මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 45

0
1000

මං මේඝාව හම්බෙන්න ගියේ දවස් තුනකට පස්සෙ.මොකෝ මට මේඝාව කිසිම විදියකින් කන්ටැක්ට් කරගන්න විදියක් තිබ්බෙ නෑ. මේඝා එයාගෙ අපාට්මන්ට් එකට ඇවිත් තිබ්බෙත් නෑ. එයා ඉන්නෙ කොහෙද කියල මම දැනගෙන උන්නෙත් නෑ.

ඒ දවස් තුන ඇතුළේ මං හරියට නිදාගෙන තිබ්බෙත් නෑ, කෑවෙත් නෑ. මගේ ඔළුව ඇතුළේ එක දිගටම වැඩ කලේ මන්දස්මිතා කියපු දේවල්. ඒකිගේ වචන. ඒකි කියපු “ඒ ළමයා ඔයාට බයයි” කියන එක.

“පිස්සුනෙ”

මං දන්නවා මේඝා මට බය නෑ කියලා.

එයාගෙ හිත රිදිලා ඉන්නෙ.

මං ඒක හදාගන්න ඕන. මට ඒක කරගන්න පුළුවන්.

අන්න ඒ සිතුවිලි එක්ක තමයි මං එදා හවස මේඝාගේ අපාට්මන්ට් එක ගාවට ගියේ.පඩිපෙල නැගගෙන යද්දිත් මගේ පපුව ගැහෙනවා මටම දැනුණා. කේන්තියෙන් නෙවෙයි මේ පාර. හරියට විභාගෙක රිසල්ට් එකක් බලන්න යනවා වගේ අමුතු බයක් එක්ක.

ඩෝ බෙල් එක ගහපු තත්පරේ මට ඇතුළෙන් සද්දයක්වත් ඇහුණෙ නෑ.

හැබැයි තත්පර ගාණකට පස්සෙ දොර හෙමින් ඇරුණා.

මේඝා දොර ඉස්සරහා හිටගෙන උන්නා. හරියට මං ඒවි කියලා දැනගෙන වගේ. හැබැයි මං දිහා නෙවෙයි වෙන කොහේ හරි බලාගෙන.

එයාව දැක්ක ගමන් මගේ පපුව ඇතුළේ මොකක්හරි ඇඹරිලා ගියා වගේ මට දැනුණා.

එයාගෙ ඇස් යට කළු වෙලා. කොණ්ඩෙත් හරියට ගැට ගහලා නෑ. ඇඟටත් වඩා ලොකු ටී ෂර්ට් එකක් ඇඳගෙන, හරියට දවස් ගාණකින් නිදාගෙන නැති මනුස්සයෙක් වගේ සොම්බි ලුක් එකකින්.

හැබැයි මට වැඩියෙන්ම වැදුණෙ එයාගෙ ඇස්.

මං කලින් දැනගෙන හිටපු මේඝාගේ ඇස්වල හැමවෙලේම මොකක්හරි තිබුණා. තරහා, හිනාව, සමච්චලයක්, ඇටිටියුඩ් හරි මොකක් හරි.

හැබැයි දැන්?

ඒ කිසිම දෙයක් නෑ.

හරියට ලයිට් ඕෆ් කරලා දාපු කාමරයක් වගේ.

“මේඝා…”

මං හෙමින් කතා කරා.එයා  මං දිහා තත්පරයක් බලන් හිටියා. ඊටපස්සෙ අහක බලාගත්තා.

“මං ඇතුළට එන්නද?”

තත්පර දෙකක් විතර සයිලන්ස් එකක් අපි අතරෙ තිබ්බා.ඊටපස්සෙ එයා පැත්තකට වුණා.

මං ඇතුළට ගියේ හරි අමුතු ෆීලින්එකක් එක්ක. කලින් මේ ගෙදරට ආපු හැමවෙලේම තිබ්බ උණුහුම තවදුරටත් එතන තිබුනෙ නෑ. මේ තැන හීතල වෙලා වගේ මට දැනුනෙ

මේඝා ගිහින් සෝෆා එකේ කෙළවරකින් වාඩි වුණා. කකුල් දෙකත් උඩට අරගෙන, කුශන් එකක් බදාගෙන.

හරියට මං එතන ඉන්නවා කියලාවත් දැනෙන්නෙ නෑවගේ. මං ටිකක් වෙලා හිටගෙන හිටියා. මොනවද කියන්නෙ කියලා හිතාගන්න බැරුව.

“මං…” මං අන්තිමට හුස්මක් අරගෙන කතා කරන්න ගත්තා,
 “මං ආවෙ සොරි කියන්න.”

ඒත් එයාගෙ පැත්තෙන් කිසිම රෙස්පොන්ස් එකක් තිබ්බෙ නෑ.

“මන්දස්මිතා ඔයාව හම්බෙන්න ආපු එකට.” මේඝා ඇහිපිය ගැහුවා විතරයි.

“එයා හරිනං එහෙම නොකර ඉන්නයි තිබ්බෙ. මං ඒ ගැන එයා එක්ක කතා කරා.”

ඒත් මේඝා නෙවෙයි මුකුත් කිව්වෙ

“ඔයාට දැන් ආයෙ කවුරුත් එහෙම කරදර කරන්නෙ නෑ.”

මං ඒක කිව්වෙ මේඝාට මාව ආයෙ වතාවක් විශ්වාස කරන්න චාන්ස් එකක් දෙන්න වගේ. හැබැයි එයාගෙ මූණේ කිසිම වෙනසක් වුණේ නෑ.හරියට මගේ වචන එයා ගාවට යන්නෙවත් නෑ වගේ.

“ඔයා කෑවද?”

උත්තර නෑ ඔලුව වැනිලි විතරයි.

“බොරු නේද?”

ඒකටත් උත්තරයක් දුන්නෙ නෑ.

මං හෙමින් සෝෆා එකේ අනිත් පැත්තෙන් වාඩි වුණා.

“මං දිහා චුට්ටක් බලන්න”  මං අත් දෙක එකට බැඳගත්තා.  “මේ හැමදේම අවුල් වුණේ මං හින්දා. හරිද? මං ඒක පිළිගන්නවා.”

ඒත් මේඝා පුදුමාකාර විදියට සයිලන්ට්.

“මං පැනික් වුණා. මට ඔයාව නැතිවෙයි කියලා බය හිතුණා. ඒ හින්දම මං මෝඩ් දේවල් කරා.” මගේ කටහඬ ටික ටික බර වෙනවා මටම දැනුණා. “හැබැයි මං මේක හදන්නම් මේඝා. මට තව චාන්ස් එකක් දෙන්න”

ඒත් මේඝා කිසිම දේකට කිසිම දෙයක් කිව්වෙ නෑ.

“ඔයාට මං හින්දා ඔෆිස් එකේ ප්‍රශ්න ආව එකත් මම ෆික්ස් කරන්නම්. සෝශල් මීඩියා අකවුන්ට්ස් ලොගින්ස් එහෙමත් මම ආයෙ දෙන්නම්. 

මට…”  මං හෙමින් හුස්මක් ගත්තා. “මට මේ හැමදේම ෆික්ස් කරන්න පොඩි කාලයක් දෙන්න”

මේඝා එතනම බලාගෙන හිටියා. එයා ඒ බලාගෙන උන්නෙ බිත්තිය  දිහාද, වහල දිහාද කියලා මටවත් තේරුණෙ නෑ.හැබැයි ඒ මොහොතෙ මට එක දෙයක් තේරුණා.මේඝා මං කියන කිසිම දෙයක් ඇත්තටම අහගෙන නෑ. එයා එතන ශරීරෙන් හිටියත් මානසිකව හරි ඈතකට ගිහින් උන්නෙ.

“මේඝා…”

මං ආයෙත් එයාගේ නම කිව්වා.හැබැයි එයා තාමත් උන්නෙ එකම විදියට. කුශන් එක බදාගෙන. අහක බලාගෙන. හරියට මං කතා කරන දේවල් ඔක්කොම එයාගේ ඔළුවට ඇතුල් වෙන්න කලින්ම කොහෙදි හරි අතරමග තැනකදි නැති වෙලා යනවා වගේ.

“ඔයා මං එක්ක තරහින් ඉන්නවා නම් කතා කරන්න. බනින්න. ඕන දෙයක් කියන්න.”
 මං හෙමින් කිව්වා. “හැබැයි ඔහොම ඉන්න එපා මේඝා. මට ඔක්කොටම වඩා දරාගන්න අමාරුයි ඔයාගෙ මේ සයිලන්ස් එක.”

මේඝා ඒකටවත් මුකුත් කිව්වෙ නෑ.

“මට මේක දරාගන්න බෑ.”

එතකොට තමයි මේඝා හෙමින් මං දිහා බැලුවෙ.

ඒ බැල්මේ තිබුණේ තරහක්වත් වෛරයක්වත් නෙවෙයි.ඒකෙ කිසිම හැඟීමක් තිබ්බෙ නෑ. හරියට අවුරුදු ගාණක් තිස්සේ නිදාගෙන නැති මනුස්සයෙක් වගේ හරිම හිස් බැල්මක් තිබ්බෙ.

“මට මහන්සියි මතින්ද්‍ර.”

එයා ඒක කිව්වෙ හරිම හෙමින්.මගේ පපුව ඇතුළේ මොකක්හරි දෙයක් හීනියට ඇදුම්කනවා වගෙ මට ඒ වචන අස්සෙ තැවරිලා තිබිච්ච ටෝන් එකත් එක්ක දැනුනා.

“මං දන්නවා” මං ඉක්මනට කිව්වා. “මං දන්නවා ඔයා මෙන්ටලි ලොකුවටම වැටිලා ඉන්නෙ කියලා. ඒත් මාව විශ්වාස කරන්න, ආයෙ කවදාවත් මේ වගේ දේවල් වෙන්නෙ නෑ මේඝා. මේ phase එක ඉවරයි මේඝා”

මේඝා හිනාවුණා.හැබැයි ඒක හිනාවක් නෙවෙයි.

“phase?”

එයා ඒ වචනෙ ආයෙ වතාවක් කිව්වා.

“ඔයාට හිතෙනවද මේක phase එකක් කියලා?”

“එහෙනම් මොකද්ද?”

“මං දන්නෙ නෑ.”

ආයෙ වතාවක් අර බය හිතෙන සයිලන්ස් එක අපි අතරෙ ඇවිත් නතර වුණා.

“මට දැන් හැමදේම බය හිතෙනවා.”

මං එකපාරටම එයා දිහා බැලුවා.

“මොකක්?”

“ෆෝන් එක ‍රින්ග් වෙනකොටත් මං ගැස්සෙනවා.ඩෝ බෙල් එක රින්ග් වෙනවා ඇහුණත් මං බය වෙනවා ඔෆිස් එකේ කවුරුහරි මගේ නම කියද්දිත් මට හිතෙන්නෙ ආයෙ මොකක්හරි වෙලා කියලා.” එයා ඔහේ කියාගෙන කියාගෙන ගියා. ඒ මූණෙ කිසිම හැඟීම් ප්‍රකාශනයක් තිබ්බෙ නෑ. හරිම හිස් ගතියක් තිබ්බේ. ඒක තමයි මට තවත් රිද්දුවෙ.

කඳුළු නෑ. ඩ්‍රාමා නෑ.

හරිම හිස්.

“ඔයා හිතනවා ඇති මං ඕවර් රියැක්ට්t කරනවා කියලා.”එයා හෙමින් කිව්වා.
 “හැබැයි මට දැන් නෝමල් කියන ෆීලින් එක මතක නෑ.”

“මේඝා”

“මට සමහර වෙලාවට හිතෙනවා මං හරියට මගේ ශරීරෙ ඇතුළේ නෙවෙයි ඉන්නෙ කියලා.”

“මොනවද ඔයා මේ කියවන්නෙ?”

“මං දන්නෙ නෑ.” එහෙම කියලා එයා ඔළුව අල්ලගත්තා.
 “මං ශවර් එක යට පැය ගාණක් හිටගෙන ඉන්නවා. ඔෆිස් එකේදි ලැප්ටොප් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නවා. රුවිනි මොනවහරි අහද්දිත් මට ඇහෙන්නෙ නෑ.”

මගේ හුස්ම බර වුණා.

“ඔයා ඩොක්ටර්කෙනෙක් ගාවට යන්න ඕන.”

“මට ඩොක්ටර් කෙනෙක් ඕන නෑ.”

“එහෙනම්?”

එයා උත්තර දුන්නෙ නෑ.

ඒ සයිලන්ස් එක ඇතුළෙ මං තවත් නොසන්සුන් වුණා.

“ඔයාට මාව එපා වෙලාද?”

ඒ ප්‍රශ්නෙ මගේ කටෙන් පිටවුණේ මටවත් නොතේරී.

මේඝා හරිම හෙමීට මං දිහා බැලුවා.

“මං දැන් මොනවද දැනෙන්නෙ කියලාවත් මට තේරෙන්නෙ නෑ.”

ඒ වචනෙ මාව ඇතුළෙන්ම කඩලා බිඳලා දැම්මා.

“එහෙම කියන්න එපා.”

“ඇයි?”

“මොකද මං ආයෙ වතාවක් උත්සහ කරනවා මේ හැමදේම ගොඩ නගන්න”

“මං දන්නවා.”

“එහෙනම්?”

“හැබැයි” එයාගේ කටහඬ ඇහුනෙ හරිම හෙමින්

“වෙන්න ඕන හානිය දැනටමත් වෙලා ඉවරයි මතින්ද්‍ර. දැන් ඔයාට කිසිම දෙයක් ආයෙ රීබිල්ඩ් කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නෑ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here