මන්දාරම් හැන්දෑවක -14

මුහුදු රළ පෙණ බිඳිති විසි කරමින් වෙරළට පැමිණෙන අන්දම ජනිඳු බලා සිටියේ මිෂෙල්ගේ කියවිල්ලට සවන් යොමා ගෙන ය. ඇය තොරතෝංචියක් නැතිව කියවන්නී ය.මේ තමන්ගේ නැවතුම බව ජනිඳු දැන සිටියේ ය.ඇය මේඝා තරම් රූමත් නැත.එහෙත් මූල්‍යමය වටිනාකම් ඇති තැනක නැවතීමේ අගය ජනිඳුට ඉගැන්වූයේ තාත්තා ය.

“ආදරේ කන්නද පුතා.අර එක මෝඩයෙක් බලනව,ගිය තැනක් නෑ..අම්ම අප්ප නැති මූසල කෙල්ලෙක් යාලු කරගත්ත අතුරුදහන් උනා.ලෙඩ්ඩුන්ගෙ අදෝනායි වැලපිලියි අහගෙන කොහෙහරි හොස්පිටල් එකක ඇති කියමුකො.ඒත් ඒකත් සැලරි එකක්ද.. “

තාත්තා ලොකු අයියා ගැන අප්‍රසාදයෙන් කතා කරද්දී ඇවිලෙන ගින්නට පෙට්‍රල් බූලි ගණන් හැලීම ජනිඳුගේ විනෝදාංශය විය.අනාගත අරමුණු වෙනුවෙන් ඔහු ඛනිජ නිධි සොයා හෝ ඉන්ධන ගෙනැවිත් තාත්තාගේ කෝපාග්නියට හලන්නට නොපසුබට විණි.

“එයාටනම් අපිට අදාළම නැති ඩිග්‍රියක් කරන්න හිතුණනෙ තාත්තේ.ඒ නිසා හිටියත් නැතත් අපිට වැඩක් නෑ. අම්මගෙ අනාත මඩම් ටිකේ ඇච්චො බැච්චො ටිකට නම් පිනට බේත් ගන්න තිබ්බ.එහෙමයැ පොඩි අයියා.අච්චර සල්ලියක් වියදං කරල ඇමරිකාවල ස්ටඩීස් කරල දැන් බලන්නකො එයාගෙ ලයිෆ් ස්ටයිල් එක. “

දිනිඳු තමන්ගේ රජදහන ආක්‍රමණයට නොඑන වග ජනිඳුට විශ්වාසයක් තිබිණ. ආදරය නිසා කිරුළ හැර දමන කුමාරවරුන් මෙන් සත්‍ය ප්‍රේමවන්තයෙකු වන්නට ගිය දිනිඳු නැවත පැමිණෙන්නේ ම නැති බව ඔහු ඇදහුවේ ය.නමුත් තරිඳුගේ ආගමනයට ඔහුගේ කැමැත්තක් තිබුණේම නැත.තරිඳු හැදෑරුවේ ද ව්‍යාපාර කළමනාකරණය ය.ඔහුට ව්‍යාපාර පවරන්නැයි අම්මා කියවන්නට ගැනීම අදක ඊයේක සිට සිදු වන්නක් නොවේ.නමුත් ඇමරිකානු යුවතියකට පෙම් කරන තරිඳු ඈ හැර එන්නට අකමැත්තෙන් එහිම රැකියාවක් තෝරා ගත්තේ ය. ප්‍රේමය නිසා වත්කම් අමතක කර දෙසොහොයුරන් ගැන ජනිඳුට තිබුණේ සාවද්‍ය හැඟීමකි.එහෙත් මේඝාගේ සිදුවීම නිසා තරිඳු නැවත පැමිණෙන බව පැවසීම ජනිඳුට මානසික වදයක් විය.

“අර මෝඩ ගෑනි කතා කළේ නැද්ද බබා? ” මිෂෙල්ගේ පැනය ජනිඳුව පියවි සිහියට රැගෙන ආවේ ය.මේඝාගෙන් එකදු ඇමතුමක්වත් නැති වීම ඔහුට ද පුදුමයකි.ඇය ජීවිතය හැරදමා නැති බවද තහවුරු ය.මේඝා කොහේ හැංගෙන්නට ඇත්දැයි ජනිඳුට ද තිබුණේ සැකයකි.

“ඒ සමයමගෙ යාලුවා කියන්නෙ ඒකි මහණ වෙන්න ගියා කියල..” ජනිඳු මුහුදු රළ ඝෝෂාව ද ඉක්මවන අන්දමේ සිනාවක් විසි කළේ ය.සමාජ ශාලාවේ දී ඇති තරමට මත් වූ නිසා මිෂෙල් ද ඒ සිනාවට එක් වූවා ය.ගැහැනියක අසාධාරණයට ලක් කළ මිනිසෙකුට පෙම් බඳින්නට වීම ගැන ඇයට කිසිදු දෙගිඩියාවක් තිබුණේ නැත.මේඝාගේ වීඩියෝ පටය මුදාහැරුණු දා වඩා ප්‍රීතියෙන් ඔද වැඩුණේ ඇය ය.

