fbpx

මන්දාරම් හැන්දෑවක – 1

යාල්දේවි දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වූයේ උදෑසන එකොළහේ හෝරාව ලබන්නට ඔන්න මෙන්න තබා ය. දුම්රිය අසුනක කෙළවරේ ගුලි වී හුන් මේඝා දනිපනියේ දුම්රියෙන් බැස ගත්තා ය.වෙනත් ඕනෑම දිනයක නම් මේ ගමන මහත් ආහ්ලාදජනක ගමනකි.හිරු ඇහැරෙන්නට ඔන්න මෙන්න තිබියදී කොටුව දුම්රිය පොළෙන් කෝච්චියට නැගගත් මොහොතේ පටන් දකින්නටත් ව්ඳගන්නටත් ඕනෑ තරම් දේ ඇත.උණු රටකජු හෝ වඩේ පාර්සලයක් අතට ගත් විට ගමන ගෙවී යන්නේ නොදැනීම ය.

මෙවර ඒ කිසිත් ඇයට නොදැනිණ.අනුරාධපුර ළඟා වෙද්දී දැනෙන “රජරට සුවඳ” වත් වෙනදා තරම් හිත ප්‍රීතියෙන් පුරවන්නේ නැත.මේ පලා ආ ගමනකි. ජීවිතයෙන් පලා එන්නට බැරිකමට කොළඹ අතැර ආ ගමනකි.සමහරවිට සැබෑවටම ජීවිතයේ රැඳිය යුතුදැයි පලා යා යුතුදැයි තීරණය කරන්නට ඉදිරි දින කිහිපය ප්‍රමාණවත් වන වග ඈ දැන සිටියා ය.මේඝා යළි ගමන් අරඹන යාල්දේවි කෝච්චියේ විසල් බව දෑස් පුරා විඳ ගත්තා ය. එයට ජීවිතයේ සියළු දුක් පවරන්නට තරම් සවියක් හිතට නොඑයි.ඈ වටපිට බැලුවේ පොඩි අක්කා දකින්නට ය.

“මං කොටුවෙන් ට්‍රේන් එකට නැග්ගා අක්කා. සිම් එක වැඩ කරන් නෑ ආයේ..මාව ගන්න ස්ටේෂන් එකට එන්න.”

ඒ කෙටි පණිවිඩය අක්කාට යැවීමෙන් අනතුරුව ඇය දුරකථන සිම්පත ගලවා රේල්පාරට විසි කර දැමුවා ය.යළිත් මේඝා හා සම්බන්ධ වන්නට ඒ අංකයෙන් හැකි වන්නේ නැත.

“මේඝා.. ෆෝන් එකත් නැති හින්දා හොයා ගන්න බැරි වෙයිද හිතුණා..”

වරුණ අයියා අතකින් අල්ලා ගන්නා තුරුම මේඝා රේල් පාර දෙස බලාගෙන කල්පනාවක රැදුණා ය.දුම්රිය ස්ථානයෙන් පිටව ගොස් ත්‍රීවිල් රථයකට ගොඩ වී අක්කාගේ ගෙදර යාම එතරම් දෙයක් නොවේ.නමුත් ඇයට අද එසේ යන්නට සිතක් නොවිණි.තරුණ ත්‍රීවිල් රියැදුරෙකුට ඈ හඳුනා ගන්නට නොහැකි වේයැයි විශ්වාස නොකරන්නට ඈට නොහැකි ය.

