන්නා. පිටත ලෝකයේ තියෙන ඒ දරුණු ඇත්ත දරුවන්ට නොදැනෙන්න තමන්ගේ පපුවෙන් ඒ හැමදේම ආවරණය කරලා දරුවන්ව ආරක්ෂා කරන්න ඒ අම්මා පුදුම උත්සාහයක් ගත්තා.
පාවා දීමේ රාත්‍රිය: 1944 අගෝස්තු 4
අන්තිමේදී, අවුරුදු දෙකක් තිස්සේ මරණ බයෙන් ආරක්ෂා කරගත්ත ඒ පුංචි රහස් කුටියේ රැකවරණයත් 1944 අගෝස්තු 4 වැනිදා ඉවර වෙලා ගියා. කවුරු හරි කරපු පාවා දීමක් නිසා ගෙස්ටාපෝ නිලධාරීන් ඇවිත් මේ හැමෝවම අත්අඩංගුවට ගත්තා. ඊඩිත්, ඈන්, මාගෝ, ඔටෝ සහ වැන් පෙල්ස් පවුලේ හැමෝවම මුලින්ම ප්‍රාදේශීය හිරගෙදරකටත්, ඊට පස්සේ “වෙස්ටර්බ්රෝක්” කියන තාවකාලික කඳවුරටත් අරන් ගියා.
ඊට පස්සේ 1944 සැප්තැම්බර් 5 වැනිදා වගේ දවසක, ඔවුන්ව “අවුෂ්විට්ස්” (Auschwitz) කියන බිහිසුණු වධකඳවුරට පිටුවහල් කළා. ඒ යන ගමන නම් ඇත්තටම තිරිසන්නුන්ටවත් නොදෙන වධයක් විඳගන්න මිනිස්සුන්ට සිද්ද වෙච්ච ගමනක් බව කියන්නම ඕන. හරක් පටවන පෙට්ටිවල හිර කරලා, බොන්න වතුර පොදක්, කන්න කෑමක් නැතුව දවස් ගණනක් එයාලට ඒ අපාය ඇතුළේ යන්න වුණා.
කඳවුරට පය තිබ්බ ගමන්ම නාසි හමුදාවේ දරුණු දොස්තරවරයෙක් වුණු ජෝසෆ් මෙන්ගෙල් එයාගේ කුප්‍රකට “තෝරාගැනීම” පටන් ගත්තා. එයාගේ අතේ එක සංඥාවකින් මිනිහෙක් මැරෙනවද නැද්ද කියලා තීරණය වුණේ හරිම සීතල විදිහටයි. ඒ වෙලාවෙත් අම්මා කෙනෙක් විදිහට ඊඩිත්ගේ හිත ගැහුණේ තමන්ගේ දරුවෝ ගැනම විතරයි. එයා දරුවෝ දෙන්නාව පපුවට තුරුළු කරගෙන ඒ අයව මේ මහා විනාශයෙන් බේරගන්න තමන්ට පුළුවන් උපරිමයෙන් උත්සාහ කළා.
අවුෂ්විට්ස්වලදී ඊඩිත්ගේ ජීවිතය හිතාගන්න බැරි තරම් භයානක අපායක් වුණා. එයාගේ දුවලා දෙන්නට වහල්ලු වගේ දරුණු වැඩ කරන්න වුණා. ඒ මදිවට ලෙඩ රෝගයි, දරාගන්න බැරි බඩගින්නයි ඒ දෙන්නව හෙම්බත් කළා. ඒ හැම දුකක්ම ඊඩිත් දුවලා එක්කම විඳගත්තා. කඳවුරේ තියෙන කායික පීඩාවට වඩා තමන්ගේ ඇස් පනාපිට දරුවෝ විඳවන එක ඊඩිත්ට මහා ලොකු මානසික වේදනාවක් වුණා.
1944 ඔක්තෝබර් 30 වැනිදා, ශීත සෘතුව පටන් ගන්නවත් එක්කම ඈන්වයි මාගෝවයි බර්ජන්-බෙල්සන් කඳවුරට මාරු කළා. ඒ වෙලාවේ ඊඩිත් තමන්ගේ පණ ගැන නොහිතා, තමන්ට ලැබුණු ඉතාම සුළු කෑම පංගුව පවා අනිත් අයට බෙදා දෙමින් තමන්ගේ පැවැත්ම පවා පූජා කළේ වටේ ඉන්න අයගේ යහපත වෙනුවෙන්.
මොන තරම් දරුණු කරදර ආවත් එයාගේ හිතේ තිබුණු ඒ අසිරිමත් මනුස්සකම පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. දරාගන්න බැරි සීතල, ලෙඩ රෝග, හෙම්බත් වීම් මේ හැමදේම අස්සේ වුණත් එයා තමන්ගේ මනුස්සකම රැකගත්තා. එයාට ඉතුරු වුණු හැම පාන් කෑල්ලක්ම, හැම වතුර පොදක්ම එයා දුවලාට හරි එහෙම නැත්නම් අනිත් අසරණ සිරකරුවන්ට හරි දුන්නා. බලාපොරොත්තු ඔක්කොම නැති කරලා දාන්න හදපු ඒ තිරිසන් ලෝකේ ඇතුළේ ඊඩිත් එයාගේ දරුවන්ට රැකවරණයක් වගේම ලොකු හයියක් වුණා.
