fbpx

අහංකාර නගරේ-31

හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල් යායක් මැදින් වැටුණ ගුරු පාරකි. ලා කොළ පැහැයෙන් ගොයම් පැළ ඉස්සී එමින් තිබුණේ ය. මට ගම සිහි විය. කොළඹ දී මේ වගේ වෙල් යායක් මගේ නෙත ගැටී තිබුණේ ම නැත.

“මෙහෙ අයිති කොළඹට නෙවෙයි. කළුතරට. වෙස්ටර්න් ප්‍රොවින්ස්ම තමයි”

සිතිජ පැහැදිලි කරමින් සිටියේ ය. මම කතා නොකර, නෙතට රසඳුනක් වූ ඒ දර්ශනය විඳ ගනිමින් සිටියෙමි.

අපේ ගමනාන්තය එක් පසෙකින් වෙල් යායෙන් ද අනෙක් පසින් හිස් ඉඩම් යායකින් ද සීමා වී තිබුණේ ය. නිල්ල නිලන ඉඩම් කට්ටිය මැද ඉදි වුණ, කුඩා ප්‍රියංකර තනි මහලේ අලුත් නිවසකි. ජයශාන්ත මහතා ගේ නීත්‍යානුකූල විවාහයේ දරු පවුල වෙසෙන මන්දිරයට වඩා මේ සරල නිවස හාත්පසින් වෙනස් ය. වුඩ්ලන්ඩ් මාවතේ ගෙවත්ත තණකොළ වවා මැනවින් නඩත්තු කරනු ලබන එකක් වී ද මේ ගෙවත්ත පුරා මල් හා එළවළු වර්ග වැවී තිබුණේ ය.

සිතිජ මේ නිවසේ ලිපිනය සොයා ගෙන තිබුණේ රෝස් මැඩම් ගේ දුරකතන අංක හා ලිපින ලියැවුණ, ගෙදර දුරකතනය අසල වූ පොතකිනි.

“එඩ්‍රස් එක ලියල තිබුණෙ අම්මගෙ හෑන්ඩ් රයිටිං වලිං. මට හිතා ගන්න බෑ ඒගොල්ලො මේව හැන්ඩ්ල් කරන විදිහ”

සිතිජ කීවේ ය. ඒ සියල්ල මා තුළ අමුත්තක් දැනවූවත්, මම ඒ අමුත්ත කෙරේ කුතුහලාත්මක වූයෙමි. රෝස්මරී සිය සැමියා ගේ මේ සබඳතාව කෙරේ ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැයි ඇගෙන් අසා දැන ගන්නට තිබුණා නම් යයි මම පසු තැවුණෙමි.

සිතිජ ඇය ව හැඳින්වූයේ ආන්ටි කියා ය. ඉතා කලාතුරකින් ඔහු නෙළුම් ආන්ටි කීවා ය. ඒ අනුව ඇගේ නම නෙළුම් බව මම වටහා ගතිමි.

අප දොර සීනුව හැඬවූ විට කාන්තාවක විත් දොර ඇරියා ය. ඇය බලා උන්නේ එක එල්ලේ සිතිජ දෙස ය. 

“සර්ගෙ පුතා නේද…”

සිතිජ ගේ මුහුණ තුළින් ජයශාන්ත මහතා ව සොයා ගන්නට ඇය සමත් වූවා ය. සිතිජ යන්තම් හිස සැලුවේ ය. නමුත් ඔහු පුරුදු අහංකාර බැල්මෙන් හිටියා මිස ඇය ට සිනහ බිඳක් පිරිනමන්නට හෝ උනන්දු වූයේ නැත.

“මේ නැන්දා ද නෙළුම් කියන්නෙ…”

මා කතා කරන්නට තීරණය කළේ සිතිජ ගේ අහංකාරය ඈ තුළ අපහසුතාවයක් දනවන්නට පෙර ය.

“ඔව්”

ඇය ලස්සනට සිනහ වූවා ය.

“ඔයාද මෙව්නා…”

එසේ නම් ජයශාන්ත මහතා සියල්ල ඇය සමගින් පවසා තිබේ. මම සිතිජ ගේ මූණ බැලුවෙමි. ඒ වෙලාවේ ඔහු ගේ හිතේ වූයේ කවරාකාර සිතිවිල්ලක් දැයි මට අනුමානයෙන් හෝ සිතා ගත හැකි වූයේ නැත.

“නැන්දා මාවත් දන්නවද…”

“සර් කියපු විදිහට මං ඔයා කියල මවං හිටපු රූපෙ හුඟක් දුරට ඒ වගේමයි. එන්න පුතා ඇතුළට…”

සිතිජ දෙස බලා ඇරයුම් කළ ඕ මගේ අතකින් අල්ලා කතා කළා ය.

