ෆෝන් එකෙන් පොඩි විවේකයක් අරන් හිතට සුවයක් දෙමුද?

අද කාලෙ කොහේ බැලුවත් බලන බලන හැමෝම වගේ කරන්නේ ඔළුව පාත් කරගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එක.

 ස්මාර්ට්ෆෝන් කියන්නේ අපේ දෛනික ජීවිතයේ කොච්චර සාමාන්‍ය කොටසක් වෙලාද කිව්වොත්, අපි නොදැනුවත්වම වුණත් නිතරම ෆෝන් එක අතට ගන්න පුරුදු වෙලා ඉන්නවා.

හැබැයි අපි ෆෝන් තිරය දිහා බලන් ඉන්න කාලය දිගින් දිගටම වැඩි වෙද්දී, ඒ එක්කම හරිම වැදගත් ප්‍රශ්නයකුත් මතුවෙනවා

ඒ තමයි අපේ ෆෝන්, ලැප්ටොප්වලින් පොඩි විවේකයක් ගන්න එකෙන් ඇත්තටම අපේ මානසික සෞඛ්‍යය යහපත් වෙනවද? කියන එකා

පසුගිය අවුරුදු කිහිපය ඇතුළේ ඩිජිටල් ඩිටොක්ස්  කියන සංකල්පය ගොඩක් අය අතරේ ජනප්‍රිය වුණා. සමහර අය සතියකට සෝෂල් මීඩියා ඇප්ස් ඩිලීට් කරනවා, තවත් අය නොටිෆිකේෂන් ඕෆ් කරලා තියනවා, තවත් ටික දෙනෙක් දවස් ගණන් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් එන්නේ නැතුව ඉන්නවා.

මෙතැනදී අරමුණ වෙන්නේ තාක්ෂණය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එක නෙවෙයි ඒ වෙනුවට තාක්ෂණය භාවිතය ඇතුළේ healthy boundaries හදාගන්න එක.

හැබැයි මෙතැන තියෙන ඇත්තම ප්‍රශ්නය තමයි, මේ විදිහට ගන්න විවේකයන් නිසා ඇත්තටම අපේ සිතට, මානසිකත්වයට සුවයක් ලැබෙනවද? නැත්නම් මේකත් නිකන්ම නිකන් ට්‍රෙන්ඩ් එකක් විතරද?

පර්යේෂණවලින් පෙන්වා දෙන්නේ ඕනවට වඩා ෆෝන් තිර දිහා බලාගෙන ඉන්න එක විශේෂයෙන්ම සෝෂල් මීඩියා භාවිතය අපේ මානසික සුවතාවයට පැති කිහිපයකින්ම බලපාන්න පුළුවන් කියන එක.

අනිත් අය ලස්සනට, පිලිවෙලට හදලා සෝෂල් මීඩියා එකට දාන එයාලගේ ජීවිත දිහා නිතරම බලද්දී, අපි නොදැනුවත්වම අපේ ජීවිත අනිත් අයගේ ජීවිත එක්ක සසඳන්න පටන් ගන්නවා. මේවා හරිම unhealthy comparisons. අනිත් හැමෝම අපිට වඩා සතුටින්, සාර්ථකව, නැත්නම් හරිම ආතල් එකේ ජීවත් වෙනවා කියලා අපිට හිතෙන්න ගන්නවා. මනෝවිද්‍යාඥයන් මේක හඳුන්වන්නේ Social Comparison කියලා. පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන්නේ මේක නිසා සමහර අයට තමන් ගැන තියෙන ආත්ම අභිමානය අඩුවීම, මානසික පීඩනය වැඩිවීම වගේම තනිකමක් දැනීම වගේ දේවල් වෙන්න පුළුවන් කියල. හැබැයි ඇත්තම ප්‍රශ්නය තියෙන්නේ සෝෂල් මීඩියා ඇතුළෙ නෙවෙයි අපි ඒක පාවිච්චි කරන විදිහ ඇතුළෙයි.

අනිත් ලොකුම ප්‍රශ්නය තමයි ඉවරයක් නැතිව එන නොටිෆිකේෂන්. ෆෝන් එක වයිබ්‍රේට් වෙන හැම පාරම, මැසේජ් එකක් නැත්නම් ලයික් එකක් එන හැම පාරම අපේ මොළයෙන් ඩොපමින් කියන රසායනික ද්‍රව්‍යය පිටවෙනවා. මේක අපේ සතුට සහ උනන්දුව පවත්වාගන්න බලපාන එකක්. කාලයක් යද්දී අපේ මොළය මේ ලැබෙන පුංචි සතුටු කාරණාවලට ඇබ්බැහි වෙනවා. අන්න ඒ නිසයි විශේෂ දෙයක් ඇවිත් නැහැ කියලා දැන දැනත් අපි නිතර නිතර ෆෝන් එක චෙක් කරන්න පෙළඹෙන්නේ. මේ පුරුද්ද නිසා වැඩක් කරද්දී ඒකට අවධානය දෙන්න, නිදහස් මොහොතක් විඳින්න, නැත්නම් වටපිටාවේ ඉන්න මිනිස්සුත් එක්ක ආදරෙන් ඉන්න එක හරිම අමාරු වෙනවා.

ඩිජිටල් පුරුදු නිසා අපේ ජීවිතේ ලොකුම බලපෑමක් වෙන තවත් පැත්තක් තමයි නින්ද.

රෑ වෙනකම් වීඩියෝ බල බල ඉන්න එක නැත්නම් මැසේජ් කියවන එක නිසා ගොඩක් වෙලාවට අපිට නිදාගන්න තියෙන වෙලාව පහු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ෆෝන් තිරවලින් නිකුත් වෙන නිල් ආලෝකය නිසා අපේ ඇඟේ ස්වාභාවික නින්දේ රටාවටත් බාධා ඇති වෙනවා. හරි හැටි නින්දක් නොලැබීම නිසා මානසික ආතතිය, ඉක්මනින් කේන්ති යාම සහ වැඩකට අවධානය යොමු කරන්න බැරි වීම වගේ ප්‍රශ්න නිතරම ඇති වෙන්න පුළුවන්. 

ඉතින්, ඩිජිටල් ඩිටොක්ස් එකකින් මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවද?

ඒකට උත්තරේ ඔව්. හැබැයි ගොඩක් අය හිතන විදිහට නෙවෙයි.

ඩිජිටල් ඩිටොක්ස් එකක් කළා කියලා මැජික් එකකින් වගේ අපේ හිතේ තියෙන anxiety, depression, නැත්නම් මානසික ආතතිය එකපාරටම නැති වෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රශ්න පිටිපස්සේ ෆෝන් එකක් ඕෆ් කරලා තියනවාට වඩා ගැඹුරු හේතු තියෙන්න පුළුවන්. හැබැයි, නිකරුණේ ෆෝන් එක දිහා බලාගෙන ඉන්න කාලය  අඩු කරගත්තාම අපේ මානසික වෙහෙසට බලපාන දෛනික නරක පුරුදු ටිකක් අපෙන් ඈත් වෙනවා.

ෆෝන් භාවිතය සීමා කළාට පස්සේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා, නින්ද හොඳට ලැබෙනවා, වැඩකට අවධානය දෙන්න ලේසි වෙනවා, සහ පවුලේ අය, යාළුවෝ එක්ක ගුණාත්මක කාලයක් ගත කරන්න පුළුවන් වෙනවා කියලා ගොඩක් අය කියන්නේ අන්න ඒ නිසයි.

මේ ප්‍රතිලාභ ලබාගන්න ලොකු ඩිජිටල් ඩිටොක්ස් එකක් කරන්න අවශ්‍යම නැහැ.

මාසයක් තිස්සේ ඉන්ටර්නෙට් එකෙන් අතුරුදහන් වෙන්නවත්, ෆෝන් එක විසි කරලා දාන්නවත් ඕනේ නැහැ. ඇත්තටම, පුංචි පුංචි වෙනස්කම් දිගටම කරගෙන යන්න ලේසියි වගේම ඒවා හරිම සාර්ථකයි.

  • වැඩකට නැති නොටිෆිකේෂන් ඕෆ් කරලා තියන එක,
  • උදේ පාන්දරම නැගිට්ට ගමන් සෝෂල් මීඩියා බලන්නේ නැතුව ඉන්න එක,
  • කෑම කන වෙලාවට ෆෝන් පාවිච්චි නොකර ඉන්න වෙලාවක් වෙන් කරගන්න එක,
  • රෑට නිදාගනිද්දී ෆෝන් එක කාමරයෙන් පිටතින් තියන එක,

වගේ සරල පුරුදු නිසා ඔයාගේ දෛනික ජීවිතයට බාධාවක් නොවී digital overload සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.

ඒ වගේම තාක්ෂණය කියන්නේ අපේ හතුරෙක් නෙවෙයි කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. අපේ ෆෝන් නිසා අපිට ආදරේ කරන අය එක්ක සම්බන්ධ වෙලා ඉන්න, අලුත් දේවල් ඉගෙනගන්න, නොදන්න තැන් හොයාගෙන යන්න, සහ භාවනා කරන ඇප්ස්, ඔන්ලයින් උපදේශන සේවා හරහා මානසික සෞඛ්‍යය යහපත් කරගන්න පවා ලොකු උදව්වක් ලැබෙනවා. ඉතින් මෙතැනදී අරමුණ වෙන්නේ තාක්ෂණය පාවිච්චි කරන එක අඩු කරන එක නෙවෙයි ඒක තේරුමක් ඇතුව, අවශ්‍යතාවයට විතරක් පාවිච්චි කරන එකයි.

අපි නොදැනුවත්වම ෆෝන් එක අතට ගන්න හදන හැම පාරකම ඒක නොගෙන ඉන්න තීරණය කරද්දී, අපිට වටපිටාවේ තියෙන ලෝකය දිහා බලන්න අවස්ථාවක් ලැබෙනවා. අපි අනිත් අයගේ පෝස්ට්වලට, අප්ඩේට්වලට නිතරම ප්‍රතිචාර දක්වන එක නතර කරලා, වෙනදාට වඩා ආදරෙන් කතාබහ කරන්න, කරන වැඩේට හොඳින් අවධානය දෙන්න, සහ අපේම සිතුවිලි ගැන අවධානයෙන් ඉන්න පටන් ගන්නවා.

අවසාන වශයෙන්, මානසික සෞඛ්‍යය යහපත් කරගන්නවා කියන්නේ හැම ඇප් එකක්ම ඩිලීට් කරන එකවත්, නවීන තාක්ෂණය සම්පූර්ණයෙන්ම අතඅරින එකවත් නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ අපි දිනපතා පාවිච්චි කරන මේ මෙවලම් එක්ක වඩාත් නිරෝගී, හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගන්න එකයි.

අපේ ෆෝන් එක අපේ අවධානය පාලනය කරන එක නතර කරලා, අපේ අවශ්‍යතාවලට විතරක් භාවිතා කරන්න පටන් ගත්තු දාට, මෙච්චර කාලෙකට අපෙන් මඟහැරුණු ලස්සන දේවල් ටිකක් අපිට හම්බෙයි.

Related Articles

Don't Miss


Latest Articles