දෙව්දුවකගේ සමුගැනීම: 1945 ජනවාරි 6
අන්තිමේදී, 1945 ජනවාරි 6 වැනිදා ඒ බිහිසුණු තත්ත්වයන් දරාගන්න බැරුව ඊඩිත් ෆ්රෑන්ක් මේ ලෝකෙන් සමුගත්තා. මියයද්දී එයාගෙ වයස අවුරුදු 44ක් විතරයි. එයාගේ මරණයත් අනිත් දහස් ගණනක් අහිංසක මිනිස්සුන්ගේ වගේම හරිම නිහඬව සිද්ධ වුණු දෙයක්. ඉතිහාස පොත්වල ලොකු අකුරෙන් ඒ ගැන ලියවුණේ නැති වුණත්, එයාගේ දරුවෝ වෙනුවෙන් එයා කරපු ඒ මහා පරිත්‍යාගය හැමදාටම ඉතිරි වුණා.
ඊඩිත් මැරිලා සති කිහිපයකට පස්සේ ඈන් සහ මාගෝ දෙන්නත් ටයිෆස් උණ හැදිලා මියයනවා. “තමන් මැරිලා හරි දරුවො දෙන්නව පරිස්සම් කරගන්න ඕන” කියලා හිතුව මනුස්ස දෙව් දුවක් වුණ ඊඩිත් තමන්ගෙ අවසාන මොහොතෙත් හිතුවෙ “මං මැරුණත් මගෙ දරුවො බේරෙයි” කියන එක වුණාට ඒ බලාපොරොත්තුව සැබෑවක් වෙන්නෙ නෑ. බිරිඳ වගේම දරුවො දෙන්නත් අහිමිවෙන ඒ දරුණු අපායෙන් ඈන්ගේ තාත්තා, ඔටෝ ෆ්රෑන්ක් විතරක් බේරුණා. පස්සේ කාලෙක ඈන්ගේ දිනපොත ලෝකයටම පෙන්නන්න කටයුතු කළේ එයා. ඒ දිනපොත ඇත්තටම ඈන්ගේ ධෛර්යය ගැන විතරක් නෙවෙයි, තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඒ අම්මා, ඒ කියන්නේ ඊඩිත් ෆ්රෑන්ක් අවසන් මොහොත වෙනකල්ම කරපු ඒ අසිරිමත් ආදරය ගැන කියවෙන ජීවමාන සාක්ෂියක්.
ඇත්තටම ඊඩිත් ෆ්රෑන්ක්ගේ මේ කතාව අපිට කියලා දෙන්නේ එකම එක දෙයයි.
ඒ ඉතිහාසයේ ලොකු අකුරෙන් ලියවුණු වීරයෝ පිටිපස්සේ හැමදාම වගේ ලෝකයට පේන්නෙ නැති, හැබැයි පුදුම ධෛර්යයක් තිබුණු නිහඬ චරිත ඉන්නවා කියන එක. ඒ අයගේ අසීමාන්තික කැපකිරීම් ගැන, ආත්මාර්ථකාමී හැඟීම් ගෑවිලා නැති ඒ උතුම් ගතිගුණ ගැන වචනවලින් විස්තර කරන එක හරිම අමාරුයි.
අවුරුදු දෙකක් තිස්සේ හැංගිලා ඉද්දී, මරණ බය හිත ඇතුළේ තියාගෙන ඉද්දී, ඒ වගේම අන්තිමේදී හැම බලාපොරොත්තුවක්ම නැතිවෙලා යද්දී පවා ඊඩිත්ගේ හිතේ තමන්ගේ දරුවෝ ගැන තිබුණු ආදරේ පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. එයා ජීවත් වුණේ, දුක් වින්දේ, අන්තිමේදී මැරිලා ගියේ තමන්ගේ දුවලා දෙන්නට තව එක දවසක් හරි බලාපොරොත්තු ඇතිව ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්නයි. ඈන්ගේ දිනපොතේ තියෙන ඒ හැම වචනයක් පිටුපසම තියෙන හයිය තමයි ඊඩිත්ගේ මේ නිහඬ වීරත්වය. අද මිලියන ගණනක් මිනිස්සු ආදරයෙන් කියවන ඈන්ගේ ඒ වචනවල පණ රැඳිලා තියෙන්නේ මේ අම්මාගේ ශක්තිය නිසයි.
ඊඩිත්ගේ ජීවිතය අපිට උගන්වන ලොකුම පාඩම තමයි, අම්මා කෙනෙකුගේ ආදරයට පුළුවන් ඕනෑම අඳුරු කාලෙක වුණත් නොසැලී පවතින්න කියලා.
ඈන්ගේ දිනපොත හරහා එයාගේ හීන, සිතුවිලි සහ බලාපොරොත්තු අමරණීය වුණා තමයි, හැබැයි ඒ වචන අදටත් ලෝකයේ ජීවමානව තියෙන්න ඉඩ සැලැස්සුවේ ඊඩිත්ගේ ඒ නොසැලෙන ආදරයයි.
ලෝකයට ඊඩිත් ෆ්‍රෑන්ක්ව අමතක වෙලා තිබුණට, එයා නැතිවෙන්න ඈන් ෆ්රෑන්ක්ගේ මේ හඬවත්, ඒ හරහා ලෝකය ඉගෙනගත්ත පාඩම්වත් අපිට කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ.










