Chat with smart lady – වසන්ති නානායක්කාර

අද Chat With Smart Lady කතාබහ ඔස්සේ අපිත් එක්ක කතාබහ කරන්නට සූදානම් වෙන්නේ අපේ රටේ මාධ්‍ය ක්ශේත්‍රයේ ඉන්න සුවිශේශී වූ කාන්තා චරිතයක්.දක්ශ නිවේදිකාවක් වන ඇය දෙරණ නාලිකාව ඔස්සේ ඔබේ ආලින්දයට එන වසන්ති නානායක්කාර මහත්මිය.ඇගේ ජීවිතය ඇසුරින් ඔබේ ජීවිතයට එකතු කරගත හැකි යමක් කතා කරන්නට අපි අද හිතුවා

කොහොමද මේ දවස් වල වැඩ කටයුතු ?

මේ දවස් වල මම සම්බන්ධ වෙලා ඉන්නෙ දෙරණේ 24 පැය නාලිකාවට.එහි ප්‍රවෘත්ති අංශයේ වැඩ කටයුතු කරනවා.ඊට අමතරව මම තව වැඩසටහන් ගණනාවක් කරනවා.ඉදිරියේදි මගේ ” The Challenge ” කියන වැඩසටහන එනවා.ඒක ටිකක් වෙනස් විදියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා.” සෙනෙහස ” කියලා හැම කෙනෙකුගේම ප්‍රශ්න වලට උත්තර දෙන විදියේ වැඩසටහනකුත් අපි අරගෙන එනවා.ඒ අතරතුර මම දැන් ලියන පැත්තටත් ටිකක් යොමුවෙලා ඉන්නවා

ඔබ කොහොමද මාධ්‍ය ක්ශේත්‍රයට පිවිසෙන්නේ ?

මට ටෙලිවිෂන් කියන එක මුලින්ම දැනුනේ හතරේ පන්තියෙදි .එතකොට තමයි මම මුලින්ම ටීවි තිරය දකින්නේ.මේක ඇතුලෙදි මම දකිනවා අපේ ජේශ්ට නිවේදිකාවෝ, අදටත් මම පුදුමාකාර ගෞරවයක් තියනවා රොස්මන්ඩ් සේනාරත්න මහත්මයා ,සුමනා නෙල්ලම්පිටිය මහත්මිය ගැන එහෙම.ඒ අය රූපවාහිනී තිරයේ ප්‍රවෘත්ති කියනවා මම දකිනවා.එතකොට මටත් ආසාවක් ඇතිවුනා මේ රූප පෙට්ටිය ඇතුලේ ප්‍රවෘත්ති කියන්න ඕන කියලා.හැබැයි ඒකෙන් කොහොමද අපිට පේන්නේ සහ ඒකේ රූප යන්නෙ කොහොමද කියලා අවබෝධයක් තිබුනේ නෑ.හැබැයි මම පසුකාලීනව මාධ්‍ය කියන විශයත් එක්ක බද්ධ වෙලා විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගෙන් මම ජන සන්නිවේදනය ඉගෙන ගන්නවා.ඔහොම ඉගෙන ගන්න අතරදි මට සම්බන්ධ වෙන්න පුලුවන් වෙනවා මුලින්ම දිවයින පත්තරේට.හැබැයි මේ හැම ගමනකම මගේ මහා වෘක්ශයක් හිටියා මගේ ජීවිතේ .ඒ තමයි මගේ තාත්තා.තාත්තාට මම ඉස්සර ඉඳලම කියනකොට මට ලියන්න ආසයි ,කියවන්න ආසයි කියලා , එයා තමයි මට පොත් ගෙනත් දෙන්නේ , මම ලියන දේවල් කියවන්නේ.මගෙ හොඳම විවේචකයා වගේම විචාරකයා තාත්තා.මම තාත්තාට කියනකොට මට ඉගෙන ගන්න ඕන කියලා එයා තමයි මාව විවෘත විශ්ව විද්‍යාලයට එක්කන් ගියේ . සමහර දවසට කැම්පස් එකේ එයා ඉන්නවා හවස් වෙනකන් මාව එක්කන් යන්න.ඉතින් මාධ්‍යයට එන්න එයා මට ලොකු ශක්තියක් උනා.ඊට පස්සෙ මම දිවයින පත්තරේට මුලින්ම සම්බන්ධ උනා එහි ප්‍රාදේශීය වාර්තාකරිණියක් හැටියට.මගේ ගම කන්තලේ.කන්තලේ වාං ඇල ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරිණිය උනේ මම.ඒ ප්‍රදේශයේ ටිකක් එල්.ටී.ටී.ඊ කලබල තිබුනා ඒ කාලේ.එතකොට පත්තරේ නිව්ස් එඩිටර් හිටපු සිරිමල් ෆොන්සේකා මහත්මයා කිව්වා ඔයා වගේ පොඩි ගෑණු ළමයෙකුට මේ වගේ ප්‍රදේශයක reporter කෙනෙක් වෙන්න බෑ කියලා.මම කිව්ව මට පුලුවන්ද බැරිද කියලා බලන්න මට මේක දීලා බලන්න කියලා.ඒ වෙලාවේ එයාලා මට ලියන්න ප්‍රවෘත්ති කීපයක් දුන්නා.එතන හිටියා හය දෙනෙක්.එයාලා පුදුමයට පත්වුනා මට එච්චර ලිවීමේ හැකියාවක් තියනවද කියලා.එදා හවස මම ඒ සම්මුඛ පරික්ෂණය අවසන් වෙලා ගියේ ගෙදර දිවයින පුවත්පතේ පත්වීමේ ලියුමත් එක්කම, හැඳුනුම්පතත් ගෙදර අරගෙන.මම පහුවදාම කන්තලේට ගිහින් වැඩ පටන් ගත්තා.අවුරුදු තුනක් මම වැඩ කලා.ඊට පස්සේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් මාව යොමු කලා ගුවන් විදුලියට.ගුවන් විදුලි මහ ගෙදරට.එතනදි තිබුනු සම්මුඛ පරික්ෂණයකිනුත් මම සමත් වෙලා අවුරුදු දෙකක් මම ගුවන් විදුලියේ වැඩ කලා බාහිර ශිල්පිනියක් හැටියට.අම්මාවරුනේ , ලිය මඩල , මේ අපේ කාලයයි වැඩසටහන් වලට මම දායකත්වය දුන්නා.97 දි මම ස්වර්ණවාහිනියට අයදුම්පතක් දානවා නිවේදක නිවේදිකාවන් බදවාගන්නවා කියලා පත්තරේක ලොකු දැන්වීමක් තිබ්බ නිසා.පලවෙනි සැරේ මම යනකොට 510 දෙනෙක් හිටියා සම්මුඛ පරික්ෂණයට.එතන ඒ වෙද්දි රටේ ප්‍රධාන ,ප්‍රසිද්ධ චරිත හිටියා.මම ගමකින් ආව කෙනෙක් ,මම තාත්තා එක්ක ගියේ.මම තාත්තාට කිව්ව මෙතන නම් ටිකක් අමාරු වෙයි , අපි යමු කියලා.තාත්තා කිව්වා, ඉතින් ටීවි එකේ දන්න කියන මූණු ඉන්නේ ,ඒත් අපි ආව නිසා මේකට ඉඳලාම යමු කියලා.ඉතින් මම ඒකට මූණ දුන්නා.චන්දන සූරියබන්ඩාර , එච් එම් ගුණසේකර ,රොස්මන්ඩ් සේනාරත්න ,එච් පී ප්‍රේමරත්න වගේ ජේශ්ඨ මාධ්‍යවේදීන් තමයි මාව සම්මුඛ පරික්ශණයට ලක් කරේ.සතියකින් මට ලියුමක් එනවා ප්‍රථම පරික්ශණයෙන් සමත් කියලා.එදා මම ඉලක්කයක් ගත්තා මම කවදහරි රූපවාහිනී තිරය ජය ගන්නවා කියලා.මට ඊට පස්සෙ පරික්ශන තුනක් තිබුනා.ඒවයෙන් සමත් වෙලා මාස තුනක බොහොම හොඳ පුහුණුවක් තිබුනා.මට තනතුරු ගණනාවක් එතනදි ලැබුනා.නිවේදිකාවකට අමතරව , වසර අටක් මම වැඩ කලා ස්වර්ණවාහිනියෙ. 2005 දි මම දෙරණට සම්බන්ධ උනා නිවේදිකාවක් සහ නිශ්පාදිකාවක් හැටියට.අද වෙනකොට අවුරුදු 15 ක ගමනක් ඇවිල්ලා , ප්‍රවෘත්ති අංශයේ සාමාන්‍යාධිකාරීනි හැටියට කටයුතු කරනවා.

ඒ කාලේ මාධ්‍ය ක්ශේත්‍රයට පිවිසෙන එක අභියෝගාත්මක දෙයක්.සමහර අය අතර අදටත් මතයක් තියනවා මාධ්‍ය ක්ශේත්‍රය කාන්තාවන්ට සුදුසු නෑ කියලා.කාන්තාවක් විදියට ඒ අභියෝග දරාගෙන ඔබ කොහොමද මේ ක්ශේත්‍රයේ ඉන්නේ?

ඕක අපේ තුල තියන ආකල්පමය වෙනසක්.ඉස්සර අපේ කාලේ රඟපානව කියන එක ගමක හරි ප්‍රශ්නයක්.ගෑනු ළමයෙක් රඟපානවා නම් ඒ ළමයා හරි නරකයි වගේ මතයක් තිබුනේ.ඒ අය රංගනය කියන වෘත්තියේ වටිනාකම අවබෝධ කරගෙන නෙමෙයි ඉන්නේ.ඒ වගේම සමාජයේ ආකල්පයක් තියනවා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන එක තමයි මේ ලෝකේ තියන ඉහලම රැකියාවන් කියලා.නමුත් අපි පොඩ්ඩක් තේරුම් ගත්තොත් මාධ්‍ය ජීවිතය කියන එක හරිම අභියෝගාත්මකයි සහ හරිම රසවත්.ඕනම වෘත්තියක ගුණාත්මක භාවය තියෙන්නේ අපි කරන කියන දේ අනුව. එතකොට සමාජය තමයි තීරණය කරන්නේ අපි හරි දේ කරනවද වැරදි දේ කරනවද කියලා.ඒ නිසා මගේ ජීවිතයේ නම් ,අපේ කාලෙදි අපිට මාධ්‍යයට එන්න පහසුකම් අඩුයි.අපිට ඉගෙන ගන්න , අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගන්න තිබ්බ පහසුකම් අඩුයි.දුරකතනයක් පවා සමීපව ඇසුරු කරන්න ලැබිලා නෑ.හැබැයි අපේ උනන්දුව ,කැපකිරීම හැමදෙයක්ම තිබුන නිසා ආවේ මෙතනදි මං කියන්න ඕන කාන්තාවකට මෙතනට එන්න අපේ පරිසරයෙන් ලොකු සහයෝගයක් තියෙන්නෙ ඕනේ.ගෙදර අම්මා තාත්තා කියනවා නම් ඔයා මාධ්‍යයට යන්න ඕන්නෑ ඔයා දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න ඕන කියලා ,අද මේ මාධ්‍යයෙන් අපිට මෙච්චර ආදරය කරන පිරිසක් බිහිවෙන්නෙ නෑ.ඒ නිසා කාන්තාවකට යන්න පුලුවන් දුර හුඟක් තියනවා.හැබැයි ඒ දුර තීරණය වෙන්නෙ අපි කරන කියන දේවල්, අපේ පැවැත්ම අනුව.ඒ නිසා අපි සමාජයට හොඳ දෙයක් දෙනවා නම් ,මට මගේ ගෙදරින් ගොඩක් සහයෝගය ලැබුනා.විවාහ උනාට පස්සෙ සැමියාගෙන් හොඳ සහයෝගයක් ලැබුනා.මම හුගක් වෙලාවට රැයක් දවාලක් නැතුව වැඩ කරපු කෙනෙක්.හැබැයි ඒ අභියෝග ජයගන්න පුදුමාකාර කැපකිරීමක් කරනවා.මම ගෙදරට ගියාම බිරිද.මගේ දුවගේ අම්මා.අන්න ඒ කොටස අපි අවබෝධ කරගන්න ඕනෙ.කොච්චර මහන්සි උනත් ගෙදර ගියාම ගෙදර උයන පිහන දේවල් , දුවගේ වැඩ කටයුතු ,පවුලේ යුතුකම් ඉශ්ට කරන ඒවා ඒ හැමදෙයක්ම මම කලා.ඒ නිසා මම හිතනවා මට මේ අභියෝග ජයගන්න පුලුවන් උනා.හැබැයි හැම කාන්තාවකටමත් ඒක කරන්න පුලුවන් වෙන්න ඕනේ.

