ඔබට ඇහෙනවනම් – 12

0
1255

නව යෞවනයේ දී ඕනෑ ම ගැහැනු ළමයෙකු ගේ හදවතට එබිකම් කරන ආදරයේ ළහිරු කිරණට වසා ගත් කවුළු ඇති ව සිටින්නට මම පෙළඹුණෙමි. ඒ තාත්තා ගේ උකුසු ඇස් හින්දා ය. මල් උයනක් රකිනා උයන් පල්ලෙකු සේ තාත්තා නිරන්තර මා වටා කැරකුණේ, සිය උයනෙහි සුපිපි හොඳ ම මල නන්නාත්තාරේ යන කොලුවෙකු විසින් සිඳ ගෙන යාවියි සැකයෙන් මෙනි. අයියා ගේ යාළු කොල්ලන්ට අපේ ගෙදර තහනම් ප්‍රදේශයක් වූයේ ය. මා මග බැස යනවා නම් අහල ගම් හතක කොල්ලන් ඇස් පියා ගෙන බිම බලා ගෙන සිටිත යුතු යයි තාත්තා සිතුවා සේ ය.  හදවතෙහි ගැස්මක් ඇති කළ කොල්ලන් දෙතුන් දෙනෙකු ගැන ම මතකය පාසල් විය හා බැඳී තිබුණත්, තාත්තා ට වන බිය නිසා ඒ පොහොට්ටු කිසි දා පිපෙන්නට වරම් නො ලැබුවේ ය. පාසල් විය නිමා කිරීමෙන් පසු වුව මා කෙරේ තාත්තා ගේ රහස් පොලිස් ඇස් ක්‍රියාත්මක වන එක නතර වූවා නොවේ. නමුත් මම මගේ හදවත මත්තේ මා රිසි ආකාරයේ පෙම්වතෙකු මවා ගෙන ඔහු හා පෙමින් බැඳී සිටියෙමි. ඔහු හා සසැඳෙන්නට හැකි කොල්ලන් අඩු වී ද, මඳ පමණින් හෝ සසැඳුණ කිහිප දෙනෙක් මා කෙරේ ආකර්ෂණය නොවූහ. මට කැමැත්තෙන් පස්සෙන් ආ බහුතරයක්, මගේ මනස් ලෝකයේ පෙම්වතා හා සසැඳුණේ නැත. කෙසේ වෙතත් තාත්තා ගේ ඇස් මානයේ දී  පිටස්තර පිරිමියෙකු හා ලං ව හිඳීමේදී අදටත් අර අතීත ගැස්ම මගේ හදෙහි නො වෙනස් ව ඇති බව මේ මොහොතේ මට පසක් කර ගත හැකි විය.

“තාත්තෙ මේ…අපේ සර්…”

හාන්සි පුටුවෙන් නැගිට අප වෙතට ආ තාත්තා ට මම කුලාන් ව හඳුන්වා දුනිමි. ‘සීයා’ කියා ගෙන ගොස් ඔහු ගේ දෙපා වැළඳ ගත් මුණුබුරා ගැන වුව ඒ හැටි තැකීමක් නො කළ හෙතෙම ඇස් කුඩා කර ගෙන කුලාන් දෙස ම බලා සිටියේ ය.

“මං පුතා එක්ක වැස්සෙම ත්‍රීවීලර් එකක් ගන්න බලං ඉද්දි සර් දැකල අපිට ලිෆ්ට් එකක් දුන්න”

“සර් කිව්වේ…”

තාත්තා තව දුරටත් සිටියේ අග මුල ගලපා ගත නො හැකි පැටලීමක ය. ඒ පැටලුණ තැන මම හැඳින ගතිමි.

“ආ නෑ නෑ තාත්තෙ එම් ඩී සර් නෙවෙයි. මේ ශ්‍රීනාත් සර් ගෙ පුතා. මිස්ට කුලාන්. ළඟදි රට ඉඳල ඇවිත් කම්පනි එකේ වැඩ බාර ගත්තෙ”

“ආ…ඒක මිසක්කා. ඒකනෙ මං බැලුවෙ සර් කිව්වහම”

“යං සර් ඇතුළට”

තාත්තා ගේ හැසිරීම ඉදිරියේ කුලාන් කිසියම් අපහසුතාවයකට පත් වී නම් ඔහු ඉන් මුදවා ලනු වස් මම කීවෙමි. 

