ඈත දුර ආකාසේ -01

හැන්දෑ අහස පඬු පැහැයට හැරෙමින් තිබිය දී තුරුලි දියත උද්‍යානයෙන් පිටතට ආවේ මුහුණ වැහෙන්නට සාරි පොට දවටා ගනිමිනි.ඉදිමී එන කම්මුල ලෝකයෙන් සඟවා ගන්නට ඇයට ඕනෑ විය.නමුත් දෑසින් උතුරා ගලා යන කඳුළු නිසා එකසිය හැත්තෑ හතරේ අංකය රැගත් බසයක් එනතුරු මඟ බලන්නට තරම් හැකියාවක ද නැත.අනෙක් කාරණය තවමත් කෝපයෙන් පුපුරා හැළෙන ආදිත්‍ය උද්‍යානයෙන් පිටතට පැමිණියහොත් මෙතැන සිදු වන විනාශය ඈ හොඳින් දැන සිටියා ය.කලබල නගරයෙන් මිදී නිවෙස්වලට යමින් සිටින මිනිසුන්ට මහන්සිය නිවා ගන්නට ඕපාදූපයක් වීමට ඇයට සිත් දුන්නේ ම නැත.තුරුලි ටැක්සියකට අත දැම්මේ එනිසා ය.

මීටර් ටැක්සි යැයි කීවාට ගමන මෙන් දෙගුණයක ගාස්තුව රිය තදබදය නිසා ගෙවන්නට වෙන බව ඈ නොදැන සිටියා නොවේ.එහෙත් ජංගම දුරකථනය ආදිත්‍ය අතින් කුඩුව ගොස් මිනිත්තු කිහිපයක් වත් නැත.ඉතින් ටැක්සි ඇප් එකක සේවාව ලබා ගැනීමට හැකියාවක් ද නැත.

තුරුලි නිවසට ඇතුළු වී වහාම නාන කාමරයට රිංගා ඇඟපත සෝදා ගත්තා ය.කොණ්ඩය ඇලෙන තරමට දහඩිය දමා ඇති බව ඇත්තකි.එහෙත් නාන්නට ගියහොත් මෙතැන් පටන් රඟපාන්නට යන “දතක් නරක් වූ කෙල්ල”ගේ චරිතයට හානි වෙන බව ඇය දැන සිටියා ය.

අම්මා කාමරයට එබී තේ කෝප්පය තබා ගියේ දත් කැක්කුම ගැන කතාව සම්පූර්ණයෙන් විශ්වාස කරමිනි.එහෙත් සරසවියේ දේශන නිමවා නිවසට ආ නංගී නම් තරුලි දෙස බැලුවේ විශ්වාසයකින් නොවේ.

“එයා දැන් මෙතන දොස්තර වෙයි ද දන් නෑ..”

තරුලි හිසේ සිර පොරවණය දවටා ගත්තා ය.නංගීට සත්‍යය පවසන්නට වුවහොත් වන්නේ සුළුපටු විනාශයක් නොවේ.

“අක්කා..ෆෝන් එක ඔෆ් ද..”

නංගි, සඳලි කාමරය එබුණේ තරුලි කොට්ටය පෙඟී යන තරමට හඬමින් සිටියදී ය. කුඩුව ගිය දුරකථනය අත් බෑගයේ අඩියේ ය.තරුලි වහා හිස සැලුවා ය.

“ආදිත්‍ය කෝල් කරන්නෙ මේ..”

ආදිත්‍ය නංගිට වඩා දෙවසරක පමණ වැඩිමහල් වුව ද ඇය කිසිදා ඔහුට අයියා කියන්නේ නැත.

“අක්කයි මමයි ට්වින්ස්ලා නෙ.අක්කා ආස්සරේ කරන අයට මාත් කියන්නෙ නමම තමා..”

තමන් අයියෙකු බව කියන්නට ආ ආදිත්‍ය එසේ අසා ගත්තේ මෑතක දී නොවේ.එදා සිටම ඔහුට සඳලි පෙනෙන්නට බැරි ය.

තරුලි යළිත් නෙතු නඟා බලද්දී සඳලි කාමරයේ කොතැනකවත් හුන්නේ නැත.ඇයට කරන්නට අප්‍රමාණ පාඩම් වැඩ ඇති නිසා නංගී ඇගේ කාමරයට යන්නට ඇතැයි ඇය අපේක්ෂා කළා ය.එහෙත් ඒ කල්පනාවට වැඩි ආයුෂ වූයේ ද නැත.සඳලි කාමරයට කඩා වැදුණේ හීයක වේගයකිනි.

“අක්කා.. කට අරිනවා..කෝ දත..”

අනුමානය වැරදී ගොස් නැත.සඳලි තමන් හදාරන වාස්තු විද්‍යා උපාධිය අමතක කර දමා දන්ත වෛද්‍ය උපාධියක් හදාරන්නියක වී සිටියා ය.එක මව් කුස එකම කාලයක බෙදා ගත් නංගිගෙන් රහස් සඟවන්නට කොහොමටත් පහසු නැති නිසා තරුලිට ඇදුම් කන දතක් නැති බව සඟවා ගන්නට නොහැකි විණි.

සඳලි අක්කාගේ ඉදිමී ගිය කම්මුල පිරිමදිමින් කෝපයෙන් දැවෙන්නට ගත්තා ය.

“කොහෙදිද අර ගොං මූසලයා ඔයාට ගැහුවෙ..අද මොකද උනේ”

ඇය අසන්නේ කෝපයෙනි.තරුලි කොට්ටයක් ඇඳ විට්ටමට තබා එයට වාරු ගත්තා ය.කියන්නට තරම් දිගු කතාවක් ද නැති තරම් ය.

“ඊයේ අර අපි පේජ් එකකින් ඔන්ලයින් ඕඩර් එකක් දාන්න ගිහින් අවුලක් ගියේ. ඊට පස්සේ අපි ෆේස්බුක් පාස්වර්ඩ් චේන්ජ් කරේ.මට අලුත් පාස්වර්ඩ් ආදිට දෙන්න අමතක උනානෙ.ඒකට තරහ ගිහින් බැන්නා. මම ඉතිං වෙච්ච දේ කිව්වා. එයා බනිනකොට හේතු කියනවා කියලා තව තරහ ගියා..”

ඉතා සිහින් හඬින් ඇසෙන අක්කාගේ කටහඬ සඳලිට ශෝකයක් නොව කෝපයක් රැගෙන ආවා ය.

“පුදුම මූසල මිනිහෙක්නෙ.මං හැමදාම කියනවා ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ්, ෆේස්බුක් පාස්වර්ඩ් ඔක්කොම ඌට මොකටද? ඔයාට කියලා පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන.මේ මිනිහට කිසිම මැනර්ස් එකක් නෑ. මං කොච්චර කියනවද අක්කා, ඔය ගොං තඩියගෙන් අයින් වෙන්න කියලා..”

තුරුලි එයට පිළිතුරු දුන්නේ නැත. ඈ ඒ වෙනුවට කඳුලු පෙරමින් බොහෝ වෙලාවක් ගෙවා දැම්මා ය.

“මේක මගේ ස්කූල් කාලෙ ඉඳන් ආපු එෆෙයා එක නංගි.හැමෝම දන්නවා.මං කොහොමද ආදිව අතාරින්නේ.මිනිස්සු මොනවා නොකියයිද?”

සඳලිට හට ගත්තේ විශාල කෝපයකි.පාසල් බසයේ හුන් නාහෙට නාහන දඩබ්බරයා ජීවිත ගමන එක්ව ඇවිද යාමට කිසිසේත් නොගැලපෙන අයෙකු බව ඈ අක්කාට නොපැවසූ දවසක් නැත.නමුත් තුරුලි ඒවා අසන්නට නොකැමති විණි.පාසල් යන කෙල්ලෙකුගේ හැඟීම් අත් හැරී යද්දී අක්කා ආදිත්‍යගෙන් ඈත් වේයැයි සඳලි සිතුව ද එය එසේ වූයේ ද නැත.වෙනකක් තබා අක්කා සරසවි යනවාටවත් ඔහු කැමැති නොවූ අන්දම සඳලි සිහි කරන්නේ උතුරා හැලෙන කෝපයෙනි.

“මිනිස්සු කොහොමත් මොනවම හරි කියනවා. අනික තමන්ට මානසික වදයක් නම් සහෝදරයෙක් උනත් අතෑරල දාන්න දෙපාරක් හිතන්න ඕන නෑ.ඔය මූසලයා තවත් ඔයාට අත උස්සන් ආවොත්නම් මම නිකා ඉන් නෑ අක්කා..”

සඳලි පිටව ගියේ අක්කාගේ කම්මුල තවන්නට උණු දිය රැගෙන එන්නට ය. ඇය මොනතරම් කෝපයෙන් කෑගැසුව ද ආදිත්‍ය සමඟ ගැටුමට නොයන බව තුරුලි දැන සිටියා ය.එනිසාම ඈ බියට පත් වූයේ නැත

නමුත් ඇයට එක් භීතියක් විණි.ඒ ආදිත්‍ය පැවසූ අන්දමටම සම්බන්ධය නිමා කර දැමුවා ද යන කාරණාව ය.මොනතරම් ශාරීරික, මානසික හිංසන ලැබුව ද ආදිත්‍යගෙන් තොර ලෝකයක් ගැන සිතන්නටවත් සඳලිට උවමනා නොවිණ.

ප්‍රථම ප්‍රේමය අවසන් ප්‍රේමයම බව ඈ සිතුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content