මන්දාරම් හැන්දෑවක -32

මේඝා උදෑසන අවදි වූයේ හිරුගේ පළමු රැස් කැරැල්ල පොළොවට එබෙන්නටත් කලිනි.ඈ මුවකට දොවා මුළුතැන්ගෙයට එබෙද්දී මාධවී වෙද හාමිනේටත් යසාටත් සහය වෙමින් සිටියා ය.මේඝා කරන්නට වැඩක් සොයා මුළුතැන්ගෙය හාත්පස නෙත් විහිදවූවා ය.

“පුතාට කරන්න තරම් වැඩක් නෑ. ඕවා මමයි යසයි කරගන්නං..මං අක්කටත් හැමදාම කියනව අන්තිම මොහොතේ සාරි පටලගන්න බලන් ඉන් නැතුව හෙමින් සීරුවෙ ලෑස්‍ති වෙන්න කියල..”

වෙද හාමිනේ කියන්නේ ආදරය පිරුණු කටහඬිනි.මේඝා දෑස් උස්සා ඈට හොඳම සිනාවක් පා කළා ය.

“අනික පුංචි නෝනාට උයන්න පිහින්නත් බෑනේ ඉතිං..”

යසා එලකිරි රත් කරන අතරේ පැවසුවේ මේඝා දෙස බලමිනි.තමන් මෙහි ආ දා පටන් පොල් සම්බෝලයක තරමේ දෙයක් නොසැකසූ බවත් දිනිඳු ආ මොහොතක හැරෙන්නට තේ කෝප්පයක් හදන්නටවත් උනන්දු නොවූ බවත් සිහි වී මේඝාට මතු වූයේ සිනාවකි.ඈ නිහඬවම සිටියා ය.

“නංගිට රසට උයන්න පුලුවං යසා.එයාගෙ පුංචි අම්මා බිස්නස් එකක්නෙ කරන්නෙ.එයාට හරියට වැඩ. නංගි තමයි ගෙදර පොඩි අයට කන්න බොන්න හදලා ඉස්කෝලෙ යන්න ලෑස්ති කරන්නෙ..”

මාධවී සිහින්ව පලා ලියමින් පැවසුවා ය.කෙතරම් උයන්නට හපනියක් වුවත් අක්කා තරම් සිහින්ව පලා ලියන්නට නොහැකි බව සිහි වී මේඝාට දැනුණේ සියුම් සන්තාපයකි.

“ඒක මිසක්ක..උයන්න පිහන්න බැරුව ගෑනු දැරිවියෙක්ගෙං වැඩක් තියෙයියැ.කවදහරි නැන්දම්මලගෙන් දෝස්මුර විඳගන්න වෙයි..”

යසා එසේ කියමින් කඩිමුඩියේ තවත් වැඩකට අත ගැසුවා ය.තමන්ගේ නෑදෑ සනුහරයෙන් ඈත්ව වෙසෙන දිනිඳු සිතේ ඇඳී මැකී යද්දී මේඝා ඒ හැඟීම කාටහෝ පෙනුණාදැයි සිතමින් ලැජ්ජාවට පත් ව මුහුණ රතු කර ගත්තා ය.

“ඕවා ඉතිං යසා බලන ටෙලි විගඩංවල තියෙන කතා.මං දැක්ක ඊයෙත් යසා ඔහොම කතන්දරේකට ඇසුයි කනුයි ඔක්කොම අලෝගෙන ඉන්නව.ඊටපස්සෙ අර මද්දු ළමය ගේන කෙල්ලෙක් එක්ක රංඩු අල්ලන්නවත් තියා ගනී..”

වෙද හාමිනේගේ කතාවට මාධවී උස්හඬින් හිනැහුණා ය.වෙද හාමිනේගේ පන්නයේ ගැහැනියකගෙන් එවැනි කතාවක් අපේක්ෂා නොකළ මේඝා පුදුමයට පත්ව අක්කා දෙස බැලුවා ය.එහෙත් වෙද හාමිනේගේ කතාව අවසන් වී තිබුණේ නැත.

“ගෑනු ඉන්න ඕන කුස්සියෙ මුල්ලෙ කියල විස්වාස කරන පිරිමි මේ ගංතුලාන වල නෙවෙයි පුතේ ඔය කොළඹ රටෙත් ඉන්නව. මං ඊයේ දැක්කා යසා බලපු ටෙලි විගඩමක බොහොම තරුණ නැන්දම්මා කෙනෙක් පුතාගෙ ගෑනු ළමයට ඇනුම්පද කියන හැටි.උයාගෙන පිහාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්න කියල කෙල්ලන්ව කුස්සි මුල්ලට තල්ලු කරාම හොඳට තියෙයි. තමන්ට කන්න උයා ගන්න කොහෙවත් ඉන්න කෙල්ලො උස්සන් එන්න ඕනයැ තමන්ගෙ පුතාලගෙ කරේ එල්ලලා..”

මේඝා පොඩි අක්කාගේ දෑස් මත වූ දිස්නය දුටුවා ය.සාම්ප්‍රදායික වෙද පවුලක එකම පුතු වන රජරට තරුණයෙකු හා විවාහය පොඩි අක්කා මෙන් කොළඹ කෙල්ලෙකුට නොගැළපෙන බව හැමදෙනෙකුම කියද්දී පවා පොඩි අක්කා වරුණ අයියාවම පැතුවා ය.ඒ තීරණයේ වරදක් නැති බව දැන් මේඝාටම පැහැදිලි ය.

“උයන්න පිහින්න ගෙදර වැඩ කරන්න කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් පුරුදු වෙන්න ඕන.මං අපේ පුතාට සේරම පුරුදු කළායින් මාධවී දුවට කොච්චර නිදහසක් තියෙනවද..උදව්වට යසායි මායි හිටිය නොහිටියා දුවට තනියෙං වද විඳින්න වෙන් නෑ. ඔය අපේ නංගිත් බිනරට අතට පයට සේරම කරන්න ගියෙ.මං තමයි බැනලා කරල ඉවිල්ලෙ පිහිල්ලෙ ඉඳලා ගහකට නගින්න පවා කොල්ල උනන්දු කරේ.දැන් ඕනනං පොලුත් කඩයි.වී හැලිත් තම්බයි..”

එසේ කී වෙද හාමිනේ මේඝා වෙත හැරුණා ය.

“කසාදයක් කියන්නේ හවුල් වියාපාරයක් පුතෙ.දෙන්නම සේරම දැනන් ඉන්න ඕන.අන්න එතකොට තමයි ලේසි.ඒ නැතුව එක්කෙනෙක් සම්පූර්ණ බර ඇදල බෑ.මං කසාදෙන් පස්සෙ අපේ මහත්තයගෙං වෙදකමත් ඉගෙන ගත්ත.අපි මේ පරණ තාලෙ ගෑනුත් එහෙමනං දුවල කවදාවත් කුස්සි මුල්ලෙ ඉන්න ගෑනු වෙන්න ඕන නෑ..”

තමන්ගේ කතාව නිසා එතරම් දිගු කතාබහක් ඇති වීම ගැන යසාට දැනුණේ අපහසුවකි.ඈ මිදුල අතුගාන්නට සිතා පිටව ගියා ය.භාජන කිහිපයක් සෝදමින් හුන් මේඝා වෙත ආ වෙද හාමිනේ මාධවී වෙතට ද සිනාවක් පා කළා ය.

“දුවගෙ කේන්දරේ හැටියට ඉක්මන් කසාදයක ලකුණු තියනව. ඒකමයි මට මේවා කියන්න හිතුණෙ.අපිව දාලා ඉක්මනට ගියොත් එහෙම..”

උදෑසන හතට ආසන්න නිසා මුළුතැන්ගෙයි ජනේලයෙන් කඩුල්ල දෙස දෑස් කරකවමින් බලා හුන් මේඝා ඒ කතාවට තිගැස්සුණා ය.ඇගේ හොරගල් ඇහිලීම සියුම්ව නිරීක්ෂණය කළ මාධවී එක් දෙයක් තීරණය කළා ය.

“අම්මගෙ වෙලාව බැලිල්ලෙ නරකක් නෑ.වැරදිත් නෑ.පොඩියට හරි වෙඩින් එකක් නම් ළඟ එන පාටයි..”

ඈ ඒ සිතුවිල්ලෙන් මේඝා සමීපයට ආවා ය.මේඝා හුන්නේ සැබෑවටම මඟ බලමිනි.අද දිනිඳුට අසීරු දිනයක් බැවින් ඔහු අසල රැඳෙන්නට හැකි නම් යැයි ඈ සිතුවා ය.

