මියුරු පෙම් මදිරාවේ – 2

හවස  බෝඩිමට ගියත් සන්දීපාට සැහැල්ලුවෙන් ඉන්න පුලුවන් හිතක් තිබුණේ නැහැ. අන්තිමේදි සන්දීපා ආයතනයේ රියැදුරාගෙන් දැනගත්ත පසන්ගේ නවාතැනට සමීප තැනකට ත්‍රීරෝද  රියක ගමන් මඟ දැම්මා. හිත හයිය කරගෙන ත්‍රී රෝද රියට ගොඩ වෙද්දී වෙලාව රාත්‍රී දහයට ආසන්නයි.

පැය බාගෙකින් ඇය උන්නේ පසන්ගේ නවාතැණ ඉස්සරහ. ඒ වෙද්දිත් මහ වැස්ස. ඇය කිහිප වතාවක්ම සීනුව නාද කලේ කතා කරන්න තරම් ධෛර්‍යයක් නොතිබුණ නිසා. විනාඩි පහකට විතර පස්සේ දොර විවෘත වුනා.

“මොන මඟුලක්ද කස්සා … මං කිව්වනේ පාඩුවේ ඉන්න දීපං කියලා … මං මැරෙන්නේ නෑ බං .. මං මැරුනොත් අර කෙල්ලව  බලාගන්නේ කවුද ?..”

එහෙම ඇහුණ හඬේ තිබුණ දුර්වල බව නිසාම සන්දීපා උන්න තැන එහෙමම ගල් වෙලා බලාගෙන උන්නා. තමන් ඉස්සරහ ඉන්නේ කවුද කියලා දැක්කට පස්සේ, ඒක හරිහැටිම විශ්වාස කරන්න අකමැත්තෙන් වගේ පසන් ඒ දිහාව බලාගෙන උන්නේ දොරට වාරු වෙලා.

“ සර් …”

“ තමුසේ ?… මෙහෙ මොකද ?..”

“ සර් … ඇතුලට යන්න .. වැහිකඩ එනවා..”

“ තමුසේ කා එක්කද ආවේ සන්දීපා ?..”
අමාරුවෙන් නමුත්, පසන් එලියට එබිලා බලන්නත් උත්සාහ කලා. සන්දීපා දෙපාරක් නොහිතාම පසන්වත් අල්ලගෙන නවාතැනට ඇතුලු වෙලා දොර වහලා දැම්මා. පසන්ගේ ශරීරය අසාමාන්‍ය විදියට උණුසුම් බව පලවෙනි ස්පර්ශයෙන්ම ඇයට් වැටහුණා.

“ සර් …අපි හොස්පිට්ල් යමු … මෙහෙම ඉඳගෙන අපට මොකවත්ම කරගන්න බැහැනේ… අනෙක සර් මේ වතාවේ අමාරු වේවි ..”

“ අනේ මේ..”

පසන් විරෝධය දක්වන්න උත්සාහ කලා වුනත් ඔහුට වාරුවක් තිබුනේ නැහැ. සන්දීපාට විශ්වාසවන්ත මිතුරියකට කියලා උන්නේ තිළිණි විතරයි.

“ තිළිණි .. මම ලොකේෂන් එකක් එවනවා.. අයියවත් එක්කගෙන එතනට එන්නකෝ … කාර් එකේ එන්න …”

තිළීනිගේ ප්‍රශ්න වලට උත්තර නොදී ඇමතුම විසන්ධි කරලා දාපු සන්දීපා පසන්ගේ ඇඟ තෙත් කලා. ඔහුගේ විරෝධය නොතකාම හිස පිරිමැද්දා. තමන්ගේ ඇස් වල කඳුලු පසන්ගේ නළලට වැටෙද්දී ඒ කඳුලු පිස දැම්මා.

“ මොන මඟුලක්ද මේ සන්දීපා..”

