ඔබට ඇහෙනවනම් – 2

0
1193

වීදුරු කුටිය සීතලෙන් සීත වී තිබුණේ ය. පිටත තවමත් වැහි මන්දාරමයි. හෝරා ගණනාවක් තිස්සේ ඇද හැළුණ වර්ෂාව සහ වායු ගෝලය කැළඹවූ සුළඟ නිසා ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක  පැවතිණ. ඒ මදිවාට වායු සමීකරණ යන්ත්‍රය කාර්යාල පරිශ්‍රය තුළට සීත වායුව පොම්ප කරමින් සිටී. ඔය වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කර දමන්නට මට සිතී ඇති වාර ගණනෙහි නිමක් නැත. නමුත් එය මධ්‍ය වායු සමීකරණ පද්ධතියක් නිසාවෙන්, මගේ කුටියෙන් ක්‍රියා විරහිත කිරීම තුළ ගැටළු රැසක් මතු වේ. 

බොහෝ අවස්ථා වල සීතල වැඩි කමට මගේ අතැඟිලි වල නියපොතු දම් පැහැයකට හැරී තියේ. සීතලට ගල් වී මිය යාම ගැන එවන් අවස්ථාවක මම හීන දකිමි.

නමුත් එහෙවු සිසිලසක් තුළ දී ත් මේ මොහොතේ මට දාහයක් දැනිණ. උඩු තොල මත්තේ ඉසිහින් දා බිඳු පෙළක් මතු වී ඇති බවක් මට දැනිණ. කෙසේ වෙතත් මම සීත වායුව උනන්දුවෙන් ආඝ්‍රාණය කළෙමි. ඒ, එහි අලුත් සුවඳක් තැවරී තිබූ නිසාවෙනි.

කුලාන් ළඟින් විහිදුණ සුවඳ! 

ඒ පිරිමි විලවුන් සුවඳ මන්මත් කරවන්නකි. ඔහු හැඳ උන් අත් දිග කමිසය ලා අළු පැහැයක් ගති. කමිස සාක්කුවෙහි රත්රන් පැහැති වටිනා පෑනක් රැඳී තිබුණේ ය. මම යන්තම් නෙතු ඔසවා ඔහු දෙස බැලීමි. මගේ ඇස්, කොටියෙකු ගේ ග්‍රහණයට පත් මුව දෙනක සේ ඔහු ගේ ඇස් වලට හසු විය.

“හරි චණ්ඩියෙක් නේ…”

මම ඉක්මනින් බිම බැලුවෙමි. ඔහු ගේ මූණ පුරා වැවී ඇති, හරි පරිස්සමට කැපූ රැවුල නිසා ඉමහත් පිරිමි පෞරුෂයක් කුලාන් ට හිමි යයි ඒ අව්අස්සේ මගේ සිත කෙඳිරී ය.

“හැබැයි ඉතිං ඔය චණ්ඩිකං ඉවර වෙන්නෙ හරි හමං තැනකිං පනිෂ් වෙච්ච වෙලාවක තමයි”

“සොරි සර්…”

“සොරි කිව්වහම ඔක්කොම හරි කියලද හිතන්නෙ…”

මම ගැස්සී ගියෙමි. ඔහු එසේ කීවේ උදේ මඩ වතුර විසි වූ වෙලාවේ මා සැර කළ රිද්මයෙන් ම ය. ඒ කළේ විහිළුවක් දැයි බලන්නට මම හිස නගා බැලීමි. නමුත් කුලාන් ගේ වත මත සිනහ බිඳකුදු වූයේ නැත. 

