ඔබට ඇහෙනවනම් -32

7
3079

කාර්යාල පරිශ්‍රය පිස වැස්සක් වහිමින් තිබිණි. මම කුටියේ වීදුරු කවුළුව ළඟ හිටගෙන අඳුරු ලලා වහින අහස දෙස බලා සිටියෙමි. වැස්සක් ව හෙලා අහස ඔය නිදහස් වන්නේ මොන තරම් කඳුළු බරකින් ද? 

වැහි බින්දු පොළොවට ආනත රේඛා ඔස්සේ පතිත කරමින් සුළඟක් හමා ගියේ ය. වැස්ස දැඩි වන ලකුණු පෙනෙන්නට තිබිණි. සුළඟත් එක්ක හාදු වී, එතෙක් රැකවරණය දුන් නටුවෙන් ගිලිහී ආ තුරු පතක්, කවුළුවේ වීදුරු පියන් පතෙහි හැපී එහි ඇළිණි. මහත් සන්තාප සුසුමක් මගේ ආත්මයෙන් ගිලිහී ගියේ ය.

“එක්ස්කියුස් මී”

වැහි හඬත් එක්ක ඈත තරුවක සිට පා ව ආ අඳෝනාවක් ලෙසිනි මට ඒ හඬ ඇසුණේ. මම වහා හැරී බැලීමි. කුෂ්ලානි වීදුරු දොර අඩක් විවර වන සේ තල්ලු කර ගෙන බලා සිටියේ මහ වැස්සක පෙර නිමිති ඇති ඇස් දෙකකිනි. මම කවුළුව ළඟින් මෑත් ව මගේ මේසය වෙත ආවේ ආරාධනා දෑසකින් කියා නො සිතමි. නමුත් මගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක් විය. අනාරාධිත ව ම කුෂ්ලානි ඇතුළට ආවා ය. අනතුරු ව එක්වන ම ඉකිළන්නට පටන් ගත්තා ය.

“ඇයි මේ…”

මම මගේ අසුනට බර වෙත්දී ඇයත් අසුන මත වැටුණා ය. ඉන් පසු ඉකි බිඳ බිඳ හැඬුවා ය.

“අනේ නිම්නා ප්ලීස් හෙල්ප් මී. මාව ඉන්ටඩික්ට් කරන්න දෙන්න එපා ප්ලීස්”

“ඉන්ටඩික්ට්…”

හිසට දරුනු පහරක් වැදුණා සේ මට දැනිණි. කුෂ්ලානි ගේ හැසිරීම ප්‍රශ්නයක් වූ බව ඇත්ත ය. නමුත් ඇය මට ඍජු ව බලපෑමක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. බලපෑමක් වෙන අය පාරෙන් ඉවත් කරමින් සිය ගමන යන අය සිටිති. නමුත් මා එවන් කෙනෙක් ද? මා මේ කියන්නට යන්නේ සමාජයේ අනිත් මිනිසුන්ට ගැහැනුන් ට වඩා මා සුවිශේෂ චරිතයක් කියා නම් නොවේ. ලෝකයට පෙනෙන්නට එලෙස රඟපෑමේ අවශ්‍යතාවයකුදු මට නොවන බව සහතික ය. කෙසේ වතුදු මට එරෙහි වන අය මගේ ඇස් මානයෙන් ඉවත් කිරීමේ උවමනාවක් මේ මොහොතේ ත් මට දැනෙන්නේ නැත.

“කුලාන් නෝටිස් එකක් එවල. ඇයි එයා මට එහෙම කරන්න හදන්නෙ…මං ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්. මට එහෙම කරන්න එයාට පුළුවන් ද…”

හිත දිය වී යන්නට තරම් මා දියාරු ගැහැනියක වූයේ නැත. නමුත් ගැහැනියක වශයෙන් මෙවන් තත්වයකින් ඇය දොට්ට දමන්නට හැකි ද යන පැනය මා ඉදිරියේ විය.

