ගුවන් සේවිකාවකගේ අභිරහස් ඝාතනයේ සැබෑ කතාව

1986 අවුරුද්දේ නොවැම්බර් මාසේ දවසක, ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රාන්තයේ ජීවත් වුණු ගුවන් සේවිකාවක් දිග ගුවන් ගමනක් ඉවර කරලා ගෙදර එනවා. එයාගේ නම හෙලේ ක්‍රාෆ්ට්ස්. ඒ වෙද්දී හෙලේට අවුරුදු තිස්නවයක් විතර ඇති. එයා දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. විවාහ වෙලා අවුරුදු එකොළහක් ගත වෙලා තිබුණා.

එදාත් වෙනදා වගේම ගෙදර ආපු හෙලේට ඊළඟ දවසේ කරන්න වැඩ තිබුණා දරුවන්ගේ වැඩ ගැන හිතන්න තිබුණා. ආයෙත් රස්සාවට යන්න ලෑස්ති වෙන්න තිබුණා.

හැබැයි ඒ කිසිම දෙයක් කරන්න එයාට අවස්ථාවක් ලැබුණේ නෑ.

මොකද එදා රෑ ගෙදර ආපු හෙලේව ඊට පස්සේ කවුරුවත් දැක්කේ නෑ.

හෙලේ අතුරුදහන් වුණා. දවස් ගාණක් ගත වුණා. හැබැයි එයා ගැන කිසිම ආරංචියක් ලැබුණෙ නෑ.

යාළුවෝ එයාගේ හස්බන්ඩ්ගෙන් මේ ගැන ඇහුවා.එයාගේ නම රිචඩ් ක්‍රාෆ්ට්ස්. රිචඩ් එක වෙලාවක කිව්වා හෙලේ ඩෙන්මාර්කයේ ඉන්න එයාගේ අම්මාව බලන්න ගියා කියලා. තවත් වෙලාවක කිව්වා යාළුවෝ එක්ක ට්‍රිප් එක්ක් ගියා කියලා. ඊට පස්සේ කිව්වා එයා ඉන්න තැන දන්නේ නෑ කියලා.

මේ විදියට එක එක වෙනස් කතා අහනකොට හෙලේගේ යාළුවන්ට ලොකු සැකයක් ඇති වුණා. මොකද හෙලේ මීට කලින් හරිම බය හිතෙන කතාවක් යාළුවන්ට කියලා තිබුණා.

“ඒ තමයි මට කවදාහරි මොනවාහරි වුණොත් ඒක අහම්බයක් කියලා හිතන්න එපා” කියලා.

ඇයි හෙලේ එහෙම කිව්වේ?

අන්න ඒකට හේතුවක් තිබුණා.

හෙලේගේ විවාහ ජීවිතේ ඒ වෙනකොට සතුටින් ගත වුණේ නෑ. තමන්ගේ හස්බ්න්ඩ්ට් වෙන කාන්තාවක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා හෙලේ සැක කළා. ඒක හොයාගන්න එයා පෞද්ගලික රහස් පරීක්ශකයෙක්ගෙ උදව් පවා ලබාගෙන තිබුණා. පස්සේ ඒ සැකයට හේතු වෙන සාක්ෂිත් හම්බවුණා. ඒ නිසාම හෙලේ දික්කසාද වෙන්නත් තීරණය කරලා තිබුණා. හැබැයි ඒ තීරණය ක්‍රියාත්මක කරන්න කලින් එයා අතුරුදහන් වුණා. 

කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වුණු ගැහැනියකගේ අභිරහස 

ඔය අතරේ පොලීසිය හෙලේගේ ගෙදර පරීක්ෂා කරන්න පටන් ගත්තා. එතැනදී ගෙදර බෙඩ් රූම් එකේ කාපට් එකක කොටසක් කපලා අයින් කරලා තියෙන බව පොලිසියෙ අය දැක්කෙ. මෙට්ටයේ සැක සහිත පැල්ලම් තිබුණා. ගෙදර තිබුණු සමහර භාණ්ඩත් අතුරුදහන් වෙලා තිබුණා කියන එකත්  පරීක්ෂණවලදී ඒ පැල්ලම් වල ලේ තියෙනවා කියන එකත් හොයගන්න පුළුවන් වුණා. 