“ජනිඳු මගේ ක්‍රෂ් එක. මේකි මාව පුදුම විදියට ඩිප්‍රෙස් කරා..ජනිඳුගෙ කිසිම අෆෙයා එකක් මේකිව තරම් මාව හර්ට් කරලා නෑ..දැන් හරිනෙ යස වැඩේ..” මිෂෙල් මිතුරියන්ට පැවසුවේ වියරුවෙනි. ෆේස්බුක් ව්‍යාජ ගිණුම් කිහිපයක් සාදා ගත් ඇය මේඝා ගැන අහස පොළොව නුහුලන බොරු අවලාද සකසමින් ප්‍රචාරය කළා ය. වීඩියෝව පාලමක් ව ඇති අවස්ථාවක ඒ අසත්‍ය අවලාද එහෙමෙහෙ සංසරණය වූයේ ඇසිල්ලකිනි.මේඝා කොහේ හෝ සිට මේවා බලමින් කම්පිත වනු ඇතැයි සිතමින් මිෂෙල් අප්‍රමාණ සංතෘෂ්ඨියක් ලැබුවා ය.එහෙත් දුරකථනය අහකට දැමූ මේඝා ඒ කිසිත් දුටුවේ නැත.ඇයට ඒවා ගැන කිසිම ආරංචියක් නොදෙන්නට බිනරත් තාරුකාත් ප්‍රවේසම් වූහ.අත අත නෑර ළඟ රැඳෙන්නට සැබෑ මිතුරන් වූ නිසාම මේඝා ඒ ගින්නෙන් නොදැවුණා ය.එහෙත් මිෂෙල්ගේ සමීපතමයන් පවා කළේ ඇයට ඇවිලෙන්නට දෑ සොයා දීම ය.

ඇය දැන් ජනිඳු ඇසුරු කරන්නේ මොනයම් මොහොතක හෝ ඔහු තමන්ට විවාහ යෝජනාවක් කරතැයි සිතමිනි.

ජනිඳු මිෂෙල්ව හැරලවා නිවසට ආවේ පාන්දර ජාමයේ ය.ඇඳිවතෙන් ම යහනට පෙරළී නින්දට වැටුණු ඔහු උදෑසන අවදි වූයේ තද බඩගින්නකිනි.දහවල් වනතුරු නිදා ගැනීමට එරෙහි වූ බඩගින්න ගැන කෝපයෙන් ඔහු පහත මාලයට ආවේ උදෑසන ආහාරය වෙනුවෙනි.

“තමුසෙගෙ ඔය රස්තියාදුකාර ජීවිතෙ නවතින්නෙ කවද්ද ඕයි?” සේවිකාව ලබා දුන් කිරි වීදුරුවද රැගෙන කෑම කාමරයේ අසුනකට වැටුණු ජනිඳු ගැස්සී ගියේ කන අසලින් ඇසුණු හඬිනි.තරිඳු අප්‍රසාදය තවරා ගත් බැල්මකින් බාල සොයුරා දෙස බලා හුන්නේ ය.ජනිඳු පෙරළා අවඥා සහගත සිනාවක් නැගුවේ ය.

“මං ඔයාට නිතරම කියනවනෙ මිස්ට තරිඳු. ඒක කරන්න බෑ..”

තරිඳු එවදන් නොසලකා ජනිඳු අසලින් හිඳ ගත්තේ ය.තද මත්පැන් ගඳක් තවමත් ජනිඳු කෙරෙන් වහනය වේ.තරිඳු මතින් තොර නොවූව ද තමන්ගේ සීමා දැන සිටි තරුණයෙකි.විනෝදය සහ බේබදුකම අතර පැහැදිලි වෙනස දන්නා ඔහු නොදන්නා රටක දී පවා බේබද්දෙකු නොවන්නට වග බලා ගත්තේ ය. යාන්තම් වයස විසි පහක් වූ ජනිඳු කෙළවරක් නැති මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ගැන තරිඳුට වේදනාවක් ද නොදැනුණා නොවේ.ඒ සොයුරු පෙමට උරුම වේදනාවකි.නමුත් ජනිඳුට බුරුලක් නොදෙන්නට ඔහු තද තීරණයක් ගත්තේ ය.

“කෝ අර ළමයා!”

තරිඳුගේ ආවේගය පිරුණු කටහඬ විහිළුවකට ගන්නට ජනිඳුට ඕනෑ විය. ඔහු සැන්විචස් පෙත්තක් හපමින් ඉවත බලා ගත්තේ ය.

“තමුසෙ ඒ ළමයට මොකද කරේ.. කොහෙද හැංගුවෙ?” තරිඳුගේ පැනයට ජනිඳු උස්හඬින් හිනැහුණේ ය.

“මං කොහෙ හංගන්නද හලෝ…හංගන්න ඕන නම් එයාගෙ වීරක්‍රියා මම පබ්ලිෂ් කරනවයැ.මං හිතන්නෙ එයාගෙ කොලිෆිකේෂන් වලට ජොබ් එකක් හම්බෙලා ඇති. මාර පර්ෆෝමන්ස්නෙ තිබ්බෙ.තමුසෙත් ආසාවෙන් බලල වගේ නේද?”

තරිඳුට මේ අමන තරුණයාගේ මුහුණට දෙකක් අනින්නට තදබල උවමනාවක් හට ගත්තේ ය.එහෙත් කෑම කන ස්තෙකුටවත් හිංසා නොකර හිඳින්නට ඉගැන්වූයේ අම්මා ය.මොහු අයියාගේත් තමාගේත් බාලයා වූයේ කෙසේදැයි තරිඳු සිතුවේ කෝපය මිශ්‍රිත ශෝකයකිනි

“මං තමුන්ට ඔය ප්‍රස්නෙන් ගැලවෙන්න නම් දෙන් නෑ මල්ලි.උඹ හිතන්න එපා අහිංසක කෙල්ලෙක්ගෙ සාපෙන් තමුසෙ ගැලවෙයි කියලා..” කෝපයෙන් එසේ පැවසූ තරිඳු අනතුරුව වඩා සෞම්‍ය හඬැතිව ජනිඳු ඇමතී ය.මෙය කේන්තිය පෙරට ගෙන විසඳිය හැක්කක් නොවේ.

“ඒ ළමය හොයාගෙන සමාව අරන් මැරි කරනව..මං තමුසෙව මාත් එක්ක එක්ක යන්නං.. එහෙ ටික කාලයක් ඉඳල ආපහු එනවලා..”තරිඳු නැගී සිටියේ තවම පහව නොගිය මත සහිතව ය. කෝපයෙනි.

“ඉතිං තමුසෙ ඒකිව හොයාගෙන බැඳගන්නව. ඉවරයිනෙ..” ඊළඟ තත්පරයේ දී තරිඳුගේ ශක්තිවන්ත දෑතින් ජනිඳු යළිත් පුටුවට වැටිණ.තරිඳුගේ කෝපදීප්ත දෑස ජනිඳු දවාලමින් තිබුණේ ය.හිත තරමක් තිගැස්සුණ ද ජනිඳු කෝපයෙන් අයියා දෙස බලා සිටියේ ය

“ඔව්! මං ඒක කරනව..මං ඒ ළමය හොයල මැරි කරනව. තමුසෙ වගේ කාලකන්නි බේබද්දෙක් බැඳගන්න එක අතකට ඒකි කරපු වැරැද්ද මොකක්ද? මේ ගෙදරට ඒ ළමයා ගෙනල්ලා අම්මා ලව්වා දුවේ නොකිව්වොත් මං උඹේ අයියා නෙවෙයි ජනිඳු!”

තරිඳු එසේ පවසා යන්නට ගියේ ය.ජනිඳු තිගැස්මෙන් සහ කෝපයෙන් වෙව්ලමින් බොහෝ වෙලාවක් ගෙවා දැමී ය.සාමකාමී ලොකු අයියාට වඩා පොඩි අයියා හාත්පසින්ම වෙනස් මිනිසෙකි.ඔහු පැවසූ දෙයක් කිසිදා නොකර සිටියේ නැත.ලොකු අයියා අතුරුදහන් වූ පසු තරිඳු මවුරට හැර දැමුවේ අයියාට සැඟව යන තැනට කටයුතු කළ තාත්තා සමඟ යළි කතා නොකර හිඳින්නට ගිවිස ගෙන ය.එය පවා එලෙසම සිදු වී නම් මෙය සිදු නොවේදැයි ජනිඳු සිතුවේ තිගැස්මෙනි.කෝපයෙනි.

“ඉන්න තැනකින් උඹව හොයාගෙන මං උඹව ඉවරයක් කරනව..”

ජනිඳු වියරුවෙන් සිතුවේ දුරකථන ගැලරිය පිරික්සමිනි.මේඝාගේ ඡායාරූප බොහොමයක් ද තවත් වීඩියෝ පට ද ඔහු සතුව ඇති බව ජනිඳුට සිහි විණ.ඉන් කිහිපයක් මුදාහැර මේඝා සියදිවි නසා ගන්නා තැනට කටයුතු කරන්නට ජනිඳු තීරණයක් ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles