අහංකාර නගරේ -09

“ආ ගාබේජ් ගර්ල්”

මා දුටු වන ශෙනාලි හඬ නගා කීවා ය. ඒ හඬ ට සිතිජ වහා හිස ඔසවා බැලුවේ ය. මට සිනහ වෙන්නට අමතක ව තිබිණි. නමුත් මා හැඬුවා නොවේ. සිතිජ අප අතර සිදු වන්නට යන්නේ කුමක් දැයි වටහා ගත නො හැකි ව නෙතු කුඩා කොට බලා සිටින සැටි මගේ යටැස ට පෙනිණි. නමුත් මම කෙළින් ඔහු දෙස නො බලා සිටියෙමි. මින් මනත ට ඔහු දෙස බලන්න ට හෝ මට නො හැකි වන බව මම ඉඳුරා දනිමි. ඒ, මා ගැන මට දැනෙනා වූ හීන මානයක් හින්දා නොව මා වගේ කුණු අදින කෙල්ලක සමග ඇසුරකට යාම ඔහු වාගේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු හට නො ගැළපෙන බව තව මොහොතකින් සිතිජ විසින් තීරණය කරන්න ට නියමිත නිසාවෙනි.

ශෙනාලි හඬ නැගෙන සේ සිනහ වෙමින් සිටියා ය. ඒ විජයග්‍රාහී සිනහවකි. අලුත් ම සොයා ගැනීමක් කළ විද්‍යාඥවරියක සේ ඇය අභිමානවත් වූවා ය.  නමුත් මගේ රැකියාව ඈ තුළ ඒ තරම් විශේෂත්වයක් ඇති කරන්නට හේතුව කුමක් දැයි මට සිතා ගත හැකි වූයේ නැත.

“අම්මි…අහන්නකො මෙයාගෙං”

සිනහවෙන් ම ඇය එසේ කීවේ ඒ මොහොතේ ආලින්දයට එමින් සිටි රෝස් ට ය. විදුහල්පති බිරිය සැමරුම් පලකයක ඉටියෙන් නෙලූ ප්‍රතිමාවක් සේ අසුන් ගත වූවා ය. සිතිජ තව දුරටත් ඉන්නේ ප්‍රශ්නාර්ථයෙන් බව මට හැඟේ. කිසියම් අපහසුතාවයක් මා තුළ ලියලා එමින් තිබිණි.

“මෙව්නා”

රෝස් ගේ හඬ වූ කලී මවා ගත් කරුණා සාගරයකි. නමුත් ඒ හැබෑ කරුණාවක් නො වන බව සඟවා ලිය නො හැකි ය.

“ඇත්තද ඔයා වැඩ කරන්නෙ ක්ලීනිං සර්විස් එකක ක්ලීනර් කෙනෙක් විදිහටයි කියල මේ ශෙනාලි කියන්නෙ…”

විශ්වයේ ඇති තරම් අනුකම්පාව මට  පෙන්වන්නට ඇය ට උවමනා වී තිබිණි.

“ඇත්තද කියල අහන්නෙ…අම්මි මාර කතාවක්නෙ කියන්නෙ. මෙයා අපේ කැම්පස් එකේ ක්ලීනිං කරනව මං ඇස් දෙකට ම දැකපු එකනෙ”

ඕනෑ ම මිනිසෙකු හට අභිමානයක් කියා දෙයක් තිබෙන්නේ ය. පාසල් පුස්තකාලයේ වූ සියලු ම පොත් මම කියවා හමාර කොට ඇත්තෙමි. ඉන් කියවෙන්නේ ඒ තරම් විශාල පොත් කන්දරාවක් මා පරිශීලනය කොට ඇති බව නොවේ. අපේ පුස්තකාලයේ තිබූ පොත් ප්‍රමාණයෙහි වන සීමිත බවයි. නමුත් ඒ කියවූ පත පොතින් මා වටහා ගෙන තිබුණේ රැකියාව මිනිසුන් ගේ තරාතිරම තීරණය නො කරන බවයි. කුමනාකාරයේ රැකියාවකින් වුව කෙරෙන්නේ සේවයකි. වෛද්‍යවරයෙකු ට කළ හැකි සේවය කසල ශෝධකයෙකු ට කළ නො හැකි ය. එසේ ම කසල ශෝධකයෙකු ගෙන් වන මෙහෙය වෛද්‍යවරයෙකු හට කිසි දා කළ නො හැකි ය. ඔවුන් ගේ දැන උගත්කම් අතර වෙනසක් තිබුණා ට  ගේ වෘත්තීන් එක ලෙසට ගෞරවනීය ය.

“ඔව් මැඩම්. මං ඒ ක්ලීනිං සර්විස් එකේ තමයි වැඩ කරන්නෙ”

මම හිස කෙළින් තියා ගෙන, ස්වරයෙහි මඳ හෝ වෙව්ලීමක් නො වන සේ කතා කළෙමි. මුළු ගෙදර ම මීයට පිම්බා සේ නිහඬ විය. 

“රස්සාව කියන්නෙ කෙනෙක්ට ජීවත් වෙන්න තියෙන මාර්ගයනෙ මැඩම්. මාත් දැනට ජීවත් වෙන්නෙ මේ රස්සාවෙං. තාම කොළඹ ට ආපු ගමන්නෙ. හෙමිහිට ටිකක් හරි පහසු රස්සාවක් හොයා ගන්නව”

ඒ ටික කියා ගත්තා ට පස්සේ මට දැනුණේ පුදුම සැහැල්ලුවකි. ඇරඹුමේ දී හදවත මත පැට වී තිබි බර පුළුන් රොදක් බවට පත් වී තිබිණි. සත්‍යය වසංගනවා ට වඩා සත්‍යය මත පදනම් ව ජීවත් වීම කෙතරම් පහසු ද? 

“මෙව්නා මට කලිං කියන්න තිබුණනෙ. එහෙම වුණානං මං ඔයාට හොඳ තැනක ජොබ් එකක් හොයල දෙනවනෙ”

මිසිස් රෝස් කීවා ය. මම දෙතොල් තෙරපා සිනහ වුණෙමි. ඇය ට එසේ කළ හැකි නම් දැනුත් කරන්න ට පුළුවන. ලොකු ලොකු නෝනා මහත්තුරු ලෝකයට ප්‍රකාශ කරන තරම් මෙහෙයක් ක්‍රියාවෙන් ඉටු නො කරන බව මම අසා ඇත්තෙමි.

ආපසු මතු මහල ට පිවිසෙන පිය ගැට පෙළ නැගෙන්නට හැරෙත්දී සිතිජ ගේ ඇස් මවෙත දැල් වී ගෙන තිබුණේ ය. එක වතාවකට හෝ ඒ දෙස බලන්නට මා උනන්දු වූයේ නැත.

“ගාබේජ් ගර්ල්…හහ්!”

සුරනි මා වෙනුවෙන් දුක කේන්තියකට හරවා ගත්තා ය.

” මං එහෙමනං කියනව හොඳවයිං දෙකක්”

“මට තේරෙන්නෙ නැත්තෙ ශෙනාලි ට මාත් එක්ක එහෙම තරහක් මොකද්ද කියලයි. එයා මාව දන්නෙත් නෑ. මං යන්නෙ එයාගෙ පාරකත් නෙවෙයි…එහෙම එකේ…”

“මටනං හිතා ගන්න පුළුවන් ඒ මොකද්ද කියල”

මම පුදුම වුණෙමි. මා සම්බන්ධයෙන් මා නො දන්නා දෙයක් ඈ දන්නේ කොහොම ද?

“ශෙනාලි හිතං හිටියෙ එයාට වඩා ලස්සන කෙනෙක් ලොවෙත් නෑ කියලනෙ. ඇයි ඉතිං මේ ගෙදර ඇහැට කනට පේන්න හිටියෙ එයානෙ. දැං මේ ඔයා මහියංගනෙං හරි බිං තැන්නෙන් හරි කොයි තූත්තුකුඩියකින් හරි ඇවිත්නෙ. ඇස් කන් තියෙන ඕන කෙනෙක්ට පේනවනෙ ග්‍රීක දේවතාවො වගේ කෙල්ලො ඇත්තටම ඉන්න පුළුවන් කියල”

“අනේ මේ…පිස්සු හැදිලද…මේ අව්වට කරකුටු වෙලා ඉන්න මාව ග්‍රීක දෙවඟනකට සමාන කරන්නෙ…”

“හරි හරි. තමුංගෙ ලස්සන ගැන තමුං නොදැන ඉන්න එක කොහොමත් හොඳයි. නැත්තං වෙන්නෙ අර ශෙනාලිටයි නිදි කුමාරිගෙ කතාවෙ කුඩම්මටයි වෙච්ච දේ තමයි”

“මේකනං කටක් නෙවෙයි…”

මම සිනහ වෙමින් කීවෙමි. 

“නැත්තං ඉතිං ටික දවසක් තිස්සෙ මාත් මෙහෙ ඉන්නවනෙ. මං ඉන්නවද නැද්ද කියලවත් ඔය කෙල්ලො දන්නෑ. අපි ඉතිං යකා මාක්නෙ”

මම වඩාත් හයියෙන් සිනහ වන්නට වූයෙමි. මීට ටික වෙලාවකට පෙර හිතේ වූ හෝන්දු මාන්දු ගතිය කොහේ පලා ගියා දැයි මම ම නො දනිමි. ජීවිතය තියෙන්නේ සිනා සී ඉන්න යයි ඒ මොහොතේ සිනා සෙමිනුත් මට සිතිණ. හද්දා පිටිසර අතිශය දුෂ්කර ජීවිත ගෙවන මිනිස් වර්ගයා මගේ දෑසින් මා ඕනෑ තරම් දැක තිබේ. දුෂ්කරයි කියා ඔවුන් ජීවිතය හැර යන්නේ නැත. සිනා සෙන කල සියල් පිරිපත හා දෝමනස්සයන් මොහොතකට ඈතට ගසා ගෙන යයි. වෙන්නට නියමිත යමක් සිදු වන්නේ ම ය. කිරි අම්මා කියන්නේ ඒවා යකාට වත් නවතා ලිය නො හැකි බවයි. ඒ වන තෙක් හඬමින් තැවෙමින් සිටියා ය කියා සිදු වන වෙනසක් නැත. ඒ නිසා අපි සිනහ විය යුත්තෝ වෙමු.

“මේ…යංද පාර පැත්තට…”

“යං”

මම පැනපු ගමන් සුරනි ට එකඟ වුණෙමි. කොළඹ කියන කලබලකාරී හා අධි වේගී නගරයට මේ ටික දිනට මා පෙම් බඳින්නට ගෙන ඇති බව පිළි ගත යුතු ය. හැන්දෑවට වැඩ නිම වී බස් පාරේ ඇවිද ගෙන වුඩ්ලන්ඩ් මාවත ට ම එත්දී, ඇස ගැටෙන නෙකාකාර මිනිසුන් හා ගැහැනුන් ද ළමයින් හා නිශ්චල දේපල ද නිරීක්ෂණය කිරීම දැන් මගේ විනෝදාංශය වී තිබේ. නගරය හා මා අතර අලුත් බැඳීමක් ඇති වෙන්නට පටන් ගෙන තිබේ. මේ නුවර සිටින්නේ ඈත පිටිසර ගම්මාන වල සිටින අයටත් වඩා අසරණ මිනිසුන් යයි ඇතැම් අවස්ථා වල මට සිතේ. මේ මිනිසුන් ට වන්නේ අල්ලක් තරම් කුඩා ඉඩම් කැබැල්ලක ඉදි කරවා ගත් නිවසකි. ඔවුන් ට අවැසි සෑම සියලු දෙයක් ම එතුළ ගැබ් වී තිබෙනවා වන්නට පුළුවන. නමුත් ඔවුන් කතා කරන්නේ අල්ලපු ගෙදරට ඇසේවි යයි බියෙනි. යායක් ඈතට කෑ ගසා පුරුදු මට, විටෙක මේ නගරයේ නිහඬ ප්‍රතිපත්තිය ගැන පුදුම ය. ඊටත් වඩා දුක ය. ඔවුන් හුස්ම ගන්නේ වුව ඔක්සිජන් වලට වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් විෂ වායූන් ය. ඔවුන් කන්නේ ම වස විස ය. නමුත් දැන් දැන්, නගරයේ වන අවිවෙිකී කලබලය තුළ මොකක්දෝ සුන්දරත්වයක් මට දැනෙමින් තිබේ. විශේෂයෙන් ම ගිනියම් හිරු බැස ගිය කල නගරය හරි අහිංසක ය.

“අද එන ගමන් කෑම ගෙනාවෙ නෑ”

අප ගේට්ටුවෙන් පිටතට එත්දී සුරනි කීවා ය. හෝටලයේ වැඩ කරන දින වල මගේ රාත්‍රී ආහාරයත් මා ගත්තේ එහිදී ය. නමුත් දැන් වැඩ නිම වී එන ගමන් කොහුවල හන්දියේ අවන්හලකින් පුංචි දෙයක් කැටිව එමි.

“ඇයි ඔයා ප්‍රින්සිපල් සර් ගෙ ගෙදරින් කෑම කන්නෙ නැත්තෙ…”

ඒ හදිසියේ මගේ සිතට පැමිණි ප්‍රශ්නයකි.

“කන්න කියල කියන්න එපැයි. ඔයාට අර රෝස්මරී එහෙං කෑම කන්න කිව්වට මට කවදාවත් කියල නෑ. මෙහෙ නවතින්න කියපු වෙලාවෙ ජයශාන්ත මාමාත් කියල තිබුණෙ කෑම ගැන නං බලා ගන්න වෙයි කියලයි. ඒකයි මං පුදුම වුණේ අරයා ඔයාට එහෙම විශේෂයක් කළේ ඇයි කියල. පොත්ත රතු හින්දද දන්නෑනෙ”

සුරනි ඒ අන්තිම කොටස කීවේ මදෙස බලා ඇසක් ඉඟි මරමිනි. මම ඇගේ පිටට පහරක් ගැසුවෙමි. ඒ පාර මැද්දේ ම ඕ හඬ නගා සිනාසුණා ය. මහවැලි කලාපයේ වගා බිම් වලදී හෝ දැනී නැති විදිහේ නිදහසකින් මගේ සිත තටු සලා ඉගිල යන්නට විය. ගමෙන් කොළඹ ට එන ගෑනු ළමයින් වල් මත් වන්නට එක හේතුවක් ලෙස මේ නිදහස මා ඉදිරියේ පෙනී සිටින්නට වූයේ දැවැන්ත භූතාත්මයක් ලෙසිනි. දෙමාපියන් සහ වැඩිහිටියන් සමග සිටියදී නිදහසේ යම් යම් සීමා පැනවේ. ඇතැම් සීමා ඉබේටමත්, ඇතැම් ඒවා වැඩිහිටියන් විසිනුත් පැනවෙන අතර, ඒ නිසා ම යුවතියකට සැරිය හැකි වන්නේ ඒ සීමාවන් අතරේ ය. නමුත් මෙනුවර දී හුදෙකලා යුවතියකට හිමි වන අසීමිත නිදහස තුළ ඇගේ පාලනය ඇගේ අතින් ම ගිලිහී යන්නට ඇති අවකාශය වැඩි ය. එහෙම නිදහසක් තුළ සුපර්වයිසර් වැනි සල්ලාලයන් ට පිනුම් ගසන්නට පුළුවන. 

“මෙහෙ ගෙවල් වල ගෑනු උයන්න දන්නැද්ද කියල හිතෙනව වෙලාවකට”

වුඩ්ලන්ඩ් මාවතෙන් මහ පාරට අවතීර්ණ වෙත්දී සුරනි කීවා ය.

“ඇයි…”

“ගෙවල් වල ගෑනු උයනවනං මෙච්චර රෑ කෑම කඩ තියෙන්න විදිහක් නෑනෙ. අනික මෙහෙ පිරිමි තමයි හොඳට උයනව ඇත්තෙ. හැම කෑම කඩේකම කෑම හදන්නෙ පිරිමිනෙ”

“කොළඹිං කොල්ලෙක් හොයා ගන්න ඕනෙ එහෙනං…උයන්න දන්න”

මා එහෙම කීවේ ඒ වෙලාවේ හිතට දැනෙමින් තිබූ සැහැල්ලුවත් එක්ක නිකමට ය. නමුත් සුරනි අඩැසින් මදෙස බැලුවා ය.

“මට පේනව ඒක”

“මොකද්ද..”

මම සිනහ වෙවී ම විමසීමි.

“කොළඹ කොල්ලක් බැල්ම දාන්න පටං අරං වගේ කියල”

“ඔන්න කිව්ව ඉතිං කතාවක්”

“අර සිතිජය…ඔච්චර මං හිටියා නිකමට බැල්කනි එකට ඇවිත් නෑ. ඒකටත් එක්ක දැං ඌට නින්ද යන්නෙ කීයට හරි එතන්ට ඇවිත් ඈතට ඈතට පේන ලයිට් එළි ටික බලං ඉඳල ගියොත් විතරද කොහෙද”

මගේ හදවත එසැනෙන් නතර වූවා සේ ය. යළි ටික වෙලාවකට පස්සේ එය ස්ඵන්දනය වන්නට පටන් ගනිත්දී මම හෙමිහිට ඇස් පමණක් හරවා සුරනි දෙස බැලුවෙමි. මගේ බැල්ම අල්ලා ගත් ඕ යළිත් හයියෙන් සිනහ වූවා ය.

“ගෑනු ළමයි හිනා වෙන කැත”

අප පසු කර ගිය කොල්ලන් දෙදෙනෙකු ගෙන් කෙනෙක් නිකටෙහි අතක් තබා විකට ස්වරූපයකින් කීවේ ය. අප ඔවුන් ව වගකට නො ගෙන කොහුවල දෙසට ඇවිද යන්නට වූයෙමු.

“මොකද ගෑනු ළමය ඩිම් වුණේ…අර කතාවක් බහක් නැතුව පාඩුවෙ පොතක් බලං හිටිය කොල්ල අමුතු පොතක් පෙරලන්න පටන් ගත්තෙ නිකංම වෙන්න බෑනෙ…නේහ්…”

“මොනා දොඩෝනවද මන්දා”

මම මන්ද්‍ර ස්වරයකින් මිමිණුවෙමි. එසේ කරනාතරවාරයේ මා වට පිට බැලුවේ හරියට එකී කතා ඇසෙන්නට ඔහු මේ අහල පහළ ක වෙත්දැයි විමසා බලන්න ට මෙනි.

“මන්නං හිතන්නෙ සිතිජ තමයි ඔය ගෙදර ඉන්න හොඳ ම කොල්ලා”

ඊළඟ ට ඇය කීවේ මගේ හිත නිවී පහන් වී යන කතාවකි.

“අලි ඔළුවෙං තමයි ඉන්නෙ. කොහොමත් ඉතිං ඒ ලෙවල්ස් වලට සයන්ස් මැත්ස් කරපු එවුං ආට්ස් කරපු අපි වගේ එවුං දිහා බලන්නෙ නිකං අඩු කුළේ උන් දිහා බලනව වගේනෙ. කොළඹ ඉස්කෝල වලට ගිය උං ඊට හපං. හැබැයි සිතිජ ට තියෙන්නෙ ජයශාන්ත මාමට වගේ හොඳ හිතක්”

විදුහල්පති තුමා ට තියෙන්නේ හොඳ හිතක් යයි දැන් ඇය කියයි. නමුත් ඔහු ට තවත් පවුලක් සිටිනවා යි මීට පෙර ඇය කීවා ය. ඒ කතාවෙන් පස්සේ මා විදුහල්පති තුමා හමු වූ දෙතුන් වතාවේ ම කතා කළේ දෙගිඩියාව පිරි නොතේරෙන තැතිගැන්මකිනි. මගේ හදවත තුළ රෝපණය වී තිබූ ගෞරවයේ බිජුවට අයහපත් දේශගුණයකට හසු වූවා බඳු ව ඒ තුළ විය.

“හිත හොඳ කෙනෙක් එක දරු පවුලක් ඉද්දි නීතියෙන් වෙන් නොවී තවත් දරු පවුලක් නඩත්තු කරයි කියල හිතන්න පුළුවන් ද…”

මගේ හිතේ දලු ලමින් තිබූ ප්‍රශ්නය මම හෙමිහිට පිටතට දැම්මෙමි. සුරනි මදෙස බැලුවේ කිසිත් නො තේරෙන කුඩා එකියක දෙස බලනා බැල්මකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles