“කාමරේ ඇතුලට ගියා විතරයි මුලින්ම දැනුනේ මහ අමුතු ගඳක්. ඒක නිකම්ම නිකම් අප්‍රසන්න ගඳක් නෙවෙයි ඒක හරිම තද, හුස්ම ගන්නත් අමාරු කරවන, ඇඟ හිරිවට්ටන ජාතියේ පිළුණු ගඳක්. මොකක් හරි ලොකු කරදරයක් වෙලා තියෙනවා කියලා හිතෙන්න ඒ ගඳම ඇති”
1991 ජූලි මාසයේ ඒ මූසල රාත්‍රියේ පොලිසිය ඒ අපාර්ට්මන්ට් එක ඇතුළට අඩිය තියනකොට, ඒ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ තමන් ඇතුළු වෙන්නේ නූතන ඉතිහාසයේ දරුණුම අපරාධයක් සිද්ද වෙච්ච තැනකට කියලා.
ඒත් ඒ ගෙදර හිටපු මනුස්සයා නම් හිටියේ පුදුම සන්සුන්කමකින්. කිසිම කලබලයක් නැහැ, හරිම හෙමින් සහ අහිංසක විදිහට තමයි ඒ මනුස්සයා කතා කළේ. පොලිසිය දැක්කම පැනික් වෙන්නෙවත්, බය වෙන්නෙවත් නැතුව හරිම නිහඬව ඔහු බලාගෙන හිටියා.
හැබැයි එක නිලධාරියෙක් ඇඳ ළඟ තිබුණු ලාච්චුවක් ඇරපු ගමන්ම මුළු ලෝකෙමම උඩුයටිකුරු වුණා.
ඒ ලාච්චුව ඇතුළේ තිබුණේ ෆොටෝ වගයක්.
පොලරොයිඩ් ෆොටෝ.
මුලින්ම බලනකොට ඒවායේ තියෙන්නේ මොනවද කියලා පොලිසියට හිතාගන්න බැරි වුණා.
හැබැයි තත්පර කිහිපයක් යනකොට තමයි ඒ භයානක ඇත්ත වැටහුණේ. ඒවා නිකම්ම ගත්ත ෆොටෝ නෙවෙයි. කෑලිවලට කපපු මිනිස් ශරීර පිළිවෙළකට තියලා ගත්ත ෆොටෝ.
අන්න ඒ මොහොතේ අර මනුස්සයා මවාගෙන හිටපු අහිංසක වෙස්මුහුණ කුඩුපට්ටම් වෙලා ගියා.
ඒ අපාර්ට්මන්ට් එකේ හිටපු ඒ මනුස්සයා තමයි ජෙෆ්රි ඩෑමර් (Jeffrey Dahmer).
කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ මනුස්සයා අවුරුදු ගාණක් තිස්සේ ලෝකයට එක මූණකුත්, තමන්ගේ කාමරය ඇතුළේ තවත් භයානක මූණකුත් පෙන්නගෙන හිටපු ලේ පිපාසිත මිනීමරුවෙක් කියලා.
හැමදේම හෙළිදරව් වෙනකොට සේරම පරක්කු වැඩියි.
මුළු ලෝකෙම එයාගේ නම දැනගන්න කලින්, ඩෑමර් කියන්නේ හරිම නිහඬව ජීවත් වෙච්ච සාමාන්‍ය කොල්ලෙක්.
එයා වැඩිය සද්ද බද්ද දාන, රණ්ඩු වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි. නිකම්ම නිකම් අනිත් අය අතරේ පෙනෙන්නේ නැතිව ඉන්න චරිතයක්. ටීචර්ස්ලා දැක්කෙත් එයා හරිම පාඩුවේ ඉන්න එක්කෙනෙක් විදිහට. ඉස්කෝලේ යාළුවොත් කිව්වේ එයා පොඩ්ඩක් අමුතුයි, හැබැයි කිසිම කරදරයක් නැති මනුස්සයෙක් කියලා. ඒත් ඒ නිහඬකම ඇතුළේ ලොකු විනාශයක් boil වෙවී තිබුණා කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
පොඩි කාලේ ඉඳන්ම එයාට තිබුණා මැරුණු සත්තු ගැන පුදුම ආසාවක්. මුලින්ම ඒක නිකම්ම නිකම් කුතුහලයක් විතරයි. සත්තුන්ගේ ඇතුළේ මොනවා තියෙනවද? උන්ගේ ඇඟ වැඩ කරන්නේ කොහොමද? වගේ දේවල්. හැබැයි හිමීට හිමීට මේ කුතුහලය හරිම දරුණු තැනකට හැරුණා. එයා මැරුණු සත්තුන්ගේ කොටස් එකතු කරන්න, ඒවා බෙහෙත් දාලා තියාගන්න, සත්තුන්ව කපලා බලන්න පුරුදු වුණා. ඒක නිකම්ම නිකම් ආසාවකට එහා ගිය දෙයක් වුණා. ඒක නිකම් අමුතුම විදිහක Control එකක් වුණා. එයා ජීවිතය ගැන ඉගෙන ගත්තේ ජීවිත නැති කරලා ඒවා කෑලිවලට කපලා බලලා.
මේ වෙන්නේ මහා භයානක විනාශයක ආරම්භය විතරයි කියලා ඒ කාලේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ.
1978 අවුරුද්දේ, හරියටම ඉස්කෝලේ ගමන ඉවර කරලා සති කිහිපයකට පස්සේ තමයි ඩෑමර් එයාගේ පළමු මිනීමැරුම කළේ.
ඒක ඔහායෝවලදී වුණේ හිතාමතාම නෙවෙයි, නිකම් එකපාරටම වුණු දෙයක් වගේ. හැබැයි ඒ කරපු දේ දුන්න effect එක එයාගේ හිතෙන් අයින් වුණේ නැහැ. ඒක කාලයක් තිස්සේ එයාගේ ඔළුවේ අස්සෙ පල් වෙවී පල් වෙවී තිබුණා.
ඊට පස්සේ අවුරුදු කිහිපයක් යනකම් කිසිම දෙයක් එළියට ආවේ නැහැ. හැබැයි ඒ කියන්නේ එයාගේ ඇතුළේ තිබුණු ඒ අඳුරු ආසාවන් නැති වුණා කියන එක නෙවෙයි.
එයා නිකම් හරි කාලය එනකම් ඉවසාගෙන බලාගෙන හිටියා විතරයි වගේ දෙයක් තමයි එතන වුණේ.
හැබැයි 1980 ගණන්වල අග හරිය වෙද්දී, ඒ බලාගෙන හිටපු කාලය ඉවර වුණා. එතැන් ඉඳන් තමයි සැබෑම විනාශය පටන් ගත්තේ.
ඩෑමර් ආයෙත් මිනී මරන්න පටන් ගත්තම ඒකේ අමුතුම පිළිවෙළක් තිබුණා. ඒක ඇත්තටම හරිම බය හිතෙන විදිහේ ප්ලෑන් එකක්. එයා හැමතිස්සෙම තරුණ පිරිමි ළමයින්ව තමයි තෝරගත්තේ. වැඩියෙන්ම බාර්වල, මෝල්වල නැත්නම් පාරේ ඉන්න අය. එයා කාවවත් බලෙන් ඇදගෙන ගියේ නෑ, පස්සෙන් පන්නගෙන ගියේ නෑ. හරිම අහිංසක විදිහට, සංවරව කතා කරලා සල්ලි දෙනවා කියලා පොරොන්දු වුණා. “ෆොටෝ එකකට පෙනී ඉන්න, මාත් එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න, මාත් එක්ක ටික වෙලාවක් ඉන්න” වගේ හරිම සරල දේවල් තමයි එයා ඉල්ලුවේ.
ඕනම කෙනෙක්ට හිතෙන්නේ මේකේ කිසිම කරදරයක් නැහැ කියලා.
අන්න ඒක තමයි උගුල.
ඒ මිනිස්ස්ය් එයාගේ ඇපාර්ට්මන්ට් එකට ඇතුළු වුණා විතරයි, මුළු වයිබ් එකම වෙනස් වුණා. ඩෑමර් උන්ට බොන්න දෙයක් දෙනවා. ගොඩක් වෙලාවට ඒවට සිහි නැති වෙන්න බෙහෙත් කලවම් කරලයි තිබුණේ. හිමීට හිමීට ඒ මිනිස්සුන්ගෙ සිහිය නැති වෙලා යනවා, ඇඟ පණ නැති වෙලා යනවා. අන්න ඒ වෙලාවට තමයි ඩෑමර් එයාගේ වැඩේ පටන් ගන්නේ.
හැබැයි මේ හැමදේකටම වඩා ඇඟ හිරිවට්ටන කතාව තමයි, එයා මිනී මැරුවා කියන එක ට වඩා… ඒ මිනී මැරුවට පස්සේ එයා කරපු දේවල්.
ඩෑමර් මේ දේවල් කළේ නිකම්ම නිකම් සැහැසිකම නිසාම නෙවෙයි. එයාට ඕන වුණේ මිනිස්සුන්ව එයාගේ අයිතියට ගන්න, කවදාවත් දාලා නොයන විදිහට තියාගන්න. එයාට ඕන වුණේ ආදර සබඳතා නෙවෙයි. එයාට ඕන වුණේ තවත් මනුස්සයෙක්ව සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනය යටතට ගන්න.
මේ අසහනකාරී ආසාව නිසා එයා කරපු දේවල් ඇහුවම අවුරුදු ගාණක් මේ වගේ අපරාධ ගැන හොයපු පොලිස් නිලධාරීනුත් හොල්මන් වෙලා ගියා. එයා මිනීවල කොටස් බෙහෙත් දාලා තියාගත්තා. හිස්කබල් එකතු කළා. එක එක විදිහට මේ ශරීර කොටස් තියලා ෆොටෝ ගත්තා. ඒක හරියට කවදාවත් අමතක කරන්න බැරි මතක සටහන් එකතු කරනවා වගේ වැඩක්.
හැබැයි සමහර වෙලාවට එයා මීට වඩා ගොඩක් දුර ගියා.
එයා උත්සාහ කළා එයාම හඳුන්වපු ජීවමාන යාළුවෝ නිර්මාණය කරන්න. ඒක හිතාගන්නවත් බැරි තරම් භයානක වැඩක්. එයා මිනිස්සුන්ගේ සිහිය නැති කරලා, ඇසිඩ් වගේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ව කවදාවත් කතා කරන්න බැරි, තමන් කියන දේ විතරක් අහන පණ තියෙන රොබෝලා වගේ තියාගන්න හැදුවා. මේවා නිකම්ම නිකම් කේන්තියට කරපු මිනීමැරුම් නෙවෙයි. හරිම සැලසුම් සහගතව, තමන්ගේ ඒ අසහනකාරී අවශ්‍යතාවය වෙනුවෙන් කරපු හිරිකිත වැඩ.
මේ කතාව තවත් ඇඟ හිරිවට්ටන්නේ මේ දේවල් සිද්ධ වුණු තැන ගැන අහද්දී.
මේවා වුණේ කවුරුවත් නැති පාළු කැලෑවක හරි, හැංගුණු තැනක හරි නෙවෙයි. නිකම්ම නිකම් සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන අපාර්ට්මන්ට් එකක් ඇතුළේ.
අසල්වැසියෝ ජීවත් වුණේ අඩි කිහිපයක් එහා පැත්තේ. ඒ මිනිස්සු නිතරම පැමිණිලි කළා මේ ගෙදරින් එන අමුතු ගඳවල් ගැන. කුණු වුණු ගඳක්, කෙමිකල් ගඳක්, වෙලාවකට ඉවසන්නම බැරි තරම් ගඳක්. හැබැයි ඩෑමර් ගාව ඒ හැමදේටම උත්තර තිබුණා. “මස් ටිකක් නරක් වෙලා”, “ෆ්‍රීසර් එක කැඩිලා” වගේ හරිම සරල, ඕනම කෙනෙක් විශ්වාස කරන විදිහේ බොරු තමයි එයා කිව්වේ.
පුදුමෙ කියන්නේ ඒ බොරු අවුරුදු ගාණක් තිස්සේ වැඩ කළා.
පස්සේ කාලෙක පොලිසිය මේ අපාර්ට්මන්ට් එක පරීක්ෂා කරද්දී තමයි දැක්කේ, අර ෆ්‍රිජ් එකේ, ෆ්‍රීසර් එකේ මිනිස් සිරුරුවල් කොටස් පුරවලා තිබුණා කියලා. මිනී දිය කරන්න පාවිච්චි කරපු ඇසිඩ් බාල්දි, ෆොටෝ පුරවපු ලාච්චු මේ හැම භයානක දෙයක්ම සිද්ධ වෙලා තිබුණේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දෛනික ජීවිතයට අඩි කිහිපයක් එහායින්. හරිම පිළිවෙළට, එක දිගට මේ මිනීමරු හීනය ඒ බිත්ති හතර ඇතුළේ හැංගිලා තිබුණා.
ඇත්තටම මේ විනාශය මීට වඩා ගොඩක් කලින් නතර වෙන්න තිබුණු අවස්ථා ඕනෑතරම් තිබුණා.
සමහර වෙලාවලදී මිනිස්සු ඇත්ත දැනගන්න හරිම කිට්ටුවටම ආවා. එක වතාවක් මේ තිරිසනාගෙන් බේරිලා එකෙක් පැනලා දිව්වා. තවත් කෙනෙක්ව පාරේ අතරමං වෙලා ඉද්දී හම්බවුණා එයා හිටියේ හොඳටම තුවාල වෙලා, සිහියත් විකෘති වෙලා වගේ.
හැබැයි ඒ හැම වෙලාවකදීම ඩෑමර්ට පුළුවන් වුණා තමන්ගේ කටින් ඕනෑම කෙනෙක්ව රවට්ටගන්න. කිසිම කලබලයක් නැති අහිංසක කටහඬ, හරිම සරල විස්තර කිරීම්, ඕනෑම කෙනෙක්ගේ සැකය නැති කරන්න ඒ ටික හොඳටම ඇති වුණා.
ඉතින් ඒ හැම අවස්ථාවකදීම, එයාට ආයෙත් තමන්ගේ මේ බිහිසුණු වැඩේ දිගටම කරගෙන යන්න ඉඩ ලැබුණා. කිසිම බාධාවක් නැතුව තව තවත් ජීවිත බිලිගන්න එයාට පාර හැදුණා.
අන්තිමට ඒ හැමදේම අවුල් වෙලා යන දවස උදා වුණා.
1991 ජූලි 22 වෙනිදා, ට්‍රේසි එඩ්වර්ඩ්ස් කියන මනුස්සයා ඩෑමර්ගේ අපාර්ට්මන්ට් එකෙන් පැන ගත්තා. එයා පැනලා දුවනකොටත් එයාගේ අතේ විලංගු වැටිලයි තිබුණේ. පණ බයේ පාරට දුවපු එඩ්වර්ඩ්ස්ට වාසනාවකට වගේ පොලිස් නිලධාරීන් දෙන්නෙක්ව හම්බුණා. එදා නම් ඩෑමර්ට එයාගේ පරණ බොරු කියලා බේරෙන්න ඉඩක් ලැබුණේ නැහැ.
පොලිසිය ආපහු ඩෑමර්ගේ ගෙදරට එනකොට, එයාලා හිතුවේ මේක මොකක් හරි පොඩි වලියක් හරි ප්‍රශ්නයක් හරි කියලා.
හැබැයි, ඒ මිනිස්සු ඒ ගේ ඇතුළට ගිය මොහොතේ ඉඳන් එළියට ආවේ මුළු ලෝකයම හෙල්ලුම් කරපු, කිසිම මනුස්සයෙක්ට හිතාගන්න බැරි තරම් භයානක මිනීමරු හීනයක ඇත්ත විස්තර ටිකයි.
සේරම රහස් එදා එළිවුණා.
අන්තිමට මේ සේරම එළිවුණාට පස්සේ, 1978 ඉඳන් 1991 වෙනකම් තරුණ පිරිමි ළමයින් සහ කුඩා පිරිමි ළමයින් 17 දෙනෙක්ව තමන් අතින් මැරුණා කියලා ඩෑමර් පිළිගත්තා. එයා කරපු දේවල් නිකම්ම නිකම් මිනීමැරුම් විතරක් නෙවෙයි ඒවා මනුස්සකම සතේකටවත් මායිම් නොකරපු, අපරාධ ඉතිහාසයේ කවදාවත් අමතක නොවන මහා පිළිකුල් සහගත දේවල්.
1992 අවුරුද්දේදී උසාවියෙන් එයාට මැරෙනකම්ම හිරේ ඉන්න දඬුවම් නියම කළා.
හැබැයි ඒ කතාවේ අවසානයත් වැඩි කාලයක් තිබුණේ නැහැ.
1994 අවුරුද්දේදී, හිර දඬුවම විඳිමින් ඉන්න අතරතුර තවත් හිරකාරයෙක් අතින් ඩෑමර් මරුමුවට පත් වුණා. එතැනින් තමයි මේ භයානක මිනීමරුවාගේ අඳුරු පරිච්ඡේදය සදහටම වැසී ගියේ.
ඇත්තටම බය හිතෙන්නේ, මේ වගේ මනුස්සයෙක් අනිත් හැමෝම අතරේ කොච්චර ලේසියෙන් ජීවත් වුණාද කියලා හිතනකොට.
එයා ජීවත් වුණේ හැමෝටම පේන මානෙක. හරිම හෙමින්, සංවරව කතා කරමින් හැමෝම එක්ක සාමාන්‍ය විදිහට ඉන්න ගමන් එයා ඒ සේරම කළා කියලා හිතෙද්දි කොච්චර බය හිතෙනවද?
අන්තිමට ඒ හැමදේම මැද අපේ ඔළුවට එන්නේ හරිම අමුතු, බය හිතෙන සිතුවිල්ලක්:
සමහර වෙලාවට, ලෝකයේ තියෙන භයානකම කතා පටන් ගන්නේ බයකින් නෙවෙයි. ඒ කතා පටන් ගන්නේ දකිනකොට හරිම සාමාන්‍යයි කියලා හිතෙන මනුස්සයෙක්ගෙන්.