මාධ්‍යවේදිනියක් හැටියට සමාජීය වශයෙන් ඔබට ඇති වගකීම මොන වගේද ?

පලවෙනි දේ තමයි ලෝකේ කිසිම මාධ්‍ය ආයතනයක් ස්වාධීන නෑ.අපිට මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වෙනකොට මම වසන්ති නානායක්කාර ,මම මගේ විදිය මේකයි , මම වැඩ කරන්නෙ මෙහෙමයි කියලා මට ඕන විදියටම කරන්න බෑ.අපිට යම් යම් සීමාවන් පැනවෙනවා.ඒවා අභියෝග.හැබැයි මම හැමවිටම මට ගැලපෙන වැඩසටහනක් තමයි තෝරගන්නේ.හැබැයි මට කිව්වොත් ඔයා කරන්න ඕන අවුරුදු 16 ළමයෙක්ගේ වැඩක් කියලා , මට සමහරවිට කරන්න පුලුවන් ඇති.මට උත්සහ කරන්න පුලුවන් .නැත්තම් සමහරවිට ගීත ඉල්ලීම් වැඩසටහනක් වසන්ති නානායක්කාරට කරන්න කියනවා.මට ඒක කරන්න පුලුවන් වෙයි.හැබැයි මම දෙසැරයක් හිතනවා ඒක මට ගැලපෙයිද , මම ඉගෙන ගත්ත දේට ගැලපෙයිද , ඒ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන්න මට වඩා සුදුසුකම් තියන දරුවෝ ඉන්නවා නේද කියලා.ඒවා තමයි වෘත්තිමය ජීවිතේ අපිට මාධ්‍ය අභියෝග ජයගන්න පුලුවන් අවස්ථා.තමන්ට සුදුසු ස්ථානය මොකද්ද ,තමන්ට කල හැකි දේ මොකද්ද කියන එක හරියට තෝර බේරගන්න ඕන.ඒවා ඇතුලෙදි යම් යම් අභියෝග වලට අපිට මුහුණදෙන්න වෙනවා.මොකද මම ස්වර්ණවාහිනියෙන් දෙරණට එන්නේ විශාල අභියෝගයක් එක්ක.අඩුම තරමේ මම දන්නෙ නෑ දෙරණ ආයතනය අනාගතය කොහොමද කියන එක තියා වර්තමානය කොහොමද කියලාවත්.මම ඒ මොහොතේ යනකොට දෙරණ කාර්‍යාලය තියන තැන දැනගත්තා මිසක් එතනින් එහාට කිසි දෙයක් දැනගත්තෙ නෑ.අවුරුදු අටක් සේවය කරපු ස්වර්ණවාහිනිය දාලා මම එතනට එන්නේ .ගොඩක් අය ඇහුවා ඇයි ඔයා මේ නොදන්න චැනල් එකකට යන්නේ කියලා.මොකද එතකොට ස්වර්ණවාහිනිය ලංකාවේ ප්‍රමුඛ තලයක තිබුන නාලිකාවක්.ඉතින් සමහරු ඇහුවා ඇයි ඔයා ඔච්චර මෝඩ වෙන්නෙ කියලා.නමුත් මම ඒ වෙලාවෙ ඒ අභියෝගය බාරගත්තා.හරි යන්න හරි වරදින්න හරි මම යනවා කියලා.

සමහර මාධ්‍ය වල ප්‍රවෘත්ති වාර්තාකරණය ගැන මිනිසුන් බොහෝවිට චෝදනා එල්ලකරනවා. ඒ සම්බන්ධව ඔබ දරණ මතය මොකද්ද ?

මං කලිනුත් කිව්වා ලෝකේ කොහෙවත් නෑ ස්වාධීනව ගෙනියන නාලිකා ප්‍රවෘත්ති අතින්. ලංකාවේ අපි දකින මාධ්‍ය ආයතන ගත්තොත් එහෙම දෙරණ ඉන්නේ ජනතාව පැත්තේ.අපි බය මහජනතාවට.අපි විශ්වාස කරන්නේ අපි මහජනතාවගේ පැත්තෙ ඉඳලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ඕන කියලා.අංක එකේ නාලිකාව බවට පත්වෙන්න අපිට ශක්තිය ලැබුනෙත් මහජනතාවගේ පැත්තෙ හිටපු නිසා.මොකද මහජනතාව තමයි තීරණය කරන්නෙ අපි ඉන්න ඕනෙ කී වෙනි ස්ථානයේද කියලා.ඉතින් අපි අංක එක වෙන්නේ අපි ප්‍රේක්ෂකයෝ අතර ඉඳන් ඔවුන්ට ආමන්ත්‍රණය කරපු නිසා.ඔවුන්ගේ හද ගැස්ම අපි අඳුනගත්ත නිසා.යම් යම් අවස්ථාවන් වලදි අපිට අපේ රට ආරක්ෂා කරන්න වෙනවා.ඒ වගේ තැනකදි කෙනෙකුට කියන්න පුලුවන් ඔයාලා ආණ්ඩුවට කඩේ යනවා වගේ දේවල්.නමුත් අපි ඉන්නේ හරි පැත්තේ.අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ.අපි නියෝජනය කරන්නෙ ජනතාවගේ පැත්තෙන්.ඒ නිසා ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකේ කොහෙවත් සමබරව ස්වාධීනව තමන්ගේ මතය විතරක් එළියට ගෙනියන්න පුලුවන් මාධ්‍ය ආයතන නෑ.එවැනි තත්වයන් වලදි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදි පොඩි පොඩි වෙනස්කම් වලට භාජනය වෙන්න වෙනවා අපිට.

මාධ්‍ය ක්ශේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ පිරිසට ඔබ දෙන අවවාදය මොකද්ද ?

මුලින්ම මම කියන්නෙ ,රූපවාහිනී වෙන්න පුලුවන් ,හඬ පාවිච්චි කරන ගුවන් විදුලියක වෙන්න පුලුවන් , ලිවීමේ හැකියාව පාවිච්චි කරන පත්තරේක වෙන්න පුලුවන් ,කුමන වෘත්තියක් උනත් , අපි වෘත්තීමය දැනුම ලබා ගත යුතුමයි.තව කෙනෙක්ගේ උදවු මත කවදාවත් මේ මාධ්‍ය ක්ශේත්‍රයට ප්‍රවිශ්ට වෙන්න එපා.අනිත් එක තමයි විශ්ව විද්‍යාලයක සහතිකය පමණක් සීමා වෙන්නෙ නෑ මාධ්‍ය ජීවිතයට.ඒක මට හිතෙන්නේ හරියට අපි තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්නවා වගේ වැඩක්.මම නිවේදිකාවක් උනාට අපි කැමරාව ඔන් ඕෆ් කරන තැන ඉඳලා, අපේ රූපරාමු මොනවද කියලා ,මේ කැමරාවත් ඉගෙන ගෙන ඉන්න ඕන.මම හිතනවා නම් මට රූපය තියනවා,කතා කරන්න වචන තියනවා ඉතින් මම නිවේදිකාවක් කියලා, එතනට එන්න එපා.හොඳ journalist කෙනෙක් නම් ඒක තමයි මම හිතන්නෙ මේ ජනමාධ්‍ය ජීවිතයේ අපිට ගන්න පුලුවන් හොඳම අවස්ථාව.ඒ වගේම අපේ උනන්දුව ,දැනුම කැපකිරීම තියෙන්නෙ ඕන.අනික දැනුම හැම වෙලාවෙම යාවත්කාලීන කරන්න ඕන.හැම වෙලාවෙම අන්තර්ජාළය පාවිච්චි කරන්න ඕනේ.විශේශයෙන්ම පොත් පත් කියවන්න ඕන.සමාජ ඇසුරක් ලබන්න ඕන.ක්ශේත්‍රයේ ඉන්න අපිට වඩා වයස අඩු හෝ වැඩි අයගෙන් ඉගෙන ගන්න ඕන.ඒ නිසා මම හැමවෙලේම මේ මාධ්‍යයට අලුතෙන් ප්‍රවිශ්ට වෙන්න බලාපොරොත්තුව ඇතුව ඉන්න අයට කියන්නේ පරිපූර්ණ මාධ්‍යවේදිනියක් හො මාධ්‍යවේදියෙක් වෙන්න.එදාට ඔබව කිසිම තැනකින් අකුලලා දාන්න හෝ විසි කරලා දාන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.මාධ්‍ය ආයතන එහෙම කරන්නෙත් නෑ.ඒ නිසා හොඳට ඉගෙන ගන්න, තමන්ට තමන් ගැන විශ්වාසයක් තියාගන්න.