“එන්න”

අපි කුඩා ආලින්දයට ගොඩ වී අසුන් ගතිමු. ජයශාන්ත මහතා ගේ විසල් කොට රාමු කරන ලද ඡායාරූපයක් බිත්තිය අයිනේ ස්ටූල් එකක් මත තබා තිබුණේ ය. ඉතා සරල සෝෆාවක් හැරුණ විට ආලින්දයෙහි වූයේ කුඩා පොත් රාක්කයක් පමණකි.

සතියේ දින පහ තුළ ජයශාන්ත මහතා අයිති ඔහු ගේ නීත්‍යානුකූල විවාහයට ය. ඒ දින පහේ දී නෙළුම් නැන්දා ට තනි රකින්නේ මේ විසල් ඡායාරූපය විය යුතු යයි මම සිතුවෙමි.

“ඔයාල හදිස්සියෙම මෙහෙ…”

අප දුටු මොහොතේ සිට ම ඒ ප්‍රශ්නය ඇගේ හිතේ හොල්මන් කරමින් තිබුණා ට සැක නැත.

“සිතිජ ගෙ තාත්තා ගෙ බර්ත් ඩේ එක ළඟයිනෙ. ඉතිං අපි හිතුවා…පොඩි සර්ප්‍රයිස් එකක් කරන්න. ඒ ගැන නැන්දා එක්ක කතා කරන්නයි අපි ආවෙ”

ඇය වහා බිම බැලුවා ය. ඇය සිටින්නේ යටි තොල් පට සපා ගෙන වේගයෙන් ඇස් පිය සලමින් බව මට පෙනුණේ ය. මේ මොහොතේ ඇය ඇයට ම දරා ගත නො හැකි හැඟුමන් සයුරක ගිලී ගොස් සිටින බව මට සිතා ගත හැකි විය.

“නැන්දගෙ අකමැත්තක් නැත්තං…අපි මෙහෙ පොඩි පාටි එකක් අරේන්ජ් කරන්නං”

“ඇයි මං අකමැති වෙන්නෙ දරුවනේ…ඉන්න…මං තේ ටිකක් ලෑස්ති කරන්නං”

කියා ගෙන ඕ ඇතුළට ගියා ය. මා හිතා ගෙන හිටියාටත් වඩා ඇය වෙතින් දිස් වූයේ තරුණ පාටකි. ජයශාන්ත මහතා සේවය කළ පාසලක ඇය කාර්යාල කාර්ය සහායිකාවක වූ බව මීට පෙර මට සිතිජ කියා තිබුණේ ය. නමුත් ඕ රූමත් ය. තැන්පත් විනීත පෙනුමක් ඇය වෙතින් දැකිය හැකි විය. 

මම හෙමිහිට නැගිට මුළුතැන්ගේ පැත්තට ගියෙමි. නෙළුම් නැන්දා කෝප්ප පීරිසි සෝදමින් හිඳ, මා දැක සිනහවක් නගා ගත්තා ය.

“ඇත්තට ම මට හිතා ගන්නත් බෑ සිතිජ පුතා මෙහෙ ආව කියල. එයා ටිකක් ආඩම්බර දරුවෙක් කියල තමයි මං දන්නෙ. මං වගේ කෙනෙක්ට එයා වගේ කෙනෙක් සමාව දෙයි කියල මට හීනෙකිංවත් හිතා ගන්න බෑ”

ඇය ගැන මහත් අනුකම්පාවකින් හා ස්නේහයකින් මගේ පපුව පිරී යනවා දැනුණේ ය. ඇයත් ගැහැනියකි. කසාද සහතිකයක හිමි කමක් නැතිවා ට ඇයත් පිරිමියෙකු ට පෙම් කොට තිබේ. ඒ ප්‍රේමය වෙනුවෙන් ඈ සිය ජීවිතය ම වෙන් කොට තිබේ. කිසි දා ක ඔහු ගේ බිරිඳ ලෙස ලෝකය ඉදිරියට යන්නට බැරි වූවා ට ඇයත් බිරිඳකි.

නෙළුම් නැන්දා පිටි අත්ලෙන් ඇසක් පිස දමනු මම දුටිමි. ඇගේ ඇසින් කඳුළක් ගිලිහී තිබේ. අප සුළු කොට තැකුවාට මේ ඇයට කරන ලද මහත් ගෞරවයක් සේ ඇයට දැනෙනවා විය යුතු ය. මම ඈ සමීපයට ගොස් ඇගේ උරහිස මත අතක් තබා කතා කළෙමි.

“සිතිජගෙ හැටි ඒ. එයා වැඩිය කාත් එක්කවත් කතා කරන්නෑ. ඕන කෙනෙක්ට හිතෙන්නෙ ආඩම්බරයි කියල. ඒත් එයා පොඩි ළමයෙක් වගේ අහිංසකයි. අවංකයි”

“හරියටම සර් වගේ…”

නෙළුම් නැන්දා ගේ ඇස් දිළිසුණේ ය. මම දෙතොල් තෙරපා සිනහ වීමි. 

“මටනං පුදුම ඔයා ගැන”

මගේ ප්‍රකාශයෙන් ඕ නෙතු විදා බැලුවා ය.

“මේක කාගෙවත් පුද්ගලික ජීවිතේකට ඇඟිලි ගැහීමක් නෙවෙයි. ඒත්…කිසිම දෙයක් නොලබා මේ ගෙවන ජීවිතේ ගැන හිතනකොට…ඔයාට තියෙන්නෙ පුදුම ආත්ම ශක්තියක් කියල හිතෙනව”

“රෝස් මැඩම් අපේ සම්බන්දෙ දැන ගත්ත වෙලාවෙ පරල වුණා. එයා හිතුවෙ මං සර්ව රවට්ටගෙන කියල. ඔයා විශ්වාස කරන්න මෙව්නා දුව…අදටත් මං ජීවත් වෙන්න එක සත පහක් සර්ගෙන් ගන්නෙ නෑ. එයා මේ ඉඩම අරං ගේ හැදුව තමයි. හැබැයි මං මෙහෙ ඉස්කෝලෙකට ට්‍රාන්සර් එක අරං අදටත් මගෙ රස්සාව කරං ජීවත් වෙනව. මං දරුවෙක් හදා ගත්තෙ නෑ…කවදාවත් එයාට තාත්තා කියල ලෝකෙ ඉස්සරහට ගිහිං සර්ට කතා කරන්න බැරි නිසා. ඒක සර්ගෙ අනිත් දරුවන්ට කරන අසාධාරණයක් නිසා. ඒ ඇරෙන්න…මේ ජීවිතේ වෙන කිසි පසුතැවීමක් මට නෑ”

ඇගේ හඬ බිඳී ගියේ ය. මම ඇය සනසනු වස් ඒ අත් බාහුවක් පිරිමැද්දෙමි.

“මං නරක ගෑනියෙක් කියල සර්ගෙ දරුවො වුණත් හිතන එක ගැන දුකක් මගෙ හිතේ තිබුණා. දැං ඒකත් නැති වෙලා ගියාද මන්දා”

“සිතිජ එහෙම හිතන්නෑ කියලනං මං හොඳටම දන්නව”

“එහෙනං මට සැනසීමෙං මැරෙන්න පුළුවන්”

මිනිසුන් ව පිටින් දකිත්දී ඔවුන් සෑම සියලු දෙනා ම එක වගේ ය. ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනස හැරෙන්නට බාහිරයෙන් ඔවුන් සියලු දෙනා සමාන ය. නමුත් ඒ සෑම මිනිසෙකු ගේ ම සිතිවිලි දෙසට එබී බැලුවහොත් මිනිසුන් කිසි සේත් එක සමාන වන්නේ නැත. එක එක මිනිසා ගේ ජීවිතය හා ජීවන අත්දැකීම් විවිධාකාර ය. ජයශාන්ත මහතා හා විවාහ වූ රෝස්මරී හා ඔහු ගේ හද බැඳි නෙළුම් ගත්තත්, ඔවුන් දෙදෙනා ගේ ගති ස්වභාවයන් අහසට පොළොව සේ වෙනස් ය.

නෙළුම් නැන්දා අපට සිය මුළුතැන්ගේ මිදුල පෙන්වූයේ උනන්දුවෙනි. එහි එළවළු, පළතුරු හා පලා වර්ග කදිමට වැවී තිබුණේ ය.

“හරි ෂෝක්. නැන්දා හැමදේම වගේ වවාගෙන…දැක්කත් ආසයි”

මම කීවෙමි. ඇය සිහින් ව සිනාසුණා ය.

“මං නෙවෙයි. සර්ගෙ වැඩ ඔය”

සිතිජ මගේ මූණ දෙස බැලුවේ ය.

“ආ වෙලාවෙ ඉඳල කරන්නෙ වවන එක තමයි. සර් හරි ආසයි ඒ වැඩේට. ඔය කුඹුරු පැත්තෙ ගිහිං ගොම හොයං ඇවිත් පෝර වෙන්න දානව…වස විස නැති දේවල් කන්න ලැබෙන ලංකාවක් ගැන සර් ගෙ තියෙන්නෙ ලොකු හීනයක්. මට කියනව රිටයර් වුණාට පස්සෙ ඈතකට වෙන්න අක්කර කීපයක් අරං වගා කරමුලු”

අප යළි පැමිණියේ වදෙන් පොරෙන් වාගේ ඈ පිළියෙල කළ රාත්‍රී ආහාරයත් භුක්ති විඳ ය.

“පිරිමියෙක්ට ඕනෙ මහා උගත් කමක් තියෙන ගෑනියෙක් නෙවෙයි. මහා හදවතක් තියෙන ගෑනියෙක්. නෙළුම් ඒකට හොඳම උදාහරණයක්”

නෙළුම් නැන්දා ගැන මා කී විස්තර අසා සුරනි කීවා ය.

“එයා පව් කියල හිතෙනව. සර් සිකුරාදා හවස යනකල් සතියෙ දවස් පහක් එයා තනියම එහෙ ජීවත් වෙනව. ආදරේ විතරක් වෙන්නැති එයාට හයියකට තියෙන්නෙ. සර්ගෙ මැරුණ අම්ම මැරෙන්නැතුව තව කාලයක් ජීවත් වුණානං ඒ දෙන්න සතුටෙං ඉඳියිනෙ කියල මට හිතුණා”

“ඒ නැන්දම්මට හරියන ලේලි කෙනෙක් දැන් ලැබිලනෙ තියෙන්නෙ”

සුරනි ගේ ඒ කතාව මගේ හිතේ සියුම් ඉසව්වක් කම්පිත කළ බවක් මට දැනිණ. අම්මා කෙනෙකු ගේ සෙනෙහස කොයි වගේ දැයි නො දැන මේ තරම් වයසක් ජීවත් වූ මට හදිසියේ මවක් ලැබුණා බඳු තිගැස්මකි එය. නෙළුම් ගේ ආත්ම ශක්තිය කොහොමටත් මා වසඟ කර ගෙන තිබුණේ ය. ප්‍රේමය වෙනුවෙන් ඕනෑ ම දෙයක් ඉවසන්නට ගැහැනියකට හැකි බව ලෝකයට සනාථ කරන ජීවමාන සාක්ෂියක් සේ ඕ මා ඉදිරියේ පෙනී සිටියා ය.

සිතිජ ගේ පියා ගේ උපන් දිනය වෙනුවෙන්, මගේ පන්තියකට පැමිණෙන දැරියක ගේ මවකට කියා කුඩා කේක් එකක් පිළියෙල කර ගන්නට මට හැකි විය. සිතිජ ප්‍රමුඛ පෙළේ  භෝජනාගාරයකින් ආහාර ඇනවුම් කළේ ය. ඇය ට කෑම පිසිය හැකි බව නෙළුම් නැන්දා කීවාට, මේ විශේෂ දවසේ ඇයටත් විශේෂයක් දැනිය යුතුයි කියා සිතිජ හිතුවේ ය.

සිකුරාදා නිවාඩුවක් ගන්නා බව නෙළුම් නැන්දා කීවා ය. ඒ අනුව අප කල් ඇතිව එහි ගොස් කුඩා ආලින්දයෙහි උපන්දින සැරසිලි කළෙමු.

“අම්ම දන්නවද දන්නෑ තාත්තගෙ බර්ත් ඩේ එක අදද කියලවත්”

බැලුන් පුම්බන අතරේ සිතිජ මට කොඳුරා කීවේ ය.

“කිරිබත් ඉව්වෙ නැද්ද…”

“නෑ…මගෙ බර්ත් ඩේ එකට ඔයා උයනවද…”

මම පිළිතුරු නැති ව බිම බැලුවෙමි. හැම ප්‍රශ්නයකට ම උත්තර ඇති බැව් සැබවි. නමුත් හැම ප්‍රශ්නයකට ම අප උත්තර දෙන්නට යා යුතු නැත. සමහර උත්තර ලබා දිය යුත්තේ ක්‍රියාවෙනි.

විදුහල්පති තුමා ගේ රිය පැමිණෙත් දී මා හා සිතිජ කාමරයක සැඟවුණෙමු. ගෙට ගොඩ වූ ඔහු ගේ හඬෙහි ආදරය පිරී තිබුණේ ය.

“එහෙනං මේ සැරෙත් ඔයාට අමතක වුණෙ නෑ නේ…”

“අමතක වුණෙ නෑ. ඒත් මේ සැරේ ඔයාව පුදුම කරවන්න ඕන වුණේ මට නෙවෙයි”

“එහෙනං…”

“පුතාලා…”

ඒ ඇමතුමෙන් මමත් සිතිජත් කාමරයේ තිර රෙද්ද මෑත් කරමින් ආලින්දයට පිවිසියෙමු. සිතිජ ව වැළඳ ගත් ඔහු ගේ පියා, මා කොහෙත් ම නො සිතූ ලෙස ඉකි බිඳ හඬන්නට පටන් ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
3
0
Would love your thoughts, please comment.x
()
x