ඔබේ සහකරු හෝ සහකාරිය දුරදිග නොසිතා ඔබට රිදවනවාද?

හොඳ අවබෝධයකින් පසුවන ඉතා ආදරණීය යැයි ඔබ සිතන සබඳතාවයකදී පවා සමහර විට ඔබේ සහකරු හෝ සහකාරිය දුර දිග සිතීමකින් තොරව ඔබේ සිත රිදෙනා දේවල් ඕනෑ තරම් සිදු කරන්නට පුළුවන්. මුල් අවස්ථාවලදී ඔබ එය ඉවසීම කලත් පසුකාලීනව එය ඔබට ඉතා රිදවීමක් ගෙනෙන කාරණාවක් බවට පත්වෙනවා. මේ ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ පළුදු වීමේ ආරම්භය වන්නට ද හැකියාව තියෙනවා.විශේෂයෙන්ම ඔබේ සහකරු හෝ සහකාරිය දුරදිග නොසිතා ඔබට රිදවන අවස්ථා ඔබ හසුරුවන ආකාරයෙන් ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයේ අනාගතයටද හොඳ සහ නරක ආකාරයෙන් බලපෑම් එල්ල වීමේ හැකියාව බොහෝ දුරට පවතිනවා. එවැනි අවස්ථාවන් හැසිරවිය යුතු ආකාරයයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ.

ඔබේ හැඟීම් සැකසීමට ඔබටම කාලය දෙන්න

ඔබට රිදවන විට, වහාම ප්‍රතිචාර දැක්වීම ස්වාභාවික නමුත් උච්චතම අවස්ථාවකදී  ප්‍රතිචාර දැක්වීම තර්ක සහ වරදවා වටහාගැනීම් වලට හේතු විය හැකියි. එම නිසා ඔබට රිදවන දේ සහ ඔබට රිදෙන්නේ ඇයි යන්න හරියටම තේරුම් ගැනීමට යම් කාලයක් ගත කරන්න. මෙමගින් ඔබේ හැඟීම් වඩාත් පැහැදිලිව සන්නිවේදනය කිරීමට උපකාරී වන අතර පසුව ඔබට පසුතැවිලි විය හැකි දේවල් පැවසීම වළක්වනවා.

අවංකව සහ සන්සුන්ව සන්නිවේදනය කරන්න

ඔවුන්ගේ වචන හෝ ක්‍රියාවන් ඔබට  වේදනාවක් ඇති කළ බව ඇතැම්විට ඔවුන්ට පවා වැටහෙන්නේ නොමැති වන්නට පුළුවන්.  නිහඬව සිටීම හෝ ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට, එහිදී ඔබට හැඟෙන ආකාරය පැහැදිලි කරන්න.

” ඒ අවස්ථාවේදී මගේ හිත රිදුනා ” වැනි ප්‍රකාශ භාවිතා කරන්න.දොස් පැවරීම හෝ තර්ක කිරීම වෙනුවට සන්සුන් සන්නිවේදනය කිරීම තෝරා ගැනීම මගින් ඔබ දෙදෙනා අතර ඇති අවබෝධය තවදුරටත් ආරක්ෂා කරනවා 

අභිප්‍රාය පමණක් නොව බලපෑම කෙරෙහි අවධානය යොමු කරන්න

බොහෝ සම්බන්ධතාවයන් වලදී සමහර අය පොදු ප්‍රතිචාරයක් ලෙස , “මම ඔබට රිදවීමට අදහස් කළේ නැත” යන ප්‍රතිචාරය භාවිතා කිරීමට පුරුදුව සිටිනවා. මෙහිදී ඔබේ සහකරු හෝ සහකාරිය ඔබට යමක් පැවසූ අභිප්‍රාය නොව එයින් ඔබට ඇති වූ බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඔහු හෝ ඇය ඔබට හානියක් කිරීමට අදහස් නොකළත්, එම සිදුවීම ඔබට කොතරම් දුරට බලපා ඇති දැයි ඔබේ සහකරුට හෝ සහකාරියට පහදා දෙන්න. සෞඛ්‍ය සම්පන්න සබඳතා අභිප්‍රාය සහ බලපෑම යන දෙකම සමබරව භාර ගැනීම සිදු කළ යුතුයි.

ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට සවන් දෙන්න

ඔබේ හැඟීම් බෙදා ගැනීමෙන් පසු, ඔබේ සහකරුට හෝ සහකාරියට ඔවුන්ගේ කතාව පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දෙන්න. සවන් දීම යනු කිසිසේත්ම හානිකර හැසිරීමට සමාව දීම නොවන අතර එය වරදවා වටහා ගැනීමක්, දුර්වල විනිශ්චයක්, ආතතියක් හෝ අවධානයක් අවශ්‍ය දෙයක්ද යන්න තේරුම් ගැනීමට ඔබටම උපකාරී වීමක්.

අව්‍යාජ වගවීම සොයන්න

තමන් අනෙකාට වේදනාවක් ඇති කළ බව වටහා ගත් විට සැලකිලිමත් සහකරුවෙකු හෝ සහකාරියක් නම් එහි වගකීම භාර ගැනීම දෙවරක් නොසිතා සිදු කරනවා. අවංක සමාව අයැදීමකට, සිදු වූ දේ පිළිගැනීම, එය ඔබට බලපෑ ආකාරය තේරුම් ගැනීම සහ එය නැවත නොකිරීමට උත්සාහ කිරීම ඇතුළත් වන අතර සමාව අයැදීමෙන් පසු ක්‍රියාමාර්ග බොහෝ විට සමාව අයැදීමට වඩා අර්ථවත් වනවා.

සෞඛ්‍ය සම්පන්න සීමාවන් සකසන්න

එකම වේදනාකාරී හැසිරීම දිගටම සිදුවෙමින් පවතී නම්, සෞඛ්‍ය සම්පන්න සීමාවන් ඔබ දෙදෙනා අතර සැකසීම අතිශයින් වැදගත් වනවා. එහිදී අනෙක් පාර්ශවයේ පිළිගත නොහැකි හැසිරීම කුමක්ද සහ ඉදිරියට යාමට  ඔබට අවශ්‍ය දේ පැහැදිලිව පැහැදිලි කරන්න. සීමාවන් ඔබේ මානසික යහපැවැත්ම ආරක්ෂා කරන අතර සම්බන්ධතාවය තුළ අන්‍යෝන්‍ය ගෞරවය ඇති කිරීමට උපකාරී වනවා.

වර්ධනය සිදුවන්නේද යන්න තීරණය කරන්න

සෑම කෙනෙකුම අතින් වැරදි සිදුවීම සාමාන්‍ය දෙයක්. නමුත් සෞඛ්‍ය සම්පන්න සබඳතාවලට ඔවුන්ගෙන් ඉගෙනීම ද ඇතුළත් වනවා. ඔබේ සහකරු හෝ සහකාරිය දියුණු වීමට සැබෑ උත්සාහයක් දරන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කරන්න. ඔවුන් නිරන්තරයෙන් සවන් දෙන්නේ නම්, ඔබේ හැඟීම් ගැන සැලකිලිමත් වන්නේ නම් සහ ඔවුන්ගේ හැසිරීම් වල අඩුපාඩු නිවැරදි කරගන්නේ නම් සම්බන්ධතාවය ශක්තිමත් විය හැකිය. ඔවුන් ඔබේ වේදනාව නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන්නේ නම් හෝ වෙනස් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබ එම සම්බන්ධතාවයේ රැඳී සිටීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය. 

ඔබ ආදරය කරන කෙනෙකු විසින් ඔබව නිරන්තරයෙන් රිදවීම අතිශය වේදනාකාරී විය හැකිය. විශේෂයෙන් ඔවුන් හානියක් කිරීමට අදහස් නොකරමින් දුර දිග නොසිතමින් ඔබේ සිත රිදවීම පහසුවෙන් ඉවත දැමිය යුතු දෙයක් ද නොවේ. සම්බන්ධතාවයකදී දෙදෙනාම දෙදෙනාට සවන් දිය යුතු අතර, ගෞරවය, මානසික යහපැවැත්ම සහ ආරක්ෂාව, වැරදි නිවැරදි කර ගැනීම, සබඳතාවයේ අනාගතය වෙනුවෙන් වැඩ කිරීම පිළිබඳව උනන්දුව සෑම විටම එක් අයකු තුළ නොව දෙදෙනාම තුළ තිබිය යුතුයි. 

Related Articles

Don't Miss


Latest Articles