කාර්‍යබහුල මාධ්‍යවේදිනියක් හැටියට ඔබ පවුලේ වගකීම් සහ දරුවාගේ වගකීම් දරන්නේ කොහොමද ?

පලවෙනි දේ තමයි අපි අපේ ජීවිතේ කළමනාකරණය කරගන්න ඕනේ.ගැහැණියක් විශේශයෙන්ම .මම කම්මැලි උනොත් වෘත්තියට සහ ගෙදරට සාධාරණත්වයක් කරන්නෑ.මම පුංචි කාලේ අම්මා උයලා දුන්නම මම කනවා බොනවා.ගෙදර දොර අස්පස් කරගන්නවා මගෙ දේවල් මම කරගන්නවා.හැබැයි දැන් මට එහෙම ඉන්න බෑ.මට ගෙදර කවුරු හරි කෙනෙක් උයලා දෙනකන් බලන් ඉන්න බෑ.මොකද මම ගිහිල්ලා කල යුතු කොටසක් තියනවා.මම හැමවෙලාවෙම මගේ වෘත්තීමය ජීවිතේ ගෙදරට ගෙනියනවා හරි අඩුයි.නමුත් සමහර අවස්ථා වලදි මට කරන්න වෙනවා.නමුත් මම පුලුවන් තරම් බලන්නෙ මට ලැබෙන නිවාඩුව මගෙ පවුලෙ අයත් එක්ක ගත කරන්න.විශේශයෙන්ම මගෙ දුවත් එක්ක.මගේ ලෝකේ එයා.එයා ඇවිදින්න යන්න කැමතියි .මම හිතනවා එයා ලෝකේ දකින්න කැමති කෙනෙක්.ඒ නිසා මගෙ නිවාඩුව එයාට ගෙදර අයට ,පවුලේ අයට යුතුකම් ඉශ්ට කරන්න මම බෙදලා තියෙන්නෙ.ඒ නිසා මම හිතනවා මගෙ ජීවිතේ සමබර කරගන්න පුලුවන් කියලා.අපි අපේ වෘත්තීය ,තනතුර අරගෙන ගෙදර ගියොත් අපිට පවුල් ජීවිතේ සාර්ථක කරගන්න අමාරුයි .ඒ නිසා හැමවෙලේම එතනට ගියාම අපි ඉන්න ඕන බිරිඳක් ,මවක් ,ලේලි හැටියට.අනික අපිට මහන්සියි .අපි වැඩ කරලා යන්නේ.ඉස්සර මගේ අම්මා බැංකු කළමණාකාරණියක් හැටියට සේවය කලා.ඇය රැකියාවට ගිහින් ඇවිත් උයන වැඩ, අපේ වැඩ , රෙදි හෝදන වැඩ සියල්ල කලා.ඇගේ භූමිකාව මම දැක්කා.මමත් වැඩට ගිහින් ආවම මහන්සි නොබලා දුවගේ , සැමියාගේ ,නැන්දම්මාගේ කටයුතු කරනවා.එතකොට අපේ ජීවිතේ පැය විසි හතර කළමනාකරණය කරගන්න පුලුවන්කමක් තියනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුලුවන්

බොහෝ වෙලාවට සමාජය තුල කාන්තාව ගැන වැරදි මත තියනවා.ඇඳුම් නිසා , රැකියාව නිසා කාන්තාව විවේචනයට ලක් වෙනවා වගේම මිනිසුන් කාන්තාව ගැන නිගමන වලට එළඹෙනවා.මේ ගැන ඔබේ අදහස මොකද්ද ?

මං කරන දේ මං හිතන්නේ තව කෙනෙකුට අදාල වෙන්නෙ නෑ.මම කරන දේ නිවැරදියි කියලා මම හිතනවා නම් විශ්වාසයි නම් මම කරන දෙයින් සමාජයට නරකක් වෙන්නෙ නැත්තම් ඒක තව කෙනෙක් දකින විදිය මට වැඩක් වෙන්නෙ නෑ.හැබැයි මම කවදාවත් සමාජයට නරකක් කරන්නෙ නෑ.මම එතන ඉන්න කෙනෙක්.මම හැමවිටම හොඳ දෙයක් කරන්නෙ.මම ගන්න තීන්දු තීරණ ගැන තව කෙනෙකුට විවේචනය කරන්න බෑ.ලෝකේ කිසිම කෙනෙකුට සීයට සීයක් හොඳයි හො නරකයි කියලා කියන්නෙ නෑ.ඉතින් අපිට අපහසයක් කරනවා නම් ගැරහුමකට ලක් කරන අවස්ථාවක් තියනවා නම් හොඳම දේ තමයි හිත හදාගන්න එක.මේ ජීවිතේ අපිට ලැබිලා තියන අවස්ථාවක්.ඒකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන.මනුස්ස ජීවිතේ කියන්නේ වටින දෙයක්.ඒ වටින දේට අපි වටිනාකමක් දෙන්න ඕන.ඒ වගේම සමාජෙටත් දෙන්න ඕන.එතකොට අපි මේ ලෝකේ නැතිවුනත් සමාජේ හැමෝම නැතත් ටික දෙනෙක් හරි අපි ගැන කතා කරයි.හැබැයි අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැමදෙනාම අපිට හොඳයි කියයි කියලාත්.

ඔබ දකින විදියට පවුල් ජීවිතයක සාර්ථකත්වයට කාන්තාවකගේ දායකත්වය මොන වගේද ?

පුංචි කාලේ ගත්තොත් ගෑණු දරුවෙක් දෙමව්පියන් යටතේ හැදෙනවා.වැඩිහිටි උනාම අයියලා හිටියොත් ඒ අය යටතේ.ඊට පස්සෙ විවාහ උනාම සැමියා යටතේ ඉන්නවා.කාන්තාව කොහොමත් ඉන්නේ එක රාමුවක් ඇතුලේ.තනියම අපේ නිදහසේ වැඩ කටයුතු කරගන්න නොහැකි පරිසරයක් අපේ රටේ තියනවා.නමුත් බටහිර රටවල් වල කෙනෙක්ට හිතෙනව නම් තනියම ජීවත් වෙන්න ඕන කියලා ඇයට පුලුවන් තනියම ජීවත් වෙන්න.හැබැයි ඇය තනියම ජීවත් වීම සමාජයේ අවමානයට ,ගැරහුමට ලක් වෙන්න කාරණාවක් නෙමෙයි.නමුත් අපේ රටේ ඔය කාන්තාවට තියන සීමාවන් දැන් යම්තාක් දුරකට බිඳින්න හැකියාව ලැබිලා තියනව කියලා මට හිතෙනවා.අපේ රටේ බොහොම ඉහල තනතුරු වල පවා කාන්තාවන් වැජඹෙනවා.ඉතින් මම හිතනවා කාන්තාවගෙ භූමිකාවට වර්තමානයේ ලොකු වටිනාකමක් එකතු කරලා තියනවා.ඒක වැඩි කරගන්න එක තමයි අපි කරන්න ඕන.කාන්තාව කියන්නෙ මුලුතැන්ගෙයට සීමා වෙලා ඉන්න ඕන කෙනෙක් නෙමෙයි.කාන්තාව ගෙදර කටයුතු සහ රැකියා කටයුතු දෙකම කරනවා.එතකොට පිරිමි පාර්ශවයට වඩා දායකත්වයක් කාන්තාවගේ තියනවා.

අද අපේ කතා බහට එකතු වුනේ ප්‍රවීණ සහ ජේශ්ඨ නිවේදිකාවක් වන වසන්ති නානායක්කාර මහත්මිය.ඇයගේ ජීවිතයෙන් ඔබට ජීවිතයට එකතු කරගන්නට බොහෝ දේ ඇති කියලා අපි හිතනවා.

ඇගේ ඉදිරි ගමන් මගට ස්මාට්ලේඩි අපි ආදරයෙන් සුබ පතන ගමන් තවත් මෙවැනිම වූ හරවත් කතා බහකට ලබන සතියේත් ඔබව එකතු කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here