“හසරැලි දැන් ඉස්සරට වඩා හරිම වෙනස්..”
සීනුගේ පෙරපාසල් ගුරුතුමිය දිනක් මට පැවසුවේ මා පුදුමයට පත් කරමිනි.තිසුරිගේ ගැටලු කාලයේ මට පෙර පාසල තිබෙන දිසාවකටවත් යන්නට ඉඩකඩක් වූයේ නැත.පාසල් වෑන් රථයෙන් ඈ එහි ගිය අතර දිවා කාලයේ ඇය බාර ගත්තේ නීතා ය.ඉතින් ගුරුතුමිය පවසන දේ අසද්දී මට බියක් දැනිණ.කරදර අහවර වන්නේ ම නැති ද?
“බයක් වෙන්න දෙයක් නෙවෙයි. හසරැලි දැන් හරි ඇක්ටිව්. ඉස්සර තමන්ගෙ පාඩුවෙ ඉන්න තමයි බැලුවෙ.. යාලුවො එක්ක මුහු උනේ නැතිම තරම්.. දැන් එහෙම නෙවේ. හරි දඟයි.. ඔක්කොම දඟ වැඩ වල මුල එයත් ඉන්නව.. ස්ටඩීස් ආසාවෙන් කරනවා..”
සීනු මුළුගැන්වෙනසුළු දැරියක බවට ගුරුතුමියගෙන් මට පැමිණිලි අනන්තවත් ලැබිණි.ඇය දැඟලිලිකාර දැරියක නොවේ.අහිංසක මල් පෙත්තකි.එනිසා සීනුගේ පිළිවෙළ වෙනස් කරන්නට මට ඕනෑ වූයේ නැත. නමුත් ඈ තුළ ද දඟකාර දැරියක හිඳ ඇති බවත් ඈ මතුව ඇති බවත් දැන් මට දැන ගන්නට ලැබී තිබේ.සංකල්පටත් මටත් අප දෙදෙනා මඟ හැරුණු තරමටම සීනු ද මඟ හැරී ගොස් බව මට වැටහෙන්නට පටන් ගෙන තිබිණ.
“ජීවිතේ කිසිම දේකට අපි පරක්කු නෑ පවී.. ඔයාලා තුන්දෙනාම ඔයාලගෙ ලෝක තුනක ජීවත් උනා.. ඔයාට කොච්චර ආදරේ දුන්නත් ඒ ආදරේ බාර නොගත්තම සංක තීරණේ කරන්න ඇති තමන්ගෙ පාඩුවෙ ඉන්න..අම්මයි තාත්තයි අතර තියෙන නෙගටිව් වයිබ්ස් සීනුටත් එන්න ඇති.. ඔයා නොදැනුවත්වම ඒක තමයි වෙලා තියෙන්නෙ.. ඒත් හදිසියේ හරි ඔයා ආපහු පවුලට හැරුණනෙ”
චාරුනී මට මහත් ආදරයකින් පැවසුවා ය.ලෝචනාව හැකි සෑම විටම සතුටින් තබන්නට කිසිම ගැටලුවක් ඇගේ හිස මත නොතියා හිඳින මට ඒවා බෙදා ගන්නට දැන් හිඳින හොඳම මිතුරිය චාරුනී ය.
“මගේ අවබෝදෙ වැරැද්දක් තමයි තිබ්බෙ. සංක තාමත් රෑ වෙනවා. ඒ ජොබ් එකේ විදියනෙ..සමහර වෙලාවට රෑ වෙලා ගෙදර එන සංකට නිදා ගන්න නොදී මං අවුරුදු ගණන් පරණ ඕපදූප කියව කියව ඉන්නවා..ඒවා ඉවර කරල නිදා ගන්න හදනකොට සීනු නැගිටිනවා..එළිවෙනකං ඇහැරලා එතකොට..ඒත් සංක වෙනදා වගේ මිග්රේන් ගැන කියන්නේ නෑ..හිනා වෙන්න අමතක වෙලා හැසිරෙන්නෙත් නෑ ..”
සිනාවක් සහිතව කියවාගෙන ගියාට මගේ ඇතුළු හදවත වේදනාවෙන් වැළපෙමින් තිබිණ.මගේ ආදරය නොලැබී ද මට ආදරය කළ මිනිසා මොනතරම් දරුණු ලෙස මා අතින් ප්රතික්ෂේප වී තිබේ ද?
“දැන් ඇහැරල ඉන්නෙ ඔයාලත් එක්කනෙ..ඔයාල නිදි අතරේ ඉස්සරත් එයා ඇහැරගෙන කල්පනා කරන්න ඇති.කල්පනා කර කර ඉන්න එකයි හිනා වෙවී ඉන්න එකයි දෙකක් නිසා දැන් සංකට මිග්රේන් එන්න හේතුවක් නෑ..”