“කුලාන් මාව මැරි කරන්න උනන්දුවකුත් නෑ. එයා ඒක මගඅරින්න හදනවද කියලත් මට හිතෙනව. ඒ අස්සෙ දැං මට ජොබ් එකත් නැති කරන්න හදනව. මගෙ තත්වෙ ගැන හිතන්න නිම්නා. මේ එයාගෙ දරුවෙක්නෙ”

ඒ සා දරුණු විදාරණයක්! මගේ කන් අඩි පුපුරා යන්නට ඇතැයි සිතුණ තරමි. ටික වෙලාවක් යන තෙක් මට ඒ කම්පනයෙන් මිදිය හැකි වූයේ නැත.

“කුලාන් සර් ගෙ බබෙක්…”

“වයි…කාන්ට් යූ බිලීව් මී… එයා ලංකාවට එනකල් අපි එකටයි ජීවත් වුණේ”

එසේ නම් ඒ කවර අසාධාරණයක් ද? නමුත් කුලාන් කීවේ වෙන කතාවකි. වසරකට වැඩි කාලයක් ඔහු ඇය ගෙන් වෙන් වී ජීවත් වූ බවයි. දෙදෙනා ගෙන් සත්‍ය පවසන්නේ කවුරුන් ද? මා විශ්වාස කළ යුත්තේ කාව ද?

“මං කුලාන් සර් එක්ක මේ ගැන කතා කරන්නං”

මට ඕනෑ වූයේ කුෂ්ලානි ව එතැනින් යවා තනි වන්නට ය. ඒ වෙලාවේ කුලාන් සිය අසුනෙහි වූයේ නැත. යළිත් වැහි වහින දර්ශනයක් දරා හිඳිනා කවුළුව වෙත ගොස් මම පිටත බලා ගතිමි. මේ මුරුගසං වැස්සේත් මගේ උගුර කට වියළී ගොස් තිබිණි. ලස්සන කතා මවා තියා ගැහැනුන් මුලා කරන පිරිමි ගැන මා නො දන්නවා නොවේ. කුලාන් ගල්හේන කියන්නේත් එවන් රංගන ශිල්පියෙක් ද? මගේ යටි හිත ඉකි බිඳ හඬනවා මට ඇසිණි. ඒ, කුෂ්ලානි කුස දරා හිඳින දරුවා ගේ ජීව විද්‍යාත්මක පියා ඔහු යයි අසන්නට වීම නිසා නොවේ. ඔහු මගෙන් සත්‍ය වසන් කොට මට බොරු කීවා යි දරා ගන්නට බැරි දුකට ය. ගැහැනියකට ඉවසා දරා ගත නො හැකි දරුණු ම වේදනාව එය කියා මම සිතමි. ඈ පෙම් කරන මිනිසා ඇයට බොරු කළා යි දැන ගන්නට ලැබෙනා එකයි!

හිත සවිමත් කර ගෙන මම කුලාන් හමු වුණෙමි.

“කුෂ්ලානි මැඩම් ව ඉන්ටඩික්ට් කර්න්නද හදන්නෙ සර්…”

මගේ කට කොනක් වෙව්ලා යනවා මට දැනිණ. කුලාන් සිනහවක් නගා ගත්තේ ය.

“ඇයි…ඔයා මට කියන්නෙ මීටත් වඩා දේවල් වෙනකල් මොකෙද්ද වගේ බලං ඉන්න කියලද…”

“ඒත් සර්…”

“නිම්නා…ඔයා මේකට ඉන්වෝල්ව් වෙන්න හදන්න එපා. මේ වෙලාවෙ මං තීරණයක් ගත්තෙ නැත්තං කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මට මගෙං ම අහන්න වෙයි උඹ පිරිමියෙක්ද කියල”

“සර්…එයා ප්‍රෙග්නන්ට්”

“ඉතිං මං මොකක් කරන්නද ඒකට…”

අතට අහු වූ ස්ටේප්ලර් මැෂිමෙන් ඔහු ට දමා ගසන්නට මට සිතිණි. ටික කාලයකට හෝ ඔහු මගේ සිහින වල සැරිසැරූ එක ගැන මම මට ම ශාප කොට ගතිමි.

“එයා ප්‍රෙග්නන්ට් නිසා තමයි මං මේ තරං ඉවසුවෙ. නිම්නා…මීට කලිං මං මෙහෙම ඉවසපු මිනිහෙක් නෙවෙයි. මට මෙච්චර ඉවසන්න පුළුවන් කියල මං දැනං  හිටියෙත් නැති තරං. ඔයා කියන්නෙ මං මීටත් වැඩිය ඉවසන්න ඕන කියලද…”

“සර්…මං කියන්නෙ එයාට තව අවස්ථාවක් දෙමු කියල. මට කම්මුල් පාරක් ගහපු එකනං මේ ඉන්ටර්ඩික්ට් කිරිල්ලට හේතුව…ඒක වෙන්න ඕනෙ නෑ”

“නිම්නා…ඔයා මගෙ ඔළුව අවුල් කරනව නිම්නා”

ඔහු දෑතේ ඇඟිලි දහයෙන් ම සිය හිස කේ පිටුපසට ඇද ගත්තේ ය. මා අවුල් වී සිටි තරම ගැන ඔහු ට කියන්නට මට අවශ්‍යතාවයක් දැනුණේ නැත. ඔහු ඇය ව පසෙකට කරන්නට හදන්නේ මා වෙනුවෙන් ද? ඔහු මේ උත්සාහ කරන්නේ බොහෝ පිරිමින් මෙන් එක ගැහැනියක වෙනුවෙන් තවත් ගැහැනියකට පිටුපෑමට ද? 

“ගෑනු ළමයෙක් ට පිරිමියෙක් ගෞරව කරන්න ඕන සීමාවටත් එහා මං කුෂ්ලානි ට ගෞරව කළා. එහෙම කරන්නෙ ඇයි කියල සමහර විට ඔයාට වුණත් ප්‍රශ්නයක් තියෙන්න ඇති. ඒකට හේතුවක් නෑ. අන්තිමට එයා මාව හොයං ආව නිසා පිටුපාන්න බැරි කම විතරයි මට තිබුණෙ. හැබැයි මං ගොං හරකෙක්නං නෙවෙයි නිම්නා”

ඒ වෙලාවේ ඔහු වෙත කිසියම් සාහසික බවක් වූවා සේ මට දැනිණ. කුලාන් ඉවසීමේ සීමාව අතික්‍රමණය කරමින් සිටියා ද? නැත්නම් ඒ වාගේ පෙන්වන්නට ඔහු ට අවැසි වී ද?

මේ හදිසියේ මගේ හිත අරක් ගත් සැකයේ යක්ෂයා  හදවතේ පාලනය සියතට ගන්නා උත්සාහයක් දරමින් සිටියේ ය. අපට අපේ ම හිතට යමක් ධාරණය කරවන්නට උවමනා වූ විට දී සැකයේ වාසිය ලබා ගැනීම මිනිස් ගතියකි. ඒ දරුවා කුලාන් ගේ යි සිතන්නට මට ඕනෑ වී තිබිණි ද? ඒ එකදු පැනයකට හෝ නිශ්චිත පිළිතුරක් මා ඉදිරියේ වූයේ නැත!

