fbpx

මන්දාරම් හැන්දෑවක – 5

දිනිඳු තම නිවස සහ කුඩා ඩිස්පෙන්සරිය ඇති බිම් කඩට කාරය හැරවූයේ පැති වීදුරුවෙන් බිනරගේ මෝටර් සයිකලය ඒදැයි විපරම් කරමිනි.මේ පළාතේ සමහර තරුණයන්ට මෙන් මෝටර් සයිකලයේ නැගී ඉගිලීමේ රෝගයක් බිනරට නැත.එහෙත් දිනපතා රෝහලේ දක්නට ලැබෙන හදිසි අනතුරු වලට ලක් වූ තරුණයන් ගැන දිනිඳුට තිබුණේ සැබෑ වේදනාවකි.බොහෝවිට ඒ අනතුරු කෙළවර වන්නේ මරණයෙනි.විය නොවිය යුතු ඒ මරණ ඇස ගැටෙන වාරයක් පාසා සිහියට එන යෞවනයාගේ මුහුණ අමතක කර දමන්නට දිනිඳු කළේ බිනරට වඩා සමීප වීම ය. මීට වසර හතකටත් එහා අතීතයකදී දිනිඳු පෙරිමියන්කුලමට ආ කාලයේ පටන් බිනර දිනිඳුගේ පවුලට සමීප චරිතයක් විණි.දිනෙන් දින ඒ සමීප බව දැඩි වූවා මිස බිඳී ගියේ නැත.

කුඩා ඩිස්පෙන්සරියේ ආලින්දයේ පුටු මත රෝගීන් හත් අට දෙනෙකු විය.වෛද්‍යවරයෙකුට උරුම කාරුණික මඳහසින් ඔවුන් දෙස බැලූ දිනිඳු කාමරයට පිවිසියේ ඉනුලි වඩාගෙනම ය.වෙද හාමිනේ හොඳින් නාවා කවා පොවා ඇති දියණියගේ හිසින් මුදු ෂෙරමි සුවඳක් වහනය වෙද්දී දිනිඳු ඒ මුදු කෙස් සිප ගත්තේ හිත හිරි වැටී යන වේදනාව අමතක කරන්නට තැත් දරමිනි.

“අර ළමයගෙ බේත් ටික දෙනවද අයියේ?”

බිනර ඩිස්පෙන්සරි කාමරයට පිවිසියේ එසේ අසමිනි. හිත් වේදනාව අමතක කළ දිනිඳු බිනරට සමච්චල් සිනාවකින් දමා ගැසුවේ ය.

“කෙල්ලෙකුට ලෙඩක් දුකක් නම් උඹලට උණු වෙන උණුවිල්ල තමයි වැඩේ.. ඔය අසනීපේ වෙද මහත්තයට හරි හාමිනේට හරි උනානං උඹට ඔය හදිස්සිය තියෙයිද?”

බිනර මුදු සිනාවක් සහිතව හිස් අසුනින් හිඳ ගත්තේ ඉනුලිව තුරුලේ හිඳුවා ගනිමිනි.ඇය අඩ නින්දට වැටෙමින් සිටියා ය.

“හයියෝ කතා හදන්න එපා ඩොක්ට.ඒ ළමයා අපේ මදූ අක්කගෙ නෑයෙක්නෙ. මට වැඩිය මීට් වෙලානං නෑ. අක්කෙක්ද නංගියෙක්ද මතකත් නෑ..”

බෙහෙත් පෙති එකින් එක පිරික්සමින් කවරවලට අසුරන අතරේ උපැස් යුවලට යටින් බිනර දෙස බැලු දිනිඳු යළි උස් හඬින් සිනා සිණි.

“හෙට විතර බලමුකො.ඒ ගර්ල්ගෙ බ්ලඩ් ගෘප් එකේ ඉඳන් කියයි..”

බිනර ඇය අරඹයා සරදමේ යෙදෙන්නට සිත් වූයේ නැත. උණ සෑදී නතර වූවා ප්‍රමාණවත් ය.ඇය ජීවත් වීම ම බිනරට අරුමයකි.නමුත් ඈ ගැන අටුවාටීකා දිනිඳුට කියන්නට ඔහුට සිත් වූයේ නැත.”උඹ එච්චර ඒ ළමයා අඳුනා ගන්න පුලුවන් වෙනකං ඔය මඟුල් බලනවද?” පළමුවැනි බිය දිනිඳුගෙන් එසේ අසා ගන්නට සිදුවීම ය.දෙවැන්න ඈ ගැන එසේ හඳුනා නොගන්නා මිනිසුන්වත් ඒ කාරණාව නොදැන ගත යුතු ය.කොතැනක හෝ සිදු වූ අත්වැරැද්දකට ඈ ජීවිත කාලයම වන්දි ගෙවිය යුතු නැත.