“නෑ නිම්නා. මං මෙහෙමම යන්නං. වැස්සෙත් අඩුවක් නෑනෙ”

අම්මා රෝද පුටුව කරකවමින් අප වෙත ආවේ ඒ වෙලාවේ ය.

“මං බැලුව කතා කරන සද්දයක් ආවට කවුද කියල”

අම්මා ගේ මුහුණේ සිනහවක් වී ද ඇස් වල වූයේ කුතුහලයයි. මම වහා ඇගේ ප්‍රශ්නය සංසිඳවීමි.

“සර් මේ අපේ අම්මා. අම්මෙ මේ ශ්‍රීනාත් සර්ගෙ පුතා. මං අම්මට කියල තියනවනෙ සර් ගැන. මහරගමදි අපිව දැකල වැස්ස නිසා ගෙදරටම එක්කං ආවා”

“අනේ…ඉතිං වාඩි වෙන්නකො දරුවො. නිම්නා සර්ට තේ එකක් හදන්නකො. මේ සීතලේ හිරිකඩ වැදි වැදි එළියෙ ඉන්නෙ…එන්න පුතා ඇතුළට”

අම්මා ඇයට පුරුදු ළෙංගතු කමින් ඇරයුම් කළා ය. ඒ ඇරයුම පිළිගන්නවා ද නැත්ද යන දෙගිඩියාවෙන් ඔහු අම්මා දෙසත් මදෙසත් බැලුවේ ය. අපේ වාගේ තැනක හිඳ ඔහු තේ එකක් බොන්නට කැමති වේවිද කියන දෙගිඩියාව මා තුළ ඇති විය.

“අනේ අම්මෙ…අපේ වගේ ගෙදරකිං තේ බොන්න කියල ඉතිං සර්ට කොහොම කියන්නද…”

ලෝකයේ මොන බාධක හතර වටින් වූවත් ඒ වෙලාවේ ඔහු ගේ තරවටු ඇස් දෙක මා අල්ලා ගත්තේ ය. තාත්තා ළඟ ඉද්දී පිටස්තර පිරිමියෙකු දෙස බලන්නට පණ බයේ දැඟලූ කෙල්ලව ඒ එක මොහොතට මට අමතක ව ගියේ කොහොමද කියා මා දන්නේ නැත. ස්ව කැමැත්තෙන් ම මම ඒ තරවටුව විඳ ගැනීමේ ලා අවනත වෙමින් සිටියෙමි. ගැහැනු ආත්ම ඒ විදිහට යටහත් කර ගන්නා පිරිමිකාර බැල්මවල් හැම පිරිමියාට ම නො වන බව ද ඒ කලබල අස්සේ ම මට සිහිපත් විය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් - 46

“නිම්නා…තේ හදන්නකො එහෙනං අපි බොන්නෙ නැද්ද බලන්න”

දෑසින් මා වසඟයට ගනිමින් ඔහු අපේ කුඩා ආලින්දයට ගොඩ වූයේ ය. අම්මා ගේ වත මත සිනහ මල් යායක් ම පිබිදිණි.

“ඒකනෙ. අනේ ඉඳගන්න පුතේ. මං ඒත් හිත හිතා හිටියෙ. කුඩයක් අරං ගිහිල්ලත් නැති එකේ නාගෙන තමයි එන්න වෙන්නෙ කියල”

“අම්මටයි තාත්තටයි දෙන්නටම සනීප නෑලු නේද…”

“අනේ ඔව් පුතේ….”

මම මුළුතැන්ගෙයට වැදුණෙමි. හදවත මත පිනුම් ගසන ප්‍රීතියට නියත හේතුවක් නොවන බව මම දනිමි. නමුත් ඒ අනියත හේතුව මම දනිමි. සතුට කියන්නේ ස්වායත්ත වූ හැඟීමකි. නිරපේක්ෂ වූ හැඟීමකි. එය වෙනත් කිසිදු දෙයක් මත රඳා පවත්නේ නැත. කිසිදු දෙයක හිලව්වට ලබා ගත හැකි වන්නේ නැත. සතුටු වන්නට අවැසි නම් ඒ කාරණාව කොහේ කොතැනක කොහොම පැවතුණත් අපට එය අදාල වන්නේ ද නැත.

“කවුද අම්මි ඒ අංකල්…”

මා තේ හදමින් සිටියදී පුතා මවෙත විත් දැවටී ඇසුවේ ය.

“ඒ අම්මි වැඩ කරන ඔෆිස් එකේ බොස් පුතේ”

මම ඔහු ට වඩාත් සුරතල් භාෂිතයකින් කතා කළෙමි. නිරායාසයෙන් ම එසේ වන තරමට මගේ හිත සැහැල්ලුවට පත් වී ද තිබිණි.

“බොස් කියන්නෙ කාටද…”

“බොස් කියන්නෙ ඔෆිස් එකේ ලොකුම එක්කෙනාට. ඒ කියන්නෙ ඔෆිස් එක අයිති එක්කෙනාට”

“එයා හොඳයිද…”

“ඔයාට මොකද හිතුණෙ…එයා හොඳයි වගේද…ම්…ඉන්නකො. මං ඒ අංකල්ට තේ එක දීල එන්නං හොඳේ”

“අනිත් දවසෙත් එයාට කියනවද මාව කාර් එකේ දාගෙන එන්න කියල. බස් එකටයි ත්‍රී වීල් එකටයි මං ආස නෑ”

හිත හෝස් ගා දැවිණ. බොහෝ දින වල මා මහරගම සිට පුතු කැටිව එන්නේ බසයෙනි. ඇතැම් විට ඔහුට එය වෙහෙසක් වන්නට ඇත.

කුලාන් තේ බීවේ එය රස විඳිමින් බව සිතා ගන්නට මට අපහසු වූයේ නැත. තේ එක නිම වූ ගමන් ඔහු සමු ගෙන ගියේ ය.

“හරිම හොඳ දරුවෙක්. ලොකු කමක් ගෑවිලාවත් නෑ. කට පුරා අපිට අම්මෙ තාත්තෙ කියල කතා කරපු හැටි බලන්නකො”

අම්මා උද්දාමයට පත් ව සිටියත් තාත්තා ගේ මුහුණේ ඒ හැටි හොඳක් නොවූ බව මට දැනිණි. නමුත් මම ඒ ගැන වැඩි දුර හිතන්නට නො ගියෙමි. පුතා නිසා සෙනසුරාදාව ගෙවී ගියන්නේ හිත හිතා ඉන්නට කොහොමටත් හිතට ඉසිඹුවක් නො දෙමිනි.

තාත්තා විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවත් පෙර දා පැමිණි මනාලයා යළි තාත්තා ට කතා කොට තිබිණි. මුලින් කතා කළේ කපුවා බව අම්මා කීවා ය. පය පාමුලට පැමිණි වාසනාවට පයින් ගහන්නට එපා යයි ඔහු කියා තිබේ. දුව ගේ අකමැත්ත පිට මෙය කළ නොහැකි බව තාත්තා දැනුම් දුන් බව අම්මා කීවා ය. ඉනික්බිති මනමාලයා ද තාත්තා ට දුරකතනයෙන් කතා කොට දෙවන වතාවටත් සිතා බලන්නයි ඇවිටිලි කර ඇත.

“ඒ මනුස්සයට වයස වැඩියි. කපුවා අපිට වෙන චිත්‍රයක්නෙ ඇඳල පෙන්නුවෙ මුලිං”

අම්මා මා හා කීවා ය.

“මට කවුරු හරි කසාද බඳින්න ඕනයි කියල හිතෙනවනං ඒ මනුස්සයගෙ වයසවත් දරුවො තුන් දෙනෙක් ඉන්න එකවත් මට ප්‍රශ්නයක් නෙවෙයි අම්මෙ. ඒත් මට එහෙම උවමනාවක් නෑ. අනිත් එක දැං මට වෙන අරමුණක් තියෙනව. මගෙ දරුව…”

මුළු මහත් මා වෙතින් අම්මා මගේ ඉරණම දුටුවා දැයි නො දනිමි. කෙසේ වෙතත් දරුවන්ගේ අනාගතය ගැන වචන වලින් පැහැදිය නො හැකි විදිහේ අවිනිශ්චිත තිගැස්මක් ඕනෑම අම්මා කෙනෙකු ගේ හිතේ වන බව නම් මම දනිමි. දෙපයින් නැගී සිටින්නට වාරු නො මැති මවක වශයෙන්, මගේ අනාගතය ගැන වන ඉහිලිය නොහැකි බියක් මගේ අම්මා ට නො වනවා නම් මම පුදුම වෙමි.

“අයිය මීට වඩා ඔයා ගැන බලන්න ඕනෙ. සහෝදරයෙක් විදිහට. වෙන සහෝදරයෝ ඉන්න එකක්යැ”

එහෙම කියත්දී අම්මා ගේ හඬ බිඳී ගියේ ය. පවුලකට පිරිමි පුතෙක් මුලින් උපදිත්දී දෙමාපියන් වැඩියෙන් සතුටු වෙති. කවදා හෝ පවුල ගැන බලන්නට ලොකු අයියා කෙනෙකු සිටිනා බැවිනි. අපේ අය්යා උපන් දවසේත් අම්මා එහෙම විසිතුරු හීනයක් දකින්නට නැත. නමුත් තාත්තා හදවත් රෝගියෙක් වූවාය කියා හෝ අම්මා ආතරයිටිස් රෝගයෙන් රෝද පුටුවකට වැටුණාය කියා හෝ එක ම නංගී දික්කසාදිත වූවා ය කියා ඒ ගැන තැවුලක් හෝ බරක් අයියා ගෙන් අපට දැකිය නො හැකි විණි. නමුත් ඔහු කසුන් හා මා අතර දික්කසාදය සිදු නොකරන්නට දැඩි උත්සාහයක් ගත්තේ ය.

කියවන්න :  ඔබට ඇහෙනවනම් -25

‘දික්කසාද වුණා වගේද ඊළඟට එන ප්‍රශ්න ….කවුද මෙයා ගැන බලන්නෙ…අපිට පුළුවන් ද බලන්න…ගියානං මිනිහෙක් එක්ක මොන කට්ට කාගෙන හරි ඉන්න එකයි තියෙන්නෙ”

ආරංචිය අසා පරල වී ගෙදර විත් ඔහු ඩෙඟා නැටුවේ ය.

“ලොකු පුතා. ඒ මිනිහට බාල්දු වෙන්න මං මේ කෙල්ලව තවත් උගෙ දෙපතුල ළඟට යවන්නෑ. උඹට නංගි ගැන බලන්න බැරිනං නිකාහිටහං. මගෙ හුස්ම ටික තියෙනකල් මං ඒකිව බලා ගන්නව”

ඇඟ බේරා ගන්නට අයියාට වූ උවමනාවට තාත්තා නිල වශයෙන් ම අවසරය ලබා දුන්නේ ය. එදා පටන් ඔහු මට කුමක් වී දැයි ඇහැක් ඇර බැලුවේ නැත.

“ඕව අයියගෙ තීරණ නෙවෙයි. අපේ ලේලි සිඟිත්තගෙ ඉගැන්නුම් බස්”

අම්මා මගේ හිත හදන්නද ඇගේ ම හිත හදා ගන්නද මන්දා ඉඳ හිට එහෙම කියයි. මට නම් ඒ කිසිත් ගැන කිසිදු හිත් තැවුලක් නැත. විවාහ ජීවිතයක් කියන්නේ කොයි පැත්තෙන් අල්ලා ගන්නට තැත් කළත් සංකීර්ණ වූ යමක් බව දැන් මම අත්දැකීමෙන් දනිමි. 

සඳුදා උදේ මා විජේරාමෙන් බැස පාර පනිත්දී “ඒයි…ඒයි…” ගා කතා කරන පිරිමි හඬක් ඇසිණි. ඒ මට යයි මා කොහෙත් ම නො සිතූ මුත්, හැඩි දැඩි පිරිමි අතක් මගේ වැලමිට ළඟින් ඇල්ලුවේ ය. මා හැරී බැලූයේ බෑග් එකෙන් හෝ දමා ගසන්නට සිතා ගෙනයි. නමුත් මගේ නෙත් අදහා ගත නො හැකි වූයේ ඒ එදා මා බලන්නට පැමිණි මනාලයා බව සිහිපත් වීමෙනි.

“ඔයාව හම්බ වෙලා යන්නයි මං මෙතන්ට ඇවිත් හිටියෙ. එදා දැනගත්තනෙ ඔයා වැඩ කරන්නෙ මෙහෙ කියල”

මම මග අයිනට වී නතර වීමි.

