විෂ සහිත මිතුරෙකු සමඟ කටයුතු කරන්නේ කෙසේද?

ඕනෑම තලයක මිත්‍රත්වයක් සෑම විටම ආරක්ෂිත අවකාශයක් විය යුතුයි. එය ඔබට සහාය දක්වන, ඔබව අගය කරන සහ ඔබව තේරුම් ගන්නා ඔබට දැනෙන ස්ථානයක්ද විය යුතුයි. නමුත් සියලුම මිත්‍රත්වයන් සෑම විටම සෞඛ්‍ය සම්පන්නව පවතින්නේ නැහැ. සමහර විට,ඔබේ මිතුරෙකු ඔබව චිත්තවේගීයව වෙහෙසට පත් කරවන,  හැසිරවීමට අපහසු  හෝ හානිකර විය හැකියි. විශේෂ මතකයන් සහ ගැඹුරු බැඳීම් ඇති විට විෂ සහිත මිතුරෙකු හඳුනා ගැනීම සහ කටයුතු කිරීම පහසු වන්නේ නැති නමුත් ඔබේ මානසික යහපැවැත්ම ආරක්ෂා කර ගැනීම සෑම විටම ප්‍රමුඛතාවයක් විය යුතුයි. 

විෂ සහිත මිත්‍රත්වයක් හඳුනා ගන්නේ කොහොමද ? 

විෂ සහිත මිතුරෙකු හඳුනා ගැනීමේ පළමු පියවර වන්නේ දැනුවත්භාවයයි.බොහෝ විට ඔබට ඔබේ මිතුරෙකු ඇසුරු කළ පසුව, ඔහු හෝ ඇය සමග කෙටි වේලාවක් ගත කිරීමෙන් අනතුරුව, දුරකථන ඇමතුමකින් හෝ සංවාදයක යෙදුණු පසුව වෙහෙස, කනස්සල්ල හෝ අනාරක්ෂිත බවක් දැනෙනවා නම් එය විෂ සහිත මිත්‍රත්වයක් වීමට ඉඩ තිබෙනවා.ඔබේ මිතුරෙකු නිරන්තරයෙන් ඔබව විවේචනය කරනවා නම් , ඔබ සමඟ අනවශ්‍ය ලෙස තරඟ කිරීමට උත්සාහ කරනවා නම්, සෑම විටම ඔබව පහත් කර සැලකීමට උත්සාහ කරනවා නම්,  නැතහොත් ඔබේ හැඟීම් බැහැර කර කටයුතු කරනවානම් එය විෂ සහිත මිත්‍රත්වයක සලකුණක් ලෙස හඳුනාගත හැකි අතර විශේෂයෙන්ම එවැනි මිතුරන් ඔවුන් හට යමක් අවශ්‍ය වූ විට පමණක් ඔබ ඉදිරියේ පෙනී සිටින නමුත් ඔබට සහාය අවශ්‍ය වූ විට අතුරුදහන් වනවා.

ඔබේ හැඟීම් පිළිගන්න 

මිතුරෙකු විෂ සහිත යැයි හඳුනා ගෙන කටයුතු  කිරීම පිළිබඳව ඔබ තුළ ව්‍යාකූලත්වයක්, රිදවීමක් හෝ වරදකාරී හැඟීමක් ඇති වීම සාමාන්‍ය දෙයක්. ඔබ ඒ පිළිබඳව ඔබෙන්ම ප්‍රශ්න කිරීම හෝ ඔවුන්ගේ හැසිරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කළ හැකි නමුත් ඔබේ හැඟීම් වලංගු වන බව මතක තබා ගන්න . මිත්‍රත්වයක් නිරන්තරයෙන් ඔබව  කුඩා ලෙස සැලකීම , අගය නොකිරීම හෝ ඔබව චිත්තවේගීය වශයෙන් දුර්වල කරවන බවක් දැනෙනවා නම් එම සත්‍යය ඔබ පිළිගැනීම අතිශයින්ම වැදගත් වනවා. 

ඔබේ හැඟීම් පිළිගැනීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ එම පුද්ගලයාට වෛර කරන බව නොවේ. එයින් අදහස් වන්නේ ඔබ ඔබේම මානසික සෞඛ්‍යයේ යහ පැවැත්මට ගරු කිරීමට තෝරා ගන්නා බවයි.

සෞඛ්‍ය සම්පන්න සීමාවන් සකසන්න

ඕනෑම සම්බන්ධතාවයකට සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය වනවා. එය ඔබ ඔබේ මිතුරා තුළ ආයෝජනය කරන කාලය සහ ශක්තිය සීමා කිරීමෙන් ආරම්භ කළ යුතු වන අතර එහිදී ඔවුන්ගෙන් ලැබෙන සෑම පණිවිඩයකටම වහාම ප්‍රතිචාර දැක්වීම හෝ සෑම සැලැස්මකටම එකඟ වීම සීමා කිරීම කළ යුතුයි.

ඔබේ සීමාවන් ප්‍රකාශ කිරීමේදී පැහැදිලි සහ සන්සුන් වන්න. උදාහරණයක් ලෙස, ඔබට, “මට දැන් යම් ඉඩක් අවශ්‍යයි” හෝ “මම ඒ ගැන සතුටු නැහැ” යැයි ඔබේ මිතුරාට ඍජුව  පැවසිය හැකි විය යුතුය . ඔබ කිසිම විටෙකත් මිත්‍රත්වයක් ඉදිරියේ ඕනෑවට වඩා පැහැදිලි කිරීම් කිරීම හෝ ඔබව සාධාරණීකරණය කිරීමට අවශ්‍ය නැත. ඔබව හොඳින් වටහා ගත් මිතුරෙකු ඔබේ සීමාවන්ට ගරු කරන අතර විෂ සහිත කෙනෙකුට ඒවාට විරුද්ධ විය හැකිය.

 අවංකව සන්නිවේදනය කරන්න 

ඔබට ආරක්ෂිත සහ සූදානම් බවක් දැනේ නම්, අවංක සංවාදයක නියැලීම සඳහා උත්සාහ කරන්න. සමහර විට මිනිසුන් තම හැසිරීම අන් අයට බලපාන ආකාරය පිළිබඳව තේරුම් ගැනීම හෝ අවබෝධයෙන් හැසිරීම සිදු කරන්නේ නැහැ . එවැනි අවස්ථාවන් වලදී ඔවුන් හට දොස් පැවරීම වෙනුවට “මට දැනෙනවා” යන ප්‍රකාශ භාවිතා කරමින් ඔබේ දෘෂ්ටිකෝණයෙන් කතා කරන්න.

උදාහරණයක් ලෙස:

“ඔබ මගේ ගැටළු නොසලකා හරින විට මට රිදෙනවා.”

කෙසේ වෙතත්, සියලුම මිතුරන් ධනාත්මකව ප්‍රතිචාර දැක්වීම සිදු කරන්නේ නැහැ. සමහර අය තමාව ආරක්ෂා කර ගැනීමට හෝ දොස් පැවරීමට උත්සාහ කළ හැකිය.සන්නිවේදනයේ ඉලක්කය එවැනි හැසිරීම් වෙනස් කිරීම නොව, ඔබ තුළ ඇති සත්‍යය ප්‍රකාශ කිරීමයි.

ඉවත් විය යුත්තේ කවදාදැයි දැන ගන්න

සෑම මිත්‍රත්වයක්ම සුරැකිය නොහැක සහ සුරැකිය යුතු නොවේ. ඔබේ මිතුරා ඔබේ සීමාවන් වලට නැවත නැවතත් අගෞරව කරන්නේ නම්, ඔබේ හැඟීම් නොසලකා හරින්නේ නම් හෝ හානිකර හැසිරීම දිගටම කරගෙන යන්නේ නම්, එය ඔබට එම මිතුරාගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වීමට කාලය විය හැකිය.

ඉවත් වීම යනු ඔබ දුර්වල හෝ ආත්මාර්ථකාමී බව නොවේ. එයින් අදහස් වන්නේ ඔබ වේදනාවට සහ පීඩනයට වඩා සාමය තෝරා ගැනීමට තරම් ශක්තිමත් බවයි. මිත්‍රත්වයක් අවසන් කිරීම වේදනාකාරී විය හැකි නමුත් විෂ සහිත මිත්‍රත්වයක රැඳී සිටීම දිගු කාලීනව ඔබට ඊටත් වඩා රිදවිය හැකිය.

ඔබ කෙරෙහි අවධානය යොමු කරන්න

පසුපසට ගිය පසු, සුවය ලබා ඔබ සමඟ නැවත සම්බන්ධ වීමට කාලය ගන්න.  ඔබට ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාකාරකම්වල නිරත වන්න, සහයෝගය දක්වන පුද්ගලයින් සමඟ කාලය ගත කරන්න, සහ ඔබේ ආත්ම වටිනාකම පිළිබඳ හැඟීම නැවත ගොඩනඟා ගන්න.

දිනපොතක් තබා ගැනීම, ස්වයං රැකවරණය සහ ඔබ වෙනුවෙන් කාලය වෙන්කර ඔබේ හැඟීම්වලට ඉඩ දීම ඔබේ හැඟීම් නැවත සැකසීමට ඔබට උපකාරී වෙනවා . මතක තබා ගන්න, එක් විෂ සහිත මිත්‍රත්වයක්  අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීමේ ඔබේ හැකියාව නිර්වචනය කරන්නේ නැහැ.

සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා තෝරා ගන්න 

ඔබ ඉදිරියට යන විට, ඔබ ඔබේ ජීවිතයට ඉඩ දෙන ආකාරයේ පුද්ගලයින් ගැන සැලකිලිමත් වන්න. සෞඛ්‍ය සම්පන්න මිත්‍රත්වයන් ගොඩනැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ කරුණාව මතයි. ඔබේ වර්ධනය සහ ජයග්‍රහණයන් සමරන, ඔබට සවන් දෙන සහ දුෂ්කර කාලවලදී ඔබ සමඟ සිටින මිතුරන් ඔබට ලැබිය යුතුය.

විෂ සහිත මිතුරෙකු අත්හැරීම යනු කෙනෙකු අහිමි වීමක් නොවේ. එය නැවත ඔබව සොයා ගැනීමයි . ඔබ සාමය, ආත්ම ගෞරවය සහ චිත්තවේගීය ආරක්ෂාව සහ මානසික සහනය  තෝරා ගන්නා විට, ඔබ වඩා හොඳ, සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතා සඳහා දොරටු විවර කරනවා.

Related Articles

Don't Miss


Latest Articles