“අදට ඉනුලිගෙ අම්මා නැති වෙලා අවුරුදු හතරක් පොඩ්ඩි.දිනිඳුල අද උදේම අටමස්ථානෙ යන්න ඇති.. ගිහින් වැඳලා සමාට පිං දීල බෙහෙත් ගන්න බැරුව ඉන්න මිනිස්සු කීප දෙනෙක්ගෙ ගෙවල්වලටත් ගිහිං සල්ලි දීලා එයි දිනිඳු.එයා දවසම පිං අතේ වැඩ කර කර තමයි ඉන්නෙ.”

පොඩි අක්කාගේ කතාව ඇසූ මේඝා වහා බිම බලා ගත්තා ය.මඟ බැලීම අක්කාට හසු වූවාදැයි ඇයට දැනුණේ ලැජ්ජාවකි.එහෙත් ඇයට පෙර වචන එළියට පනින්නට පටන් ගත්තේ ය.

“එහෙනං දිනිඳු අයිය මට හවසට එයයි ඉනූයි එක්ක බෝධියට යන්න එන්න කිව්වෙ..”

මාධවී මඳ වෙලාවක් නැගණිය දෙස බලා සිටියා ය.දිනිඳු ඇගෙන් ප්‍රේමය විමසා වරුණ සමඟ කතා කළේදැයි ඇයට සැක ඇති විණි.නමුත් මේඝා වෙහෙසා ඒ ගැන අසන්නට හැකිකමක් නැත.බිනරව අල්ලා ගන්නට ඈ තීරණය කළා ය.

“බිනරටත් එන්න කියන්න හොඳේ.තනියමම යන්න එපා.අම්මයි අප්පච්චි වැරදියට හිතුවොත් එහෙම.දරුවෙක් හිටියට දිනිඳු තාම ලස්සන කොල්ලෙක්නෙ..”

මේඝා මුළුතැන්ගෙයින් පිටතට ආවේ ඒ ලස්සන කොල්ලාව දෑස් මත මවා ගනිමිනි.ඔහුගේ හිනාවේ සහ පෙනුමේ තමන් අමතක කරන්නට වෙර දරන රූපයක ඡායා දැවටුණ ද දිනිඳු සැබෑවටම කඩවසම් බව ඇයට සිතිණ.

රජරටින් කිලෝ මීටර සිය ගණනක් ඈතක හිඳින තරිඳු ද උදෑසන අවදි වූයේ අද දවස ගැන සිහි කරමිනි.සාමාන්‍ය නිවෙසක වෙසෙන අයියා ගැන ආදරයකින් ද අනුකම්පාවකින් ද හදවත පිරී යද්දී නැවත අනුරාධපුරයට ගොස් ඉනුලි තුරුළු කරගෙන සිටීමේ ආශාවකින් ද ඇගේ හුරතල් කතා අසා හිඳීමේ පිපාසාවකින් ද තරිඳු දැවෙන්නට විය.ඔහු ඇගේ සුන්දර සේයාරූ කිහිපයක් දුරකථන තිරය මතට ගත්තේ ය.

“මංනං තාත්තගෙ අබ ඇටේක දෙයක් ගන්න එන්නෙ නෑ මල්ලි.ඒත් චූටි දූට ඒ දේවල් ලැබෙන්න ඕන.හරි කාලෙදි මං තාත්තා මුණ ගැහෙන්න එනව.කෙල්ලට මොකුත් නොදී ඉන්න බැරි වෙයි. ඒ තැනට මං එයාව ගේනව..”

සමුගන්නට මොහොතකට පෙර අයියා කී හැටි ඔහුට සිහි විණ.එහි ගැඹුරු අරුතක් ඇති බව සිතුණ ද තරිඳුට එය හාරාවුස්සා බලන්නට සිත් දුන්නේ නැත. කියන්නට උවමනා කතාවක් නම් අයියා ඒ වගක් නොකියා හිඳින්නේ නැති බව ඔහු දැන සිටියේ ය.

“ඔයා කම්පැනි පැත්තට වත් යන්නෙ නැත්තේ ඇයි සුදූ..”

අම්මා කිරි වීදුරුවක ද සමඟ මතු වෙද්දී තරිඳු වහා ඉනුලිගේ සේයාරූ නිවා දැමුවේ ය.අම්මා කියන දෙය නොඇසුණා සේ ඔහු කිරි වීදුරුව අතට ගත්තේ ය.

“ලොකූ අතුරුදහන් වුණා.චූටි ඔක්කොම කාබාසිනියා කරනව.මං ඕවට කොහොමත් අත දාන් නෑ.මං තව මාසෙකින් විතර ආපහු යනව.අම්මටත් පුලුවං ටිකට් එකක් දාගෙන මගෙයි ජෙන්ගෙයි වෙඩින් එකට එන්න..”

සල්වතුර මහත්මිය තරිඳුගේ ඇඳ මතින් හිඳ ගත්තේ කම්පනයෙන් මෙනි.නොගැළපෙන හිඟන කෙල්ලක සමඟ දිනිඳු සැඟව ගොස් බොහෝ කල් ය. සිංහල රටකට නොගැළපෙන සංකර ඇමරිකානු කෙල්ලක මද්දුම ලේලිය වන්නට සූදානම් ය.නැහැදුණු කෙල්ලක කළ විනාසය නිසා දන්නා හඳුනන පවුලක කෙලි පොඩිත්තියක ජනිඳුට යෝජනා කිරීම ද දැන් මඳක් අසීරු ය. හැදුණු පවුලක යහපත් දැරියක ලේලිය කර ගෙනවිත් ඇයට මැදුරේ සියළු රාජකාරි පවරා සිත්සේ සමාජ සේවය කරන සිහින බොඳ වෙද්දී ඇයට දැනුණේ වේදනාවකි.ඈ ඒ සියල්ල වචන කර තරිඳුට දුක කීවේ එනිසා ය.තරිඳු එය අසා උස් හඬින් හිනැහෙන්නට ගත්තේ ය.

“මහ ලොකුවට ටීවි එකේ කාන්තා විමුක්තිය ගැන ලොරි ටෝක්ස් දුන්නට අම්මා හිතන කැත. අපේ නිමාෂලා වගේ අලුත් පරම්පරාවේ කෙල්ලො ටිකක් ඇරුණම ඔය ස්ත්‍රීවාදය ගැන අම්මලා නම් දන්න දෙයක් නෑ.අසරණ වෙච්ච ගෑනුයි පොඩි ළමයිනුයි අම්මලට බිස්නස් ටූල්ස්. අම්මා මේ සිරිමත්ගෙ බාල නංගි කෙනෙක් ලේලි කර ගන්න බලන් ඉන්නව. පොඩි පුතා ජොනී සීන්ස්ට ඇඳල කෙල්ලො සේල් දානව..මේවා විහිළු අම්මෙ..”

එසේ කියා සෑහෙන්නට තරිඳුට සිත් දුන්නේ නැත.ඔහු නාන කාමරයට වැදෙන්නට පෙර බෝම්බයක් අත හරින්නට තීරණය කළේ ය.

“අනික අම්මගෙ චූටි පුතා ඒ වල් ගෑනි අත් ඇරලා දැන් තෝරගෙන ඉන්නෙ බොහොම ගුණයහපත් කෙල්ලක්.අර සිල්වියා ආන්ටිගෙ දූ පොඩ්ඩ මිෂෙල්. මිෂෙල් අම්මට උයලා දීල පන්සල් යන්නම එයි.හැබැයි අම්මෙ අර අම්මා වල් ගෑනියෙක් කියල හිතන කෙල්ලටනම් හොඳම මනුස්සයෙක් ලැබෙයි..”

තරිඳු ඈ සමඟ හාදව ඇතැයි යන බරපතල සැකය ද මිෂෙල්ගේ ආගමනය ගැන ද ඇති වූ කම්පනයෙන් සල්වතුර මහත්මියගේ හිස හිරි වැටී ගියේ ය.ඈ වහාම බෙහෙත්පෙති සොයා කාමරයෙන් පිටව ගියා ය.

4.3 6 votes
Article Rating
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
සුජා
3 months ago

ඒ කියන්නෙ දිනිඳු දන්නවා ඉනුලි කියන්නෙ දිනිඳුලාගෙ තාත්තගෙ දරුවා කියලා..

මේ වගේ උන්ට නම් කතාවකින් හටි දඬුවම් දෙන්නම ඕනෙ.