“ඇයි ඉතිං…තාත්ත පණිවිඩයක් දුන්නා නේද…”

“අපි මේක පොඩ්ඩක් කතා කරමුකො. ඇයි ඉතිං මට අකමැති වෙන්නෙ…අපි දෙන්න එක බෝට්ටුවෙ වෙච්චි”

මග යන එන අය අප දකිත්දැයි මම යටැසින් බැලීමි.

“එහෙම දෙයක් නෙවෙයි. මං ආයෙ මගෙ පුතාව මං ළඟට ගන්නයි හදන්නෙ”

“ඉතිං ගන්න. මගෙ තුන් දෙනයි ඔයාගෙ එක්කෙනයි. අපිට හතර දෙනයි. හතරක් නෙවෙයි අනේ දහයකට වුණත් අඩු පාඩුවක් නැතුව කන්න බොන්න දෙන්න මට පුළුවන්”

“අනේ…කරුණාකරල වෙන කෙනෙක්ව හොයල බලන්න. තරහ වෙන්න එපා”

“මට ඔයාට රාජ කුමාරියක්ට වගේ සැප සම්පත් දෙන්න පුළුවන්. ඔයා කිසි දේකට බය වෙන්න ඕන නෑ”

“මං දැං යන්නද…ඔෆිස් යන්න පරක්කු වෙනව”

“අනේ පොඩ්ඩක් ඉන්නකො”

ඔහු මගේ අතින් ඇල්ලුවේ ය. මා දෑසින් ගිනි පිට කරමින් ඔහු දෙස බැලුවෙමි.

“අතාරින්න”

“ඔයාට මට අකමැති වෙන්න හේතුවක් නෑනෙ”

“මොකද්ද මෙතන සිද්ද වෙන්නෙ…”

ඔහු මෙන් ම මා ද එහඬින් තිගැස්සී ගිය බව සහතික ය. මගේ අත දැඩි ව ඇල්ලූ ග්‍රහණය මිදී ගියේ ය. කුලාන් කෝප දීප්ත දෑසකින් අප දෙස බලා උන්නේ ය.

“අනේ මේ මල්ලි. මේක මේ අපේ පුද්ගලික ප්‍රශ්නයක්. මේ ඉන්නෙ මං බඳින්න ඉන්න කෙනා. මල්ලි ශේප් වෙලා යන්නකො මෙතනිං”

“නිම්නා”

කුලාන් දැඩි හඬින් කතා කළේ ය.

“ස්…සර්..”

මට ගොත ගැසිණි.

“මොකද්ද මේ කියන්නෙ…”

“සර්…මේ…අපේ තාත්තල…මේ ළඟදි මාව බලන්න කියල ගෙන්නපු මනමාලයෙක්. අපි කැමති නෑ කියල තාත්ත කියල යැව්ව. ඒත් මෙයා මෙතනට ඇවිත්…”

“මිස්ටර්”

කුලාන් ඔහු දෙසට හැරුණේ ය. 

“කරුණාකරල ඔයා යන්න දැං. පණිවිඩේ දීලනෙ තියෙන්නෙ…නේද…ඉතිං එහෙම එකේ මෙහෙම පාරවල් වල රැකං ඉඳල මෙහෙම කරදර කරන එක වැරදිනෙ නේ…මේව පොලීසි වලට එහෙම කම්ප්ලේන් කළොත් ලේසි වෙන්නෑ හොඳේ”

“හරි මං ඕගොල්ලංගෙ ගෙදරට එන්නංකො”

කියමින් ඔහු පසෙක වූ පරණ වෑන් රථයකට නැග ගත්තේ ය. මම සුසුමක් මුදා හළෙමි.

“පිස්සුද ආ…”

කුලාන් කෑ ගැසුවේ ඒ මහ මග බව හෝ නො තකමිනි. මට බිම බැලිණ.

“නගිනව ගිහිං කා එකට”

වචනයක් හෝ නො දොඩා අවනත වන්නට මට වූ හේතුව කුමක් දැයි මම නො දනිමි. ඊට හේතු හොයා දැන ගන්නට ද මට ඕනෑ නැත.

4.7 7 votes
Article Rating
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments