පසළොස්වක මල් – 47

0
111

සැඳෑව වන විට මත්පැනින් හොඳහැටි සප්පායම් වී සිටි භරණටත් , අෂ්මිලටත් , තේජ්ටත් මහා දේවාලයට පැමිණීමට දැඩි වාරණ දැමූ විශාඛා භරණ ලවා දේවාල භූමිය වෙත ඇරළවීම පවා ප්‍රතික්ෂේප කළාය. ඒ අනුව උමන්දාත් , කුඩා සිඟිත්තියත් , මහීකාත් , මිහිදුමී හා විශාඛා සමඟ දේවාල භූමිය කරා පිටත් වූ අතර සිරිතුංග ඔවුන් රැගෙන යාමට ඉදිරිපත් වූයේය. 

හිරු මුදුන් මට්ටම පහතට බැස, සවස් වරුවේ මඳ සීතලක් සහ සන්සුන් බවක් රත්නපුර නගරය අසල පිහිටි සමන් දේවාල භූමිය පුරා පැතිර යමින් පැවතුණේය. අහසින් වැටෙන බැස යන හිරුගේ රන්වන් කිරණ දේවාලයේ පැරණි ගොඩනැගිලි මතත්, අවට ඇති කොළ පැහැති ගස් කොළන් මතත් අපූරු එළියක් මවමින් තිබුණේය. ඈතින් ඇසෙන බෝධිප්‍රාකාරය අසලින් නැගෙන පිරිත් ශබ්දයක් හෝ ගුවන් විදුලියකින් ඇසෙන පහන් ටැඹක බුද්ධ භක්ති ගීයක නාදය හැරුණු විට මුළු ප්‍රදේශයම රැඳී ඇත්තේ අපූරු නිස්කලංක භාවයකිනි.

පිරුණු පළතුරු වට්ටි ද්විත්වයක් අතට ගත් මහීකාත් , විශාඛාත් ඉදිරිපසට වූ අතර ඔවුන් පසුපසින් නෙළුම් මල් මිටියක් අත දරා ගත් මිහිදුමීත් , කුඩා කේලි අතින් අල්ලා ගත් උමන්දාත් වූහ. දෙපතුල තෙක්ම දික් වූ තනි ශ්වේත පැහැ ගවුමක් හැඳ සෙමින් සෙමින් මහා දේවාලයේ පඩි පෙළ නඟින මිහිදුමී මහවලතැන්න දෙස ඇසි පිය නොහෙළා බලා සිටි දෑස ඔවුන් දේවාලය තුළට ඇතුළු වූ පසු සෙමින් පඩි පේළිය නැඟීමට පටන් ගත්තේය. 

සම්බුද්ධ පාදවර ලාංජන සෝභිතස්මිං

වාසි සමන්ත ගිරි මුද්ධ දේව රාජා

පුඤ්ඤානු මෝදිය ඉමං සුමනා දිදානෝ

පාලේතු මං සතත සාත සුඛාවහන්තෝ..

මුනිඳු සිරිපද නිබද සුරකින – සොබන සමනළ ගිරිය දිදුළන

පසිදු පින්බල ලැබුව අරිමග – සමන් දෙවිඳුනි සමැති සිතුමිණ

ගජිඳු වාහන අරා වැජඹෙන – පිරුව පාරමි ගුණය බලයෙන

අවිඳු දුරුකර නුවණ හිමිකර – දැනුම බුද්ධිය දෙන්න දෙව්මිණ….

සුමන සුරින්දු සමන් සමනොළ වැජඹෙනා

අමන දොස් දුරු කර නමදිමු නිතොරිනා

සමන් දෙවිඳු කරුණාවෙන් බැස වැඩෙනා

සමනොළ කන්ද රජ වාසන අත්වෙනා

සමන් දෙවි වර්ණනා කවි නන් දෙසින් සවන් තුළ තැවරෙද්දී රැගෙන ආ පූජා ද්‍රව්‍ය සියල්ල මහ සමන් දෙවිඳුන්ට පූජා කළ මිහිදුමී දේවාලය තුළ දෝතම එකතු කොට නමස්කාර කරමින් දෑස පියා ගත්තාය. 

” සමන් දෙවි හාමුදුරුවනේ..! අනේ මට පිහිට වෙන්න..!  මගේ හිතේ මේ තියන ප්‍රශ්න ගැටළු හැමදේටම විසඳුමක් හොයාගන්න මට උදව් කරන්න. මං වගේ හිඟන කෙල්ලෙක්ට පිහිටක් වෙලා මාව එයාලගෙම පවුලෙ කෙනෙක් කරලා මට ජීවිතේ දුන්නු මාමාවයි , අම්මාවයි විතරක් මගේ මතකේ තියලා , මගේ පුංචි කාලේ මතක ඔක්කොම නැති කරලා දාන්න මට ක්‍රමයක් කියලා දෙන්න දෙවියනේ..!  මං නිසා කවදාවත් දැකලා නැති විදිහට මගේ මාමාගේ ඇස් දෙකෙන් කඳුළු වැටුණා. මෙච්චර කාලෙකට මොන ප්‍රශ්නයක් , කරදරයක් උනත් මගෙයි අම්මාගෙයි හයියට හිටපු මනුස්සයා මං නිසා කඳුළු වක් කරනවා මට බලන් ඉන්න බෑ දෙවියනේ.. මං කරපු හිතුවක්කාර වැඩ නිසා ඒ ඇස් දෙකෙන් වට්ටපු කඳුළු වලට මට සමාවක් ලැබෙන්නෑ කියලා මං දන්නවා. කවදාවත් ඒ කරගත්තු පාපෙට මට සමාවක් ලැබෙන එකක් නෑ.. අනේ.. මට මේ හැමදේම අමතක කරන්න ඕනේ. මාමයි , අම්මායි හම්බ වෙන්න කලින් මගේ ජීවිතේ වෙච්ච හැමදේම මට අමතක කරන්න ඕනේ. ආයෙ කවදාවත් ඒ මිනිස්සු දෙන්නාගෙ ඇස් වලින් මං නිසා කඳුළක් වැටෙන්න ඉඩ තියන්න බෑ. ඒක මහා පවක්..”

වැසී උන් දෑසින් ගිලිහුණු කඳුළු වැල් පේළියක් කොපුල් මත ඔහේ ගලා ගියේය. 

” මට ලොකු අයියා එක්ක කතා කරන්න ඕනේ. වෙච්ච දේවල් කිසිම දෙයක් එයාට තේරුම් කරන්න පුලුවන් තත්වෙක මං නෑ. මං එයාට මහ ගොඩාක් ආදරෙයි දෙයියනේ.. ඒ වැළපෙන ඇස් වලට මං හරි ආදරෙයි. මූණ බලලා කතා නොකරන ඒ ලොකුකම පිරිච්ච ලස්සන මූණට මං හරි ආදරෙයි. අනේ .. එයාට කියන්නකෝ මට සමාව දෙන්න කියලා.. මං.. මං.. කොහොමද එයාට මේවා තේරුම් කරවන්නේ. දන්.. දැන්.. ආපහු ගියාට පස්සෙත් මාව මඟ අරියි. අනේ.. එක දවසක් .. එකම එක දවසක් මට එයා එක්ක එකට ඉඳගෙන සතුටින් කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැද්ද ?” 

අවසන් වාක්‍යයත් යටි සිතින් දෙවියන් ඉදිරියෙන් කන්නලව්වක ස්වරූපයෙන් මතු වද්දී ඒ වන විටත් දේවාලය තුළින් ගලා ආ කපුරු සුවඳ දුම් වලට අමතරව සිත හුරු පුරුදු විලවුන් සුවඳක් නාසය මත පැටළෙද්දී ඈ කඳුළු පිරුණු දෙනෙත සෙමින් විවර කළාය. ඉන් පසුව සෙමින් හිස හරවා තමා අසලම වැඳ ගනිමින් ඉදිරිය බලා උන් සෙල් පිළිමය දෙස වික්ශිප්තව බලා උන්නාය. සුදු පැහැයෙන් යට කොටස බතික් රූප රටාවකින් පිරි කළු පැහැ සරමක්ද , වැළමිට තෙක් නැමුණු දිගු අත් සහිත සුදු පැහැ කමිසයක්ද හැඳ සිටි උස් සිරුරැති සන්සුන් රුව දෙස කඳුළු බොදවූ දෑසින් බලා සිටි ඈ තමා මේ දකින්නේ ස්වප්නයක්ද බව විශ්වාස නොමැතිව විගසින් දෑස පිසදා ගත්තාය. නැත.. කඳුළු පිස දැමුණු පැහැදිලි දෙනෙතට එකී කඩවසම් රුව ඒ ආකාරයෙන්ම දර්ශනය වෙමින් පැවතුණේය.

” අඬලා ඉවරද ?” 

වැඳ සිටි දෑත සෙමින් දිග හැරිය ඔහු ඈ දෙස නොබලාම ඇසූ අතර තව දුරටත් විශ්මයක ගිලී උන් ඈ විසල් කරගත් දෑසින් මුණිවත රැක්කාය. 

” ඔයා කොහොමද අපි දේවාලේ කියලා දැනගත්තේ ලොකූ ?” 

මහ දේවාලයේ සියළු පූජා කටයුතු අවසන් කොට යළි නිවස බලා එන ගමනේ මහීකා රියදුරු අසුනේ උන් වැඩිමහලු පුත්‍රයා දෙස බලා ඇසුවාය.

” ලඟට ඇවිල්ලා භරණට කෝල් කළා ලොකේශන් එක අහගන්න. එතකොට කිව්වේ අම්මලා දේවාලෙට ආවා කියලා. “

” ආහ්.. ඒක මිසක්. “

සිරිතුංග සමඟ විශාඛා හා උමන්දාත් පැමිණි මෝටර් රථයටම ගොඩ වූ අතර මහීකා  මිහිදුමීගේ අත අතනොහැරම සිටි කේලි හා ඇයව බලෙන්ම මෙන් අස්නකගේ රියට ගොඩ කර ගත්තාය. පසුපස අසුනේ කුඩා සිඟිත්තිය සමඟ හිඳ සිටි මිහිදුමී නැවත නිවසට පැමිණෙන ගමනේදී ඉදිරිපස කුඩා කණ්නාඩිය තුළින් ඔහු දෙස වරින් වර නෙතු යොමු කළද බිඳකට හෝ ඈ වෙත දෑස විතැන් නොකළ තරුණයා එක දිගට රිය පැදවුවේය. 

” ලොක්කා ඇවිල්ලා.. “

සැඳෑ අඳුරත් සමඟම මහවලතැන්න නිවසට ගොඩ වූ මෝටර් රථයෙන් බැස පැමිණෙන මිත්‍රයා දුටු තේජ් වහා ගෙමිදුලට බැස්සේය. 

” උඹලව දාලා ගියාලු නේහ් ?” 

” අපිව කලින් දැනුවත් කරලා තිබුණෙ නෑනේ මචං. නැත්තන් අපිත් කොච්චර කැමතිද පින් දහම් කරන්න ?” 

” ආ.. ඔව්.. මං නොදන්නවෑ..”

” එන්න ලොකු පුතා ගෙට “

විශාඛා තරුණයින්ගේ කතා බස් වලට මුව සිනහවකින් සරසා ගෙනම නිවස තුළට ගොඩ වැදුණාය. 

” ආ.. නංගි.. සංකාව හරිද දැන් ?” 

කුඩා සිඟිත්තිය සමඟ නිවසට ඇතුළු වූ මිහිදුමී දුටු තේජ් ඇසක් ඉඟි මරා එසේ ඇසූ අතර ඉවත බලා  උන් තරුණයා දෙස බලා මුව ඇද කළ ඈ ඒ බැල්මෙන්ම තේජ් දෙස බලා මුළුතැන්ගෙය දෙසට පා තැබුවාය. 

” අලුත් බ්‍රාන්ච් එකේ වැඩේ මොකද අස්නක ?” 

රාත්‍රී ආහාරයෙන් පසුව ඔහු හා දොඩමලු වූ භරණ අත්‍යාවශ්‍යම කාරණය ඔහුගෙන් විමසුවේය.

” පොඩි දවසකට ඒක on hold කළා භරණ. “

” ඒ මොකෝ ඒ ?” 

” මට පොඩි Financial crunch එකක් තියනවා. භරණ දන්නවා නේද මිනිස්ටර් දේවක තලංගම ? “

” හ්ම්ම්.. ඔව්. මං දන්නවා මිනිහව. “

” මිනිහා කාලයක් තිස්සෙ මට ඉන්න හොඳ කස්ටමර් කෙනෙක්. මිනිහා කැමතියි මගේ බිස්නස් එකට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඒත්.. ඒකට මගෙ එච්චර කැමැත්තක් නෑ. මේක මං තනියම හදාගත්තු දේ භරණ. ඒක කොච්චර ලොකු එකක් උනත් , පොඩි එකක් උනත් මට වෙන කාවවත් ඒකට සම්බන්ධ කරගන්න හිතෙන්නෑ. එහෙම උනාම එතන මට තියන මගේ කම නැති වෙනවා. තනි මට ඒක කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා. අනික කොහොමත් පොලිටීශියන් කෙනෙක් එක්ක හවුලේ බිස්නස් කරන්න බෑ. ඕව මහ කරදර වැඩ. ඒ නිසා මං හිතුවේ බෑන්ක් ලෝන් එකකට යන්න. කොහොමත් තව මාසයක්වත් යයි ඒ වැඩ ටික ඉවර කරගන්න. මේ ටිකේම පොඩ්ඩක් ඒ වැඩ පස්සේ ගියා. “

” හවුලේ බිස්නස් එකකට නොයන තීරණේනං ගොඩක් හොඳ එකක්. ලාභ උනත් , පාඩු උනත් තමන්ටනේ කියලා තමන්ට පුලුවන් කියලා හිතෙන තරමට තමන්ගේ ප්‍රමාණෙට වැඩ කරගන්න එක පහසුයි. “

” ඔව්.. ඒක හරි. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here