“මේක පර්සනල් ඉෂියු එකක් නෙවෙයි. කුෂ්ලානි තව දුරටත් මේ ඔෆිස් එකේ හිටියොත් මෙතන වැඩ ටිකත් එහෙම්පිටින්ම අවුල් වෙලා යයි. එයාට පුද්ගලිකව මගෙං දෙයක් කෙරෙන්න ඕනනං මං ඒක කරනව. හැබැයි මෙතන තව දුරටත් එයාට වැඩ කරන්න බෑ. ඔයා ඒ ඩිසිෂන් එකට ඉන්ටෆියර් වෙන්නත් එපා. ඕකේ…”

ඒ අන්තිම තීරණය බව ත් ඒ ගැන තවත් කතා බහ කොට වෙනසක් කළ නො හැකි බවත් මට හැඟිණි. 

“ගහන්න ගහන්න වඳින එකාත් මෝඩයා වඳින්න වඳින්න ගහන එකාත් මෝඩයා කියනවනෙ. කුලාන් හරි”

අශිකා සිය තීන්දුව ප්‍රකාශ කළා ය. නමුත් මා තව දුරටත් හිටියේ දෙගිඩියාවේ ය. කුෂ්ලානි කියන්නේ මා විසඳා ගැනීමේ ආශාවකින් උන් ප්‍රහේළිකාවකි. කුලාන් මෙයාකාරයෙන් ඈ එළියට දැමීම මගින් මට ඒ ප්‍රහේලිකාව විසඳා ගැනීමේ අවස්ථාව නැති ව යයි. අනිත් අතට මා නිසා තවත් ගැහැනියකට රැකියාවක් අහිමි වෙනවා කියන කාරණය උහුලා ගැනීම මට ඒ තරම් පහසු වූයේ නැත.

“කුෂ්ලානි ගැන කුලාන් බලා ගනී. මං හිතන්නෙ ඔයා පාඩුවෙ ඉන්න එකයි කරන්න ඕනෙ”

නමුත් ඇගේ කුසයේ ඔහු ගේ දරුවෙකු වැඩෙනවාය කියන කාරණය අමතක කිරීම හිතූ තරම් පහසු වූයේ නැත.

එදා රාත්‍රියේ කුලාන් ගෙන් මගේ දුරකතනය ට ඇමතුමක් පැමිණියේ ය. කතා කරනවා ද නැති ද යන ප්‍රශ්නයෙන් මඳ වෙලාවක් නිරුත්තර ව බලා සිටියත්, අන්තිම මොහොතේ මම කතා කළෙමි.

“නිම්නා හිතනවද මං මහ අමානුෂික මිනිහෙක් කියල…”

ඔහු ගේ ප්‍රථම පැනය වූයේ එයයි. මම කල්පනාකාරී ව කතා කළෙමි.

“මං හිතන්නෙ…සර් ගැන එහෙම තීන්දුවක් ගන්න තරං කාරණා මං සර් ගැන දන්නෙ නැහැ නේද…”

යකඩ ගැහැනියක වුණත් දිය වී යන මොහොතක් උදා වන්නේ ය. පාසලේ දී ඉගෙන ගත් පෘථිවි ගෝලයෙහි හරස් කඩක් මට සිහි විය. දිය වී වැගිරෙන ලාවා ගෝලයක් වසංගා ගෙන ඉන්නේ මතුපිට කබොලෙනි. මගේ නො සන්සුන් කල්පනා සියල්ල මම ත් මම යකඩ ගැහැනියක ගේ කබොලකින් වසා ඉමි.

“ඔයා අමුතු කෙනෙක්. මං දන්නව කුෂ්ලානි ඉන්ටර්ඩික්ට් කරපු එක ඔයාට ප්‍රශ්නයක් කියල”

“සර්ට ඒක ප්‍රශ්නයක් නෙවෙයිද…”

“ළමයො. අපි කකවුරුත් අසීමිත නෑ. සමහර තැන් වලදි අපිත් සීමා වලට එනව”

“ඒත් කුෂ්ලානි මැඩම් මට කිව්ව….”

ඒ ඔහු හා කතා කළ යුතු දෙයක් ද කියා මම තවත් සිතුවෙමි. මගේ සීමාවෙන් ඔබ්බට ගොස් කුලාන් ගේ ජීවිතය ට අත පොවන්නට කිසි සේත් මට උවමනා නැත. නමුත් සිතින් බැඳුණු මිනිසෙකු කෙරේ ක්‍රියා කිරීමේදී ගැහැනු හදක සියලු රැඩිකල් බැමි බිඳී යන බව විශ්වාස කටයුතු ය.

“ඔවු මොනාද කුෂ්ලානි කියන්නෙ…”

මා බලාපොරොත්තු වූවාට වඩා ඒ භාෂිතය සන්සුන් වූයේ ය.

“ඒ බබා සර්ගෙ කියල. එහෙම එකේ..”

“මොකද්ද කියන්නෙ…”

කියන්නට ගිය දේ මට කියා නිම කරන්නට ලැබුණේ නැත. ඔහු මහ කන්දක් සේ උස් ව නැගී සිටියේ ය. මට මගේ කුදු බව ඇසිල්ලකින් දැනෙන්නට ගත්තේ ය. ඒ වූ කලී ඔහු ගේ හඬේ උස් බව නිසා ඇති වූ තත්වයක් නො විය යුතු ය. සත්‍යවාදී බවක්, ඔහු ගේ නැගී සිටීමෙහි මට දැනිණි.

“මොන විකාර කතාවක්ද මේ…දැං ඔයා ඒ කතාව පිළි අරගෙනද ඔය ඉන්නෙ…”

“ඒක මං පිළි ගන්න ඕනද නැද්ද කියල එකක් නෑනෙ සර්. මං කවුද…මං පිටස්තර කෙනෙක්. ඒත්…”

“ඉනෆ්. මෝ දෑන් ඉනෆ්”

කියමින් ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය.

මා සන්සුන් ය කියා, මට ඒ ප්‍රශ්න වල අදාලතාවයක් නැති ය කියා මට ම හඟවන්නට මගේ සිතට උවමනා වුණත්, මුළු රැයක් මම නිදි නේන අවිවේකී රැයක් ගත කළෙමි. කුෂ්ලානි යනු කවුරුන් ද, ඈ ආවේ කුමට ද යන ප්‍රශ්නය මසිත් හි සුළි කුණාටු ඇති කරමින් කැළඹිණි.

“සතුටෙන් ඉන්න දැන්වත් පුළුවන් වෙයි කියල මං හිතුව. මදැයි…”

ඇති වී තිබෙන තත්වය ගැන අශිකා සැබවින් ම ශෝක වූවා ය.උදේ සිට ම කුලාන් ගේ ඉරියව් ද වෙනස් බව මට නො දැනුණා නොවේ.  නමුත් මම මගේ සුපුරුදු මන්දස්මිතයෙන් වැඩ කළෙමි.

“බාහිර කෙනෙක්ගෙ, විශේෂයෙන්ම පිරිමියෙක්ගෙ ඇස් වලිං අපේ ජීවිතේ සතුට හොයන්න නරකයි අශී. අපේ සතුට හොයා ගන්න ඕනෙ අපි තුළින්. මං සතුටෙං තමයි ඉන්නෙ. මං සතුටු වෙන්නෙ වැඩ කිරීමෙන්. එතකොට කාටවත් බෑ අපේ සතුට නැති කරල දාන්න”

එදා කාර්යාලයට නො පැමිණි කුෂ්ලානි ගෙන් මගේ දුරකතනය ට ඇමතුමක්  ආවේ අශිකා ත් මා ළඟ සිටියදී ය.

“කුලාන් මට හොඳටම බැන්න නිම්නා…බබා ගැන ඔයාට කිව්ව කියල”

එසේ කියත්දී ඕ ඔක්කාර කළා ය. ඊළඟට හඬ නගමින් වමනය කළා ය.

“අනේ සොරි. මෝනිං සික්නස් වගේ…”

මමත් අශිකාත් මුහුණෙන් මුහුණ බලා ගතිමු. 

“නිම්නා. මාව…ෆේන්ට් වෙන්න එනව වගෙයි”

ඇය එසේ කීවා ය. ඊළඟට එහා අන්තය නිශ්ශබ්ද විය.

“මැඩම්…කුෂ්ලානි මැඩම් “

මම කිහිප වරක් කතා කළෙමි. නමුත් පිළිතුරක් වූයේ නැත. කිසිත් සිතා ගත නො හැකි ව මම කුලාන් ගේ කුටියට දිව ගියෙමි.

“සර්…කුෂ්ලානි මැඩම් ගෙ තැනට ඇම්බියුලන්ස් එකක් යවන්න. එයා ෆේන්ට් වුණා. බලන්න වෙයි නේද…”

මා කෙතරම් කලබලයට පත් ව සිටියේ ද යත් මා තරම් ම කුලාන් කලබල වන්නට ඇත.

“මේ ළඟනෙ ඉන්නෙ. අපි ගිහිං බලමුද නිම්නා…”

සියල්ල සිදු වූයේ ඉක්මනිනි. අප යන විටත් කුෂ්ලානි බිම වැතිර සිහිසන් ව උන්නා ය. කුලාන් ඇය ව ඔසවා රියට නංවා ගත්තේ ය. ආසන්නයේ වූ පෞද්ගලික රෝහලක් වෙත රිය ඉගිලිණි. අඩු තරමින් වතුර ටිකක් මූණට ඉස ඇය ගේ පියවි සිහිය කැඳවන්නට තිබුණා නේද කියා හෝ මට සිතුණේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිරියේ රිය නැවතෙත්දී ය.

“අපි බෙහෙත් ටිකක් දීල බලමු. සිහියනං දැං එයි”

ඇය පරීක්ෂා කළ වෛද්‍යවරිය කීවා ය.

“මෙයා ප්‍රෙග්නන්ට් ඩොක්ටර්”

මා වහා එසේ කීවේ දරු ගැබට ඇතැම් බෙහෙත් අහිතකර වෙතැයි  බියෙනි. කුෂ්ලානි ගේ නාඩි පරීක්ෂා කළ වෛද්‍යවරිය ගේ මුහුණ වෙනස් වූයේ ය.

“ප්‍රෙග්නන්ට්….”

“ඔව් ඩොක්ටර්”

“නෑ. එහෙම වෙන්න විදිහක් නෑ”

ඇය නළල රැළි නංවා ගත්තා ය. කුලාන් මගේත් මා ඔහු ගේ ත් මුහුණු බලා ගතිමු. සිදු වන කිසිත් මට සේ ම ඔහු ට ද පැහැදිළි නො වන බව ඒ බැල්මේ ලියැවී තිබිණි.

4.3 6 votes
Article Rating
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Ishani Uthpala
4 months ago

Kushlani boruwakda koheda karala thiyenne 😒💔

Sudharshana Abeyrathne
4 months ago

බොරු කාරී.
මේ නිම්නාත් අර ගෑනි කියපුවා විස්වාස කරානෙ.දැන්වත් තේරුම් ගත්තොත් ඇති.
අනේ මගෙ පපුව නවති මේ ජෝඩුව ඈත් කරන්ඩ නම් එපා

Madhushika Vitharana
4 months ago

ඇති යන්තම්.. 👍

දිල්හාරා ❤️
4 months ago

හම්මේ ඇති යාන්තම්…. ❤️❤️❤️

Hemi
4 months ago

🧡🧡🧡

Anuradha silva
4 months ago

Boruwa ahuunanneda

Chamira
4 months ago

නාඬි බලල pregnencyඑක කියන්න පුලුවන් doctorsල ඉන්නෙ මොන ලෝකෙද?

urine test එකක්වත් කරන්න කියන්න එපැයි?