එහෙත් නිසල් දුරකථනය ක්‍රියා විරහිත කරගෙන ය. හදවතට දැනෙන අපහසුව සහ වේදනාව ලෝචනාගෙන් සඟවන්නට තැත් දරමින් මම දවස අසීරුවෙන් ගෙවා දමමින් හුන්නෙමි.
“නිසල් දවස් කීපයක් නිවාඩු අරන්ලු. දැන් ඉතිං වැඩියෙන් බර ඇදපංකො..”
භාතිය එසේ කියාගෙන පැමිණියේ ය.ඕපාදූපය දැන ගන්නා රිසින් අපි ඔහු වටා රොක් වුණෙමු.
“එච් ආර් එකෙන් කිව්වෙ. ඌ මේල් එකක් දාලා. හේතුවක් මොකුත් දන්නෙ නෑ..”
භාතිය කියන්නේ එහෙම කතාවකි.
“හැමෝටම හිනා වෙලා කතා කරලා හිටියට අපි උගෙ ගැන කිසි දෙයක් එහෙමකට දන්නෑනෙ..”
තව හඬක් මතු විණි.කිසිවක් කියන්නට වචන සොයා ගත නොහී මා දවසම ගෙව්වේ නොසන්සුන් ව ය.රෑ අටට පමණ ඔහුගෙන් ඇමතුමක් එනතුරුම මා හුන්නේ නොසන්සුන් ව ය.
“කොහෙද ගියේ නිසල්. අපි කොච්චර කලබල වුණාද?”
දුරකථනයට පිළිවදන් දුන් වහා මා කළේ කෑගැසීම ය.
“මට ටිකක් තනියෙං ඉන්න ඕන උනා පවී..” නිසල්ගේ හඬ වෙනදා මෙන් ජීවයෙන් පිරී නැත.ඔහු හිඳින්නේ ගැටලුවක ය. මගේ කෙළවරක් නැති අදෝනා ඔහු සමඟ බෙදා ගන්නා මට සැබෑවටම ඔහු ගැන අසන්නට සිහිව නැත.
“ඇයි නිසල්…”
ඔහු සෙමින් කතාවට එළඹිණි.ඕනෑම ප්‍රේමවන්තයෙකු සේ ඔහු ද “එයාගෙ ගෙදරින් කැමති නෑ..” යන මහා බාධකයට පැමිණ ඇත. වඩා නරකම කාරණය ඇය දෙමාපියන්ට කීකරුව ඔහු අතැර දමන්නට සූදානම් වීම ය.අත නෑර සියල්ල දරා නොගෙන ඇය නිසල්ට ඈ අමතක කරන්නැයි ඉල්ලීම ය.
“අපි එයාට ටිකක් කල් දෙමු…” මා එහෙම කියද්දී නිසල් සමච්චල් සිනාවක් නගන හඬ ඇසිණි.ඔහු කියන අන්දමට ඒ යෞවනිය කුලයට ගැලපෙන තරුණයෙකු හා විවාහයට කැමැත්ත දී අවසන් ය.
“ඔයා හිත හදා ගන්න බලන්න නිසල්..” මේ ඔහු සමඟ දුක් විය යුතු මොහොතක් වුව ද මේ යැයි තේරුම් ගත නොහැකි ප්‍රීතියක් මගේ හදවත තුළ පෙරළි කරද්දී මම අසීරුවෙන් කියා ගතිමි.
“බලමු..ට්‍රයි කරන්නං..කෝ සීනු…”
ටිමී සමඟ ඉවරයක් නැතිව දඟලන සීනු කැඳවාගෙන මම නිසල්ට වීඩියෝ ඇමතුමක් ගතිමි. දන්නා හඳුනන ඕනෑ අයෙකු සමඟ බෙදා ගන්නට ඈට දැන් ටිමී පුවත් ඇත. ඒ කතාබහට ඉඩ දී පසෙකට වී හිනැහෙමින් හිඳින්නට මම වග බලා ගතිමි.
“දැං හිතට හොඳයි නිසල්.. සීනුගෙ හිනාව දැක්කනෙ..”
ඇමතුම අවසන් කරන්නට පෙර මම ඇසීමි. ඔහු කිසිත් නොකියා සිනාසුණේ ය. එහෙත් ඇමතුම අවසන් ව මිනිත්තු ගණනකට පසු ඔහුගෙන් කෙටි පණිවිඩයක් පැමිණියේ ය.
“සීනුගෙයි අම්මිගෙයි හිනාව දැක්කම හිතේ අවුල් අමතකයි. අපි හෙට මීට් වෙමු.මම ඔෆිස් එන්නම්..”
සිදු නොවිය යුතු යමක් සිදු වෙමින් පවතින බව පැහැදිලි ය.නමුත් ඒ සිදුවීමට ඉඩ දිය යුතුයැයි මගේ හදවත මගෙන් මුරණ්ඩු ලෙස ඉල්ලා සිටියි. ආදරය නැති කුටුම්භයක තනිව ගිය මට කාලාන්තරයකට පසු නිසල්ගේ වචනයෙන් නොකියන ප්‍රේමය දැනෙමින් පවතී. ඔහු එය හෙළි කරන්නට සූදානම් නම් පිළි නොගෙන සිටින්නට කාරණා නැතැයි මගේ හිත මට පවසන්නේ තදිනි.මේ කිසිවක් ලෝචනා සමඟ බෙදා ගන්නට නොහැක. ඈ යහපත් භාර්යාවක වී සියල්ල දරා ගැනීම ගැන දේශනයක් පවත්වනවාට සැක නැත.
නිසල්ගේ හමුවීම ද අප වඩා සමීප වීම ද අතිශය අහම්බයකි. කාර්යාලයේ ඕනෑම අයෙකු සමඟ හොඳහිත පවත්වාගෙන යන මා නිසල් ද හඳුනා ගත්තේ හොඳ මිතුරෙකු ලෙස ය.එහෙත් ලෝකයට නොපෙන්වා මා කටුවක් තුළ රිංගා ගත් ගැහැනියක බව අවබෝධ කර ගත්තේ ඔහු ය. මට යළි හිනැහෙන්නට ඔහු උදව් දෙන්නට ගත්තේ ඉතා අහඹු ලෙස ය.ජීවිතය තුළ ඔහු ද අතරමං ව විය මොහොතක හිනැහෙන්නට නම් මගේ සිනාව දකින්නට අවශ්‍ය බව ඔහු සිතන්නේ නම් මේ දෛවය මට පිරිනමන තවත් අවස්ථාවක් නොවන්නේදැයි මම සිතන්නට ගතිමි.
සංකල්ප කාමරයට එබුණේ ඒ මොහොතේ ය. ඔහුගෙන් අසන්නට යමක් මට විණි.
“සංක,මං වෙන කාට හරි ආදරේ කරන්න ගත්තොත් ඔයා මාව ඩිවෝස් කරනවද?”
සංකල්ප හිනැහුණේ පරිස්සමිනි.අනතුරුව මගේ හිස පිරිමැද ඔහු කීවේ මා කිසිසේත් අපේක්ෂා නොකළ යමකි.
“මං දන්නෑ ඔයා මට ආදරේද කියලනං පවී. හැබැයි ඔයා දැනටත් ආදරේ දේවකටනෙ. මං ඒකට ඔයාට මොකුත් කියන් නෑනෙ. ඒක අමතක කරන්න බැරි ආදරයක් කියල මං දන්නවා.ඒක දැන ගෙන තමයි මං මේ ඔයාට ආදරෙන් ඉන්නෙ…”
නමුත් සංකල්ප නොදත් යමක් සිදුවෙමින් පැවතිණි.දේවකට මගේ හදවතේ ඇති සුවිසල් ඉඩ ද ක්‍රමයෙන් උදුරා ගනිමින් නිසල් මට ළං වෙමින් සිටියේ ය.