දැන් ඔයාට කවුරුත් ඕන නැද්ද?

කොට්ටෙ තෙමාගෙන අඬලා උදේට මුකුත් වුණේ නෑ වගේ හිනාවෙලා, වැඩට යන ගෑනු ළමයෙක්ද ඔයා?

තමන්ගෙ ප්‍රශ්න කාටවත් කියලා වැඩක් නෑ, කවුරුත් තේරුම් ගන්නෙ නෑ කියලා හිතලා  දැන් ඔයාට කවුරුත් එපා වෙලාද ඉන්නෙ?

මනෝ විද්‍යාවෙදි මේ තත්ත්වයට කියන්නෙ Hyper Independence කියලා. 

ඔයාට මොන වෙලාවක හරි හිතිලා තියෙනවා නම් ඔයාටත් “කවුරුවත් නෑ, කවුරුවත් ඕන නෑ” කියලා එහෙනම් ඔයා මෙන්න මේ ආටිකල් එක කියවන්නම ඕන.

අපි හැමෝම වයසින් මුහුකුරා යද්දී, ඒ කියන්නේ තරුණ කාලේ ඉඳන්ම තනියම වැඩ කරගන්න, තමන්ගේ කකුල් දෙකෙන් උඩ හිටගන්න පුරුදු වෙනවනේ. ඒක අපේ ජීවිතේට, රස්සාවට, සමාජයට හැමදේටම හොඳයි. හැබැයි Hyper-independence කියන්නේ ඒ ස්වාධීන වීමේ සීමාව පැනලා ගිය, අන්තගාමී තත්වයකට. මේක ගොඩක් වෙලාවට පොඩි කාලෙදීමයි හිතට වැටෙන්නේ. මේ නිසා කෙනෙක්ට තව කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න පුදුමාකාර විදිහට අදිමදි හිතෙනවා, ඒක කරන්නම බැරි වැඩක් වගේ දැනෙනවා.

මේ වගේ අය අනිත් අයව විශ්වාස කරන්නයි, අයෙක් මත යැපෙන්නයි මාර විදිහට බයයි, අමාරුයි. ජීවිතේ හැම ලෙඩක්ම, හැම තීරණයක්ම කාගෙවත්ම උදව්වක්, සරණක් නැතුව තනියම විතරක්ම කරගන්න ඕනේ කියලා මෙයාලා හිතනවා. සාමාන්‍යයෙන් මේක වෙන්නේ පුංචි කාලේ සිද්දවුණු මොකක් හරි හිත රිදීමක්, එහෙමත් නැත්නම් මානසික කම්පනයක් නිසා හිත ආරක්ෂා කරගන්න හදාගන්න ලෙඩක් විදියට වෙන්නත් පුළුවන්.

Hyper-independence තියෙන කෙනෙක්ගෙන් පේන්න පුළුවන් ලක්ෂණ:

  • කා ගැනවත් ලේසියෙන් විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ.
  • තමන් ගැන තියෙන තක්සේරුව සහ වටිනාකම අඩුයි කියලා හිතනවා (Low self-esteem).
  • මොන තරම් අමාරු තත්වයක, ප්‍රශ්නයක හිරවෙලා හිටියත් අනිත් අයගෙන් උදව් ඉල්ලන්නේ නැහැ.
  • වැරදිලාවත් කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න වුණොත් ලැජ්ජාවක් දැනෙනවා.
  • තව කෙනෙක් ලවා වැඩක් කරගන්න අමාරුයි, හැමදේම තමන්ම කරන්න ඕනේ.
  • හැම තීරණයක්ම කිසිම කෙනෙක්ගේ මතයක් අහන්නේ නැතුව තනියම විතරක්ම ගන්න ඕනේ කියලා හිතනවා.
  • තමන්ගේ සැබෑ හැඟීම්, අවශ්‍යතා හෝ දුර්වලතා අනිත් අයට පේන්න අකමැතියි.
  • කාගෙවත් උදව්වක් නැතුව තනියම හැමදේම සාර්ථක කරගන්න ඕනේ කියලා හිතට ලොකු බරක් දාගන්නවා.
  • තනියම කරන්න බැරි තරම් වැඩ ගොඩක් භාරගෙන, පස්සේ ඒ වැඩ කන්දරාව අස්සේ තනිවම හෙම්බත් වෙනවා .
  • තමන් අනිත් අයට බරක් කියලා හිතනවා, නැත්නම් අනිත් අයගේ ආදරය, උදව් ලබන්න තමන් වටින්නේ නැහැ කියලා හිතනවා.
  • බැලූ බැල්මට අනිත් අය එක්ක කතාබහක් නැති, තනියම ඉන්න කැමති කෙනෙක් වගේ පේනවා.
  • සමාජ ආශ්‍රයෙන් මිදිලා, හුදෙකලාව ඉන්න බලනවා.
  • කෙනෙක් එක්ක ගොඩක් ළඟ සම්බන්ධතාවයක් පටන් ගන්න හෝ ඒක දිගටම කරගෙන යන්න අමාරුයි.
  • කවුරු හරි තමන් ගැන කලකිරෙයි හෝ තමන්ව අතහැරලා දායි කියලා මාරම බයක් හිතේ තියෙනවා.
  • කවුරු හරි තමන්ව ඕනෑවට වඩා විශ්වාස කරනවාට හෝ තමන් මත යැපෙනවාට අකමැතියි.
  • විශාදය (depression), කාංසාව (anxiety), PTSD, OCD වගේ තත්වයන් හෝ මත්ද්‍රව්‍ය/මත්පැන් වලට ඇබ්බැහි වීම් වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්.
  • පීඩනය වැඩිවුණාම තමන්ටම රිද්දගන්න හෝ අනිත් අයට හානියක් කරන්න පවා සිතිවිලි ඇතිවෙන්න පුළුවන්.

මානසික කම්පනය (Trauma) නිසා Hyper-independence ඇතිවෙනවාද?

ඔව්, ගොඩක් වෙලාවට Hyper-independence ඇතිවෙන්න හේතුව තමයි ඉස්සර සිද්දවුණු මොකක් හරි මානසික කම්පනයක්, විශේෂයෙන්ම පුංචි කාලේ සිද්දවුණු දේවල්. PTSD (පසු කම්පන ආතති තත්වය) වගේම වෙනත් මානසික ආතතීන් සහ කම්පන නිසා පීඩා විඳින අයට මේ Hyper-independence තත්වය ඇතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා.

ගොඩක් වෙලාවට මේකට මුල් වෙන්නේ පුංචි කාලේදී දෙමව්පියන්ගෙන් හෝ තමන්ව බලාගන්න අයගෙන් ලැබුණු මගහැරීම හෝ නොසලකා හැරීම . දරුවෙක්ව ආරක්ෂා කරලා, වයසින් මුහුකුරා යද්දී සාමාන්‍ය විදිහට තනියම වැඩ කරගන්න කියා දෙන්න ඕනේ කෙනා, තමන්ගේ ඒ වගකීම පැහැර හැරියම තමයි මේ නොසලකා හැරීම සිද්දවෙන්නේ.

මේ වගේ අත්දැකීම් නිසා දරුවා පොඩි කාලෙදීම ඉගෙන ගන්නවා “මට අනිත් අයව විශ්වාස කරන්න බැහැ, මගේ අවශ්‍යතා මංම තමයි බලාගන්න ඕනේ” කියලා. ඒ නිසා, Hyper-independence කියන්නේ කම්පනයකට මුහුණ දෙන්න හිතෙන් හදාගන්න (නරක විදිහට බලපාන) එක හැඟීම්බර ප්‍රතිචාරයක්. සරලවම කිව්වොත්, තමන්ව ආරක්ෂා කරගන්න හිතෙන් හදාගන්න වැටක් වගේ දෙයක් (Defense mechanism). මේක ලොකු මහත් වුණාට පස්සෙත් දිගටම තියෙන්න පුළුවන්.

කෙටි කාලීනව බැලුවොත්, තව කෙනෙක් මත යැපෙන්න ගියාම දැනෙන ආතතිය, ලැජ්ජාව හෝ බය මඟහරවා ගන්න මේ Hyper-independence තත්වය උදව් වෙනවා. හැබැයි මේක දිගුකාලීනව හිතේ තියාගෙන හිටියොත්, ඒකෙන් වෙන්නේ පස්සේ කාලෙක විශාදය (depression) සහ කාංසාව (anxiety) වගේ තවත් ලොකු මානසික පීඩාවන් ඇතිවෙන එකයි.

මේ හිතේ බරින් නිදහස් වෙන්නේ කොහොමද?

ඔයාටත් මේ හැම ලක්ෂණයක්ම තියෙනවා කියලා දැනෙනවා නම් “මං මාර වැරදියි, මං ලෙඩෙක්” කියලා හිතලා තවත් හිත රිද්දගන්න එපා. මොකද, මේක ඔයා හිතලා පතලා කරගත්තු දෙයක් නෙවෙයි. එදා පුංචි කාලේ ඔයා තනිවුණු වෙලාවක, ඔයාගේ හිත රිදුණු වෙලාවක, ඔයාව ආරක්ෂා කරගන්න ඔයාගේ යටිහිත හොයාගත්තු එකම ක්‍රමය තමයි ඔය “තනියම හැමදේම කරගැනීමේ” පවුර. 

එදාට ඒක ඔයාට ශක්තියක් වුණා. හැබැයි අද ඒ පවුර ඇතුළේ ඔයා හිරවෙලා, හෙම්බත් වෙලා.

කාගෙන්වත් උදව්වක් නොඉල්ලා හැමදේම තනියම උසුලන එක ශක්තිමත්කමක් නෙවෙයි, ඒක තමන්ගේ හිතට දෙන ලොකු වධයක්. මේ පීඩනයෙන් මිදෙන්න ඔයාට පුළුවන්.

  • කවුරුත් නෑ කියලා හිතන්න එපා: මේ ලෝකේ හැමෝම එක වගේ නැහැ. ඔයාට ඇත්තටම ආදරේ කරන, ඔයා වෙනුවෙන් ඕනෙම වෙලාවක ළඟින් ඉන්න කැමති මිනිස්සු ඉන්නවා.
  • පොඩියට පටන් ගන්න: එකපාරම ලොකු උදව් ඉල්ලන්න බැරි නම්, එදිනෙදා පොඩි වැඩක් තව කෙනෙක් ලවා කරගන්න පුරුදු වෙන්න. යාළුවෙක්ට, ළඟම කෙනෙක්ට ඔයාගේ හිතේ තියෙන බර පොඩ්ඩක් කියන්න.
  • ඔයා වටිනවා: තව කෙනෙක්ගේ උදව්වක්, ආදරයක් ලබන්න ඔයා උපරිමයෙන්ම වටිනවා. කාටවත් බරක් වෙයි කියලා හිතන්න එපා.
  • වෘත්තීය සහයෝගය : පරණ මතකයන් සහ මානසික කම්පනවලින් ලේසියෙන්ම මිදෙන්න CBT, EMDR වගේ සාර්ථක මානසික ප්‍රතිකාර ක්‍රම අද තියෙනවා. ලැජ්ජා නොවී වෘත්තීය මට්ටමේ උපදෙස් ලබාගන්න.
  • ස්වයං සත්කාර : දවසට විනාඩි කිහිපයක් භාවනා කරන්න, යෝග හෝ ශාරීරික ව්‍යායාම කරන්න. හොඳින් නිදාගන්න, සමබර ආහාර වේලක් ගන්න. ඒ හැමදේකින්ම ඔයාගේ මනස සැහැල්ලු වෙනවා.

මතක තබාගන්න, උදව්වක් ඉල්ලනවා කියන්නේ දුර්වලකමක් නෙවෙයි, ජීවත් වෙන්න තියෙන ලොකුම ශක්තියක්. 

ඉතින් ඒ ශක්තිය ඔයාගෙ කරගන්න පරක්කු වෙන්න එපා!

https://www.mentalhealth.com/library/hyper-independence-linked-to-trauma

Reference: https://vt.tiktok.com/ZSQgssXGw/

Related Articles

Don't Miss


Latest Articles