සමහර පිරිමි ඉන්නවා අදටත් කියන්නේ ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි කියලා. හැබැයි ඉතිහාසය දිහා බැලුවොත් අපිට පේනවා, පිරිමින්ට පේන්නෙවත් නැති, හිතන්නවත් බැරි තැන්වලදී තමන්ගේ නුවණ පාවිච්චි කරලා මුළු ලෝකයක්ම වෙනස් කරපු ගැහැනු ඕනෑතරම් ඉඳලා තියෙනවා කියලා.
කාන්තාව කියන්නේ ගෙදරට වෙලා උයලා පිහලා ඉන්න ඕන කෙනෙක් විතරයි කියලා ලෝකයම විශ්වාස කරපු කාලෙක, ඒ නොසලකා හැරීමම තමන්ගේ ලොකුම ආයුධය කරගත්තු එක ගැහැනියක් හිටියා. එයා ඇමරිකාවේ හිටපු බලවත්ම මිනිසෙක්ගේ ජීවිතය මරණයෙන් බේරගත්තේ පිරිමි රහස් පරීක්ෂකයන් දහයකටවත් කරන්න බැරි වුණු විදිහේ මාරම ප්ලෑන් එකකින්.
මේ තමයි, ලෝකයේ පළමු කාන්තා රහස් පරීක්ෂකවරිය විදිහට ඉතිහාසගත වුණු, ඇබ්‍රහම් ලින්කන්ව මරණයේ කටෙන් බේරාගත්තු ඒ අප්‍රකට වීරවරියගේ ඇඟ කිලිපොලා යන කතාව.
1861 අවුරුද්ද වෙද්දී ඇමරිකාව තිබුණේ හරිම භයානක තත්ත්වයක.
රට දෙකට බෙදිලා, ඕනෑම මොහොතක ලොකු සිවිල් යුද්ධයක් පටන් ගන්න පුළුවන් මට්ටමට ප්‍රශ්න දරුණු වෙලයි තිබුණේ.
ඔය අතරේ තමයි ඇබ්‍රහම් ලින්කන් ජනාධිපති විදිහට තේරී පත් වුණේ. එයා ෆිලඩෙල්ෆියාවේ ඉඳන් වොෂින්ටන්වලට යන ඒ ගමන සැලසුම් කරලා තිබුණේ හරිම ගාම්භීර, ඓතිහාසික ගමනක් විදිහට. හැබැයි ලින්කන් දැනගෙන හිටියේ නැහැ එයා මේ යන්නේ කෙළින්ම මරණයේ කටට කියලා.
බැල්ටිමෝර් නගරයේදී බෙදුම්වාදීන් කණ්ඩායමක් ලින්කන් එනකම් මඟ බලන් හිටියා. ඔවුන්ගේ ප්ලෑන් එක හරිම සරලයි, ඒ වගේම හරිම දරුණුයි. ලින්කන් කෝච්චිය මාරු කරන්න බැල්ටිමෝර්වලට බහිද්දීම එයාව මරා දාන එක තමයි මෙයාලගෙ ප්ලෑන් එක වුණේ.
ඇත්තටම කිව්වොත් ලින්කන් දැනගෙන හිටියේවත් නැහැ එයා මරණයට කොච්චර කිට්ටුවෙන්ද හිටියේ කියලා.
ලෝකයා හිතාගෙන හිටපු විදිහට නෙවෙයි, ලින්කන් වොෂින්ටන්වලට ආවේ හරිම රහසිගතව, වෙස්වලාගෙන, රෑ මැදියමේ ආපු කෝච්චියක නැගලා. ඒ නිසාම එයාගේ පණ බේරුණා. හැබැයි මේ ලොකු මෙහෙයුම පිටිපස්සේ හිටපු, අවුරුදු ගාණක් යනකම්ම හෙවනැල්ලක් වගේ හැංගිලා හිටපු ඒ සුවිශේෂී චරිතය ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
කවුද ලින්කන්ව මරණයෙන් බේරගත්ත මේ අද්භූත කාන්තාව?
එයාගේ නම තමයි කේට් වෝන් (Kate Warne).
කේට් වෝන් කියන්නේ ඇමරිකානු ඉතිහාසයේ හිටපු පළමු කාන්තා පෞද්ගලික රහස් පරීක්ෂකවරිය.
එයා වැඩ කළේ පින්කර්ටන් ජාතික රහස් පරීක්ෂක ඒජන්සියේ. ඒ කාලේ හැටියට ගෑනු කෙනෙක් මේ වගේ වැඩක් කරයි කියලා හීනෙකින්වත් හිතන්න බැහැ. 19 වැනි සියවසේ තිබුණු ඒ පිරිමි මූලික සමාජයේ හැටියට කාන්තාවන්ගෙන් බලාපොරොත්තු වුණේ ගෙදරට වෙලා නිහඬව ඉන්න එක විතරයි. හැබැයි කේට් එක දෙයක් හොඳටම තේරුම් ගෙන හිටියා. ඒ තමයි සමාජය ගෑනුන්ව ගණන් ගන්නේ නැති එකම තමන්ගේ ලොකුම ආයුධය කරගන්න පුළුවන් කියන එක.
මොකද, ඒ කාලේ මිනිස්සුන්ට කාන්තාවෝ කියන්නේ නොපෙනෙන පිරිසක්. අන්න ඒ නිසාම, කිසිම පිරිමියෙකුට යන්න බැරි තැන්වලට යන්නත්, කාටවත් හොයාගන්න බැරි රහස් දැනගන්නත් කේට්ට අවස්ථාව ලැබුණා.
කේට් මුලින්ම චිකාගෝවල තිබුණු ඇලන් පින්කර්ටන්ගේ ඔෆිස් එකට යද්දී, පින්කර්ටන් හීනෙකින්වත් හිතුවේ නැහැ ගෑනු කෙනෙක්ව රහස් පරීක්ෂකයෙක් විදිහට වැඩට ගන්න පුළුවන් කියලා. එයා හිතුවේ කේට් ආවේ ලියන වැඩක් හොයාගෙන වෙන්න ඇති කියලා. හැබැයි කේට් තමන්ගේ තර්කවලින් පින්කර්ටන්ව පුදුම කළා.
එයා කෙළින්ම කිව්වා පිරිමි රහස් පරීක්ෂකයන්ට කවදාවත් යන්න බැරි තැන්වලට ගිහින් රහස් එළියට ඇදලා ගන්න තමන්ට පුළුවන් කියලා. පිරිමි රහස් පරීක්ෂකයෝ කොහේ ගියත් මිනිස්සු ඔවුන් දිහා සැකෙන් බලනවා. හැබැයි සාලයකට වෙලා කතා බහ කරන, සාදයකට යන ගෑනු කෙනෙක්ව කවුරුත් සැක කරන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ ගෑනුන්ට මොනවා තේරෙනවද කියලා. අන්න ඒ නොසලකා හැරීම ඇතුළේ ඕනෑම රහසක් අල්ලගන්න තමන්ට පුළුවන් කියලා කේට් ඔප්පු කරලා පෙන්නුවා.
පින්කර්ටන් මුලින් ටිකක් දෙගිඩියාවෙන් හිටියේ. මොකද ඒ කාලේ හැටියට මේක හරිම විප්ලවීය, ඒ වගේම අවදානම් අදහසක්. හැබැයි ඉන්ටර්වීව් කිහිපයකට පස්සේ කේට්ගේ තියෙන ඒ එඩිතරකමයි, තියුණු බුද්ධියයි දැකලා පින්කර්ටන් එයාව වැඩට ගත්තා. ඒ තීරණය මුළු ලෝකයේම රහස් පරීක්ෂක කලාව සදහටම වෙනස් කළා.
වැඩි දවසක් ගියේ නැහැ, කේට් තමන් කොයි තරම් අතිදක්ෂද කියලා ඔප්පු කළා. එයා ගැන ඒ කාලේ කියවුණේ මාරම ක්‍රියාශීලී මොළයක් තියෙන, මිනිස්සුන්ව කියවන්න පුදුම හැකියාවක් තියෙන කෙනෙක් විදිහටයි. එයා හරිම සන්සුන්, හැබැයි කිසිම දේකට බය නැති බුද්ධිමත් ගැහැනියක්.
ඔන්න ඔය අතරේ තමයි එයාගේ ජීවිතේ ලොකුම මෙහෙයුම එයාට ලැබුණේ.
1861 මුල් කාලේ පින්කර්ටන්ට ආරංචියක් ලැබුණා බැල්ටිමෝර්වල දරුණු කුමන්ත්‍රණයක් ලෑස්ති වෙනවා කියලා. ඒ තමයි වොෂින්ටන්වලට යන ගමන අතරතුරේදී ඇබ්‍රහම් ලින්කන්ව මරලා දාන එක. අනතුර ඇස් පනාපිටම පෙනෙන්න තිබුණා, කාලයත් හරිම අඩුයි. මේ කුමන්ත්‍රණයේ ඇත්ත නැත්ත හොයන්න කේට් වෝන් අන්ඩර්කවර් මෙහෙයුමකට බැස්සා.
එයා බැල්ටිමෝර්වලට ගියේ මිසිස් චෙරි එහෙම නැත්නම් මිසිස් බාර්ලි කියන වෙස්වලාගත්තු නම්වලින්. එයා හරිම ලස්සනට දකුණුදිග ඇමරිකානු උච්චාරණයෙන් කතා කරන්න පුරුදු වුණා. ඒ විතරක් නෙවෙයි, එයාගේ ඇඳුමේ ගහලා තිබුණේ බෙදුම්වාදීන්ට පක්ෂපාතී බව පෙන්වන පින් එකක්. මේ විදිහට එයා බැල්ටිමෝර්වල තිබුණු සාදවලට සහ රැස්වීම්වලට සහභාගී වුණා. කුමන්ත්‍රණකාරයෝ දැක්කේ හරිම සුහදශීලී දකුණුදිග කාන්තාවක් විතරයි. ඔවුන් හීනෙකින්වත් හිතුවේ නැහැ මේ තමන්ගේ රහස් ටික එකින් එක එකතු කරගන්න ආපු රහස් පරීක්ෂකවරියක් කියලා.
කේට් හැමදේකටම හරිම කල්පනාවෙන් ඇහුම්කන් දුන්නා. අර කුමන්ත්‍රණකාරයන්ගේ බිරින්දෑවරුන්, යාළුවන් එක්ක කතා කරලා එයා සම්පූර්ණ ප්ලෑන් එකම දැනගත්තා. ලින්කන් බැල්ටිමෝර්වලදී කෝච්චිය මාරු කරන්න බහිද්දීම එයාව වට කරලා මරාදාන්නයි ඔවුන් ලෑස්ති වෙලා හිටියේ.
කේට් මේ විස්තර ඔක්කොම පින්කර්ටන්ට කිව්වා. දැන් තියෙන අභියෝගය තමයි ලින්කන්ව කැමති කරගන්න එක. ලින්කන් මුලින් අකමැති වුණා තමන්ගේ ගමන වෙනස් කරන්න. එයා බයගුල්ලෙක් වගේ පේන්න අකමැති වුණා. හැබැයි කේට් සහ පින්කර්ටන් දිගින් දිගටම බල කළා. මොකද අනතුර ඒ තරමටම වැඩියි කියලා ඔවුන් දැනගෙන හිටියා.
අන්තිමේදී හරිම රහසිගත ප්ලෑන් එකක් හැදුණා.
කේට් වෝන් රෑ මැදියමේ වොෂින්ටන් බලා යන කෝච්චියක නිදාගන්න පහසුකම් තියෙන මැදිරි හතරක් වෙන් කළා. ඒ ගමනට පින්කර්ටන්, ලින්කන් සහ ලින්කන්ගේ යාළුවෙක් වුණු වෝඩ් ලැමොන් එකතු වුණා. ලින්කන් ගියේ වෙස්වලාගෙන, කාටවත් හඳුනාගන්න බැරි විදිහටයි.
කේට් තමන්ගේ රෝල් එක උපරිමයටම රඟපෑවා. එයා කෝච්චියේ ඉද්දී හැසිරුණේ තමන්ගේ අසනීප වුණු සහෝදරයාව බලාගන්න ආපු සහෝදරියක් විදිහටයි. ඒ නිසා කාටවත් සැකයක් ආවේ නැහැ. අනිත් මගීන් දැනගෙන හිටියේ නැහැ තමන් මේ යන්නේ ඇමරිකාවේ අනාගත ජනාධිපතිවරයා එක්ක කියලා.
මුළු රෑම කේට් ඇස් පියෙව්වේ නැහැ. එයා ඒ මැදිරිය දොරකඩට වෙලා මාරම අවධානයකින් රැකවල් කළා. ඕනෑම නරකම දේකට එයා සූදානම් වෙලා හිටියේ. කේට්ගේ ඒ නිදි වරාගෙන කරපු කැපවීම තමයි පස්සේ කාලෙක පින්කර්ටන් ඒජන්සියේ සුප්‍රසිද්ධ ලෝගෝ එකට සහ පාඨයට පදනම වුණේ. ඒ තමයි We Never Sleep(අපි කවදාවත් නිදාගන්නේ නැහැ) කියන තේමාව.
එළිවෙද්දී ලින්කන් කිසිම කරදරයක් නැතුව වොෂින්ටන්වලට ළඟා වුණා. බැල්ටිමෝර්වල කුමන්ත්‍රණකාරයෝ මඟ බලන් ඉද්දී ලින්කන් ඒ වෙද්දීත් ගිහින් ඉවරයි.
ලින්කන් ජීවත් වුණා. ඉතිහාසය නිවැරදිව ගලාගෙන ගියා. ඒ හැමදේම කරන්න පාර කැපුවේ කේට් වෝන් කියන ඒ අප්‍රකට වීරවරියගේ එඩිතරකමයි.
පින්කර්ටන් ඇයව ඉහළින්ම අගය කළා වගේම සිවිල් යුද්ධය පුරාවටම ඔවුන් දෙන්නා හරිම සමීපව වැඩ කළා. පින්කර්ටන්ගේ ආයතනය ලොකු වෙද්දී, එයා එහි අලුතින්ම පටන් ගත්තු කාන්තා රහස් පරීක්ෂක අංශයේ වගකීම භාර දුන්නේ කේට්ට. එයා යටතේ පුහුණු වුණු කාන්තාවන් අතර හරිම විනයක් සහ සදාචාරයක් පවත්වාගන්න කේට් වගබලා ගත්තා.
කේට්ගේ මෙහෙයුම් ලින්කන්ගෙන් විතරක් නතර වුණේ නැහැ.
ඇලබාමා ප්‍රාන්තයේ සිද්ධ වුණු මහා පරිමාණ කොල්ලයක් විසඳන්නත් එයා මූලික වුණා. එයාගේ තියුණු නිරීක්ෂණ නිසා හොරකම් කරපු ඩොලර් 10,000 ක මුදලින් ඩොලර් 9,515 ක්ම ආපහු හොයාගන්න පුළුවන් වුණා. ඒ වගේම වොෂින්ටන් නගරය කුමන්ත්‍රණවලින් පිරිලා තිබුණු කාලේ, එහි සිටි බෙදුම්වාදී කාන්තාවන්ගේ රහස් මෙහෙයුම් මර්දනය කරන්නත් නායකත්වය දුන්නේ ඇයයි.
යුද්ධයේ අමාරුම කාලවලදී කේට් සටන් කළේ තුවක්කුවලින් නෙවෙයි තොරතුරුවලින්. පින්කර්ටන් යුද පිටියට ගිය වෙලාවලදී පවා වොෂින්ටන්වල තිබුණු ඒජන්සියේ මුළු වගකීමම තනිවම කරට අරගෙන, හරිම සන්සුන්ව ඒ මෙහෙයුම් මෙහෙයවන්න ඇයට පුළුවන් වුණා.
රහස් ඔත්තු බැලීමට අමතරව කේට් කියන්නේ හරිම කරුණාවන්ත කාන්තාවක්. යුද්ධය නිසා අසරණ වුණු, වහල්භාවයෙන් පැනලා ආපු මිනිස්සුන්ට උදව් කරන්නත්, හිරගෙවල්වල ඉන්න අසරණයන්ගේ දුක සැප බලන්නත් එයා කාලය වෙන් කළා. එයාගේ ඒ මනුස්සකම එයාගේ රස්සාව වගේම හරිම ප්‍රබලයි.
එයාගෙ මුළු ජීවිතයම කැප වුණේ රාජකාරියට සහ තියුණු බුද්ධියෙන් කරන සේවයටයි. හැබැයි අවාසනාවකට ඒ ජීවිතය හරිම ඉක්මනින් අවසන් වුණා.
1868 ජනවාරි 28 වැනිදා, නිව්මෝනියා රෝගය නිසා කේට් වෝන් මෙලොවින් සමුගත්තා.
ඒ වෙද්දී එයාගේ වයස අවුරුදු 38ක් විතරයි. එයාගේ අවසාන මොහොත වෙනකම්ම පින්කර්ටන් කේට් ළඟින්ම හිටියා. පින්කර්ටන් තමන්ගේ පවුලේ සුසාන භූමියේම කේට්ව තැන්පත් කරන්න කටයුතු කළේ එයාට තිබුණු අසීමිත ගෞරවය නිසයි.
කේට් කවදාවත් විවාහ වුණේ නැහැ, එයාට දරුවන් හිටියේ නැහැ. කේට්ෆගෙ මුළු ජීවිතයම වෙන් කළේ කාන්තාවන්ට තහනම් වුණු, පිරිමි ආධිපත්‍යය තිබුණු ඒ රහස් පරීක්ෂක ලෝකය ජය ගන්නයි. එයා අනිවාර්යයෙන්ම ඇමරිකාව බිහි කරපු දක්ෂතම රහස් පරීක්ෂකවරියක් කියන්න ලොකුම හේතුවත් ඒක.
කේට් වෝන් ඒ කාලේ තිබුණු මතවාදවලට ලොකු අභියෝගයක් වුණා.
සමාජය ගෑනුන්ට බැහැ කියපු දේවල් එයා කරලා පෙන්නුවා. තමන්ව නොසලකා හරින තැන්වලදී ඒ නොපෙනෙන බව කේට් තමන්ගේ වෙස්වලා ගැනීමක් කරගත්තා. කවුරුත් එයාව අඩු තක්සේරු කරද්දී, කේට් ඒක තමන්ගේ බලය බවට හරවගත්තා.
ඉතිහාස පොත්වල කේට් ගෙ නම ගොඩක් දුරට මැකී ගියත්, ඇබ්‍රහම් ලින්කන් බේරුණු හැම මොහොතකම ඒ පිටුපස සිටි ඒ නොපෙනෙන වීරවරිය කේට් බව කේට් ගැන දන්න හැමෝටම මතක් වෙනවා.