වරුණ, තම බිරිඳගේ තුරුණු ඥාති සොයුරිය දෙස බලා හුන්නේ වේදනාව උතුරා යන හදවතිනි.වෙනදාට සැහැල්ලු ගවුමකින් සැරසී දුම්රිය පොළේ දෑත වනමින් හිනැහෙන ඇය දිගු ඩෙනිම් කලිසමක් සහ අත් දිග ලිනන් කමිසයක් හැඳ සිටින්නේ සිරුරම වසා ගන්නට මෙනි. මුස්ලිම් යුවතියක සේ හිස පටලා ගත් ශෝල් එකත් දෑස වැසෙන්නට දමා ගත් අව් කණ්ණාඩි යුවළත් වරුණට පැවසුවේ එක් දෙයකි. මේඝාට අවශ්‍ය සැඟව ගන්නට ය. ඔහු වේදනාව දරාගෙනම මේඝාගේ අතකින් අල්ලා ගත්තේ ය. මෙතැන් පටන් මේ බිඳී ගිය යුවතිය දරා ගන්නට වෙන්නේ තමාටත් මාධවීටත් ය.එය අකුරටම ඉටු කරන්නට සිතමින් වරුණ මේඝාව කුඩා මෝටර් රථය වෙත රැගෙන ගියේ ය.
නගරයෙන් මිදී මඳ දුරක් යනතුරුම වරුණ කිසිත් පැවසුවේ නැත.පැවසීමට බොහෝ දේ තිබුණ ද ඒවා පවසන්නට ඕනෑවටත් වඩා කාලය ඉතිරි වග තරුණ ගුරුවරයෙකු වූ ඔහු දැන සිටියේ ය.දස වසක් පිරෙන්නට ළඟ ගුරු ජීවිතය තුළ මේඝාටත් වඩා අවසනාවන්ත ඉරණම් තුරුළු කරගත් වියළි කලාපීය දැරියන් ඔහුට අනන්තවත් හමුව ඇත.මේඝා කෙසේ හෝ නගා සිටුවිය යුතු බව ඔහු අදිටන් කර ගත්තේ ය.

“නංගි..ඔයා මොරීන් ඇන්ටිට හරි බාප්පට හරි මඟට ඇවිල්ලවත් කෝල් එකක් දුන්නද?”

පෙරිමියන්කුලමට යන්නට එතරම් වෙලා ගත නොවුණ ද වරුණ කාරය ධාවනය කළේ ඉතා සෙමිනි.වෙනදාට ඇහේ හැපෙන මට්ටමට පෙනෙන නටබුන් අතර දුව පැන යන්නට වාහනය නතර කරන්නැයි දහස් වරක් ඉල්ලා අනතුරුව තර්ජනය කරන ඥාති සොයුරිය අද නිහඬ ය.ඒ නිහඬතාවය බිඳින්නට ඔහුට සිත් විණි.මේඝා හිස් බැල්මක් හෙළුවා ය.

“මං ලියුමක් ලියල තියල ආවා අයියෙ.දෑහට නොපෙනි පලයං කියල පුංචි මට හොඳටම ගැහුවත්නෙ..මේ වම් අත හොලවන්නත් අමාරුයි..තාත්තා ගෙදර ආවෙවත් නෑ.”

ඇය සිරුර වැසෙන්නට අඳින්නට එය ද හේතුවක් වන්නට ඇත.වරුණ රිය ධාවනය කරන අතරම ඇගේ හිසට අතක් තැබුවේ ය.සර්ප දෂ්ටනයකට ලක්ව ළමා වියේදී මිය ගිය ඔහුගේ නැගණියගේ මතකය වරුණගේ සිතෙහි ඇඳී මැකී ගියේ ය.

“අපේ අප්පච්චි ඉන්නවනෙ පොඩ්ඩියෙ. එයාගෙ තෙල් ටිකක් ඉල්ලා ගමු..එක වේලක් ගෑවම කැක්කුම සනීප වෙනවනෙ..”

මේඝා දිගු සුසුමක් හෙළුවා ය.

“අයියගෙන් ස්ටඩීස් වලට හෙල්ප් ගන්න ඒ ලෙවල්ස් ළමයිත් එනව නේද? එයාල මාව අඳුනා ගනී කියල මට හරි බයයි. අයියල තියාගෙන හිටපු රෙස්පෙක්ට් එකත් ඉවරයිනෙ. මං පොඩි අක්කගෙ කසින් කෙනෙක් නිසා එයාල අක්කා ගැනත් නරකට හිතයි..”

මේඝා කියවාගෙන ගියා ය. වරුණ කාරුණික සිනාවක් හෙළී ය.

“ෆේස්බුක් එකට ඕනෑ දෙයක් සතියයිනෙ පොඩ්ඩි..ඔයාගෙ මූණ අමතක වෙන්න ක්‍රිකටර් කෙනෙක් හරි ඇක්ට්‍රස් කෙනෙක් හරි අඩුම තරමෙ ප්‍රසිඩන්ට්ම හරි එයි.. අපිට තියෙන්නෙ කාලෙට ඉඩ දෙන්න.”

ඉතා නරක අන්දමට ජීවිතය වැරදී ගත් තමාව මෙසේ සුහදව පිළිගත් ඥාති සහෝදරයා ගැන මේඝාට සැනසීමක් දැනිණ.

“අද අයියට ඉස්කෝලෙ යන්නත් නෑ නේද මං හින්ද..” ඇය ඇසුවේ ශෝකයෙනි. ඔහු ලෙහෙසියෙන් පාසල මඟ හරින ගුරුවරයෙක් නොවේ.

“අද අක්කගෙ මහජන දිනයක්.එයාට ඔෆිස් එකෙන් හෙල්ලෙන්න බෑ.. ඒ හින්ද මම නැවතුණා.. ඒකට මොකද ඉතිං, මගේ වාර සටහන් ලියල, පේපර් බලල එහෙම පොඩ්ඩිට මේවට ගෙවන්න බැරිය..”

වරුණ සැහැල්ලුවෙන් සිනා සෙද්දී මේඝා හිස ඔතා ගත් ශෝලය අතට ගත්තා ය.වැව් සිහිල රැගත් සුළඟක් ඇගේ කම්මුලක හැපී බිඳී ගියේ ය.ඈ ඈතින් පෙනෙන කොත් කැරැල්ලක් වෙත නෙත් අලවා ගත්තා ය.

” රෑ වෙන්න ඇරලා අපි මහ සෑය පැත්තෙ එමුකො.හිත ටිකක් නිදහස් වෙයි. අක්කගෙ පොඩ්ඩි එනව කියලා අපේ අම්මා පාන්දර ඉඳන් උයන්න පටන් අරන්,ගිහින් නාලා කාලා අක්කා එනකන් හොඳ නින්දක් දාන්න..”

වරුණගේ සහෝදරාත්මක හඬ වැව් හුළඟට වඩා සිහිලැතිව කනේ හැපෙන හඬ මේඝා අසා හුන්නා ය.හදවත පෑරී සුණුවිසුණුව අවසන් ය.රුවන්වැලි සෑ බිමේ වැටී හුන්නාට ඒ වේදනාවෙන් හදවත නිදහස් වන්නට තව බොහෝ කාලයක් ගත වී යනු ඇත.

“මං මේ නිකමට අහන්නේ පොඩ්ඩි… අර කොල්ල අපි ගැන දන්නවද..මං අහන්නෙ ඔයාට මෙහෙ නෑදෑයො ඉන්න කතාවක් ඌට කියල තිබ්බද ඔයා..”

අනාගතයේ ඇති විය හැකි සෝසංකා ගැන සැක මතුව එද්දී වරුණ ඇසුවේ ය.මේඝා එයට පිළිතුරක් දී ගත නොහැකි ව ගල් ගැසී ගියා ය. තමන්ගේ ජීවිතය ගැන ජනිඳු නොදන්නා දෙයක් නැති වග වැඩිමහල් ඥාති සොයුරාට ලැජ්ජාවකින් තොරව පැවසිය හැකිදැයි ඈ සිතුවා ය.

“ඔයාට කොහෙද මේඝා ලැජ්ජාවක් ඉතුරු දැන්. මුළු රටම දැන් තමුසෙගෙ කෙරුවාව දැකල ඉවරනෙ…”

ඇතුළු හෘදයෙන් සමච්චල් සහගත කටහඬක් ගලා ආවේ ය.මේඝා හිස තද කර අල්ලා ගනිමින් දෑස් පියා ගත්තා ය.දෑස් උතුරා යන බවක් ඇයට දැනිණ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
1
0
Would love your thoughts, please comment.x
()
x