අපේ ජීවිතේ අපිට ඉන්න ලොකුම සතුරා කවුද කියලා දන්නවාද?
ඒ අල්ලපු ගෙදර මිනිස්සුවත්, නෑයොවත් නෙවෙයි, අපේම ඔලුව ඇතුළේ ඉඳන් තව පොඩ්ඩකින් කරමු බං කියලා කොඳුරන අර කම්මැලි මනස. අපි හැමෝටම සුපිරි හීන තියෙනවා, පට්ට ප්ලෑන් තියෙනවා, හැබැයි වැඩේ තියෙන්නේ ඒ එකක්වත් අපි පටන් ගන්නේ” නැති එකයි. අපි හැමදාම බලන් ඉන්නේ පට්ට මෝටිවේෂන් එකක් එනකම් හරි, සුපිරිම දවසක් උදා වෙනකම් හරිනෙ. හැබැයි ඇත්තම කතාව නම්, ලෝකේ දිනපු කිසිම කෙනෙක් එහෙම ගැම්ම එනකම් බලාගෙන හිටියේ නැහැ. එයාලා දිනුවේ ගැම්මක් නැති වෙලාවෙත් දත් මිටි කාගෙන වැඩේට බැහැපු නිසයි.
ඔයාගේ මේ හෙට කරමු ලෙඩේ නිසා ඔයාට මගහැරුණු දේවල්, ඔයා නාස්ති කරපු කාලය ගැන පොඩ්ඩක් හිතන්නකො. ඒ කාලය ආයෙත් එන්නේ නැහැ, හැබැයි අද ඉඳන් ඒක වෙනස් කරන්න පුළුවන්. මේ ලිපියෙන් මම කියලා දෙන්නේ අර හැමදාම හිත හිත ඉන්න ලොකු වැඩ කන්දරාව, හරිම සරලව විනාඩි 5කින් පටන් ගන්නේ කොහොමද කියලා. මේක නිකම්ම ඇඩ්වයිස් එකක් නෙවෙයි, මේක ඔයාගේ අසාර්ථකත්වයට තිත තියලා ගේම දිනන්න දෙන ප්‍රායෝගික තල්ලුවක්.
එහෙනම් දැන්වත් ප්ලෑන් කරන එක නවත්තලා වැඩේට බහිමුද?
පස්සේ කරනවා කියන බොරුවට තිත තියමු
අපි හැමෝම ජීවිතේ අසාර්ථක වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද කියලා ඇහුවොත්, ඒකට තියෙන එකම උත්තරය කල්දැමීම . අපිට කරන්න ඕන තරම් වැඩ තියෙනවා, පට්ට ප්ලෑන් තියෙනවා, හැබැයි වැඩේ පටන් ගන්න ගියාම “තව විනාඩි පහකින් කරනවා”, “හෙට උදේම කරනවා”, “ලබන සඳුදා ඉඳන් අනිවාර්යයෙන්ම කරනවා” කියලා අපි අපිටම බොරු කියාගන්නවා.
මේක හරියට නිකම් මනස ඇතුළේ ඉන්න හොරෙක් වගේ කෙනෙක්. අපේ වටිනා කාලයත්, අපේ හීනත් මේ හොරා හැමදාම හොරකම් කරනවා. ඇත්තටම අපිට තියෙන්නේ වැඩේ කරන්න බැරිකම නෙවෙයි, වැඩේ පටන් ගන්න තියෙන අකමැත්තයි. අපි ඕනෑවට වඩා හිතනවා. “මේ වැඩේ ලොකු වැඩියි”, “මට මේක කරගන්න පුළුවන් වෙයිද?” කියලා හිත හිතා ඉන්නකොට අපේ මොළය ඒ වැඩේට බය වෙනවා. අන්තිමට වෙන්නේ ඒ බය නිසාම වැඩේ මගඇරලා, ලේසි දෙයක් (උදාහරණයක් විදිහට සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එක) කරන්න අපි පෙළඹෙන එකයි. මේ පස්සේ කරනවා කියන චක්‍රය ඇතුළේ හිරවුණොත්, අවුරුදු ගාණක් ගියත් ඔයා හිටපු තැනමයි. ඒ නිසා මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි, සාර්ථක වෙන්න නම් ඔයා මුලින්ම පරද්දන්න ඕනේ අනිත් මිනිස්සුන්ව නෙවෙයි, ඔයාගේ ඇතුළේ ඉන්න මේ කල්දාන මාරයාව කියන එකයි.
මොකක්ද මේ විනාඩි 5 නීතිය?
වැඩක් පටන් ගන්න තියෙන අමාරුව නැති කරන්න ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක් තමයි විනාඩි 5 නීතිය. මේක හරිම සරලයි. ඔයාට කරන්න අකමැති, කල්දාන්න හිතෙන වැඩක් තියෙනවා නම්, ඔයා ඔයාගේ මනසට මෙහෙම කියන්න
“මම මේ වැඩේ සම්පූර්ණයෙන්ම කරන්නේ නැහැ, මම මේක විනාඩි 5ක් විතරක් කරනවා. විනාඩි 5කට පස්සේ මට ඕන නම් මේක නතර කරන්න පුළුවන්.”
ඇයි මේක මෙච්චර බලවත්?
අපේ මොළය ලොකු වැඩ වලට බය වුණාට, විනාඩි 5ක පොඩි වැඩකට බය වෙන්නේ නැහැ. ඔයා පොතක් ලියන්න හිතාගෙන ඉන්නවා නම්, පොතක් ලියනවා කියලා හිතන්නේ නැතුව “විනාඩි 5ක් එක පිටුවක් ලියනවා” කියලා පටන් ගන්න. ව්‍යායාම කරන්න කම්මැලි නම්, “පැයක් ජිම් යනවා” කියලා හිතන්නේ නැතුව “විනාඩි 5ක් ඇවිදිනවා” කියලා පටන් ගන්න. පුදුමෙකට වගේ, ඔයා ඒ විනාඩි පහ පටන් ගත්තට පස්සේ, ඔයාගේ මනස ඒ වැඩේට හුරු වෙනවා ගොඩක් වෙලාවට විනාඩි 5ක් කරන්න පටන් ගත්ත වැඩේ, ඔයා පැය භාගයක් හරි පැයක් හරි කරලා තමයි නතර කරන්නේ. අමාරුම දේ වැඩේ කිරීම නෙවෙයි, වැඩේ පටන් ගැනීමයි. ඒ නිසා මනස රවට්ටලා හරි වැඩේට බැහැගන්න එක තමයි මේ නීතියේ තියෙන රහස.
මෝටිවේෂන් එනකම් ඉන්න එක මෝඩකමක්
ගොඩක් අය හිතාගෙන ඉන්නේ වැඩක් කරන්න නම් ලොකු මෝටිවේෂන් එකක් එන්න ඕනේ කියලා. ඒ කියන්නේ මොකක් හරි වීඩියෝ එකක් බලලා හරි, සින්දුවක් අහලා හරි පට්ට ගැම්මක් එනකම් එයාලා බලාගෙන ඉන්නවා. හැබැයි ඇත්ත කතාව නම්, මෝටිවේෂන් කියන්නේ වැඩේ කළාට පස්සේ එන දෙයක් මිසක්, වැඩේට කලින් එන දෙයක් නෙවෙයි. ඔයා වැඩක් කරන්න පටන් ගත්තම, ඒකෙන් ලැබෙන පොඩි Progress එකක් දැකලා තමයි ඔයාගේ ඇඟේ ඩොපමයින් හැදෙන්නේ. අන්න ඒ රසායනය තමයි ඔයාට ඉතිරි වැඩ ටික කරන්න මෝටිවේෂන් එක දෙන්නේ. ඉතින් ඔයා මෝටිවේෂන් එනකම් හිටියොත්, ඔයාට කාලය නාස්ති කරන්න විතරයි වෙන්නේ. විනාඩි 5 නීතිය වැදගත් වෙන්නේ මෙන්න මෙතැනදීයි. ඒක ඔයාට Action එකක් ගන්න බල කරනවා. මතක තබා ගන්න, හැඟීම් පස්සේ යන්නේ නැතුව, විනය පස්සේ යන්න. ඔයාට වැඩේ කරන්න හිතෙන්නේ නැති වෙලාවට තමයි ඔයා අනිවාර්යයෙන්ම වැඩේ කරන්න ඕනේ. දක්ෂයා සහ සාමාන්‍ය මිනිහා අතර වෙනස තියෙන්නේ මෙතනයි. දක්ෂයා වැඩේ කරන්න හිතෙන්නේ නැති වෙලාවටත් කොහොම හරි වැඩේ පටන් ගන්නවා. ඔයාගේ හිත කියන දේ අහන්නේ නැතුව, ඔයාගේ ඉලක්කය කියන දේ අහන්න පුරුදු වෙන්න.
Perfectionist ලෙඩේ අතාරින්න!
වැඩ කල්දාන්න අපිට තියෙන තවත් ලොකුම හේතුවක් තමයි හැමදේම උපරිමයෙන්ම කරන්න ඕනේ කියන මෝඩ හිතුවිල්ල. “මම කරොත් කරන්නේ හොඳම විදිහට, නැත්නම් කරන්නේම නැහැ” කියලා හිතන එක තරම් ගොන්කමක් තවත් නැහැ. මොකද ලෝකේ කිසිම දෙයක් පළවෙනි පාරම පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. ඔයා අලුත් බිස්නස් එකක් පටන් ගත්තත්, අලුත් දෙයක් ඉගෙන ගත්තත් මුලින්ම ඒක අල වෙන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්න. විනාඩි 5 නීතියෙන් අපි කරන්නේ මේ බය නැති කරන එකයි. මුලින්ම වැඩේ චාටර් වුණාට කමක් නැහැ, අඩුම ගාණේ ඔයා ඒක පටන් අරන් තියෙනවනේ. අල වෙවී හරි පටන් ගන්න එකා, පර්ෆෙක්ට් වෙනකම් බලන් ඉන්න එකාට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා මුලින්ම හොඳම ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න එපා. “මම මේක විනාඩි පහක් කරලා බලනවා, වැරදුණත් කමක් නැහැ” කියලා හිතලා වැඩේට අත ගහපන්න. මතක තියා ගන්න අසාර්ථක වෙවී ඉස්සරහට යන එකා තමයි දවසක පර්ෆෙක්ට් වෙන්නේ. නිකම් බලන් ඉන්න එකා හැමදාම ඉන්නේ ප්ලෑන් එක ඇතුළේ විතරයි.
විනාඩි 5න් පස්සේ එන Momentum එක
විනාඩි 5 නීතියේ තියෙන ලොකුම මැජික් එක වෙන්නේ ඔයා වැඩේ පටන් ගත්තට පස්සේ ඔයාගේ ඇඟට දැනෙන අමුතු ශක්තියයි. ඕනෑම බර වැඩක අමාරුම කොටස තමයි අර මුල්ම අඩිය තියන එක. එක පාරක් වැඩේට බැස්සට පස්සේ, ඔයාගේ මනසට ඒ වැඩේ කරගෙන යන්න ලේසියි. විනාඩි 5ක් කරන්න කියලා හිතලා පටන් ගන්න වැඩේ, ගොඩක් වෙලාවට ඔයාට නොදැනිම පැයක් විතර කරලා තියෙයි. මොකද වැඩේ පටන් ගත්තම ඔයාගේ ඇඟේ Inertia එක නැති වෙලා යනවා.
අදම මේක ට්‍රයි කරලා බලන්න.
ඔයාට කරන්න පට්ටම කම්මැලි වැඩක් තෝරගන්න ඒක කරන්න විනාඩි 5ක් විතරක් වෙන් කරන්න. ඊට පස්සේ බලන්න වැඩේ වෙන්නේ කොහොමද කියලා. සාර්ථකත්වය කියන්නේ මහා විශාල මැජික් එකක් නෙවෙයි, හැමදාම තමන්ගේ කම්මැලිකම පරද්දලා මේ වගේ පොඩි පොඩි අඩි තියන එකටයි සාර්ථකත්වය කියන්නේ. ඔයාට හීන තියෙනවා නම්, ඒවා ඇත්ත කරගන්න ඕනේ නම්, දැන්ම අර විනාඩි 5 පටන් ගන්න.
හෙට වෙද්දී ඔයා ඉන්නේ ඔයා හිතුවාටත් වඩා ගොඩක් ඉස්සරහින්!