“අයියා රෑට කන්නේ මොනවද?” බිනර යන්නට පිටත් වී ඇසුවේ ය. සහෝදරයෙකුට ඇති බැඳීම අමතකම කරන්නට සිතුවද ඒ සිතුවිල්ලට ජීවය දෙන්නේ තමන්ගේ ලේ උරුමය ඇති තරුණයා නොවේ.රජරට හමු වූ මේ සුන්දර යෞවනයා ය.

“කෑම එකක් ගත්තා මල්ලි. බටිච්චිට මොනවා හරි කවලා ඇති වෙද හාමිනේ..”

බිනර නික්මුණේ ඩිස්පෙන්සරියේ ඇතුළු කාමරයේ ඇති කුඩා ඇඳේ ඉනුලිව තබා ඇයට බෝනික්කෙකු ද තුරුලේ තැබීමෙන් පසු ය.

රජරට පැහැදිලි අහස මත දීප්තිමත් සඳ බැබළෙමින් තිබිණ.සනීපදායක සුළඟ විඳිමින් මේඝා මිදුලේ ඒ මේ අත ඇවිදින්නට ගත්තා ය.ඉතා මුදු සුවඳක් ඈ වටා වෙළෙන්නේ අක්කාගේ හෙන්දිරික්කා මල් මතින් වග ඈ දැන හුන්නා ය.දම් පැහැති හෙන්දිරික්කා මලක් නෙළාගෙන හිසකෙස් අතර රඳවා ගැනීමේ හදිසි ආශාවක් ඇයට දැනිණ.සේපාලිකා ගස ඇත්තේ මිදුලේ කොනට වන්නට ය. අඳුර පොරවා ගත් ඒ දෙසට යන්නට ඇයට අදිසි බියක් හට ගත්තේ ය. මල් සහසක් වඩා හිනැහෙන සේපාලිකා ගස හෙට උදෑසන මල් සියල්ල බිම හලන බව ඈ දැන හුන්නා ය.පිපී පරව යාම මලකට නියත දහමකි.එහෙත් තැලී පොඩිව නොයා හිඳීම මලක අයිතියකි.

නුඹේ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ ..
ඒ විල මැද පිරුණු දියේ
දුකට හැඬුව කඳුළු තියේ..

පොඩි අක්කා සිඟිති පුතු නළවන්නට ගත්තේ ඒ අතර ය. මේඝා ඒ මිහිරි ගී හඬ අසා හුන්නා ය.අක්කාගේ ආදරය සහ මව් ගුණය පිරුණු ළයාන්විත කටහඬ මේඝාට සිහි කළේ අම්මාව ය. අම්මා ද මෙවැනිම මිහිරි හඬකින් ඈ නළවන්නට ගී ගැයූ අන්දම නොපැහැදිලි මතකයක් ව මේඝාගේ හිතේ පරිස්සම් සහගත තැනක තැන්පත් වී ඇත. අම්මා ගී ගැයුවේ ළඳරු මේඝා නළවන්නට පමණක් ම නොවේ. ඈ ළමා වියේ මේඝාට නින්ද යනතුරු ද ඈ තුරුලට ගෙන ගීතවත් ස්වරයෙන් නැලවිලි ගී ගැයුවා ය. අම්මා කොහේ හෝ දෙව් ලෝකයක මානෙල් මල් විලකට වී මල් නෙළන්නේදැයි බලන්නට මෙන් ඈ අනන්තාවකාශය දෙස නෙත් නොහෙළා බලා හුන්නා ය.

කන්දෙන් කන්දට පැනලා
ඇඟ ලේ කැටි කිරි කරලා..
රන් තැටියේ පුරවාලා
කිරි අරගෙන එයි අම්මා..

පොඩි අක්කාගේ ගීය මේඝා අසා හුන්නේ දෙකොපුල් පුරා තෙත තවරා ගනිමිනි. අම්මා අද හුන්නා නම් පුංචි මෙන් ඔලුව බිත්තියේ අනින්නට නොයන බව ඇයට සහතික ය.අනෙක් අතට අම්මා සිටියා නම් ජනිඳු සමීප වූ දා සිට හැම දෙයක්ම අම්මාට කියන්නට ද තිබිණ.එහෙත් පොඩි අක්කාට ද අම්මා අහිමි ව ගියේ ඇයට අම්මා අහිමි ව ගිය දිනයේ ම ය.සරසවියේ දී වරුණ අයියා තෝරා ගන්නට පොඩි අක්කා සමත් වූයේ ද මේඝාගේ වයසේ දී ම ය.ඉතින් අම්මා නැති වීම දැරියකට ඇගේ මඟ වැරදෙන්නට හේතු වන්නේදැයි ඈ සිතුවේ අතීතයට පා ව යන අතර ය.

රන්තැටියකට කිරි නැතත් ආදරය පුරවාගෙන අම්මා එනතුරු මේඝා දැන් මඟ බලන්නේ නැත. ඒ බිහිසුණු දිනයෙන් පසු මඟ බැලුවේ ම නැත.

“අපේ අම්මයි චූටි අම්මයි ගිය ත්‍රීවිල් එක ලොරියක හැපිලා..” පොඩි අක්කා එක් දිනයක මේඝාගේ නිවසට දිව ආවේ හතිලමිනි. තාත්තා ඊයක වේගයෙන් නැගිට ගත්තේ හූ තලමින් හඬන්නට වූ කුඩා මේඝා දෙස ද නොබලා ය.ඔහු රිය පණ නංවා පිටව යද්දී කොහෙන්දෝ පැමිණි ලොකු අක්කා මේඝා තුරුලු කරගෙන බොහෝ වෙලාවක් හුන්නා ය. මේඝා රෝහලට ගියේ ලොකු අක්කා සමඟ ය. රෝහල් කොරිඩෝවේ දී පොඩි අක්කා පැමිණ ලොකු අක්කා වැලඳ හඬන්නට ගත්තා ය. ලොකු අම්මාගේ වියෝවෙන් සංවේගයට පත් දැරියට වහා තමන්ගේ අම්මා දැක ගන්නට ඕනෑ විය.

එහෙත් අම්මා ද ලොකු අම්මා කැටුව යන්නට තීරණය කර තිබුණා ය.

ලොකු අක්කා සහ පොඩි අක්කා ඉන්පසු මේඝාට මව්වරුන් වූහ.ලොකු අක්කා විවාහ වී ඉතාලියේ පදිංචියට ගොස් දැන් වසර කිහිපයකි.සෙනුරිගේ උපත සිදු වී වසරක් ද ගෙවී යන තුරු අනුරාධපුර සිට මහරගමට මාස්පතා එහෙමෙහෙ යමින් දිවි ගෙවූ ලොකු තාත්තා ජීවිතය හැර ගියේ හදිසි හෘදයාබාධයකිනි.ඔහු නැවත විවාහයක් ගැන නොසිතාම ලොකු අම්මා වෙත නික්ම ගියේ ඇගේ වියෝවෙන් නව වසරක් ගෙවෙද්දී ය.

නමුත් මේඝාගේ තාත්තා විවාහ වූයේ මේඝාට අම්මා කෙනෙක් අවශ්‍ය බව පවසමිනි.පුංචී කෙදිනකවත් මේඝාට අම්මා කෙනෙකු නොවී හිඳින්නට පරිස්සම් වූවා ය.නමුත් ඈ සින්ඩරෙල්ලාගේ කුඩම්මා පන්නයේ නරක නපුරු ගැහැනියක වූයේද නැත. ඊයේ මේඝා තාරුකාගේ නිවසට යන්නට සිතාගෙන ගෙදර ගොස් ඇඳුම් අසුරද්දී කුණාටුවක් සේ කඩා වැදී මේඝාට පහර දී හිස බිත්තියේ අනින තුරුම ඈ මේඝාට පහරක් එල්ල කළ ගැහැනියක නොවේ. එය ද සිදු වන්නට ඇත්තේ හදිසි ආවේගයට ය.

“උණ තියාගෙන පිනි බාලා සෙමත් හදා ගන්න. එතකොට මට පුලුවං සේරම වැඩ දාලා ආයේ බේත් ගේන්න දුවන්න..”

නැලවිලි ගී අසමින් අතීතයේ ඇවිද ගිය මේඝාට පියවි සිහිය පැමිණියේ බිනරගේ හඬට ය. ඔහු සඳපහන යට සිටගෙන මිත්‍රශීලි සිනාවකින් මුව සරසාගෙන හුන්නේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x