ඒත් හෙලේගේ සිරුර හම්බවුණේ නෑ.

මේ අතරේ තවත් පුද්ගලයෙක් පොලීසියට වැදගත් තොරතුරක් ලබා දුන්නා. එයා කියපු විදිහට එක උදේක ගංගාවක් ලඟ ට්‍රක් රථයක් සහ ලී කපන යන්ත්‍රයක් තිබෙනවා එයා දැකලා තිබුණා. ඒ තොරතුර ඔස්සේ පරීක්ෂණ කරපු නිලධාරීන්ට හෙලේගේ ඝාතනය ගැන හිතාගන්නවත් බැරි තරම් බිහිසුණු සාක්ෂි හොයාගන්න ලැබුණා.

අවසානයේ හෙලේගේ මල සිරුරේ ඉතාම පුංචි කොටස්, හිසකෙස් සහ දන්ත සාක්ෂි හඳුනාගන්න පොලීසියට පුළුවන් වුණා.

පරීක්ෂකයන්ගේ නිගමනය වුණේ හෙලේව ඝාතනය කරලා, එයාගෙ සිරුර විනාශ කරලා, සාක්ෂි සඟවන්න උත්සාහ කරලා තිබුණා කියන එක.

මේ අපරාධයට වගකිව යුතු බවට අධිකරණයේදී තීරණය වුණේ වෙන කවුරුවත් නෙවෙයි. එයාගෙම සැමියා. එයත් එක්ක අවුරුදු ගාණක් එකම වහලක් යට ජීවත් වුණු, දරුවෝ තුන්දෙනෙක් හදාගත්ත, ජීවිතේ බෙදාගත්ත රිචඩ් ක්‍රාෆ්ට්ස්. 1989 අවුරුද්දේදී රිචඩ් මේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වුණා.

ඔන්න ඕක තමයි හෙලේ ක්‍රාෆ්ට්ස්ගේ කතාව.

හැබැයි මට මේ කතාව කියවද්දී හිතුණේ මේ මිනීමැරුමෙ තිබ්බ බ්‍ය හිතෙන එක ගැන විතරක් නෙවෙයි.

අපි ජීවිතේ වැඩියෙන්ම විශ්වාස කරන මනුස්සයාම අපේ ජීවිතේ අනතුරට පත් කරන කෙනා වෙන්නත් පුළුවන් නේද කියන එක ගැන.

හිතන්නකෝ හෙලේ ගුවන් සේවිකාවක්. ලෝකෙ වටේ සවාරි ගහන්න පුළුවන් රැකියාවක් තිබුණු, ලෝකය දැකපු, තමන්ගේම කියලා ජීවිතයක් තිබුණු ගැහැනියක්. හැබැයි ඒ කිසිම දෙයක් එයාට සිද්ධ වුණු අපරාධය වළක්වන්න ප්‍රමාණවත් වුණේ නෑ.

හැම පවුල් ප්‍රශ්නයක්ම ඉවසන්න ඕනද? 

ඒ නිසාම මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ගෙදරක් ඇතුළේ සිද්ධ වෙන හැමදේම පවුලේ ප්‍රශ්නයක් කියලා සුළු කරලා සලකන්න හොඳ නෑ කියන එක. 

අපේ සමාජයේත් සමහර වෙලාවට ගෑනියෙක් තමන්ගේ විවාහ ජීවිතේ තියෙන ප්‍රශ්නයක් ගැන කියනකොට අපි මොනවද කියන්නේ?

“ඕවා ඉතින් පවුල් ජීවිතේ හැටිනෙ”

“පොඩි පොඩි රණ්ඩු හැම ගෙදරකම තියෙනවා”

“ළමයි ගැන හිතලා ඉවසන්න”

“ඔය තරම් දුරදිග යන්න එපා”

හැබැයි හැම ප්‍රශ්නයක්ම ඉවසලා විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. සාමාන්‍ය මතභේදයක් සහ තර්ජනයක්, බියගැන්වීමක්, පාලනය කිරීමක් හෝ ප්‍රචණ්ඩත්වයක් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි හඳුනාගන්න ඕන. මොකද ආදරේ කරනවා කියන්නේ අනෙක් මනුස්සයාගේ ජීවිතේ අයිතිය තමන්ට ලැබෙනවා කියන එක නෙවෙයි.

කසාද බැන්දා කියලා කෙනෙක්ව තමන්ට ඕන විදිහට පාලනය කරන්න අයිතියක් ලැබෙන්නේ නෑ. ඒ වගේම කෙනෙක්ට සම්බන්ධතාවයකින් ඉවත් වෙන්න ඕන වුණා කියලා ඒ මනුස්සයාට දඬුවම් කරන්න අයිතියක් තවත් කෙනෙක්ට නෑ. ආදරේ කියන්නේ කෙනෙක්ව තමන් ළඟ තියාගන්න තියෙන බලයක් නෙවෙයි. දෙන්නෙක් තමන්ගේ කැමැත්තෙන් එකිනෙකා ළඟ ඉන්න තෝරගන්න සම්බන්ධතාවයක්.

කෙනෙක් තමන්ට බයයි කියලා කියනකොට අපි ඒක අහගෙන ඉන්නවද? 

හෙලේගේ කතාවෙන් තවත් වැදගත් දෙයක් තේරුම් ගන්න අපිට පුළුවන්.

ඒ තමයි කෙනෙක් තමන්ගේ ආරක්ෂාව ගැන බයක් ප්‍රකාශ කළොත් ඒක සැහැල්ලුවෙන් සලකන්න හොඳ නෑ කියන එක.

හෙලේ තමන්ට අනතුරක් වෙන්න පුළුවන් කියලා යාළුවන්ට කියලා තිබුණා. එයා අතුරුදහන් වුණාට පස්සේ ඒ වචන මතක තියාගෙන හිටපු මිනිස්සු එයාව හොයන්න උත්සාහ කළා. ඒ නිසා කවුරුහරි තමන්ට බයයි කියලා කිව්වොත්, ඒ මනුස්සයාගේ බය ඇත්තද නැද්ද කියලා අපිම තීරණය කරන්න යන්න හොඳ නෑ.

ඒ කතාවට සවන් දෙන්න. අවශ්‍ය නම් ආරක්ෂිතව උදව් ලබාගන්න එයාට සහය වෙන්න. මොකද සමහර වෙලාවට කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳලා දෙන කෙනෙක්ටත් කලින්, තමන් කියන දේ විශ්වාසයෙන් අහගෙන ඉන්න කෙනෙක්.

අන්තිමට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි හැමෝම කැමතියි අපේ ජීවිතේට ආදරේ කරන, අපිව පරිස්සම් කරන, අපි ළඟින් ඉන්න මිනිස්සු ඉන්නවට.

හැබැයි ඒ සම්බන්ධතා අතරේ අපි අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕන. කෙනෙක්ගේ ආදරේ රැකගන්න කියලා තමන්ගේ ආත්මගෞරවය, නිදහස හෝ ආරක්ෂාව කැප කරන්න ඕන නෑ.

මොකද සම්බන්ධතාවයක් ඇතුළේ ඔයාට හැමදාම බයෙන් ජීවත් වෙන්න වෙනවා නම්, ඒක ආදරේ නමින් සාධාරණීකරණය කරන්න ඕන දෙයක් නෙවෙයි.

හෙලේගේ ජීවිතේ අපිට ආපහු දෙන්න බෑ. හැබැයි එයාගේ කතාවෙන් අපිට දෙයක් ඉගෙනගන්න පුළුවන්.

ඒ තමයි අපි ආදරේ කරන මිනිස්සුන්ගේ වගේම, අපේම ජීවිතවලත් ආරක්ෂාව සහ නිදහස කොච්චර වටිනවද කියන එක.

මොකද ආදරේ කියන්නේ ජීවිතේ ලස්සන කරන්න තියෙන දෙයක් මිසක්, ජීවිතේ නැති කරන්න කාටවත් ලැබෙන අවසරයක් නෙවෙයි.

Related Articles

Don't Miss


Latest Articles