ආදරය ඔසුවකි.රිදුණු,බිදුණු, පෑරුණු හදවත් සනසන ඔසුවකි. ඒ ආදර ඔසු බදුන දේවකගේ වියෝවෙන් පසු පෙට්ටගමකට දා අගුලු දැමූ මම ජීවත් වූයේ ආදරය අමතක කර දමමිනි.කුඩා සුළං රැල්ලක පවා සතුට සෙවූ, අහසේ විවිධාකාර ඡායාරූප ගන්නට පැය ගණන් උඩ බලමින් දැඟලූ කෙල්ලක හදවතට මිය යන්නට හැර ජීවත් වීම ඇරඹුවා ය.හිත හදා ගන්නට කාලයක් ලැබී ඉන්පසු සංකල්පට මගේ ලෝකයට එන්නට ඉඩ හැරියා නම් ඔහු දේවකට තිබෙන හොඳම ආදේශකය බව මා නොසිතා ඉන්නේ නැති බව දැන් මට සහතික ය.
“මං දෙයක් කියන්න ඔන්න මා එක්ක තරහ වෙලා ආයේ ප්රශ්නෙ මුලටම යන්න බෑ හරි ද?”
චාරුනී සිනාවතකින් ම මගේ අතක් අල්ලා ගත්තා ය.මම හිස වැනීමි.
“සීනුට අවුරුද්දක් විතර කාලෙ මට දවසක් සංක කතා කරා. එතකොට මට යුගාව මීට් වෙලත් නෑ..”
එවගක් මා දන්නේ නැත.නමුත් සංකල්ප ඇයට ආදර යෝජනාවක් කළ ද මා අහිතක් නොසිතා සිටිය යුතු ය.ඔහු හැරුණ ද මගෙන් බොහෝ බැනුම් අසා ගත් ඒ කාලයේ ඔහුට මා අතැර දමන්නට ඕනෑවටත් වඩා හේතු තිබිණ.
“ඔයාගේ හැසිරීම් ගැන එයා මාත් එක්ක ගොඩක් වෙලා කියෙව්ව…මම ආදරේ කරපු මනුස්සයට දුක් දෙන ඔයා ගැන වෙන ඕනෑම ගෑනියෙක්ට වගේ මටත් ආවේ කේන්තියක්.මං එයාට කිව්ව ඩිවෝස් වෙන්න කියල.. සීනුට අම්ම කෙනෙක් වෙන්න ඇත්තටම මට පුලුවං කියල මට හිතුණා.ඒක නොකියා මං කිව්වා ඩිවෝස් වෙන්න කියල..”
මට චාරුනී ගැන අහිතක් දැනුණේ නැත.තමා ආදරය කළ මිනිසාට මානසික පීඩාවක් ව හිඳින ගැහැනිය ගැන ඇයට කොපමණ අපුලක් දැනෙන්නට ඇත්දැයි මම වේදනාවෙන් සිතුවෙමි.
“සංක මට දේවක ගැන කිව්ව..ඔයාගෙ වේදනාව ඇත්ත, ඔයා හැසිරෙන ආවේගෙ එයාට තේරෙනව කියල කිව්වා. ඇත්තටම ඒ කාලෙ ඔයාට කවුන්සිලින් ලැබුණනං හරි..ඔයා ඒකට කැමති උනෙත් නෑනෙ..ඔයා ජීවිතේ නැති කර ගනියි වගේ බයක් මිසක් සංකට කවදාවත් ඔයාව එපා උනේ නෑ..ඔයා කවදහරි එයාට ආදරේ වෙයි කියල එයා බලන් හිටියා..”
මට අඬන්නට ඕනෑ විය.චාරුනීගේ උරහිස ඉතා ඉක්මනින් මා දරා ගත් අතර මම බොහෝ වෙලාවක් ඉකිබිඳ හැඬුවෙමි.
“යහපත් අරමුණක් කවදාවත් දිනන්නෙ නැතුව ඉන්නෙ නෑ පවී..සංකගෙ යහපත් අරමුණ දිනල ඉවරයි. දේවකගෙන් පෑරුණු හිත සනීප කරන්න එයාට ඕන උනා..එයයි පුංචි සීනුයි දැන් ඒක කරල ඉවරයි. දේවකගෙ ආත්මෙටත් දැන් හරි සැනසිල්ලක් දැනෙනව ඇති නේද?”
මම අහස දෙස බලා හුන්නෙමි.දීප්තිමත් නිල් අහස සුර ලොවක් බඳු ය.නොපෙනෙනා ඈත දෙව් ලොවක කුඩා සතුන් වට කරගෙන හිඳින සන්සුන් තරුණයෙකු මගේ සිතෙහි ඇඳී මැකී ගියේ ය.ඔබ ඔතැන සතුටින් හිඳිය යුතු බව ඔහු මට පවසන්නාක් මෙනි.
දේවක,මම සතුටින් හිඳින්නට තීරණය කළෙමි.