අවසානෙදි නවලෝක රෝහලට පසන්ව ඇතුලත් කරලා, ඔහුගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු අවසන් කරලා ඔහුගේ කාමරය ඉදිරිපස අසුනක හිඳගත්තාට පස්සේ එහෙම අහන තිළිණි ඉස්සරහ හැමදේම පාපොච්චාරණය කරන්න සන්දීපා තීරණය කරලයි තිබූනේ.

“ පසන් එක්ක මම අවුරුදු හයක්  යාලු වෙලා උන්නා.. ඒලෙවල් කාලේ ඉඳන් කැම්පස් අවුට් වෙනකල්ම ..”

“ මොකක් ?..”

“ හ්ම්ම්ම්ම්ම් ..”

“ අනේ මේ ..මගේ ඔලුව පිස්සු වට්ටවන්නේ නැතුව තේරෙන සිංහලෙන් කියනවා සන්දීපා… උඹ දැණ් මේ කියන්නේ මාර කතාවක්නේ …”

“ පසන්… පසන් එයා තවම මට ආදරෙයි තිළීණි …. පවු දෙයියනේ මගේ කොල්ලා..”’

“ අනේ මේ මොන විකාරයක්ද සන්දීපා .. ඔය ඇඬිල්ල පස්සට තියලා ඉස්සෙල්ලම කියහං මොකක්ද මේ වෙන්නේ ?..”

“ පසන්ගේ අම්මලා අපි දෙන්නාගෙ සම්බන්ධේ දැනගත්තට පස්සේ, අම්මලා ඇවිල්ලා මට කතා කලා.. පසන් මාව අත් අරින්නේ නෑම කියනවා කිව්වා…. එයාගේ තීරණේ එහෙම නම්, අම්මලා එයාව අතාරිනවා කිව්වා.. එක රුපියලක් දෙන්නේ නැහැ කිව්වා ….මට කරකියාගන්න දෙයක් තිබුනේ නැහැ…… මට පසන්ට ඒ ගැණ කියන්නත් බය හිතුනා.. ඒ හින්දාම මම පසන්ගෙන් අය්න් වුනා…. එයා කොච්චරක් උත්සාහ කලත් මම එයාට ඉඩක් දුන්නේම නැහැ…අන්තිමේදි පසන් අයින් වුනා… අවුරුදු දෙකක් ගෙවුණා.. මම කර කර හිටපු තැන ජොබ් එක නැති වුනා… ඊට පස්සේ යාලුවෙක් තමා මට මෙහෙ සෙට් කලේ… මෙහෙටෙ එනකල් දන්නේ නෑ මම පසන් මෙහෙ බොස් කියලා.. අයින් වෙන්නත් බැරි තරමටම මම හිර වුනා ඇග්‍රීමන්ට් නිසා….. හ්හ්හ්හ්හ් .. පසන් මට කොච්චරක් කෑ ගහලා බැන්නත් මට එයාගේ ඇස් වලින් ආදරේ පේනවා තිළිණි….”

සන්දීපා එහෙම කියලා ඉවර වෙනකොට තිළිණිට ආයෙම අහන්න දෙයක්වත් ඉතුරු වුනේ නැහැ.

“ උඹ එහෙනම් හෙට නිවාඩු දාලා සර් ළඟ ඉන්න ..මං උදේට දෙන්නාටම අඳින්න ඇඳුම් මොනා හරි අරගෙන සර්ට අර කිව්ව විදියට බීමත් හදාගෙන එන්නම් …”

“ මට සමාවෙන්න තිළිණි ..”

“ කමක් නෑ කමක් නෑ..කෝමින් කෝමින් හරි මට පඩි වැඩි කරගන්න හරි පුලුවන් ඉක්මන් පොටක් නේ මේ පෑදුනේ…:”

දෙන්නාම සැහැල්ලුවක් මවාගෙන හිනා වුනා.

සන්දීපා මුලු රැයම පසන්ගේ දෙපා පිරිමැද්දා. හිස පිරිමැද්දා.

“ කොහෙද මම ?..”

පාන්දර පහට විතර පසන් එහෙම අහනකොටත් සන්දීපා උන්නේ අවදියෙන් .

“ සර් ෆේන්ට් වෙන්න ආවා.. මම තිළිණිලාවත් කතා කරගෙන සර්ව ඇඩ්මිට් කලා ..”

“ සර් ?… සර් ?… මම සර් ?..”

“ අනේ කතා කරන්නෙපා සර් … සර්ට එක වචනයක්වත් කතා කරන්නෙපා කියලා ඩොක්ටර් කිව්වා… ඇඳෙන් නැගිටින්න තරම්වත් මහන්සි වෙන්නෙපා කිව්වා..”

“ අනේ .. ඒ මොකටද ඒ.. මාව මැරිලා යද්දෙන් .. මං ගැන වගක් නෑනේ එකෙක්ටවත් … උඹටත් නෑ ..ආම්මලාටත් නෑ ..”

“අනේ මේ මොනවාද කියන්නේ දෙය්‍යනේ…”

“ උඹ මාව දාලා ගියේ ඇයි කියලා මම දන්නවා මැණික.. මං අන්තිමේදී අම්මාගෙ කටින්ම ඒ හැමදේම දැනගත්තා ….”

පසන්ට ඉන් එහා කතාකරගන්න එක අපහ්සු වුනා. සන්දීපා ඔහුට ඇහෙන්න ඇගේ හිතේ තියෙන බොහෝ දේ කියෙව්වා. ඒ ඔහු කිසිම දෙයක් නොපවසන පොරොන්දුව එක්ක.

“ මං .. ආයේ යන්නේ නෑ … අපිට  එකතු වෙන්න බැරි වුනත්, මම … වැඩකාරියක් වෙලා හරි සර් ළඟ ඉන්නම් .. මෙහෙම අසනීප වෙලා දුක් විඳින්න එපා රත්තරන් ..”

 පසන්ගේ මුවේ කාලෙකට පස්සේ හිනාවක් වැටුණා.

ඉන් පස්සේ දෙන්නාටම උදා වුනේ ඉතාම අපහසු සති කිහිපයක්. පසන් ගේ රෝගී තත්වය ඉතාම අපහසු වුනා. වාසනාවට තිළිණිගේ සහ ඇගේ සියාගේ උදව් තිබුණා.

“ සර් … මේ .. මගේ පඩිය පොඩ්ඩක් වැඩි කරලා දෙනවාද ?..”

රෝහලෙන් පිටත් වෙලා නවාතැනට ආවාට පස්සේ තිලිණි එහෙම ඇහුවේ පසන් හිනා වෙවී ඉද්දී.

“ හරි හරි … ඕනි එකක් කරලා දෙන්නම් .. කොහොමටත් තමුසේ මගේ නෝනාව බලාකියාගත්ත විදිය දැකලා, මම තමුසේට සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් දෙන්න හිටියේ … මං කියන්නේ ජොබ් එකට අදාලව නෙවෙයි…. ඒ බේබි සිටින් කමට ..”

පසන් හිනාව අස්සෙ එහෙම කියද්දී තිළිණිත් සන්දීපාට ඇහැක් ඉඟිවරලා හිනාවුනා.

“ ඔෆිස් එකේ උන්ට දැණ්ම මෙව්වා කියන්නෝන් නෑ තිළිණි … එහෙම වුනොත් මෙයාට වැඩ කරගන්න අමාරු වෙයි ….”

පසන් එහෙම කියනකොට තිළීණි ඒකටත් හිස සැලුවා.

දවස් කිහිපෙකින් සන්දීපාගේ බෝඩිම හිස් වුනා.

සමාප්තයි.

More Stories

Don't Miss


Latest Articles