“දැං…මොකද මෙහෙ සේල්ස් වල තත්වෙ…”

“සේල්ස්නං ඇත්තටම හොඳයි සර්. අපේ පත්තර තමයි මේ දවස් වල මාකට් එකේ පීක් එකේ තියෙන්නෙ. ඒත් මන්නං හිතන්නෙ සේල්ස් තව වැඩි කර ගන්න පුළුවන් සර්. හැබැයි ඉතිං එඩිටෝරියල් එකෙනුයි සර්කියුලේෂන් එකෙනුයි කියන විදිහට ප්‍රමෝෂන්ස් වලිං විතරක් ඒක කරන එක සාර්ථකයි කියල මං හිතන්නෑ”

ගිරා පෝතකයෙකු සේ මම කියවාගෙන ගියෙමි. කුලාන් නිසොල්මනේ බලා සිටියේ ය. මා නතර කළ තැනින් අරඹා ඔහු කෙටි ප්‍රශ්නයක් ඇසුවේ ය. 

“ඇයි…”

ඒ ප්‍රශ්නයෙන් මා වඩ වඩාත් උනන්දු වෙන්නට ඇත.

“මාළු කාරයෙක් වුණත් මාළු මාළු කියල කෑ ගගහ යන එක ප්‍රමෝෂන් එකක්නෙ සර්. එතකොට තමයි මිනිස්සු දැනගන්නෙ මාළු කාරයෙක් එනව කියල. කට්ටිය වට වෙලා එතකොට මාළු ගන්නව. සේල්ස් වෙනව. හැබැයි ඒ මනුස්සයගෙ මාළු හොඳ නැත්තං…නරක් වෙලානං…අයිස් වල තිබ්බ පරණ මාළු නං…ඊළඟ දවසෙදි සේල්ස් අඩු වෙනවමනෙ සර්. ඒ වගේ…අපි පත්තර වලට පබ්ලිසිටි දීපු ගමං සේල්ස් වැඩි වෙනව. පැත්තක ඉන්න පත්තරේ නොකියවපු අයත් ඇවිත් පත්තරේ ගනියි. මෙච්චර පබ්ලිසිටි දෙන්න මේකෙ මොනාද තියෙන්නෙ කියල බලන්න. ඒත් එයාලව දිගටම රඳෝගන්න දෙයක් ඒකෙ නැත්තං අර ප්‍රමෝෂන්ස් යූස්ලස් වෙනවනෙ සර්. ඒකයි මං කියන්නෙ ආයෙ පබ්ලිසිටි කරන්න කලින් අපි පත්තර වල ගුණාත්මක බව වැඩි කරන්න ඕන දේවල් කරල ඉන්න ඕන කියල”

“හ්ම්”

“ඕන දේක ඇති වීම, වර්ධනය සහ විනාශ වීම කියල තුනක් තියෙනවනෙ සර්. බුදු හාමුදුරුවොත් දේශනා කරපු ධර්මයෙ තියෙන දේ තමයි ඒ. බිස්නස් එකකදි අපි වග බලා ගන්න ඕන අර වර්ධනය පවතින කාලය දීර්ග කර ගන්න එක ගැනයි”

“ඕකේ ඕකේ”

මගේ කියවිල්ල නතර වන පාටක් නැත කියා සිතුනයින් ද මන්දා කුලාන් මාර්ග බාධකයක් යෙදුවේ ය. මඳ ලැජ්ජාශීලී බවක් මා තුළ ඇති නො වුණා ම නොවේ. නමුත් මේ ටික කියා ගන්නට ලැබුණ එක මගේ හිතට නිදහසක් විය. ප්‍රචාරණය සඳහා වෙන් කරන්නට නියමිත විශාල මුදලක් අපතේ යාම වැළැක්වීම මේ වෙලාවේ ආයතනයේ සේවකයෙකු වශයෙන් මගේ යුතුකම වූයේ ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 39

“මං හිතන්නෙ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනව. ඒ වගේම කරන්නත් බොහොම හුඟක් දේවල් තියෙනව. බලමුකො…ම්…”

කියාගෙන කුලාන් අසුනෙන් නැගිට ගත්තේ ය. ඔහු අනුව මමත් නැගිට්ටෙමි. ඒ ඇස් මගේ තෙත ඇඳුම් මත නතර වෙනු මා දුටුවේ ඉනික්බිති ය. ග්ලැසියරයක් තුළට කිඳා බසිනවා බඳු, දරා ගන්නට අපහසු සීතල හැඟීමක් මා ගිල ගන්නට වූයේ ය.

“අයිම් රියලි සොරි. ඇත්තටම සොරි”

ග්ලැසියරයෙහි මා ගිලී යත්දී ඔහු නික්ම ගියේ ය. ගිනුම් අංශයෙහි අශිකා කියුබිකල් එක තුළට රංගා ගත්තේ, මා ඒ අපූරු ග්ලැසියර ලෝකයෙහි කිමිදෙමින්, ශීතල තුළ උණුහුම හොයමින් සිටිනාතර ය.

“පොඩි සර් මා…ර හැන්ඩ්සම් නේ…”

මම අශිකා ගේ ඇස් වල එල්ලී ග්ලැසියරයෙන් ගොඩ ආවෙමි.

“ආ…”

“නෑ මං කිව්වෙ…මෑන් හැන්ඩිය නේ…අකවුන්ට්ස් ඩිපාට්මන්ට් එකේ කෙල්ලො දැනටමත් පිස්සු වැටිල. ඉන්දියන් ඇක්ටර් කෙනෙක් වගේනෙ. රැවුල….වාව්…”

“පිස්සුද නැත්තං හැටිද ආ…”

“හරි ඉතිං. දුටු සතුටු විතරනෙ. මොකද ඔය රැවුල් කොට ඇනෙන කිස් එකක්…”

“අශී”

මම තරමක් තදින් කීවෙමි. ඕ වහා කතාව නතර කළා ය.

“බිත්ති වලටත් කන් තියෙන්න පුළුවන්. අනිත් එක හැන්ඩ්සම් කොල්ලන්ට කෙල්ලො හැම තැනම කියල අමතක කරන්නෙපා. ඒ ගොල්ලංගෙ හොබි එක තමයි මේ වගේ මෝඩ කෙල්ලො පිස්සු වට්ට වට්ට…එක පාර දහ පාළොස් දෙනෙකුට ලවු කරන එක.ඈක්. බඩ දඟලනව මටනං”

එවන් අප්‍රසන්න තාවක් මට දැනුණේ කසුන් සිහිපත් වූ නිසාවෙනි. මගේ විවාහක පුරුෂයා වූවාට, පාලනයක් නැති හිතක හිමිකාරයා වූ ඔහු ට පෙම්වතියන් කිහිප දෙනෙකු ම සිටින බව පසු කලෙක මට දැන ගත හැකි විය.

කුලාන් ගේ ආගමනය එදා දවස තුළ කාර්යාල කඩි ගුල අවුස්සන ලද හේතුවක් වී තිබිණි. මා නම් උනන්දුවෙන් සිටියේ එළඹෙන්නේ සෙනසුරාදා, මගේ පුතු ගේ සුරතල් විඳ ගන්නට මට ඉඩ ලැබෙන දා වන නිසාවෙනි.

හැන්දෑව අඳුරට හැරෙත්දී මා බසයෙන් බැස ගන්නා විට තාත්තා බස් නැවතුමෙහි බලා සිටියේ ය. මගේ හදවත හෝස් ගා දැවිණි. මා වූ කලී වතාවක් විවාහ වී දරුවෙක් ද ලැබ දැන් නීතියෙන් දික්කසාද වී සිටින ගැහැනියකි. නමුත් පාසල් වියෙහි දී උපකාරක පන්ති ගොස් පමා වී පෙර මගට එන හැඟීමෙන් ම අදත් ඔහු නො වෙනස් ව මා වෙනුවෙන් මග බලයි.

“අනේ ඉතිං තාත්ත ඇයි පාරෙ රස්තියාදු වුණේ…මට එන්න පුළුවන් නෙ”

“එන්නනං පුළුවන් තමයි. ඒත් මේ රෑ වෙලා…”

“මං බය නෑ තාත්තෙ”

“ඒත් මං බයයි. ඔයාගෙ ඔය බය නැති කමට මං වැඩියෙං බයයි”

පාර මැද බිම වැටී කෑ ගසා හඬන්නට මට සිතුණේ ය. තාත්තා සිය ඇස් දෙකේ තියා ගෙන හැදු දියණිය ගේ අත ගෙන ගිය ඉලන්දාරියා අතර මගක දී ඒ අත අත්හළේ තාත්තා ගේ පපුවට පිහියෙන් අනිමින් බව මා නො දන්නවා නොවේ. නමුත් මට ඕනේ දික්කසාදය කිසි සේත් මා වේදනාවට පත් නො කළ සිදුවීමක් බව තාත්තා ට සහ අම්මා ට  හඟවා ගෙන සිටින්නට ය. මේ සියල්ල ඇරඹුණු ඒ ගිම්හාන රාත්‍රිය කිසි සේත් මට අමතක වෙන්නේ නැත.

“මට ඩිවෝස් එක ඕනෙ”

කසුන් එහෙම කී වෙලාවේ සත්තකට මා සිතුවේ ඔහු විහිළුවක් කරනවා කියා ය. අපතර මට කොහෙත් ම වටහා ගත නොහැකි බිඳ වැටීම් සිදු වෙමින් පැවතිය ද එය දික්කසාදයට යන පාර යයි මා දැන සිටියේ නැත. කසුන් මට රහසේ ම ඒ පාර කපමින් සිටි බව මා තේරුම් ගත්තේ ත් පසුව ය.

“විහිළුවක් නෙවෙයි නිම්නා. අපිට තවත් එකට ඉන්න බෑ. අපි තවත් එකට ඉන්න එකේ තේරුමකුත් නෑ”

“මං…එහෙනං…තාත්තට කියන්නද…”

ඒ හුස්ම හිර කරවන මොහොතේත් මට සිහි වූයේ තාත්තා ය. කසුන් මා ව සිය නිවස්නෙන් එලෙව්වාට තාත්තා ඕනෑ ම මොහොතක මා භාර ගන්නට සූදානමින් හිඳින බව මගේ හදවත දැන ඉන්නට ඇත.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 27

ඒ අසීරු මොහොතේ තාත්තා ඉකි ගසා හැඬුවේ ය. ඔහු තරම් වෙනත් කිසි පිරිමියෙකු කිසි දා මා ගැන නො හිතනු ඇති බව මම ප්‍රත්‍යක්ෂ කොට ගතිමි.

“මං ඔය බල්ලව මරණව”

“කසුන් ව මරල තාත්ත හිරේ යයි. වෙන කිසි දෙයක් වෙනස් වෙන්නෑ තාත්තෙ. ආයෙ එයා ඇවිත් මගෙ කකුල් දෙක ළඟ වැටිල කතා කළත් මං එයා ළඟට යන්නෑ. මට එයා එපා එපාමයි”

ඒ දරුණු තුවාලයකි.  තුවාල සුව වූවත් රිදුම් සුව නො වනු ඇති බව මම දැන සිටියෙමි. නමුත් හිත හයිය කර ගෙන හිස කෙළින් තියා ගෙන ඉන්නට දැඩි ලෙස මට ඕනෑ විය. කසුන් මා ප්‍රතික්ෂේප කළේ ඇඟිල්ල දිගු කොට පෙන්විය හැකි කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ය. ‘අපි ගැලපෙන්නෙ නෑ’ යන්න පමණකි ඔහු ට ඉදිරිපත් කළ හැකි හේතුව වූයේ. මා ප්‍රතික්ෂේප වන තැනෙක තව දුරටත් මා රැඳී සිටිය යුතු ද? නැත කියා ම ය මගේ හදවත කෑ ගසා කීවේ. එනයින් මම හිතට එකඟ ව යළි තාත්තා වෙතට ආවෙමි. තාත්තා දුකෙන් මුදවනු වස් දුකක් නෑ වගේ රඟමි. පුතු අහිමි කරනු ලැබූ තුරුණු මවක වශයෙන් මගේ ළය කකියන තරම අහස සක්වල කිසිවෙකු දන්නේ නැත. මේ ඇස් වලින් ගිලිහී වැටෙන කඳුළු වල ලුණු රස ගැන වුව දන්නේ මගේ කොට්ටයත් රාත්‍රී අන්ධකාරයත් පමණකි.

“අද රෑ වෙනකල් වැඩ තිබුණද පුතේ…”

තාත්තා බිඳුණු හඬකින් ඇසුවේ ය.

“ඔවු තාත්තෙ. මේ දවස් වල ඔෆිස් එකේ ටිකක් ප්‍රශ්න වැඩියි. මං මේ කල්පනා කර කර ආවෙත් ඒ ගැන තමයි”

ඒවා මගේ ප්‍රශ්න නොවී ඔෆිස් එකේ ප්‍රශ්න වීම තාත්තා ට සැනසුමකි.

“මං චුට්ටක් රෑ වුණාට තාත්ත අම්මව තනියම දාල එන්නෙපා”

“අම්මට ඉන්න පුළුවන් කිව්ව. යන්තං බිං කළුවර වැටුණ වෙලේ ඉඳං අම්ම තමයි පාරට යන්න යන්න කිය කිය මට මතක් කරන්නෙ”

අප එකිනෙකා ගේ තුවාල පිරිමදිනවා නොවේ ද? අපේ රිදුම් එකිනෙකාගෙන් සඟවමින් අපි අනුන් ගේ සුවය අපේක්ෂා කරමින් සිටින්නෙමු. ඉරණම මේ සා අපව රිදවන්නට හෝ අපෙන් පළි ගන්නට හේතුවක් මට සිතා ගත නො හැකි ය. මේවා දිට්ඨ දම්ම වේදනීය කර්ම නම් නොවේ. මේ අත් භවයේ නම් දැනුවත් ව අපි කිසිදු වරදක් කර නොමැත්තෙමු. නමුත් පෙර අත් භවයන් හි සිදු කළ අකුසල කර්ම ද මේ භවයේ දී විපාක දිය හැක. අපි එක ගොඩේ වැටී එක ම පාප කර්මයකට හවුල් වන්නට ඇත. මෙසේ ඒ පවු කෙළවර වීම ගැන එක අතකට අපි උපේක්ෂා සහගත විය යුතු නො වන්නෙමු ද? 

අම්මා රෝද පුටුවෙහි හිඳ පෙර මග බලා උන්නා ය. ආතරයිටිස් රෝගයෙහි උච්ච අවස්ථාවකට එළඹ සිටින අම්මා ට දැන් දෙපයින් ඇවිද ගැනීම ද දැඩි වේදනාවක් ගෙන දෙයි. වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ ඇගේ දෙදණහිස් බද්ධ කළ යුතු බවයි. නමුත් ඒ සඳහා වන රජයේ රෝහල් පෝලිම ඉතා දිගු ය. අම්මා ව පෞද්ගලික රෝහලක දී සැත්කමට බඳුන් කරන්නට තරම් ඉතිරි කර ගත් ධනයක් තාත්තා සතු නොවීමේ අවසනාව දැන් අපි භුක්ති විඳිමින් සිටිමු.

මා දුටු අම්මා ගේ වත මත සැනසුම් සිනහවක් ඇඳිණි. එක අතකට මගේ දික්කසාදය දෙවියන් ගෙන් ලද තිලිණයක් ලෙස නො ගැනිය හැකි ද? මේ අයුරින් හෝ අම්මා හා තාත්තා ගේ සැඳෑ සමයේ දී, අසරණ ව අහස දෙසට නෙතු යොමා හිඳින ඔවුන් සමීපයේ මෙලෙසින් මට හිඳින්නට ලැබුණේ දෙවියන් ගෙන් ලද ඒ අනුකම්පාව නිසා යි නො සිතිය යුතු ද?

මගෙන් බරැති සුසුමක් ගිළිහිණි. අම්මා හා තාත්තා උනුන් ගේ හැඟීම් සඟවා ගත් මුහුණු දෙස බලා ගත්හ.

“සැනසීමයි. හෙටයි අනිද්දයි නිවාඩුනෙ”

මම ඉක්මන් කොට කීවෙමි.

4.8 4 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments