ඔබට ඇහෙනවනම් – 6

දැන් මගේ ජීවිතේ වඩාත් දුෂ්කර හෝරාව එළඹෙන්නේ රෑ අඳුරත් එක්ක ය. සත්තකට අප තිදෙනා වූ කලී කෙතරම් අසරණ මිනිස් ප්‍රාණීන් තිදෙනෙකු දැයි වඩාත් හොඳින් ප්‍රත්‍යක්ෂ වන කටුක යාමය එයයි. අඳුරු අහසේ නිමක් නැති ඈතක දිළෙමින් නිවෙන තාරකා ත්‍රිත්වයක් සේ අපි අපේ ලෝක වල හුදෙකලා වී හිඳිමු. නමුත් අප උනුන් ට හඟවන්නේ එහෙවු හුදෙකලාවක් කොහෙත් ම අප නො පෙළන බවයි. රූපවාහිනියේ ටෙලි නාටක පෙරහැර වේලාසනින් ම ඇරඹී රාත්‍රී දහය පමණ වන තුරු එය දිව යන නිසා අම්මා ට නම් කාලය ගෙවා ගන්නට මාර්ගයක් හෝ තියේ. තාත්තා ඒ අසලට වී හිඳ නාට්‍ය වල නාටකාකාර දෙබස් හා විකාර රූපී සිදුවීම් වලට සිනහ වෙමින් මොනවා හෝ කියවයි.

“අනේ කෑ නොගහ ඉන්නකො අනේ. ඔයා බලන්නැත්තං නිකං ඉන්නකො මට බලන්න දීල….”

කිහිප වතාවක් එහෙම කියන්නට අම්මා ට සිදු වේ. නමුත් තාත්තා ට එය මතක තියෙන්නේ ඊළඟ විකාරය වන තුරු පමණකි.

“පව් තාත්තෙ. අම්මට බලන්න දෙන්න”

කියා ගෙන මම මිදුලට වෙමි. මිදුලක් ය කීවාට එය ඉතා කුඩා අවකාශය කි. නූස් තාප්පයට ආසන්නයෙන් අම්මා සුවෙන් උන් කාලයේ සිටවූ මල් පැළ සහිත පෝච්චි පෙළකි. අඩි කිහිපයක දිග පළලින් යුතු ඉතිරි තීරය බොරළු අතුරා තිබෙන්නකි.

තැඹිලි පාටට හුරු තද කහ පැහැති සඳ කිනිත්තක් බටහිර අහස දෙසට වන්නට විය. තව සති කිහිපයක් යන විට කලා සපුරමින් සඳ පිරෙනු ඇත. මා කුළ ගෙදරින් පිටුවහල් කරනු ලැබ දැන් චන්ද්‍ර මාස කීයක් නම් ගෙවෙන්නට ඇත්ද? මේ විදිහට තව කෙතෙක් නම් කාලයක් ගෙවෙන්නට නියමිත වනු ඇත්ද? පුතා හෝ මා ළඟින් සිටියා නම් ජීවිතයට අරමුණක් තිබෙනු ඇත. අම්මා හා තාත්තා හැරුණු කොට දැන් මට වෙනත් අරමුණක් නැත්තේ ය.

අරමුණු නොමැති ව ජීවත් වීම පහසු කටයුත්තක් නොවේ. වගකීම් වලින් බැඳුණු විට, ඒවා නො තිබිණි නම් කෙතරම් පහසු ද කියා අපි සිතන්නෙමු. නමුත් කිසිත් නොමැති ව ජීවිතය හිස් ව ගිය කල ඒ කෙතරම් අසීරු දැයි වටහා ගත හැකි වේ.

හදිසියේ ම මට කුලාන් සිහි විය. ඔහු ඒ විදිහට කේක් ගෙන්වා කාර්යාලයේ සේවය කරන පිරිස අතර බෙදා දීම විශේෂයෙන් සිතිය යුතු යමක් නොවේ. අමුත්ත නම් ඔහු පයිනැපල් ගැටෝ ගෙන්වීමයි!

අශිකා කියූ යම් යම් දේවල් යළිත් මසිත් හි පිළිරැව් දෙන්නට උත්සාහ කරමින් තිබිණි. නමුත් මම හිත තද කොට වසා ගතිමි.

ආලින්දයේ වූ ජංගම දුරකතනය නාද වනු ඇසුණේ ඒ වෙලාවේ ය.

“දුව කෝල් එකාක්”

අම්මා කීවා ය. මම ඉක්මන් ගමනින් ගොස් දුරකතනය ගතිමි. මා නො දන්නා දුරකතන අංකයක් තිරය මත සනිටුහන් ව තිබිණි.

“හෙලෝ…”

මගේ ස්වරයෙහි වූයේ ප්‍රශ්නාර්ථයයි.

“මොකද කරන්නෙ…”

හදවත ක්ෂණික භූමි කම්පනයකට ලක් නො වූවා නොවේ. කුලාන් ගේ කටහඬෙහි වන ඔහුට ම ආවේණික තානය හැඳින ගන්නට මා අපොහොසත් වූයේ නැත.

“සර්…”

“නිදි නෑ නේද ඔයා…”

“නෑ සර්”

“මට ඔයත් එක්ක කතා කරන්න ගොඩක් දේවල් තියෙනව නිම්නා”

“කියන්න සර්…”

“මේ දවස් ටිකේම මං කළේ ටික ටික ඩීටේල්ස් චෙක් කරන එක තමයි. දැනට පීක් එකේ ඉන්නෙ අපේ පත්තර වුණත්…ඔයාට හිතෙන්නෙ නැද්ද වීක් බයි වීක් සේල්ස් අඩු වීගෙන යනව කියල. අනිත් පේපර්ස් එක්ක කම්පෙයා කළහම…ඒ විදිහටම ටික ටික වැඩි වීගෙන යන පත්තර කීපෙකුත් තියෙනව වගෙයි මට දැනෙන්නෙ. ඉස්සරහට අපිට එන තර්ජනේ ඒකයි කියල මට හිතෙනව නිම්නා. අපි දැන්ම තියා ඒකට ලෑස්ති වෙන්න ඕන වගේ එකක් මට දැනෙනව”

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 2

දුරකතනය ඔස්සේ විත් මගේ සවනට රිංගන ඉලෙක්ට්‍රොනික හඬ තුළ මා කිසියම් අතරමං වීමකට ලක් ව හිටියා ද? ඔහු කී ඇතැම් දේවල්, මා වෙනම කල්පනාවකට වැටුණ ඉතා කෙටි වූ නිමේෂයක දී නෑසී ගිය බවක් ද දැනිණි.

“අපේ ඩ්‍රොප් වීම අඩු කරගන්න කරන්න ඕන මොනවද කියල කල්පනා කරල බලන්න ඕන. නිම්නාට අයිඩියා එකක් තියෙනවනං කියන්නකො. ම්…”

“ඕකේ සර්”

මගේ වචන සම්පූර්ණයෙන් ම පිට නොවී උගුරේ අතර මගක මඳක් හිර වූ සෙයක් දැනිණ. නමුත් මම ඒ වගේ දේවල් ගැන හේතු හොයන්නට නො ගියෙමි. ඔහු මගේ ජංගම දුරකතන අංකය දැන ගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය හදිසියේ ම සිත් හි නැගුණත්, ආයතන ප්‍රධානියා ගේ පුතා හා මත්තට ප්‍රධානී වීමට සිටිනා ඔහු ගෙන් ඒ වගේ ප්‍රශ්නයක් නැගීම මෝඩ කමක් සේ මට වහා දැනී ගියේ ය. කෙසේ වෙතත් පයිනැපල් ගැටෝ වලට ස්තූති කිරීම මම හිතා මතා ම අමතක කළෙමි. 

ඊළඟට එළඹියේ කියන්නට හෝ අහන්නට යමක් සිතා ගත නො හැකි ව තත්පර ගොළු වූ මොහොතකි. සැබවින් ම කියන්නට දේවල් අහන්නට දේවල් නො තිබුණා නොව මේ ඒ සඳහා සුදුසු වෙලාවක් ද කියා මම නම් නො දැන සිටියෙමි. නිශ්ශබ්ද තාවය මහ බරක් ව දැනෙන නිමේෂයේ ඔහු ම අප වෙනුවෙන් ඉදිරිපත් වූයේ ය.

“එහෙනං නිම්නා…හෙට ඔෆිස් එකේදි කතා කරමුකො”

“හරි සර්”

දුරකතන සම්බන්ධතාව බිඳ දැමීමේ ලෝභී සිතිවිල්ලක් ඇති වීම මොන උමතුවක් ද කියා මා දන්නේ නැත. එය මා වගේ කෙනෙකුට නොගැලපෙන බව ද මම දැන සිටියෙමි. නමුත් කිසිවෙකු ට හිරිහැරයක් හෝ බාධාවක් නොවන සතුටක් මගේ හුදෙකලා ආත්මය එක මොහොතකට විඳ ගත්තාම මොකද? අනිත් ඉමෙනුත් දුරකතන සම්බන්ධය නො බිඳී පවතින බව මට දැනුණේ ය. මගෙන් ඉබේට ම සුසුමක් ගිළිහුණි. 

“නිම්නා”

කුලාන් ගේ පිරිමිකාර හඬ මා සසල කරවත්දී ම මම සබඳතාව බිඳ දැමුවෙමි. තවත් තත්පර කිහිපයක් ගෙවෙන තෙක් ඒ ගැස්ම මගේ පපුවේ විය.

“කවුද කතා කළේ…”

මා යළි ගෙතුළට පිවිසෙත්දී අම්මා සිය සාමාන්‍ය ප්‍රශ්නය නැගුවා ය.

“සර්”

මම අර්ධ සත්‍යයක් පැවසීමි. සර් කීවාම අම්මා සිතන්නේ ශ්‍රීනාත් සර් කියා ය. කුලාන් ගැන කියන්නට මට උවමනාවක් දැනුණේ ම නැත. ඒ මන්දැයි මා දන්නේත් නැත.

“පුතේ”

අම්මා රූපවාහිනියේ හඬ අඩු කරමින් කතා කළා ය. එහි විකාශය වෙමින් තිබුණේ වෙළෙඳ දැන්වීමකි.

“දැං ඉතිං ඔයා ඔයාගෙ අනාගතේ ගැනත් හිතන්න ඕනෙ නේද…”

“අයියෝ අම්මෙ…අමුතුවෙං මොනා හිතන්නද…අනාගතයත් මේ වගේ ම වර්තමානයක් වෙලා ඊළඟට අතීතයක් වෙලා යයි ඉතිං”

මා විහිළුවකට ගන්නට හැදුවේ දැන් ටික කලක සිට ඈ මට ඒත්තු ගන්වන්නට හදන කාරණාව ගැන දන්නා නිසාවෙනි. තවත් විවාහයක් ගැන සිහිනයකිනිදු යළි හිතන්නට මට ඕනෑ නැත.

“එහෙම නෙවෙයි පුතේ”

තාත්තා කතාවට එක් වීම තුළ, තව දුරටත් මෙය විහිළුවක තත්වයෙන් පවත්වා ගත නො හැකි බව මට වටහා ගත හැකි විය.

“මායි අම්මයි දෙන්නම දැං ලෙඩ්ඩු. අයිය කෙනෙක් හිටියයි කියල එයාට අපි ගැන බලන්න ඕනකමක් නැති බව අපි දන්නවනෙ. ඒ ගැන ඉතිං කාටවත් දොස් කිය කිය ඉඳල වැඩකුත් නෑ. අපි ගැන අපි බලා ගත්තහම ඉවරයි”

“බය වෙන්න ඕන නෑ තාත්තෙ. දැං මට ජොබ් එකක් තියෙනව. මං අවංකව වැඩ කරන බව එම් ඩී සර් දන්න නිසා ඉස්සරහට සැලරීස් වුණත් වැඩි කරල දෙයි”

කියවන්න :  ඔබට ඇහෙනව නම් - 1

“ඒත් තාත්ත කෙනෙක්ගෙ ඔළුව උඩ දුවෙක් ගැන පැටවිලා තියෙන බර රස්සාවක් නිසා හෑල්ලු වෙන්නෙ නෑ නිම්නා”

එවර තාත්තා වෙනුවෙන් කතා කළේ අම්මා ය.

“මං මේ පපුවෙ අමාරු කාරයා වෙච්චි…කොයි වෙලේ ඇස් දෙක පියවෙයිද කියල කියන්න බෑ දරුවො”

“අනේ තාත්තෙ…අපි කාගෙත් ජීවිත එහෙම තමයි. එහෙමයි කියල තාත්ත ඔය වගේ කතා කියන්න එපා”

“මට සැනසීමෙං ඇස් දෙක පියා ගන්නනං ඔයාගෙ අනාගතේ පිළිවෙලක් වෙන්න ඕන”

“තාත්තල ඔය කියන්න යන්නෙ තවත් කසාදයක් ගැන නං…පිටස්තර පිරිමියෙක්ගෙං ජීවිතේ හොයන්න මට ඕන නෑ කියල තමයි කියන්න වෙන්නෙ තාත්තෙ. මට මං ගැන බලා ගන්න පුළුවන්. මට තාත්තයි අම්මයි ගැන බලාගන්නත් පුළුවන්. පුතාව මට දෙනවනං…මං මගෙ දරුවවත් බලා ගන්නව”

ඒ අන්තිම ටික කියත්දී වචන බිඳීගෙන ආවේ ය. නාස් පුඬු වල රිදීමක් දැනිණි.

“අපි හිතං හිටියට සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් කියල…සල්ලි වලට කරන්න බැරි දේවල් ඕන තරං පුතා. තනිකමට කෙනෙක් ළඟින් ඉන්න එක…කාගෙ හරි ඇල්ම බැල්ම රැකවරණය ලැබෙනව කියන එක…කොටිංම කියනවනං වයසට යනකොට දරාගන්න අමාරු පාළුවට වචනයක් දෙකක් කතා කරන්න කෙනෙක් ඉන්නව කියන එක…කවදාවත් සල්ලි වලිං කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අතේ පිච්චියක් නැතත් අම්මටයි මටයි පුදුම ශක්තියක් තියෙනව. ඒ අපි ළඟින් අපි ඉන්න නිසා. තරුණ කාලෙදි ඕක ඒ තරං නොදැනෙන්න පුළුවන්. හැබැයි දරුණුවට දැනෙන්න ගන්නෙ වයසට යනකොට. අපි ටික ටික ලෙඩ වෙන්න ගන්නකොට. දරුවෙක් මුණුබුරෙක්වත් ළඟ නැති පාළුව පපුව හිර කරන්න ගන්නකොට. අපිට අපේමයි කියන්න කවුරුම හරි ඕනෙ නිම්නා”

මීට පෙර තාත්තා මේ විදිහේ හැඟීමක් ඇති ව මා හා මේ ගැන කතා කොට නැත. මේ දොඩමළුවේ තැවරී ඇති බර ගතිය තුනී කොට දමන අදහසින් මම දියාරු කතාවක් කීවෙමි.

“ඉතිං මට තාත්තයි අම්මයි ඉන්නෙ”

“ඉන්නව තමයි. ඒත් අපි තව කී දවසක් ඉඳීද දරුවො. ඊට කලිං අපි ඔයා ගැන සැහැල්ලුවකට පත් වෙන්න ඕනෙ”

“කපුවෙක්ට කියල අපි ඔයාට ගැලපෙන විදිහෙ කටයුත්තක් හොයල බලන්නං පුතේ”

දෙදෙනා එක්ව පෙර කතා බහ කොට එළඹි නිගමනය අම්මා ගේ මුවින් පිට වූයේ එසේ ය. මගේ පපුවෙන් සුසුමක් ගිළිහිණි. ඇස් දැවීගෙන කඳුළක් කාන්දු වෙනවා මට දැනුණේ ය. මහත් ආත්ම අසරණ කමක් මා දුර්මුඛ කරවන ලදී.

යළිත් විවාහයක් ගැන මා කෙතරම් උදාසීනද කියා කිසිවෙකු හට කීවාට පිළි නො ගන්නා බව මම දනිමි. නමුත් ගිලන් ව හිඳින අම්මා ගේ හා තාත්තා ගේ දුක්ඛිත ආත්ම වලට තවත් දුක් එකතු කිරීම ද නො කළ හැක්කකි. මේ වගේ කතා කියන බොහෝ අවස්ථා වල මා මොනවා හෝ කියා ඒ මග හැර ගියත්, අම්මලා හිතා ගෙන ඉන්නේ පෙන්වන තරම් විරෝධයක් ඒ ගැන මට නැතිවා කියා විය හැක. 

“හනේ මන්දා අම්මෙ. මටනං කිසිම ඕන කමක් නෑ. ඒත් අම්මලට ඕන දෙයක් කරන්න”

කියාගෙන මම කාමරයට පැමිණියෙමි. හිත දුකෙන් ආතුර ව තිබිණි. මම දුකෙන් ඔත්පල ව සිටියෙමි. උඩුකුරුව යහනේ වැතිරුණු මගේ ඇස් දෙකෙන් ගිලිහුණු කඳුළු දෙපෙළක්, කන් පෙති අසලින් හිස කේ අස්සේ හැංගී යනවා දැනිණ. මට මා ගැන දුක ය. නමුත් මා වෙනුවෙන් ය කියා මා කුමක් නම් කරන්න ද?

4.2 5 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments