ලෝකෙට හැඩ වැඩ පෙන්වූ ලංකාවේ තරු

ක්‍රිකට් සහ තේ කියන්නෙ ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙනියන්න උදව් වුණු ක්ෂේත්‍ර දෙකක් කියල අපි කවුරුත් අවිවාදයෙන් පිළිඟන්න කාරණාවක්.

මේ ඉතාම ජනප්‍රිය ක්ෂේත්‍ර වලින් ඇරෙන්න ශ්‍රී ලාංකීය නාමය ලොවට ගෙනියන්න, ආඩම්බරයක් සහ ගෞරවයක් ලබාදෙන්න කටයුතු කරපු තවත් තරු ඉන්නව කීවොත් ඔබට මොකද හිතෙන්නෙ?

ඒම කීපදෙනෙක් ගැන ඔබට මතක් වුනාද ? ඔන්න එහෙනම් අපි අද කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ ගැනයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය දක්ෂකම් විඳහා දක්වමින් ලොවක් ආකර්ෂණය කළ මේ තරු ගැන ඔබත් දැනන් හිටියද බලන්නකෝ ?

ආශා ඩී වෝස් (Dr. Asha De Vos)

ශ්‍රී ලාංකීය සාගර ජීව විද්‍යාඥවරියක් වන ආශා ඩි වෝස් වර්ෂ 1979 උපත ලබා කොළඹ කාන්තා විද්‍යාලයෙන් සහ CIS ජාත්‍යන්තරෙන් පාසලෙන් සිය පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළ අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ ශාන්ත ඇන්ඩෲ විශ්වවිද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළා.  

ලොව සුප්‍රසිද්ධ ලාභ නොලබන මාධ්‍ය ඇමෙරිකානු කැනේඩියානු මාධ්‍ය ආයතනයක් වන TED හි ශ්‍රේෂ්ඨ සාමාජිකාවක් වන ඇය ඇගේ නිල් තල්මසුන් පිළිබඳ ව්‍යාපෘතිය නිසා ලෝකයේම අවධානය දිනාගත්තා. 

2018 වසරේ BBC ය මඟින් නම් කරන ලද ලොව කාන්තාවන් සියදෙනා (BBC 100 women) අතරට එක්වීමේ භාග්‍ය ලැබූ එකම ශ්‍රී ලාංකීය කාන්තාව වන්නෙ ඇයයි. 

2013 වසරේදී ඇගේ Life Online ප්‍රකාශනය සඳහා වන ජනාධිපති සම්මානයත්, 2018 වසරේදී WINGS WorldQuest විසින් පිරිනමන ලද Woman of discover sea සම්මානයත් ඇගේ නමින් වෙන්වුණා. 

ඇගේ මේ කැපීපෙනෙන දක්ෂතා නිසාම 2007 වර්ෂයේ මාර්තු 27 වෙනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලාංකාවේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වෙනසක් ඇති කළ කාන්තාවන් ඇතුළත් 12 Women changemaker ලැයිස්තුවට ඇයවත් ඇතුළත් කරනු ලැබූවා. 

2020 වසරේදී Scuba Diving සඟරාව මඟින් Sea Hero ලෙස නම් කෙරුනේද ඇයවයි. 

හිරාන් අබේසේකර (Hiran Abeysekera)

Life of Pi වේදිකා නාට්‍යයේ Pi Patel කියන චරිතය රඟපෑම වෙනුවෙන් Laurence Olivier සම්මානය හිමිකරගන්න හිරාන් අබේසේකර සමත් වුණා. 

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරූ ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර රංගකලාව පිළිබඳ රාජකීය ඇකඩමියෙන් රංගනය පිළිබඳ උපාධිය සම්පූර්ණ කළා.

1985 උපත ලැබූ ඔහු 2016 වසරේදී රාජකීය ශේක්ෂ්පියර් සමාගම සමඟ එක්වී හැම්ලට්, පීටර් පෑන් සහ ෆයින්ඩ් මී ඉන් පැරිස් වැනි වේදිකා නාට්‍ය ගණනාවක කැපී පෙනෙන චරිත රඟ දැක්වීමේ අවස්ථාව ලබාගත්තා. 

ෂෙහාන් කරුණාතිලක (Shehan Karunathilaka) 

1975 ගාල්ලේ උපත ලබා කොළඹ හැඳී වැඩුණු ශෙහාන් කරුණාතිලක සම්මානනීය සහ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය රචකයෙන් වෙනවා. නවසීලන්තයේ අධ්‍යාපනය ලැබූ ඔහු ඔස්ට්‍රේලියාවේ, සිංගප්පූරුවේ සහ ඇම්ස්ටඩෑම් වල සිය රැකියාව කරමින් ජීවත් වූ අතර වර්තමානයේ ජීවත් වන්නෙ ශ්‍රී ලංකාවේයි. 

Rolling Stone, GQ සහ National Geographic සඳහා ගීත, පිටපත් සහ කතා රචනා කළ ඔහු ඔහුගේ දෙවන නවකතාව වන ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා (The Seven Moons of Maali Almeida) කෘතිය උදෙසා 2022 වසරේ ද බුකර් (The Booker) සම්මානය දිනාගත්තා. 

යොහානි ඩිලෝකා ඩි සිල්වා (Yohani Diloka De Silva)

යූ ටියුබ් හරහා අතිශයින් ජනප්‍රියත්වයක් හිමිකරගත් යොහානි ජනප්‍රිය ගායිකාවක්, ගීත රචනා ශිල්පිනියක්, රැප් ගායිකාවක් සහ පටිගත කිරීමේ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. 

1993 ජූලි මස 30 වන දින උපත ලැබූ ඇය විශාකා විද්‍යාලයෙන් සහ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදෑරූවා. 

මැණිකේ මගේ හිතේ ගීතය ඇයගේ ආරයකට ගායනා කිරීමෙන් අතිවිශාල ආකර්ෂණයක් සහ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට ඇය සමත් වූ අතර මේ වන විට එම ගීතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 245 ඉක්මවා තිබෙනවා. 

ඒ ඔස්සේ ඉන්දියාවේ චිත්‍රපට ක්ෂේත්‍රයට එක්වීමට භාග්‍ය හිමිකරගත් ඇය උදිත් නාරායන් සහ ශ්‍රියා ගෝසාල් වැනි ඉන්දියානු අතිදැවැන්ත ගායන තරු සමඟ එක්ව ගැයීමේ භාග්‍යද හිමිකර ගත්තා. 

ජැකලින් ෆර්නෑන්ඩස් (Jacqueline Fernandez) 

1985 බහරේන් නුවර උපත ලැබූ ජැකලින් ෆර්නෑන්ඩස් 2008 වසරේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශ්ව රූජිණ තරගයට සම්බන්ධ වුණා.

ඒ ඔස්සේ හින්දි සිනමාවට එක්වීමට වරම් ලද ඇය එදා මෙදා තුරු හින්දි සිනමාවේ සුන්දරම නිළිය ලෙසද සමහරුන් පවසනවා. 

සිය ප්‍රථම චිත්‍රපටය වන ඇලඩින් හි රඟපෑම වෙනුවෙන් IIFA සම්මානයක් හිමිකර ගැනීමේ භාග්‍ය ලැබූ ඇය මේ වන විට චිත්‍රපට තිහකට වඩා වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා. 

ශ්‍රී ලාංකීය නාමය ලොවට ගෙනගිය ඔබ දන්න තාරකාවන් කවුද ? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles